1959 සැප්තැම්බර් 26 වැනිදා අගමැති බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංගමය වෙත යාමට සැරසී සිටියදී සාහසිකයකුගේ වෙඩි පහරින් මරණය වැළඳ ගනී. අපේ රටේ දේශපාලන පෙරළි රැසකට මුලපිරීමට එම ශෝචනීය සිදුවීම මූලික විය.

 


බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සභානායක වූ විජයානන්ද දහනායක මැතිතුමා අගමැති ධුරයට පත් වූ අතර ඔහුට එම කැබිනට් මණ්ඩලය හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් අසාර්ථක ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට එළඹිණි. එය 1960 මාර්තු මාසයේ වූ අතර අගමැති දහනායක මැතිවරණයට තරග කළේ තමා විසින් පිහිටුවා ගත් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. ඔහුට තම මන්ත්‍රී ධුරයවත් රැකගැනීමට නොහැකි විය. එම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් හිමි නොවීය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඩඞ්ලි සේනානායක මැතිතුමා අගමැති ධුරය භාර ගත්තද පැවති විරෝධතා හමුවේ ඔහු අගමැති ධුරයෙන් ඉවත් වී නව මැතිවරණයකට මාවත විවර කරන ලදී. එය 1960 ජූලි 20 පැවති මැතිවරණයයි.


ශ්‍රී ලාංකේය දේශපාලන අම්බරයේ දිදුලන වැදගත් සිදුවීම් රැසකට තිඹිරිගෙය වූ ජූලි මාසය මෙයට වසර 58කට පෙර තැබූ ලෝක වාර්තාවක් වන්නේ ලෝකයේ ප්‍රථම වරට ගැහැනියක් විසින් තම ශක්තිය යොදවා දෙකඩ වීමට ආසන්න වූ පක්ෂයකට ජීවය පිඹ එම පක්ෂයේ සියලු බර තම දෙවුර මත රඳවාගෙන මහ මැතිවරණයකින් ජයගෙන ස්ථාවර නව රජයක් පිහිට වූ සිදුවීමයි. 


එනම් ලෝකයේ ප්‍රථම අගමැතිවරිය ලෙස සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය තැබූ ලෝක වාර්තාවයි. ලෝකයේ ප්‍රබල කාන්තා චරිත විවිධ අවස්ථාවලදී විවිධ ක්ෂේත්‍රවලින් ඉස්මතු වුවද මුළු ලෝකයේ සියලු දෙනාගේම දෑස් මවිතයට පත් කරවමින් තොටිල්ල පැදවූ දෑතට රටක් බාර විය. 1960.07.20 පැවති මැතිවරණයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික කඳවුර වූ ලංකා සම සමාජ පක්ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්ෂයත් අතර ඇති වූ නිතරග ගිවිසුම නිසා පැවති මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 75 ඔවුන් දිනා ගන්නා විට එක්සත් ජාතික පක්ෂයට ආසන 30 කින් සෑහීමට පත්වීමට සිදුවිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂය මැතිවරණ ජයග්‍රහණ කරා මෙහෙය වුවද ඇය එකම අසුනක් සඳහාවත් තරග කළේ නැත. මෙම මැතිවරණ ප්‍රතිඵල අනුව ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර මාස තුනක් ඉකුත් වීමට ප්‍රථම ඇයට සෙනෙට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වීමට සිදුවිය. ඒ අනුව ඇය 1960.08.05 වැනි දින සෙනෙට් මන්ත්‍රී ධුරයට පත්විය. 


ඇයගේ ප්‍රථම කැබිනට් මණ්ඩලය 12 දෙනෙකුගෙන් සමන්විත විය. අභිනව ලෝක ඉතිහාසයට අලුත් වචනයක් එක්විය.“අගමැතිනිය” එම වදනයි. ඇය එම වදනට යථාර්ථය සැපයුවාය. 


ඇය ඉතා කෙටි කලකින් සිය ධුරයේ පරිණත භාවය අගමැති තනතුරට එක්කොට තනතුර බැබළවීමට තරම් ශක්තිමත් වූවාය. 1960 හා 70 දශකයේ දෙවරක් අගමැති ධුරයට පත් වූ ඇය ලෝක නායකයින් හා යමින්  ඊට නොදෙවැනි කාර්යභාරයක් ඉටුකළාය. ඉන් 1976 ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධුරයට පත් වෙමින් තම ශක්තිය ලෝකයේ අනෙකුත් නායකයින්ට පෙන්වීමට සමත්වූවාය. වතුකරයේ විසූ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවගේ පුරවැසිභාවය පිළිබඳ අත්සන් තැබූ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම සඳහා 1964.10.30 පැවති සාකච්ඡාවත් 1974.06.23 කච්චතිව් දූපත අරබයා සිදුවීමට ගිය දෙරටක් අතර යුද්ධය වෙනුවට සාමයට පෑ හස්තය ඇගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා දැක්විය හැකි කදිම නිදසුනකි.

 

 

1970 සමගි පෙරමුණු රජය අවස්ථාවේ රන්පවුම් වතු පවරා ගැනීම යටතේ තම පරම්පරාවෙන් දායාද වූ අක්කර 9000 ක පමණ ඉඩම අක්කර 50 දක්වා අඩු කරගෙන රටට දුන් ආදර්ශය එදාට වඩා ප්‍රායෝගික වන්නේ අදටයි. අද දේශපාලනඥයින්ට කදිම නිදසුනකි. ඇය දේශපාලනයේ යෙදී සිදු කළේ තමන්ට පරම්පරාවෙන් හිමිව තිබූ දේපළ අහිමි කර ගැනීමකි. අද දක්නට ඇත්තේ එහි අනෙක් පැත්තයි. 1963 වසරේදී සිරිමාවෝ අගමැතිනිය ගත් වැදගත් තීන්දුවක් වන්නේ විදේශිකයන් සතු තෙල් සමාගම් රජය සතු කිරීම සඳහා නීති සම්මත කිරීමයි. ඒ අනුව මෙරට සියලුම තෙල් බෙදා හැරීමේ කාර්ය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරන ලදී. 1962 ජනවාරි 27 වැනි දින ඇයගේ රජය පෙරළා දමන්නට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් වුවද ඇය එය සාර්ථකව මැඩපැවැත්වූවාය. එම කුමන්ත්‍රණය නිසා රජය තවත් ස්ථාවර විය. 


දෙවැනි වරට ඇය 1970.05.29 දින අගමැති ධුරයට පත් වූ අතර 1971 අප්‍රේල් තරුණ කැරැල්ල ඇයගේ රජය දෙදරුමකට ලක් කළද ඇය එම කැරැල්ල සාර්ථකව මැඩපවත්වා රටට අලුත් ව්‍යවස්ථාවක් 1972.05.22 හඳුන්වා දී රට ජනරජයක් බවට පත් කළාය. 1948 පෙබරවාරි මස 04 වැනි දින අපට ලබාදී තිබූ ඊනියා නිදහස වෙනුවට 1972.05.22 සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස උදාවිය. 


අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට ශ්‍රී ලාංකේය ජනාධිපතිවරයෙක් පත්වීම. එතෙක් අධිකරණයට හිමිව නොතිබුණු අවසාන අධිකරණ බලය ශේෂ්ඨාධිකරණයට පවරා දීම. බි්‍රතාන්‍ය රජුගේ ඔටුන්න ලෙසට තිබූ රාජ්‍ය ලාංඡනය වෙනුවට අලුතින් රාජ්‍ය ලාංඡනයක් නිර්මාණය වීම. මේ ආදී 1948 අපට ලැබුණු ඩොමීනියන් තත්ත්වය වෙනුවට පූර්ණ නිදහස් රටක් හෙවත් ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්වී විදේශ වහල් බැමිවලින් නිදහස ලබා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ද සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණියටයි.


ඇයගේ 2 වැනි ධුර කාලය තුළ සිදුවූ යම් යම් අඩුපාඩු හා දුර්වලතා නිසාත් දැඩි වාමාංශික අදහස් දැරූ කණ්ඩායම්වල බලපෑම් නිසාත් 1977 මහා මැතිවරණයේදී ඇගේ පක්ෂය අන්ත පරාජයකට පත්විය. මන්ත්‍රී ආසන 08 කින් සෑහීමට පත්වීමට ඇයට සිදුවිය. ඉන්පසු බලයට පත්වූ එජාප රජය “ඇගේ නිලකාලය තුළදී අයුතු ලෙස තම බලය පාවිච්චි කළා” යන චෝදනාව යටතේ ජනාධිපති කොමිසමක් පත්කර වසර 07 ක් ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. 


නැවත සක්‍රීය දේශපාලනයට ඈ පිවිසෙන්නේ 1986.01.01 සිටයි. තෙවැනි වරට 1994.11.04 වැනි දින තම දියණිය ජනාධිපතිනිය වූ රටේ අගමැති ලෙස දිවුරුම් දීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. මේ මහා වීර මාතාව 2000.10.10 වැනි දින දැයක් හඬවා සියලු රටවැසියන්ගේ වීර මාතාව ලෙස ජීවන ගමනින් බැස ගියාය. ඇයගේ අයෝමය පෞරුෂය තවත් සියවස් ගණනාවකටම අමතක නොවන තරමට ම ජන හදවත් තුළ සදා ජීවමානව පවතී.

 

 

 

 

 

උපාලි උඩුගමසූරිය