හතළිස් දහසක් රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ට රැකියා අහිමිකර තුන්ලක්ෂයකට වඩා දරු පවුල් අනාථ කළ 1980 වැඩවර්ජනය මර්දනය කිරීමේ ක්‍රියාදාමය සිදුවී මෙම වසරේ ජුලි මාසයට වසර 38 කි. 
හිරෝෂිමාවට හා නාගසාකියට බිහිසුණු න්‍යෂ්ටික බෝම්බ හෙලූ පසු පරම්පරා ගණනක් එහි විෂ දුමාරය නිසා ආබාධිතවූ අතර පාරිසරිකව දැඩි හානියක් සිදුවූ අයුරින්ම 80 වර්ජනය මර්දනය කිරීම නිසා අනාථ අසරණ වූ දිවිනසාගත් මෙන්ම දිවි අහිමිවූවන්ද දැනුදු වේදනා විඳින්නෝද දුලබ නොවෙති.


1970 දී බලයටපත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණ මගින් විදේශ ආනයන භාණ්ඩ සීමා කිරීමේ දැඩි තීරණය ගනු ලැබිණි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම එහි මුඛ්‍ය අරමුණ වුවද එතුළින් ඇතිවූ විපර්යාසය දරාගැනීමට ජනතාව අසමත් විය. එබැවින් මහත් බලාපොරොත්තු මත පත්කරගනු ලැබූ ආණ්ඩුව පෙරළා දමා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට ඔවුහු උත්සුකවූහ.
එහෙත් එසේ බලයට පැමිණී එජාප රජය රටේ ආර්ථික ප්‍රතිපත්තිය උඩුයටිකුරු කළේ විවෘත ආර්ථික ක්‍රමය රටට ගෙන එමිනි. මුදල් අතේ ඇතත් භාණ්ඩ හිඟයෙන් පෙළුණු ජනතාව භාණ්ඩ ඇතත් මුදල් නැති තත්ත්වයට ඇද වැටුණේ එනිසාය. වෙළෙඳපොළේ දිනෙන් දින වැඩිවන බඩු මිලට සරිලනසේ ජීවන වියදම පියවා ගැනීමට ඔවුන්ගේ වැටුප ප්‍රමාණවත් නොවිණ.


දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යාමත් ඊට ඔරොත්තු දෙන ලෙස වැටුප් හා දීමනා නොලැබීමත් නිසා අසහනයට පත් සේවකයන් දිනකට රුපියල් 10ක වැටුප් වර්ධනයක් හෙවත් මාසිකව රු. 300ක වැටුප් වර්ධකයක් මෙන්ම වැඩිවන ජීවන වියදම් දර්ශකයට රු. 500 බැගින් දීමනාවක් ගෙවන ලෙස ද හාම්පුතුන්ට බලකළහ.


හයෙන් පහක බලයක් ලබා උද්දාමයටපත් වූ රාජ්‍ය පාලකයෝ මෙන්ම ඔවුන්ට අනුග්‍රහ දැක්වූ පෞද්ගලික අංශයේ හාම්පුත්තු එම ආයාචනා කෙරෙහි කිසිදු තැකීමක් නොකළහ. ඒ වෙනුවට රාජ්‍ය සේවක නිවාඩු දින ගණන අඩු කිරීමටත් වෘත්තීය සමිති කටයුතු සඳහා වැයකරන කාලය අඩු කිරීමටත් කටයුතු කළහ.


වෘත්තීය සමිතිවල දැඩි විරෝධය නිසා එම පියවරයන් තාවකාලිකව හමාරවූ නමුදු විපක්ෂයේ දේශපාලන හා වෘත්තීය සමිති ව්‍යාපාර මර්දනය දිගටම සිදු කෙරිණි.


කම්කරු නැගිටීම් මර්දනය කිරීම පිළිබඳ කුරිරු ඉතිහාසයක් තිබූ පාලකයන්ගේ මුල්ම ගොදුර වූයේ 1940දී පැවැති කම්කරු වර්ජනයේදී ජනවාරි 10 වැනිදා ඝාතනය කෙරුණු ගෝවින්දන්ය. 1953 හර්තාලයේදීද කම්කරුවන් පිරිසකට දිවි අහිමිවිය. මෙසේ කම්කරුවන් 9 දෙනෙකුගේ ජීවිත කම්කරු අරගල තුළින් බිලිගෙන තිබිණ.


මේ ගැන විධායක බලතල ඇති ජනපති ජේ. ආර්. ජයවර්ධන රජයට කොතෙකුත් කරුණු පෙන්වා දුන්නද එම ප්‍රතිපත්තිවල වෙනසක් සිදුනොවූ බැවින් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරි කමිටුව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නියෝජිත සමුළුවක් කැඳවීය. 1980 මාර්තු 8 - 9 දිනවල පැවැති මෙම සමුළුවේ ඒකමතික ඉල්ලීම වූයේ දිනකට රුපියල් දහයකින් වත් පඩි වැඩිකරන ලෙසය.


අසීමිත බලයක් තිබූ රජය ඒ ගැන සලකා බැලීමට කල්මරනු දුටු වෘත්තීය සමිති ක්‍රියාකාරිහු ජුනි මස 05 දින ඊට විරෝධයපාමින් වරුවක වැඩ වර්ජනයක් දියත් කළහ. එහෙත් රජයේ දඩබ්බර තීරණ වෙනස් නොවූ අතර වර්ජකයන් ද්‍රෝහින් ලෙස සැලකූහ.


වෙනෙකක් තබා සමස්ත කම්කරු සමිති ඒකරාශි වූ මෙම වෘත්තීය සමිති තීරණයට පිටුපැවේ එජාප ආණුඩුවට පක්ෂපාත වූ ජාතික සේවක සංගමය පමණි.


රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව අසල උද්ඝෝෂණයේ නියැළුණු සේවක පිරිසකට කොම්පක්‍ද්ක්‍දවීදිය දෙසින් ජීප් රථයකින් පැමිණි යකඩ පොලු, බයිසිකල් චේන්, හා ගිනිඅවි රැගත් මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කෙරිණ. සීසිකඩ දිවගිය වර්ජකයනට හා සාමාන්‍ය ජනතාවට මෙම තිරස්චිත පහරදීම හමුවේ ගැලවීමක් නොවිණ.


මහපාර ලෙයින් තෙත්වූ අතර බොහෝ පිරිසක් තුවාල ලැබූහ. කොම්පක්‍ද්ක්‍දවීදියේ පේළි නිවාසයක දිවිගෙවූ ඩී. සෝමපාල නැමැති හත්දරු පියාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිණ.


සෝමපාල සහෝදරයාගේ අවමඟුලට සහභාගීවීම සඳහා ජුනි මස 09 වැනිදා කලින්ම නිවාඩු දැමූ සහෝදර සේවකයෝ එහි පැමිණියහ. එසේ පැමිණි රත්මලාන දුම්රිය වැඩබිමේ කම්කරුවන් 12 දෙනෙකුගෙන් වැඩ තහනම් කෙරිණි. පාලකයන් සමඟ දුම්රිය සංගම් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් එයද අසාර්ථකවිය. 


1980 ජුනි 05 වැනිදා කෑම පැයේදී උද්ඝෝෂණයේ යෙදෙමින් සිටි සේවකයන්ට කළ ම්ලේච්ඡ පහරදීම පිටුපස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුද සිටින බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්වූ නමුත් ඊට ප්‍රතිචාරයක් රජයෙන් හෝ නීතියෙන් සිදුනොවිණ. සැපයුම් දෙපාර්තමේන්තුවේ පොදු සේවක වෘත්තීය සමිති සාමාජිකයෙකුවූ දෙද්දුවගේ සෝමපාල වෙත එල්ලවූ ප්‍රහාරවලින් ඔහු මරණයට පත්වූ අතර හෘද වස්තුව හා පෙණහැල්ල තැලීම, ඉළ ඇට කැඩී බිඳීයාම මරණයට හේතුව බව හෙළිවිය.


මේ බව අධිකරණ වෛද්‍ය නිලධාරිනි බී. එම්. කාරියවසම් හා මහාචාර්ය එච්. ජේ. ප්‍රනාන්දු සිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරති. සෝමපාල සහෝදරයාගේ පවුලේ අය වෙනුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැවැන්තයෙකුවූ බාලතම්පෝ, මංගල මුණසිංහ සහ පීටර් ජයසේකර යන අය පෙනී සිටියහ. 


මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළ අතර ඊට සහකාර පොලිස් අධිකාරිව සිටි සී. පී. ජයසූරිය විරෝධය පළකළ බව වාර්තාවේ.


මියගිය සෝමපාල සහෝදරයාගේ නිවස මරණය තබාගැනීමටත් අපහසු කුඩා ස්ථානයක්වූ බැවින් දේහය තැන්පත් කෙරුණේ වෙනත් නිවසකය. පසුව අවසන් ගෞරවය සඳහා කම්කරුවන්ගේ කරපිටින් දේහය කොටුවේ පොදු සේවක වෘත්තීය සංගම් මූලස්ථානයට රැගෙන එන ලදී.


හාම්පුතුන්ගේ තර්ජන ගර්ජන නොකතා සේවකයෝ දහදහස් ගණනක් එදා බොරැල්ල කනත්තට එක්රොක්වූහ. මග දෙපස රැස්වූ ලක්ෂයකට ආසන්න ජනතාවෝ කනත්තට ප්‍රවේශවීමට මහත් උත්සාහයක් දැරූහ.
කොටුව ඒකාබද්ධ මහේස්ත්‍රාත් සරත් ගුණතිලක ඉදිරියේ විභාගවූ පරීක්ෂණයේදී දුන් විවෘත තීන්දුවේ සඳහන් වූයේ ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මරණය සිදුව ඇති බවයි.


මෙම අපරාධයට විරෝධය දක්වමින්ද දෛනික වැටුප් වර්ධක ඉල්ලීමක් කරමින් ජනපති ජේ. ආර් වෙත ලිපියක් යොමුකළ වෘත්තීය සමිති ජුලි 14 දිනට පෙර විසඳුම් නොලදහොත් ජුලි 18 දින දීපව්‍යාප්ත මහ වැඩවර්ජනයක් ආරම්භ කරන බවට රජයට අනතුරු ඇඟවූහ. හයෙන් පහක මහා බලයක් අතැතිව සන්නද්ධ අංශයේ ප්‍රධානියා මෙන්ම විධායක බලතල ඇතිව සිටි ජේ. ආර්. නම්මා ගැනීමට එම ඉල්ලීම ප්‍රමාණවත් නොවීය.


වැඩකරන ජනතාව තමන්ට පක්ෂපාතී නොවන බව දුටු රජය හදිසි නීතිය පනවා සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බව නම්කර සේවයට නොපැමිණෙන අය සේවය අත්හැර ගියවුන් සේ සලකන බව රජය දැන්විය. සේවකයන් දැනුම්වත් කිරීමට හයිඞ් පිටියේ සංවිධානය කළ රැස්වීමක්ද සපුරා තහනම් කෙරිණ.


එහෙත් තමන් බලයට පත්කරගත් ආණ්ඩුව තමන්ට වැඩක් නොකරන බව හැඟුණ බැවින්ද මෙතෙක් එක් නොවුණ මහා ජනරැල්ලක් වර්ජනය වටා ඒකරාශිවී ඇති බැවින් ද ධෛර්ය සම්පන්න වූ සේවකයෝ දිගටම වැඩ වැරූහ. එහෙත් එය සිහිනයක්ම විය.


ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනෙට්ටුව සියලු වර්ජකයන් රැකියා අහිමිවූවන් බවත් යළි පැමිණීම අනවශ්‍ය බවත් දැන්විය. ඒ අනුව හතළිස් දහසකගේ රැකියා අහිමිවූ අතර දෙසතියකට පසු නව සේවකයන් බඳවා ගැනිණ. වර්ජනයට සහය නොදුන් සේවකයන්ට වැටුප් වර්ධකදී ඊට එක්වූ වෘත්තීය සමිති මූලස්ථානවලට සීල් තබනු ලැබිණ.


නීතිවේදීන් පෙන්වා දුන්නේ මෙය 1935 වෘත්තීය සමිති අඥාපනත අනුව ලියාපදිංචි වෘත්තීය සමිතිවල අයිතීන් පැහැර ගැනීමක් වන අතර 1951 කම්කරු ආරවුල් පනත යටතේද එසේ ක්‍රියාකළ නොහැකි බවය. එපමණක් නොව 1978 ව්‍යවස්ථාවට අනුවද එසේ කිරීම වැරදිය. කෙසේ වෙතත් රජයේ දරදඬුකමට ඒ සියල්ල යටපත් විය. අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 1980 ජුලි මස 16 වැනිදා දහවල් 12 සිට රටපුරා හදිසි නීතිය පැනවිණ. ඊළඟට දුම්රිය, ලංගම, තැපැල්, වරාය, අධ්‍යාපන, ආරෝග්‍යශාලා සේවා අත්‍යවශ්‍ය සේවා වූ අතර තෙල් බෙදාහැරීමද ඊට ඇතුළත්විය. ජුලි 18 වැනිදා ප්‍රවෘත්ති පාලනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ව සිටි ආචාර්ය සරත් අමුණුගම ප්‍රවෘත්ති බලවරයා ලෙස පත්කරමිණි.


විපක්ෂයේ ප්‍රබල පුවත්පත් වූ ඇත්ත, සිරිලක සහ ජනදින යන පත්‍ර තුනට මෙම නීතිය තදින් බලපෑවේය. ‘බලවරයා විසින් කපන ලදී’ යනුවෙන් හිස්තැන් තබා පළවූ උණුසුම් පුවත්පත පුරාම පළවිය. එහෙත් ඇත්ත පත්‍රය පුවත් තහනම පළ කළේ ‘බල්ල කෑවා’ යන විකල්ප වැකියක් යොදමිනි.


පාර්ලිමේන්තු වාදවිවාද වලදී මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ පළකිරීමට පෙර ප්‍රවෘත්ති පාලන කමිටුවට යොමුකළ යුතුවිය. මෙතරම් ප්‍රවෘත්ති මර්දනය කළද ආණ්ඩුවේ නිවේදන නොතකා පිළිවෙළින් ජුලි 15 වැනිදා සෞඛ්‍ය අංශයද ජුලි 17 වැනිදා රජයේ හා පළාත් ලිපිකරුවෝද ජුලි 20 වැනිදා ගුරුවරුද වැඩ වර්ජනයට එක්වූහ. 


බාලාතම්පෝගේ වෙළඳ සේවක සංගමය මෙම වර්ජනයට එක්නොවූ අතර ජවිපෙද නිලවශයෙන් ඊට එක් නොවීය. කෙසේ වෙතත් ආණ්ඩුවේ පරිපාලනය මෙන්ම රටේ දෛනික කටයුතු අඩපණ කිරීමට 80 වර්ජනයට හැකිවිය.


ජුලි 23 වැනිදාට පෙර යළි සේවයට පැමිණෙන ලෙසට රජය දුන් සහනය තුට්ටුවකටවත් මායිම් නොකළ වර්ජකයෝ විවිධ රෝගාබාධ හා වසංගත බෝවී ඇතිබවට වෛද්‍ය නිවාඩු ඉල්ලා ලිපි යැවූහ.


මේ අනුව අගමැති ආර්. ප්‍රේමදාස රජයේ මුල් නිවේදනය බලාත්මක කරමින් වර්ජකයන් 40,356 දෙනෙකු සේවය අතහැර ගියාසේ සලකන බව ප්‍රකාශ කළ අතර එම පුරප්පාඩු එජාප මන්ත්‍රීන්ගේ ආසන මට්ටමින් ගත් රැකියා නොමැති සියදෙනෙකු බැගින් ඇතුළත් වනසේ 40,356 බඳවා ගෙන පුරවන ලදී.


ඒ වනවිට රැකියා බැංකුවේ ලියාපදිංචි වී සිටි 8421 දෙනෙකුට රජයේ හා සංස්ථා මට්ටමින් රැකියා ලබාදෙන ලදී. මෙම තීරණයට එරෙහිව යළි රැකියා ඉල්ලමින් දස දහසකට අධික ජනකායක් 1980 අගෝස්තු 08 වැනිදා උදේ කොටුව දුම්රිය ස්ථානයට රැස්වූහ. එහි පැවැත්වූ සත්‍යග්‍රහයට පසුව ජනාධිපති මන්දිරය වෙත පෙළපාළියක් ගමන් ගත්හ. එහෙත් ඔවුන්ට යාහැකිවූයේ තැපැල්හල අසලට පමණි. සුපුරුදු පරිදි බැටන් ප්‍රහාරයක් ඔවුන්ට එල්ලවූ අතර වෘත්තීය සමිති නායකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. 


ඔවුන් අතර අලෙවි මවුලානා, වාසුදේව නානායක්කාර, ගුණසේන මහානාම, ඩී. අයි. ජී. ධර්මසේකර හා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නද වූහ. 1980 අගෝස්තු 15 වැනිදා හදිසිනීතිය ඉවත් කිරීමට රජය තීරණය කළේ ජයග්‍රාහි මානසිකත්වයකිනි. එහෙත් ඒ වනවිට ජීවත්වීමට සොච්චම් වැටුප් වර්ධනයක් ඉල්ලා සිටි මෙරට වැඩකරන ජනතාවගෙන් විශාල පිරිසක් මරණයත්, දරිද්‍රතාවත්, මානසික හා කායික ආබාධිත්ත්වයත් වැලඳගෙන අගාධයට වැටී සිටියහ.


එතැන් පටන් පත්වන සැම ආණ්ඩුවකටම තම දුක් අඳෝනා කියමින්, ඡන්දය දිනන්නට උදව් උපකාර කරමින් අසූවේ වර්ජකයෝ පොරොන්දු දේශපාලනයේ වහලුන් බවට පත්වූහ. වාමාංශික හැගීම් ඇති නායකයන් යටතේ ඔවුන්ගේ පිරිසකට රැකියා සහනාධාර සැලසුණු අතර පී. අමරදිවාකරයන්ගේ නායකත්වයෙන් බිහිවුණු ජුලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය මගින් ඉටුකළ සුවිශේෂී කාර්යභාර්ය යළි සිහිපත් කරනු වටී.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ඔසී අබේගුණසේකර මන්ත්‍රී වාසුදේව නානායක්කාර වැනි මානව හිතවාදින්ගෙන් ලත් අනුග්‍රහශීලී රැකවරණයද අගය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ හා පළාත් පාලන මට්ටමේ ජූලි වර්ජකයන්ට 1989දී පාරිතෝෂිකයත් සමඟ විශ්‍රාම වැටුපක් හිමිවිය. ඔවුන්ට දිවි ඇතිතුරා රුපියල් 5000ක දීමනාවක් ලබාදෙනු ලැබූ අතර වැන්දඹු භාර්යාවන්ටද එම සහනය ලබාදීමට යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කෙරිණි.


අද දේශපාලනඥයන් සමඟ මැයි දිනය සමරන කම්කරු ජනතාව 1980 දී දේශපාලනයෙන් බැහැරව ජාතික බලවේගයක් ලෙස නැගී සිටිය හැකි බව සනාථකළ ඓතිහාසික සිද්ධියක් ලෙස 80 මහ වැඩවර්ජනය නම්කළ හැකිය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි