අපේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී  සංස්ථාව 1982 වසරේ ආරම්භ කරන ලද්දකි. එසේ වුවද මෙරට ප්‍රථම විද්‍යුත් රූප මාධ්‍යය ලෙස සැලකෙන්නේ 1979 වසරේදී අරඹන ලද ස්වාධීන රූපවාහිනී ආයතනයයි. වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරා වූ ශාන් වික්‍රමසිංහ මහතා එහි ආරම්භක හිමිකරු විය. 


එහෙත් කුමන හෝ අප්‍රකාශිත හේතුවක් නිසා එකල ස්වාධීන රූපවාහිනී ආයතනය රජයට පවරා ගෙන එහි පාලනය නිසි බලධාරියෙකු යටතට පත්කර තිබුණේය. කෙසේ වෙතත් මුල් කාලයේ දී ආයතන දෙකෙන්ම විකාශය වූ වැඩසටහන් අතරින් සියයට 90ක් පමණ විදේශ රටවලින් ආනයනය කරන ලද ඒවා විය. ඒ සියලුම වැඩසටහන් සිංහල උපශීර්ෂ සහිතව විකාශය කෙරුණේ දේශීය ප්‍රේක්‍ෂකයන්ගේ පහසුව පිණිසය.


ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කෙරුණු වැඩසටහන්වල තත්ත්වයද ඊට සමාන විය. එහෙත් එහි වෙනසකට තිබුණේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ප්‍රවෘත්ති වැඩ සටහනක් පස්වරු 6.00ට, 8.00ට සහ රාත්‍රී 10.00 ට විකාශය කිරීමයි. 


එම මුල් කාලයේ රටේ පැවැති රූපවාහිනී යන්ත්‍ර සංඛ්‍යාවද ඉතා සීමිත වූවත් එම නව රූපමාධ්‍යය ජනතාව අතර ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබුණේය. කොළඹින් බොහෝ දුර බැහැර පිහිටි ඇතැම් ගම්වල රූපවාහිනී යන්ත්‍ර තිබූ නිවෙස් වෙත රාත්‍රී කාලයේ එම ගම්වැසියන් එක් රොක්වීම එකල සුපුරුදු දර්ශනයක් විය.


කෙසේ වෙතත් රූපවාහිනී වැඩසටහන් නැරඹීම සඳහා ශීඝ්‍රයෙන් නැඹුරු වෙමින් සිටි තත්කාලීන ප්‍රේක්‍ෂකයන්ට රිස්සුම් නොදුන් එක්තරා සිද්ධියක් ගැන එකල බොහෝ විට අසන්නට ලැබුණේය. එනම් ඉතා රසවත් වැඩසටහන් අතරට සීමාවකින් තොරව වෙළෙඳ දැන්වීම් ඇතුළත් කර තිබීමයි.


“මේක මහ වධයක්නේ. හොඳ කතාවක් යනකොට මෙන්න එක සැරේටම වෙළෙඳ දැන්වීමක් යනවා. අන්න එතකොට තමයි මේ රූප පෙට්ටිය උස්සලා පොළොවෙ ගහන්න හිතෙන්නෙ...’යි කී තත්කාලීන රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ගේ පිළිගැනීම වූයේ එය රූපවාහිනී සංස්ථාවේ ලොක්කන් වෙළෙඳ සමාගම්වලින් ලැබෙන සන්තෝසම්වලට යටවී කරන අළුගුත්තේරු ක්‍රියාවක් බවය.


රූපවාහිනිය මෙරට ජනතාව අතරට හඳුන්වා දීමට පෙර ඔවුන් හුරුපුරුදු වී සිටියේ සිනමා ශාලාවලට ගොස් විත්‍රපට නැරඹීමටය. සිනමාහල්වල චිත්‍රපටියක් තිරගත කෙරෙන විට විවේක කාලයේ දී හැරෙන්නට වෙනත් කිසිම අවස්ථාවක දී වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමක් සිදු නොවූයෙන් රූපවාහිනිය මගින් බහුල වශයෙන් දුටු එම සිද්ධිය ඉවසා දරා ගැනීමට එකල විසූ ප්‍රේක්‍ෂකයන් වැඩි දෙනෙකුට නොහැකි විය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඇතැම් තරුණ ප්‍රේක්‍ෂකයන් ඊට තම බලවත් විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ලොක්කන් වෙත ලිපි දහස් ගණනක් එවා තිබීමයි.


“මොකක්ද ඕයි මේ කරන වැඬේ? හොඳ වැඩ සටහනක් යද්දී ඒ අතරට වෙළෙඳ දැන්වීම් දාන්නේ තමුසෙලා කොම්පැනි කාරයන්ගෙන් සල්ලි අරගෙනද....?” යි අසමින් එවකට රූපවාහිනී සංස්ථාවෙ සභාපති ධුරය දැරූ එම්. ජේ. පෙරේරා මහතාට දුරකථනයෙන් පවා බැණ වැදුණු තත්කාලීන ප්‍රේක්‍ෂකයන් නොදැන සිටි දෙයක්ද එම සිද්ධිය පිටුපස සැඟවී තිබුණේය. එනම් විවිධ වෙළෙඳ සමාගම්වලින් ලැබෙන අනුග්‍රාහක දැන්වීම්වලින් තොරව රූපවාහිනී සංස්ථාවට පැවැත්මක් නොමැති වීමයි.


මේ කාලයේ මෙරට විධායක ජනාධිපතිධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආර්යාව වූ එලිනා රූපසිංහ ජයවර්ධන මැතිනියද වෝඞ් පෙදෙසේ පිහිටි බ්‍රෙමාර් මන්දිරය තුළ තිබූ රූපවාහිනී යන්ත්‍රයෙන් ඉඳහිට විවිධ වැඩ සටහන් නැරඹීමට පුරුදුවී සිටියාය. එහෙයින් එතුමියටද එම අමිහිරි අත්දැකීමට මුහුණපෑමට සිදු වී තිබුණේය. එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන නොදැන සිටියේ ඔහු දිනපතා රාත්‍රී 10.00ට විකාශය වෙන ප්‍රවෘත්ති වැඩසටහන පමණක් නැරඹීමට පුරුදු වී සිටි බැවිනි.


අන්තිමේදී ලොක්කාද ඒ ගැන දැනගත්තේ ජයවර්ධන ආර්යාව අවස්ථා කීපයකදීම තම සැමියාට පැමිණිලි කර තිබූ බැවිනි.


“බලන්න ඩිකී මේ වැඬේ, මිනිස්සු ටී. වී. බලන්නේ රටේ තියෙන තරමක් කොම්පැණිකාරයන්ගේ විච්චූරණ බඩු ගැන දැනගන්න නෙවෙයිනේ...”යි  කී ජයවර්ධන ආර්යාව තම සැමියාට බල කරන ලද්දේ එම්. ජේ. ට ඒ ගැන වහාම දැනුම් දෙන ලෙසය.


බලමු මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ..’ කියලා යි කී ජයවර්ධන ජනාධිපතිතුමා ද නිකමට මෙන් තම කන්තෝරු කාමරය තුළ තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළේ තම ආර්යාව කියන දේ ඇත්තක් දැයි දැන ගැනීමටය. විනාඩි පහකටත් අඩු කාලයක් රූපවාහිනී තිරය දෙස බලා සිටි ජනාධිපතිවරයාටද සිද්ධියෙහි ඇති බරපතළකම ගැන එසැණින් අවබෝධ වී එවකට රාජ්‍ය ඇමැති ධුරය ඉසිලූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා දුරකථනයට ඈඳා ගන්නා ලෙස තම පෞද්ගලික ලේකම් ඩබ්. එම්. පී. බී. මැණික්දිවෙල මහතාට අණ කළේය.


තවත් විනාඩි කීපයක් ඇතුළත රාජ්‍ය ඇමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මැණික්දිවෙල මහතාට හැකිවිය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ලොක්කාගේ තදබල දෝෂාරෝපණයකට ලක්වීමට රාජ්‍ය ඇමැතිවරයාට සිදුවීමය. 


‘යර්ස්... සර්... නෝ... සර්... සොරි සර්...’යි කියමින් තම ප්‍රධානියාගේ බලවත් දෝෂ දර්ශනයට මුහුණ දුන් ආනන්ද තිස්ස ද අල්විස් මහතා අනතුරුව තම සිතට දැනුණු වේදනාව කෝපය සහ ලජ්ජාව රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙත මුදා හරින ලද්දේ කිසිදු ලෝබ කමකින් තොරවය.


ඒ අනුව පසුදා සිට සතියක් හෝ දෙකක පමණ කාලයක් කිසිදු බාධාවකින් තොරව රූපවාහිනී වැඩසටහන් රස විඳීමට මෙරට ප්‍රේක්‍ෂක ජනතාවට හැකිවිය. එහෙත් ඊළඟ සතියේ සිදුවූයේ රූපවාහිනී සංස්ථා බලධාරීන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අන්දමේ සිදුවීමකි. එනම් එක් එක් වැඩ සටහන් සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දැක් වූ වෙළෙඳ සමාගම් කීපයක්ම තම අනුග්‍රාහක ගිවිසුම් ඒක පාර්ශ්විකව අවලංගු කිරීම සඳහා පෝලිම් ගැසී ඉදිරිපත් වීමය.


අන්තිමේදී රූපවාහිනී සංස්ථා බලධාරීන්ට සිදුවූයේ රාජ්‍ය නායකයාගේ නියෝගය පිළිගෙන තම සංස්ථාව වසා දමනවාද? එසේත් නැත්නම් ඔහුගේ අණට පිටුපා සංස්ථාව රැකගන්නවාද? යන තීන්දු දෙකෙන් එක තීන්දුවක් පිළිගැනීමටය. එහිදී රාජ්‍ය නායකයාගෙන් කුමන බලපෑමක් ඇති වූවද සංස්ථාව රැක ගැනීමට එකල සිටි රූපවාහිනී සංස්ථා බලධාරීන් තීරණය කර තිබුණේ තම අමාත්‍යංශය බාරව සිටි අමාත්‍යවරයාගේද පූර්ණ එකඟත්වය ඇතිවය. වර්තමානයේ වෙසෙන ප්‍රේක්‍ෂක ජනතාවට තමන්ගේ ප්‍රියතම වැඩ සටහන් නරඹන අතරතුර වැඩි ගුවන් කාලයක් දැන්වීම් නැරඹීමට සිදුවීම එහි දිගු කාලීන ප්‍රතිඵලය විය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි