1987-1989 වකවානුවේ අපට අහිමි වූයේ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් පමණක් නොවේ. මේ රටේ අනාගත අභිවෘද්ධිය සලසන්නට සිටි බුද්ධිමත්හු මාධ්‍යවේදීහු සිවිල් සේවකයෝ විශ්වවිද්‍යාල සිසු දරු දැරියෝ ජවසම්පන්න තරුණ ක්‍රියාශීලීහු හා කලාකරුවෝ රැසක් ද අකාලයේ දිවියෙන් සමුගත්හ.


එක අතකින් ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සිවිල් යුද්ධය කෙරෙමින් තිබිණ. තවත් අතකින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ බළකාය ඔවුන්ට ද්‍රෝහිවූවන්ට හා හමුදාව සමඟ සටනක නිරතව සිටියහ.
මේ අතර අන්තගාමී කණ්ඩායම් හා රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් තමන්ගේ පෞද්ගලික වෛර පවා පිරිමසා ගනිමින් දේශපාලන ක්‍රියාවලියක යෙදී සිටියහ. මෙම තුන් බියෙන් පෙළුණ සාමාන්‍ය ජනතාව තම දරු පවුල්වල ජීවිත සහ දේපොළ අහිමි කර ගනිමින් වධකාගාරවල මංමාවත්වල දහසක් වේදනා විඳිමින් මියැදුණෝය. අතුරුදන් වූවෝය. ආබාධිත වූවෝය.


71, 87, 89 යුගවල රැවුල වැවීම ද වරදකි. ගම්පෙරළිය පොත කියවීම ද වරදකි. රංචු ගැසී කතා කිරීම ඊටත් වඩා වරදකි. විශ්වවිද්‍යාල සිසුවකු වීම අති භයානක වරදකි. රජයට වදනකින් හෝ විපක්ෂ වීම මාරාන්තික විය.
ජන මාධ්‍ය පවා භීෂණයේ අත්දැකීම් මැද තුෂ්ණිම්භූතවී සිටියේය. පුවත්පතකට ලිපියක් හෝ කවි පෙළක් ලිවීම පසුපස ආණ්ඩු පෙරළියට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියකු ඇතැයි පාලකයෝ සැක කළහ. ගීතයක පදවැලක අන්තර්ගතය ගැන සොයා ඒවා තහනම් කිරීමට ද මෙම ඊනියා පාලකයෝ උනන්දු වූහ. 1971 අප්‍රේල් කැරලි සමයේ ද මෙසේ විය.


ඒ අනුව ලතාවල්පොල ගැයූ ‘රැජින මමයි අපේ රාජ්ජේ’ නන්දා මාලනිය ගැයූ “මේ සිංහල අපගෙ රටයි” “කුරුල්ලනේ වරෙල්ලා - කොබෙයියනේ වරෙල්ලා” වැනි පරිසර වර්ණිත ගීත සමුචියක් එදා ගුවන් විදුලියේ තහනම් විය. එම ගීත  සෞන්දර්ය රසයෙන් අනූන වූ ඒවා වුවද රජයේ නිලධාරින්ගේ මතය වූයේ කැරැල්ලට සම්බන්ධ වූවන්ට එක් රැස් වන ලෙස ව්‍යංගයෙන් පැවසෙන ගීත බැවින් ඒවා තහනම් කළ යුතු බවය.
මෙම ගීත ප්‍රචාරය කළ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයන්ගේ ද වැඩ තහනම් විය. දිවංගත ප්‍රවීණ ලේඛකයකු වූ කරුණාසේන ජයලත්ගේ රස්සාවට ද කණකොකා හැඬුවේ ‘කුරුල්ලනේ වරෙල්ලා’ වැනි ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය වූ යුගයේය.


77 - 90 යුගයේ දී නන්දා මාලනිය, ගුණදාස කපුගේ, ප්‍රේමසිරි කේමදාසයන් පමණක් නොව අමරදේවයන් දෙස ද එදා දේශපාලන ප්‍රතිගාමීන් බැලුවේ වපර ඇසිනි. විජය කුමාරතුංගගේ හඬ පමණක් නොව රුව ද තහනම් විය. ඔහුට ද රාජද්‍රෝහි චෝදනා එල්ල විය.


87 - 89 යුගයේ වේදිකා නාට්‍ය කලාවට ද තහංචි වැටුණු වාර අනන්තය. “ඇට සහ නාකි” යන වදන් තිබූ පළියට වත්තල ප්‍රදේශයේ නාට්‍යකරුවකුගේ ‘පන්දම’ නාට්‍යය තහනමට ලක්විය. ‘මේ කවුද මොනවද කරන්නේ’ යන නාට්‍ය ලියූ රිචඞ් සොයිසා මෙන්ම එය නිෂ්පාදනය කළ ලක්‍ෂ්මන් පෙරේරා ද අද ජීවතුන් අතර නොමැත. එක්තරා නාට්‍යයක පෝස්ටරයේ වූ කපටි දේශපාලනඥයාගේ මුහුණ ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ රුවට සමාන යැයි තහනම් කෙරිණි. රැඟුම් පාලක මණ්ඩලයේ දේශපාලනය හොල්මන් කළේය.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව කලාකරුවන් ඒකරාශිවී දැවැන්ත පෙත්සමකට අත්සන් කළේ ඇයට නිදහස දෙන ලෙස රජයෙන් අයැදිමිනි. එම වෑයම ව්‍යර්ථ වූ අතර ඊට අත්සන් කළ ප්‍රවීණ ශිල්පීන්ගේ නිර්මාණවලට පවා තහංචි පැනවිණ. අමරදේව, කේමදාස, ටී. එම්., කපුගේ සහ නන්දා ද ඒ අතර වූහ. 


87 - 89 යුගයේ ප්‍රශ්න කිරීමට යැයි පැහැරගෙන අතුරුදන් කළ මාධ්‍යවේදීන් හා කලාකරුවන් ගණන විශාල ය. ඔවුන් සමහරකුගේ වෙඩි වැදීමෙන් හා කපාකොටා දැමීමෙන් හා පහරදීමෙන් ආප්‍රාණික වූ සිරුරු හමු වූ අතර ඇතැමකු මේ දක්වාම කිසිදු ආරංචියක් නොමැත. මේ අය මෙවැනි ඉරණමකට ලක්වූයේ අවි අතට ගැනීමෙන් නොව තම බුද්ධිය හා කුසලතාව වෙහෙසවමින් කාලීන නිර්මාණවලට දායක වීමෙනි.


රජයට පක්‍ෂපාත ප්‍රවෘත්ති කියන්න එපා. විශේෂාංග කරන්න එපා. ගීත ගයන්න එපා. නිර්නාමික දුරකථන ඇමැතුම්, කුඩා කොළ කැබලි හා නිවේදන ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයන් වෙත ගලා එන්නට විය. එබැවින් රටේ සිදුවන සැබෑ ප්‍රවෘත්ති හා සිදුවීම් ගැන දැන ගැනීමේ ප්‍රජාතන්ත්‍රික නිදහස ජනතාවට නොලැබිණ.


“අනේ සර් මට තර්ජන එනවා. දරු පවුලත් විනාශ කරනවා කියනවා. මට මොකුත් වුණොත් උන් අනාථ වෙනවා” යැයි හාම්පුතුන්ට කියා නොඑන්නට ගෙදර යන ශිල්පීන්, වෘත්තීය සමිති නිලධාරීන් ඇතුළු සිවිල් සේවකයන්ගේ ගණන ද වැඩි විය.


මෙම තර්ජන ගර්ජන එන්නේ කුමන පාර්ශවයෙන් දැයි කිසිවකු නොදැන සිටීම වඩාත් ව්‍යාකූල තත්ත්වයක් විය. ඒ වනවිට ජවිපෙට එරෙහිව හමුදාවත් හමුදාවට එරෙහි කුරිරු එල්.ටී.ටී.ඊ.යත් යුද වදිමින් සිටි බැවිනි.
කෙසේ හෝ වේවා මෙම වාතාවරණය තුළ දිවා රෑ නාඳුනන තුවක්කුකරුවන් ගෙන් ඝාතනය වූ මාධ්‍යවේදීන්ගේ ගණන වැඩි විය. නඩරාජා අතුපාරාජා, ප්‍රේමකීර්ති ද අල්විස්, රිචඞ් ද සොයිසා, තේවිස් ගුරුගේ, බාලදරාජා අයියර්, අයියතුරෙයි නඬේසන්, මිල්වගනාන් නිමලාජන්, කේ. එස්. රාජා, තාරකි සිවරාම්, රංගනි සෙල්වරාජා,  ෂන්මුගලිංගම්, එස්. සිවා මහා රාජා, සුබ්‍රමනියම් සුගිර්භාරජන්, රාජනි තිරණාගම, සාගරිකා ගෝමස්, ලසන්ත වික්‍රමතුංග යනාදීහු ද ඒ අතර වූහ.


සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් නපුරු ඉරණමකට ලක්වූ ප්‍රවීණ මාධ්‍යකරුවෙකි. ඔහු දහසකුත් එකක් තහංචි මැද්දෙන් උපක්‍රමශීලිව ජනතාවට නිවැරදි සංනිවේදනයන් දීමට ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය තුළින් වෑයම් කළේය. ගුවන්විදුලි නිවේදකයකු, වැඩසටහන් නිෂ්පාදකයකු හා ප්‍රවීණ ගීත රචකයකු යන භූමිකා ඔහු නිරූපණය කළේය.


1947 ජුනි 03 වැනිදා මරදානේ දුම්රිය සේවකයකු වූ සයිමන් ද සිල්වාගේ දෙවන පුත්‍රයා ලෙස උපත ලබා විශිෂ්ට කුසලතා ඥානය නිසාම කැපී පෙනුණු ප්‍රේමකීර්ති කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ මාලිගාකන්ද මහා විද්‍යාලයේ ද ආදි සිසුවෙකි. ගුවන් විදුලි ගායකයකු වීමේ නොමද ආශාවෙන් පෙළුන ඔහුගේ කථන කුසලතාව තේරුම්ගත් කැරණාරත්න අබේසේකර ළමා පිටියට බඳවා ගත්තේය.

 

1966 දවස පුවත්පත් සමූහයේ විසිතුර සඟරාවට එක්වූ ප්‍රේමකීර්ති 1971 දෙසැම්බර් මස 17 වැනිදා නිදහස් රේඛීය නිවේදකයකු ලෙස රේඩියෝ සිලෝන් වෙතට එක්විය. ස්ථිර නිවේදකයකු වී 1974 දී දෙවන ශ්‍රේණියේ නිවේදකයකු වූ ප්‍රේමකීර්ති සොඳුරු සෙවණ, සැරිසර පුවත්, ශනිදා සාදය වැනි ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කළේය. පූරකයන් අතර ඔහු විශිෂ්ටයෙක්ම විය.


අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනියට පිවිසි ප්‍රේමකීර්ති “ආයුබෝවන්” වැනි අති ජනප්‍රිය වැඩසටහන් පෙළක ප්‍රධාන නිවේදකයා විය. ඔහු වැඩසටහන් හඳුන්වාදීමට අමතරව කාලීන සමාජතලය පිළිබඳ විග්‍රහයක යෙදීම පුරුද්දක් විය. එහි එන ඇතැම් සත්‍යයන් පිළිබඳ සුන්දර හැඳින්වීම් ප්‍රේක්‍ෂකයා ප්‍රිය කළ ද 88 - 89 යුගය තුළ ඒවා නොරිස්සූ කේවට්ටයන් වූ බව නොරහසකි.


ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සුරතින් ලියැවුණු නිර්මාන ගැයුවේ ද බෙග් මාස්ටර්, වික්ටර්, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, මාලනි බුලත්සිංහල, ෆ්‍රෙඩී, ප්‍රියා සූරියසේන වැනි යුගයේ ජනප්‍රියම ශිල්පීන් විසිනි. එම ගීත පදමාලා බොහොමයක තේමාව වූයේ සමාජ අසාධාරණය, දේශපාලන ප්‍රහසන, ජාතීන් අතර සංහිඳියාව,  සමාජයේ උඩඟුකම්, කුහකකම් හා මෝඩකම් පිළිබඳ විචාරණය.


1989 ජූලි මස 31 වැනිදා උදේ 8.30ට සේවයට යෑමට සුපුරුදු පරිදි සූදානම් වෙමින් සිටි ප්‍රේමකීර්ති ගේ හෝමාගම නිවසට සන්නද්ධ පිරිසක් කඩා වැදුණාහ. එම මොහොතෙහි එහි වූයේ බිරිඳ වන නිර්මලා ද අල්විස් සහ දරුවා ය. ප්‍රේමකීර්ති පසුපස දොරින් පලායාමට තැත් කළ නමුත් පිටුපස මුරකරගෙන සිටි ආයුධ සන්නද්ධ පිරිසගෙන් ඊට ඉඩක් නොවිණ. 


“ඇයි මල්ලිලා මේ?” ඔහු ඇසීය.


“බයවෙන්න එපා අපි එල්.ටී.ටී.ඊ.වත් හමුදාවෙන් වත් නොවෙයි දේශප්‍රේමී සංවිධානයෙන්. අපට ඔයත් එක්ක පොඩි ගනුදෙනුවක් තියෙනවා. අපිට ඒ ප්‍රශ්න විසඳ ගත්තයින් පස්සේ ඔයාව නිදහස් කරනවා. බය නැතුව එන්න”
නාඳුනන තරුණයෝ ඉතා සුහදශීලීව ප්‍රේමකීර්ති ඇමතූහ. ප්‍රේමකීර්තිට ජවිපෙ දේශප්‍රේමීන් සමග පෞද්ගලික අරියාදුවක් නොවිණ. ඔහුට වූයේ ජනසන්නිවේදකයකු වශයෙන් මෙරට ශ්‍රාවකයන්ට නැවුම් අදහස් දීමට පමණි. එය ‘දේශපාලනය’ දැයි ඔහු නොදැන සිටියේය.


එහෙත් භීෂණයේ නාඳුනන සෙවණැලි මෙම සොඳුරු මිනිසා  පසුපස එමින් තිබිණ. සුහද කතා බහෙන් නිවසින් පිටත්වූ ප්‍රේමකීර්ති ඇදගෙන යාමට තරම් පිරිස ඉක්මන් වනු පෙනිණ.


දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න අසන්නට වූ අතර සුපුරුදු වාග් ලීලාවෙන් ඔහු පිළිතුරු දීමට කට ඇරියා පමණි. දරුණු වෙඩි උණ්ඩය රටක් කුල්මත් කළ රන් දිවත් රන් හදවතත් පළාගෙන උදරයෙන් පිටවිණ. නිවසේ සිට යාර 200ක් දුරින් නිසල මළසිරුර වැතිර තිබිණ. ඒ වනවිට ඔහු 42 වියේ පසුවිය.


1992 දෙසැම්බර් 17 වැනිදා කොළඹ මහාධිකරණය මෙම ඝාතනය පිළිබඳ ජවිපෙ ක්‍රියාකාරිකයකුට මරණ දඬුවම නියම කළේය. 2014 ජුලි මාසයේ දී ප්‍රේමකීර්ති ද අල්විස් නමින් ගුවන් විදුලි සංකීර්ණයට පිවිසෙන මාවත ජනපති මහින්ද රාජපක්‍ෂ රජය මගින් නම් කෙරිණි. 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි