1977 දී පැවැති මහ මැතිවරණයෙන් 5/6 ක පාර්ලිමේන්තු බලයක් ලබාගත් එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතා එම පාර්ලිමේන්තු බලය යොදා ගනිමින් මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. අනතුරුව ඔහු කළේ තමන් විසින් හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද විධායක ජනාධිපති ධුරයට තමාම පත්වීමයි.

එපමණක්ද නොව ඊට පෙර පැවැති ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ හිටපු අධිකරණ ඇමැතිවරයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු තවත් කීපදෙනෙකු විසින් කරන ලදැයි කියන වැරදි කීපයක් පිළිබඳව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්ද පත්කර තිබුණේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු පිරිසට එරෙහිව තිබූ චෝදනා පිළිබඳව විමර්ශනය කළ එම කොමිසමේ නිර්දේශය වූයේ ඔවුන් විසින් සිදුකළැයි කියන වැරැද්දට දඬුවම් වශයෙන් ඔවුන්ගේ ප්‍රජා අයිතිය සත් වසරක කාලයකට අත්හිටුවිය යුතු බවයි.
ප්‍රජා අයිතිය නැති කෙනෙක් කොහොමද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දරන්නේ යි ඇසූ ආණ්ඩුවේ ප්‍රබලයන් ඊළඟට කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි කර ඇය දේශපාලන වශයෙන් හුදෙකලා කිරීමය. කෙසේ වෙතත් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරවීම සඳහා තිරය පිටුපස සිට ආණ්ඩුව උනන්දු කරවන ලද්දේ ශ්‍රීලනිපයේම ප්‍රබලයන් දෙතුන් දෙනෙකු විසිනි.
ඔවුන්ගේ සහ එජාප ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙකුගේ මනදොළ සපුරාලමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තම ප්‍රජා අයිතිය පවා නොමැතිව හය වසරක පමණ කාලයක් ගෙවී යද්දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට උන්හිටි ගමන් එතුමිය ගැන අනුකම්පාවක් පහළ වී තිබුණේය.


“මම බණ්ඩාරනායක මැතිනියගේ අහිමිවී ගිය ප්‍රජා අයිතිය නැවත ලබාදෙනවා” යි කී ජේ. ආර්. ජයවර්ධන මහතා 1985 දෙසැම්බර් 31 වැනිදා හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය නැවත ලබාදීමේ ලියකියවිලිවලට අත්සන් තැබුවේය. බණ්ඩාරනායක මැතිනිය පවා ඒ බව දැනගත්තේ එදින උදෑසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශය තුළින් බව එතුමියගේ සමීප ඥාතිවරයෙකුවූ අනුරුද්ධ රත්වත්තේ මහතා මහයායේ කතාව නමැති තම චරිතාපදානයේ සඳහන් කර තිබේ.


කෙසේ වෙතත් ඒ වන විට එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබ වසර හයකුත් මාස දෙකක පමණ කාලයක් ගතවී තිබුණේය. ඒ අනුව එම දඬුවම ගෙවී යාමට තවත් ඉතිරිව තිබුණේ මාස 10ක් තරම්වූ කාලයකි.
බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැවත ලබාදීම ගැන සතුටු වී රටපුරා වෙසෙන ශ්‍රීලනිප හිතවතුන් පැය කීපයක් රතිඤ්ඤා පත්තු කෙරුවා... යි කියන රත්වත්තේ මහතා එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම ආරංචිය අසා මහනුවර සිට කොළඹට පැමිණි තමන් රොස්මිඞ් මැදුරට යනවිට එම නිවස තුළත් ගෙවත්තේත් පක්ෂයේ හිතවතුන් සෑහෙන පිරිසක් රැඳී සිටි බවය. හිටපු මැති ඇමැතිවරුන් බොහෝදෙනෙකුද එහි පැමිණ සිටින අයුරු තමා දුටු බව හෙතෙම පවසයි.


ඒ වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය පැවරී තිබුණේ අනුර බණ්ඩාරනායකටය. ඔහුට එම අවස්ථාව ලැබී තිබුණේ හිටපු විපක්ෂ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතා ඇතුළු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් රටේ ඒකීයත්වය පිළිගෙන දිවුරුම්දීමට අකමැතිවීම නිසා පාර්ලිමේන්තුව හැර ගොස් සිටි බැවිනි.


ඒ දිනවල අනුර පදිංචිව සිටියේ මැතිනියගේ නිවසට යාබද නිවසෙහිය. එහෙත් ඔහු පෙනෙන්නට නොසිටියෙන් එහි පැමිණි බොහෝදෙනෙකු අනුර කොහිදැයි සෙවීමට උනන්දුවන බවක් පෙනෙන්නට තිබුණු බව අනුරුද්ධ රත්වත්තේට මතකය.


අනුර මහත්තයා ගාල්ලේ රැස්වීමකට ගිහින් දැන් මග එනව ඇති යි ඔහුගේ නිවසේ සේවකයෙකු කියන අයුරු තමන්ට ඇසුන බවද හෙතෙම පවසයි.


මේ අතර සුපුරුදු පරිදි උදෙන්ම ස්නානය කර බුදුන් වැඳ පහළ මාලයට පැමිණි මැතිනිය ඉතා සැහැල්ලුවෙන් තම හිතවතුන් සමග කතා කරමින් සිටියාය.


මේක ජේ. ආර්. කැමැත්තෙන් දීපු එකක් නෙවි. එයාට මගේ ප්‍රජා අයිතිය නොදී ඉන්න බැරිවුණා. ජාත්‍යන්තර බලපෑම උඩ එයා මට ප්‍රජා අයිතිය දුන්නේ ලෝක අපවාදයෙන් බේරෙන්න.


මැතිනිය සිනාසෙමින් එසේ කියන අයුරු අනුරුද්ධට ඇසී තිබුණේය. මේ අතර ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදීහු පිරිසක් මැතිනිය ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රොස්මිඞ් නිවසට පැමිණ සිටියහ. ඒ වන විට චන්ද්‍රිකා සහ සුනේත්‍රා වැනි පවුලේ සාමාජිකයන්ද නිවසට පැමිණ සිටිනු පෙනිණි. එහෙත් අනුර ඒ වනතුරුම නොපැමිණීම කාටත් පුදුමයක් විය.


මේ අතර රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යකරුවන් මැතිනිය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටි අතර ඔවුන් පුනපුනා ප්‍රශ්න කර සිටියේ එතුමිය තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාගන්නවාද නැද්ද යන කරුණ පිළිබඳවය.
ඔවුන් එලෙස පුන පුනා ප්‍රශ්න කරන ආකාරයෙන්ම ඒ ගැන ඉහළින් යම් උපදෙසක් ලැබී ඇති බවක් අනුරුද්ධට සිතුණේය.


“මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ චිට් එකෙන් පාර්ලිමේන්තුවට යන්න. මම නැවතත් පාර්ලිමේන්තුවට යතොත් යන්නේ මැතිවරණයකින් දිනලා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට යන්න මට ඕනකමක් නෑ...”
මැතිනිය එම මාධ්‍යකරුවන් සමග එසේ කියන විට අනුරුද්ධගේ සිතට බලවත් සහනයක් දැනුණේය. එතුමියගේ ප්‍රජා අයිතිය ලබාදී නැවතත් පාර්ලිමේන්තුවට යවා අම්මලා පුතාලා අතර ගැටුමක් ඇති කිරීමට ජේ. ආර්. හීන් නූලෙන් උගුලක් අටවා ඇතැයි ඒ වනවිටත් ඔහුගේ සිතට සැකයක් ඇතිවී තිබුණේය. එසේ වුවද මැතිනියගේ එම ප්‍රකාශය නිසා එවැනි ගැටුමක් ඇති වීමට ඇති ඉඩකඩ වැළකී ගිය බවත් අනුරුද්ධට සිතුණේය.


ඒ වන විට අනුර ගාල්ලේ සිට තම නිවසට පැමිණ පැයකටත් වැඩි කාලයක් ගෙවී යමින් තිබුණේය. එහෙත් යාබද නිවසේ සිටි ඔහු ඒ දක්වාම මව බැලීමට නොපැමිණීම කාටත් පුදුමයක් විය. “ඒ සැරේ මම අනුර හම්බවෙන්න අල්ලපු ගෙදරට ගියා. මම අනුරගෙ ගෙදරට යනකොට එයාගේ යාළුවෝ කට්ටියක් පාත මාලේ වාඩිවෙලා කතා කර කර හිටියා. මට මතක හැටියට එතන හිටියා හැරී ජයවර්ධන, ක්‍රිෂාන්ත කුරේ, සෙනේ කිරිදෙන, අනුර සොයිසා වැනි කීපදෙනෙක්ම අන්න අනුර උඩ තට්ටුවේ ඉන්නවා. ගිහින් හම්බ වෙන්න කියලා ඒ අය මට කිව්වා.”


අනුරුද්ධ රත්වත්තේ එසේ කියන්නේ තමන් මැතිනියගේ නිවසේ සිට යාබද නිවසට ගිය අවස්ථාවේ එහි සිටි පිරිස සහ තමන් ඇසූ දුටු දෑ පිළිබඳවය. ඒ අනුව තරප්පු පෙළ නැග ඉහළ මාලයට ගිය ඔහුට අනුර තම කාමරයේ අසුනක් මතට වී කල්පනා කරමින් සිටින අයුරු පෙනුණේය.


එතකොට මට තේරුණා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ සැරේ මම මොනවත් නොදන්නව වගේ අනුර ළඟට ගිහින් කිව්වා බලන්න අනුර ජේ.ආර්. අද මැතිනියගේ ප්‍රජා අයිතිය දුන්නට පස්සෙත් කියනවනේ ඡන්දෙකින් දිනලා මිසක් පාර්ලිමේන්තුවට යන්නෙ නැහැයි කියලා. ඔන්න දැන් ඒ කතාව ටෙලිවිෂන් එකටත් කිව්වා. මම එහෙම කියන කොට අනුර එක පාරටම ඇස් ඇරලා මගේ දිහා බැලුවා...
ඇත්තටම අම්ම එහෙම කිව්වද?


අනුර  ඉංග්‍රීසි බසින් එසේ ඇසුවේ තමන් කී දෑ තවත් හොඳින් පැහැදිලි කර ගැනීමට යැයි අනුරුද්ධට සිතුණේය.


මේ මොනව කියනවද? බලනවකෝ ටිකක් ඔය ටෙලිවිෂන් එක දාලා.. යි කී ඔහු අනුරගේ කරට අතදමාගෙන පහත මාලයට කැඳවාගෙන ආවේය.


කොහොම හරි රූපවාහිනී ප්‍රවෘත්තිවලින් මැතිනියගේ ප්‍රකාශයටත් කන් දුන්නට පස්සෙ තමයි අනුරගේ මූණට හිනාවක් ආවේ. එතකංම හිටියේ ඇගේ ලේ කඳුළක් නැතුව වගේ යි කියමින් එම සිද්ධිය ගැන සිහිපත් කරන අනුරුද්ධ රත්වත්තේ මහයායේ කතාව නමැති තම චරිතාපදානයේ සඳහන් කර තිබෙන්නේ, ඉන් අනතුරුව අනුර තම මවගේ නිවසට පැමිණ ඔවුන් සමග බොහෝ වේලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි බවය.

 

 

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර