1977 ජූලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය මන්ත්‍රීධුර 140ක් දිනාගත්තේ 1970 සිට ඒ දක්වා ආණ්ඩු බලය දැරූ ශ්‍රීලනිපයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 දක්වා පහතට ඇද දමමිනි. එවකට පැවැති ජාතික රාජ්‍ය සභාවේ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 168 ක් වූ අතර, එයින් මන්ත්‍රී ධුර 140 ක් හිමි වූ එජාපයට මුළු ආසන සංඛ්‍යාවෙන් 5/6ක්ම හිමි වී තිබුණේය.

 

එවකට සිටි එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතාම වරක් මාධ්‍යයට  ප්‍රකාශ කළ අන්දමට එය එතුමා පවා බලාපොරොත්තු නොවූ තරමේ විශිෂ්ට ජයග්‍රහණයක් විය. කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ජේ. ආර්. රටේ බහුතර ජනතාව තමන් වෙත ලබාදුන් එම විශිෂ්ට ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවුණද ඔහුට අවශ්‍ය වූයේ එම පාර්ලිමේන්තු බලය අඩුම වශයෙන් තවත් වසර දහයක්වත් රැක ගැනීමටය.


“එහෙම නැතුව තට්ටු මාරු ක්‍රමයට රටක් දියුණු කරන්න බෑ...” යි සිතූ ඔහු ඒ සඳහා උපායමාර්ගයක් සැලසුම් කළේය. විශේෂයෙන්ම ඊට හේතු වූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීම මෙරටට විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන සහ රටපුරා නිවාස  ලක්‍ෂයක් ඉදිකර ජනතාවගේ නිවාස ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් සැපයීම වැනි අලුත්ම මාදිලියේ සංවර්ධන වැඩ සටහන් කීපයක්ම ඔහුගේ යටි සිත තුළ පැවැති අතර ඒ සඳහා ඇතිවිය හැකි බාධා ඉවත් කිරීමට හෙතෙම මුලින්ම අත ගැසුවේය.


‘අද සිට සතියක් ඇතුළත තමුන්නාන්සේලා සියලුම දෙනාගේ මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි දිනයක් නොදමා මට බාර දෙන්න ඕනෑ’


දිනක් ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමකට සහභාගි වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කළ එම ප්‍රකාශය ඇසූ එජාපයේ මුළු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් පිරිසම තුෂ්ණිම්භූතව ගියේ නිරායාසයෙනි.


“මොකක්ද  මචං ලොක්කා ඒ කිව්වේ?” ඇතැමුන් යාබද අසුනේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් එලෙස විමසන ලද්දේ තම රාජ්‍ය නායකයා කළ ප්‍රකාශය  හරියාකාරව තේරුම් ගැනීමට පවා නොහැකිවය. 


‘ලොක්කා කියනවා අපට ඬේට් එක නොදා රෙසිග්නේෂන් දෙන්නලු ! මෑන් මොකාට එන්නද දන්නෙ නෑ මේ හදන්නේ’ 


එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් පිරිස එලෙස ඔවුනොවුන් කොඳුරා ගනිද්දී ජේ. ආර්. තමන් එමගින්  අදහස් කළ දෑ තව දුරටත් පැහැදිලි කළේය.


“තමුන්නාන්සේලා කවුරුවත් ඒ ගැන සැකයක් තියා ගන්න එපා. මම ඒ කිසිම ලියුමකින් දැන්ම ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒ නිසා කවුරුත් තම තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පාර්ලිමේන්තු මහ ලේකම් නමට ලියලා දිනය සඳහන් නොකර මැණික්දිවෙල මහත්තයට බාර දෙන්න” යි කී එවකට අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ ජේ. ආර්. ජයවර්ධන මහතා නිහඬව අසුන් ගත්තේය.


‘මේ මොන විහිළුවක් ද ලොක්කා අපෙන් රෙසිග්නේෂන් පේපර්ස් ඉල්ලන්නේ? මම නං අම්ම මුත්තෙ කිව්වත් දෙන්නෙ නෑ...!’


එවකට සිටි ප්‍රබල ඇමැතිවරුන් පවා වීරයන් සේ ඔවුනොවුන් හා කතා කර තිබුණ ද නියමිත සතිය අවසන් වන විට මැති ඇමැතිවරුන් වැඩිදෙනෙක්ම තම ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් ඩබ්ලිව්. ඇම්. පී. බී. මැණික්දිවෙල මහතා වෙත බාර දී තිබුණා. එහි ඇති සිනා උපදවන සිද්ධිය වූයේ පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන්ගේ භෝජනාගාරයේදී ලොක්කාගේ එම තීරණය ගැන පස්පඩංගුවේ බැණ වැදුණු ඇතැම් අගමැතිවරුන් පවා තම ඉල්ලා අස්වීමේ ලිපි එකිනෙකාට හොරෙන් මැණික්දිවෙල මහතා වෙත බාරදී තිබීමයි. 


‘අපේ තාත්තා නං ලොක්කාගේ ඒ තීරණය ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරලත් තිබුණා. මට මතක හැටියට අපේ තාත්තයි, ගාමිණී ජයසූරිය ඇමැතිතුමයි විතරයි ලොක්කා කියපු විදියට රෙසිග්නේෂන් පේපර්ස් බාර නොදුන්නේ....!’


එවකට පැවැති ජේ. ආර්. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම ජයවර්ධන මහතාගේ සමීපතම මිත්‍රයෙකු වන සිරිල් මැතිව් මහතාගේ පුත් නන්ද මැතිව් එසේ කියන්නේ එම සිද්ධිය ආවර්ජණය කරමිනි. කෙසේ වෙතත් “තමුසෙ කැමැති නං රෙසිග්නේෂන් දෙනවා !’ යි තම පියා කී නිසා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැණික්දිවෙල මහතාට බාර දුන් බව හෙතෙම පවසයි.


‘හැබැයි අපි දන්නෙ නෑ ප්‍රේමදාස මහත්තයා ඒ ලියුම දුන්නද කියලා. එයා ඒ ගැන මොනවත් කිව්වෙත් නෑ. අපි ඒ ගැන අහන්න ගියෙත් නෑ !’
එවකට පැවැති ජේ. ආර්. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ධුරයක් ඉසිලූ නන්ද මැතිව් එසේ කියන්නේ සිනාසෙමිනි.


කෙසේ වෙතත් ජේ. ආර්. ගේ එම අමනෝඥ තීරණය ගැන එවකට පැවැති ඇත්ත, ජනදින සහ දිනකර වැනි විකල්ප ධාරාවේ පුවත්පත් දැඩි ලෙස විවේචනය කරමින් ලිපි සහ කාටුන් චිත්‍ර පළ කර තිබුණි. එහෙත් ඒ පිළිබඳව තුට්ටුවක තරම්වත් සැලකිල්ලක් නොදැක්වූ රාජ්‍ය නායකයා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ සාවඥ සිනාවකිනි.


මේ අතර 1978 දී මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් ජේ. ආර්. අභිනවයෙන් ඇති කරන ලද විධායක ජනාධිපති ධුරය සඳහා තෙමේම පත් වූවේය. එවකට පැවැති කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් තුළ ඒ පිළිබඳව යම් අප්‍රසාදයක් තිබුණ ද ඔවුන්ට අකමැත්තෙන් හෝ නිහඬවීමට සිදුවී තිබුණේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඒ වන විටත් ලොක්කාගේ සාක්කුවේ සුරැකිව තිබෙන බව දැන සිටි නිසාවෙනි.


තම ජනාධිපති ධුරයේ ප්‍රථම නිල කාලය අවසන් කළ ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 පැවැති ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වී ජයගත්තේය. ඉන් අනතුරුව ඔහුට අවශ්‍ය වූයේ තම දෙවැනි නිල කාලය තුළද තමන් සතු 5/6 ක පාර්ලිමේන්තු බලය රැක ගැනීමටය. ඒ අනුව ඔහු තවත් පිම්මක් පැනීමට සැලසුම් කරන ලද්දේ ජනතාවට මහ මැතිවරණයක් අවශ්‍ය දැයි තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වමිනි. එය සාමාන්‍ය ජනතාව අතර හැඳින්වූයේ ‘ලාම්පු - කළගෙඩි’ සෙල්ලම යනුවෙනි. 


යම් විදියකින් මුළු රටෙන්ම කළය දිනුවොත් වහාම මහ මැතිවරණයක් පවත්වනවා ! මැතිවරණ කොට්ඨාස කීපයක විතරක් කළය දිනුවොත් ඒ ආසනවල ඡන්දයක් පවත්වනවා... ! යි ඔහු කල් තියාම ප්‍රකාශ කර තිබුණේ තමන් මහා ප්‍රජාතාන්ත්‍රිකයෙකැයි ජනතාවට ඒත්තු ගැන්වීමේ අදහසිනි.


එම ජනමත විචාරණයෙන් මැතිවරණ කොට්ඨාස බහුතරයකින් ලාම්පුව ජයගෙන තිබුණේය. කළය ජයගෙන තිබුණේ මැතිවරණ කොට්ඨාස 18 කිනි.


“තමුන්නාන්සෙළාගේ ආසනවල වැඩි පිරිසක් තමුන්ලාට කැමැති නැති බවයි ජනමත විචාරණයෙන් පැහැදිලි වුණේ. ඒ නිසා තමුන්ලාට පුළුවන් නැවත මැතිවරණයකට ගිහින් තම තමන් ගේ ආසන දිනාගෙන පාර්ලිමේන්තුවට එන්න’ යි කී. ජේ. ආර්. එතෙක් තමන්ගේ මේස ලාච්චුවේ දමා ගෙන සිටි එම එජාප මන්ත්‍රීවරුන් දහ අට දෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි පෙරදාතම යොදා පාර්ලිමේන්තුව මහ ලේකම්වරයා වෙත යවන ලෙස මැණික්දිවෙල මහතාට උපදෙස් දුන්නේය. එහි ඊළඟ ප්‍රතිඵලය වුණේ 1977 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට තම අසුන් අහිමි කරගෙන ගෙදර යාමට සිදුවීමයි.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.