ශ්‍රී ලංකාවේ නව ඡන්ද ක්‍රමයක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූයේ 1989 වර්ෂයේ සිටයි. මෙම 1989 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මහජන නියෝජිතයින් අතරින් කාගේත් ප්‍රසාදයට පත් වූ දේශපාලනඥයෙක් වශයෙන් දිවංගත අධිනීතිඥ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා හඳුන්වා දිය හැකිය. එතුමා කටාන - මීගමුව යන ප්‍රදේශවලට අමතරව සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේම සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් දැක්වූයේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු වුවද බොහෝ විට අනිකුත් දේශපාලන පක්‍ෂවල උදවියට ද එක හා සමානව සැලකුවේය. ඒ නිසා සෑම පක්‍ෂයකම උදවිය ඔහුට නොමඳ ගෞරවයක් හා සැලකිල්ලක් දැක්වූහ.


1989 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ දී හඳුනාගත් ප්‍රනාන්දු පුල්ලේ මහතා 1989 - 1994 එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළේය. එම රජයේ රාජ්‍ය ඇමැතිවරයෙකු වශයෙන් මා කටයුතු කළ අතර පාර්ලිමේන්තු ආලින්දයේ හා ආපන ශාලාවේ කතාබහ කරමින් සිටි සෑම අවස්ථාවකම එතුමා සමග අප ඉතා සුහදව හිතවත්කමින් ක්‍රියා කළා. දේශපාලනයෙන් හිස උදුම්මා නොගත් එවැනි දේශපාලකයින් ඇසුරු කිරීමට ලැබීම ඉතා වැදගත් දෙයක් යයි මම සිතමි.


1989 සිට හදිසියේ අභාවප්‍රාප්ත වන තුරුම ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු - ඇමතිවරයෙකු වශයෙන් ක්‍රියා කළ ප්‍රනාන්දු පුල්ලේ මහතා මට දිනක් හදිසියේම හමුවිය. ඒ 2004 වර්ෂයේ ජනවාරි 10 වැනිදාය. එවකට ජනාධිපති පදවිය දරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. ප්‍රනාන්දුපුල්ලේ මහතා වෙළෙඳ හා වානිජ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. වෙළෙඳ හා වානිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඉතා ප්‍රායෝගික වැඩ කටයුතු රැසක් එතුමා ඉටු කළේය. මට එතුමා 2004 වර්ෂයේ ජනවාරි මස හදිසියේ මුණගැසුණේ වෙළෙඳ හා වානිජ අමාත්‍යාංශය පිහිටා තිබුණු යුනියන් පෙදෙස වොක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ දී. එම ගොඩනැගිල්ලට ඇතුළුවන ස්ථානයේ දී කාර්යාලයේ සිට වෙනත් වැඩකට පිටතට යාමට පැමිණි ඔහුට මා මුණගැසුණි. “ආ කොහොමද තිස්ස?” කියා විමසූ විට මම “හොඳින් ඉන්නව” යැයි සම්ප්‍රදායික උත්තරයක් දුන්නෙමි.


“මොකද දැන් කරන්නේ?” නැවතත් එතුමා කටහඬ අවදි කළේය. 


“මේ දවස්වල නම්  නිකන් ඉන්නේ” මම කීවෙමි. 


“ඇයි මුද්‍රණ සංස්ථාවෙ සභාපතිකම දැන් නැද්ද?” කියා විමසුවේය. 


මම “නෑ” කීවෙමි.


“එහෙම නම් නිකන් ඉන්න එපා ඔයා පළපුරුදු කෙනෙක්නේ උපාධිධාරියෙක්නේ. ඒ හින්ද හෙට උදේ 10ට අමාත්‍යාංශයේ දී මා හමුවෙන්න කො” කියා කීවේය. 


මම “හොඳයි ඇමතිතුමා” කීවෙමි. 


එතුමා පිටත්ව ගියේය. පරණ හිතවතුන් දැක්කම දඩි බිඩි ගා වාහනයට නැග යාම අපේ රටේ බොහෝ මැති ඇමැතිවරුන්ගේ සිරිතයි. හේතුව කුමක් හෝ උදව්වක් ඉල්ලයි කියා බයෙනි. උදව්ව කිරීමට වඩා මගහැර යාම දේශපාලනඥයින්ගේ විශේෂ ලක්‍ෂණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

 

 


1989 - 1994 කාලයේ ජෙයරාජ් මහතා සමග තිබූ ඇසුර තරමක් අඩු වී සෑහෙන කාලයක් ගත වුවද එතුමා එදින මුණගැසුණ ගමන්ම පෙන්වූයේ ඉතාමත් බැඳියාවෙන් යුත් සුහදශීලී භාවයකි. කෙසේ වුවද “හෙට අමාත්‍යාංශයට එන්න” යයි මගෙන් කළ ඉල්ලීම ගැන ගෙදර ගොස් මා කල්පනා කළ ද සිතා ගැනීමට අපහසු වුවත් කිසියම් තනතුරක් ලබා දීමට වෙන්නට ඇතැයි මම සිතුවෙමි. කෙසේ වෙතත් මා පහුවෙනිදා උදේ 10.00ට වෙළඳ අමාත්‍යාංශයට ගියෙමි. එවිට කාමරයේ අමාත්‍යාංශ ලේකම්වරයා සතොස සභාපති පරිභෝගික සේවා අධිකාරියේ සභාපති යන පිරිස සිටියහ. මා දුටු ගමන් ජෙයරාජ් ඇමතිතුමා ලේකම්වරයාට “මෙතුමා අපේ හොඳ හිතවතෙක්. අපේ අමාත්‍යාංශයට වැඩක් ගන්න පුළුවන් කෙනෙක්. උපාධිධරයෙක්. ඒ නිසා හෙට සිට වැඩකරන්නට පුළුවන් විධියට තනතුරක් දෙන්න ඕනෑ...” කියා කීවේය. එහෙම කියල ඔහුම “අපි එහෙනම් අමාත්‍යාංශයේ උපදේශක වශයෙන් පත් කරල සතොසයි පාරිභෝගික අධිකාරියයි යන ආයතන දෙකේම සම්බන්ධීකරණ කටයුතු භාර දෙමු.” කියා පැවසීය. එපමණක් නොව ඒ දවස්වල ඇමැතිතුමා විශේෂ ව්‍යාපෘතියක් විධියට සහන මිලට පාන් හා පාන් පිටි ලබා දීමේ වැඩසටහනට සම්බන්ධ කර ගන්නැයි කියා කීවේය. එපමණක් නොව එතුමාම උපදෙස් දුන්නේ හොඳට පහසුකම් ඇති කාමරයක් - වාහනයක් හා වෙනත් පහසුකම් සියල්ල ලබා දෙන ලෙසයි. මා ඇමතිතුමාට ස්තුති කර අමාත්‍යාංශයෙන් පිටත් වුණෙමි. පසුදා අමාත්‍යාංශයට ගිය විගස පත්වීම් ලිපිය පමණක් නොව ඇමැතිතුමා කිවූ සියලු පහසුකම් ද ලැබුණි. ඒ අනුව මෙලෙස ඍජු තීන්දු තීරණ ගනිමින් මොහු කොපමණ පිරිසකට උදව් කරන්න ඇති ද කියා මම සිතුවෙමි. මා එලෙස උපදේශක ලෙස පත්වී සෑම දිනකම අමාත්‍යාංශයට ගොස් වැඩ කරන්නට වූ අතර ඇත්තටම වැඩ කටයුතු රැසක්ම කරන්නට තිබුණි.


දිනක් මා අමාත්‍යාංශයට යන විට අමාත්‍යාංශය තිබුණු මහලේ කෝරිඩෝවේ තිබුණු පුටුවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අභාවප්‍රාප්ත කොත්මලේ ආනන්ද දසනායක මහතා වාඩි ගෙන හිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දුෂ්කර කාලයක් වූ 1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් පාර්ලිමේන්තුව නියෝජනය කළ ස්වල්ප දෙනෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් එක් අයෙක් වූ ආනන්ද දසනායක මහතාත් කාගේත් සිත් දිනාගත් එවකට පාර්ලිමේන්තුවේ ඕනෑම විවාදයකට සම්බන්ධ වී ඕනෑම මාතෘකාවක් යටතේ කථා කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ක්‍රියා කළ අයෙකු බව කවුරුත් දන්නා කරුණකි. කෙසේ හෝ එතුමා මා දුටු ගමන් “කොහොමද මචං මොකද මෙහේ” කියා විමසුවේය. “මචං” කියා කථා කිරීමත් එතුමාගේ හිතවත්කමේ එක ලක්‍ෂණයක්. 


“මම ජෙයරාජ් ඇමැතිතුමාගෙ උපදේශකයෙක්. ඒනිසා මා හැමදාම අමාත්‍යාංශයට එනවා” කියා මම කිවෙමි. එවිට ගත් කටටම ආනන්ද දසනායක හිටපු මන්ත්‍රීතුමා කීවේ “මචං මමත් උපදේශකයෙක් නේ. ජෙයරාජ් මට කියල තියෙන්නෙ මේ පැත්ත පළාතෙවත් එන්න එපා කියලයි.” කියාය.


“අද මේ මාස ගණනාවකට පස්සෙ පොඩි වැඩකට ආවා” කිව් දසනායක මහතා සමග තවත් වචන කීපයක් මම කථා කළෙමි. මා මාගේ කාමරයට ගිහින් වැඩ පටන් ගත්තෙමි. හැබැයි මා අවුරුදු 1 1/2ක් විතර ඉඳල උපදේශක තනතුරින් අස්වෙනකම් වෙළෙඳ අමාත්‍යාංශයට තවත් උපදේශකවරු කී දෙනෙක් සිටියා ද කියල හරියට දැනගන්න නම් බැරි විය.