ඕල්කොට් මැතිතුමා සිහි කිරීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් ගුණානුස්මරණ උත්සවයක් 1967 පෙබරවාරි 17 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලයීය ශාලාවේ දී පවත්වන ලදී. මාගේ මතකය අනුව කොළඹ නෝරිස් පාර ඕල්කොට් මාවත ලෙස නම්කර ඩඞ්ලි සේනානායක අගමැතිතුමා විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට එතුමාගේ ප්‍රතිමාව විවෘත කරන ලද්දේ එදිනය. ඉහත කී උත්සවයේ මුලසුන ඩඞ්ලි. සේනානායක මහතා විසින් හෙබවූ අතර ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඩී. බණ්ඩාරනායක හා ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා වූ සිසිල් බී. ලයන් යනාදී ප්‍රභූවරු එම උත්සවයට සහභාගි වූහ. එසේම එවකට සිටි මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූන් රාශියක් එම උත්සවයට සහභාගි වූ බව මාගේ මතකයේ රැඳී ඇත. එදින ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර මහතා විසින් එම උත්සවයේ නිවේදන කටයුතු සිදු කරන ලදී.
 
මෙම උත්සවයට සමගාමීව ඕල්කට් ගුණානුස්මරණ කොමිටියේ ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සමස්ත ලංකා විද්‍යාලයාන්තර කථික තරගයක් සංවිධානය කර තිබිණි. 1967 ජනවාරි මාසයේ ආරම්භ කළ එම තරගයේ අවසන් මහා තරගය 1967 පෙබරවාරි 16 වැනි දින කොළඹ රෝයල් කොලිජීයේදී පවත්වන ලදී. අධ්‍යාපන මණ්ඩල, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පැවැත් වූ එම තරගයේ ජයග්‍රාහී අවසන් තරගකරුවන් එදින තරග වැදුන අතර පණ්ඩිත ගුණපාල සේනාධීර මුහන්දිරම් මුල්ල පිටියේ කේ. එච්. ද සිල්වා විජය සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් සෝමරත්න විජයසිංහ ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් තරගය විනිශ්චය කරන ලදී.
 
එම තරගයේ පිරිමි අංශය ගම්පහ නැදුන්ගමුව සිරි සීවලී මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ප්‍රිතිසිරි රණසිංහ ශිෂ්‍යයා විසින් ජයග්‍රහණය කර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා විසින් පරිනමන ලද රන් පදක්කම දිනාගන්නා ලදී. එම තරගයේ කාන්තා අංශය ජයග්‍රහණය කළේ ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාල නියෝජනය කළ ඇත්තිලිගොඩ ගැමුණු දහම් පාසලේ 16 හැවිරිදි ශිෂ්‍යාවක වූ ස්වර්ණ ගුණරත්න මෙනෙවියයි. ඇයට රාජ නීතිඥ සිරි පෙරේරා මහතා විසින් පිරිනමන ලද රන් පදක්කම හිමි විය. ජයග්‍රාහකයින්ට පදක්කම් පිරිනැමීම පෙබරවාරි 17 වැනි දින පැවැත් වූ ගුණානුස්මරණ උත්සවයේදී අගමැති ඩඞ්ලි සේනානායක මහතා අතින් සිදුවිය.
 
එදින උත්සවයේදී කථික තරගයේ ජයග්‍රාහකයින් දෙදෙනා තම ජයග්‍රාහී කථා ඉදිරිපත් කළ අතර පටිගත කරන ලද එම කථා එදින රාත්‍රී ගුවන් විදුලියෙන් ද ප්‍රචාරය කරන ලදී. මෙම උත්සවය හා ජයග්‍රාහී සිසු සිසුවියන් දෙදෙනා පිළිබඳ ඡායාරූප සහිත වාර්තා එකල පළවූ දිනපතා සහ සති අග පුවත්පත්වල පළ විය (1967 පෙබරවාරි 21 ලංකාදීප, 24 වැනි දින ‘රිවිරැස’, ‘ටිකිරි’ ළමා පත්‍රය ආදියෙහි)
 
අවසන් මහා කථික තරගය තරගකරුවන්ට තුන්හතර වතාවක්ම වේදිකාව මතට නැගී සිය දස්කම් පෙන්වීමට සිදුවූ ඉතාමත් තියුණු තරගයක් විය. කථාවේ අන්තර්ගතයට අමතරව කථා ශෛලිය, වචන උච්චාරණය හා අංග චලනය ගැන විනිශ්චය මණ්ඩලය සිය අවධානය යොමු කරන ලදී. අවසානයේ දිවයිනේ නන් දෙසින් පැමිණි සියලු තරගකරුවන් අබිබවා ජයග්‍රහණය ලැබීම ගම්බද පාසලකින් පැමිණි මට මහත් සතුටක් විය.
 
මෙම කථික තරගයට එවකට නොදියුණු ගම්බද පාසලක් වූ (නමට පමණක් මහා විද්‍යාලයක් වූ) අප පාසලෙන් මාගේ හැකියාවන් හඳුනාගෙන මා ඉදිරිපත් කර මා දිරිගැන්වූ එවකට අපගේ සොහොයුරකු වැනි තරුණ පාසල් ගුරුවරයෙකු වූ දිවංගත නීතිඥ මිල්ටන් ඊ. ජයසූරිය මහතා සහ මාගේ ගුණානුස්මරණ කථාවට අවශ්‍ය කරුණු සපයා දුන් මාගේ ඥාතියකු වූ දිවංගත ප්‍රවීණ ලේඛක පුවත්පත් කලාවේදී ඩී. ඩබ්. සේනාධීර මහතා මම ගෞරවයෙන් සිහිපත් කරමි. කෙසේ වුවද කරුණු කාරණ ගොනුකර සිත්ගන්නාසුලු, හරබර කථාවක් සම්පාදනය කර ගත්තේ කාගේවත් උදව්වක් නොමැතිව මා විසින්මය.
 
ගුණානුස්මරණ උත්සවය අමතා අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් දේශන පැවැත් වූ අතර ඇමෙරිකානු තානාපති සිසිල් බී. ලයන් මහතා විසින් පවත්වන ලද ඉංග්‍රීසි දේශනය සිංහල අනුවාදය අදත් මා අත සුරැකිව පවතී.
 
උත්සව සභාවේ දී ඇමෙරිකානු තානාපති ලයන් මහතා කථික තරගයේ ජයග්‍රාහකයාට හා ජයග්‍රාහිකාවට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද පොරොන්දු විය. එම ශිෂ්‍යත්වය ස්වර්ණා ගුණරත්න මෙනවිය විසින් ලබාගත්තා දැයි මම නොදනිමි. කෙසේ හෝ එම අවස්ථාව මට අහිමි විය.
 
ලංකාවේ අමෙරිකානු තානාපති සිසිල් බී. ලයන් මහතා විසින් 1967 පෙබරවාරි 17 වැනිදා ඕල්කට් ගුණානුස්මරණ උත්සවයේදී පවත්වන කථාවේ සිංහල අනුවාදය.
 
මිනිසා දෙආකාරයකින් මනිනු ලබයි. පළමුවෙන් එය කරනු ලබන්නේ ඔහුගේ සමකාලීනයන් විසින් හා ඔහු විසූ යුගයේ සිටි ලේඛකයිනුත් විසිනි.
 
 
 
 
දෙවැනුව ඔහු මනිනු ලබන්නේ ඔහු විසින් මුදුන් පමුණුවන ලද කාර්යන්ගේ පැවැත්ම අනුව හා ඉතිහාසඥයින් ද අනුවය. අද අපි ගෞරවයෙන් සිහිපත් කරන මගේ රටවැසි සෙන්පති හෙන්රි ස්ට්ල් ඕල්කට් තුමා නොමැකී පවත්නා බොහෝ කාර්යයන් මුදුන් පමුණුවාදුන් පුරුෂයෙකි.
 
මම 1964 දී ලංකාවට පැමිණියාට පසුව සෙන්පති ඕල්කට් තුමාගේ ජීවිතය හා එතුමා හා එතුමා කළ සේවය පිළිබඳවත් කරුණු හදාරා ඇත්තෙමි. එතුමා තුළ ඇමෙරිකාවේ මුල් පදිංචිකාරයින් තුළ තිබූ අදහස් හා ධෛර්ය සම්පන්නභාවයද ගැබ්ව තිබුණා පමණක් නොව, පුවත්පත් කලාවේදියෙකු අමෙරිකානු සිවිල් යුද්ධයේ යුද්ධ භටයෙකු නීතිඥයෙකු හා අධ්‍යාත්මික නායකයෙකු ආදී වශයෙන් විවිධ කාර්යන් සඳහා ද දක්ෂතාවයන් තිබූ බව මට පෙනී ගොස් තිබේ.
 
අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් එතුමා මුදුන් පමුණුවා දුන් කාර්යවල පැවැත්ම ගැන අපි දනිමු. කෙසේ වෙතත් අද ලෝකයේ ඇති ප්‍රශ්න හා ප්‍රධාන අවශ්‍යතාවන් ගැන සලකා බලන විට කෘෂිකාර්මික කටයුතු ගැන ඕල්කට් තුමා දැක්වූ උනන්දුවත් ඒ සඳහා කළ සේවාවන් පිළිබඳව මෙහිදී යමක් සඳහන් කිරීම කාලෝචිත යයි අදහස් කරමි.
 
ඕල්කට් තුමා පාසල් දිවිය අවසන් කළ වහාම විද්‍යානුකුල ගොවිතැන් දියුණු කිරීමේ කටයුතුවල යෙදෙමින් රටේ දියුණුව සඳහා කාලය කැප කෙළේය.
 
ඇමෙරිකාවේ නිව් ජර්සි ජනපදයේ නිව් ආර්ක් නගරයට ආසන්නව පිහිටි විද්‍යානුකුලව ගොවිතැන් කටයුතු කිරීම සඳහා වූ ආදර්ශ ගොවිපොළෙන් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන විට 23 වැනි වියෙහි පසු වූ ඕල්කට්  තුමාට මෙම කාර්යය නිසාම ග්‍රීසියේ රජය විසින් ඇතැන්ස් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ අධිපතිකම භාරදීම සඳහා ආරාධනා කරන ලදී. තම මවුබිමේ දියුණුව සඳහා එහිම රැඳී කටයුතු කිරීමට ඉටාගත් ඕල්කට් තුමා එම ආරාධනය ප්‍රතික්ෂේප කෙළේය.
 
ඇමෙරිකාවේ වර්තමාන ජාතික කෘෂිකර්ම අධ්‍යාපන වැඩපිළිවෙළේ මූලාරම්භ ආයතනයක් වශයෙන් සලකනු ලබන නිව්යෝර්ක් හි මවුන්ට් වර්මොන්ට් අසල වූ ‘වෙස්ට්වෙස්ටර්’ ගොවිකම් පාසල ඕල්කට් තුමා විසින් නිව් ජර්සි ජනපදයේ වේල් නමැති මහතෙකුගේද ආධාරය ඇතිව මේ අවදියේදී ආරම්භ කරන ලදී. ඒ කාලයේදී ‘සෝගම්’ නමැති ඉරිඟු වර්ගය (ඉදල් ඉරිඟු) ඇමෙරිකාවේ වගා කිරීමට ඕල්කට් තුමා උනන්දුව කටයුතු කළ බව එතුමා විසින් ප්‍රථම වරට ලියන ලද “සෝර්ගෝ ඇන්ඞ් ඉම්ප්, ද චයිනීස් ඇන්ඞ් ඇෆ්‍රිකන් ගුගර් කේන්ස්’ නමැති ග්‍රන්ථයේ සඳහන්ව තිබේ. මෙම ග්‍රන්ථය හත්වතාවක්ම මුද්‍රණය කරන ලද අතර එය ඉලිනෝයි ජනපදයේ පාසල්හි පුස්තකාල පොතක් වශයෙන් ද භාවිතා කරන ලදී. මෙම ග්‍රන්ථය නිසා ඕල්කට් තුමාට වොෂින්ටනයේ කෘෂිකර්ම ආයතනයේ අධ්‍යක්‍ෂ පදවිය පිරිනමන ලදී. එහෙත් එය පිළිගැනීමද එතුමා ප්‍රතික්ෂේප කෙළේය.
 
ගොවිතැන් කටයුතු දියුණු කිරීමේ ආසාව ඇතිව ඕල්කට් තුමා 1958 දී ප්‍රථම වරට යුරෝපයට ගියේය. එහිදී එතුමා දුටු දේ පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව “ඇප්ලිටන්ස් ඇමෙරිකන් එන්සයික්ලොපීඩියා” විශ්ව කෝෂයෙහි පළ කර ඇත්තේය. කෘෂිකර්ම විශේෂඥයකු වශයෙන් පිළිගනු ලබා සිටි එතුමා, ලන්ඩන් මාක්ලේන් එක්ස්ප්‍රස් පුවත්පතේ ඇමෙරිකානු වාර්තාකරු වශයෙන් හා නිව්යෝර්ක් ටි්‍රබියුන් පුවත්පතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ සහකාර කථිකාචාර්ය වශයෙන් ද පත්විය. එතුමා ඒ කාලයේදීම කෘෂිකර්මය පිළිබඳ තවත් පොත් දෙකක්ද ලීවේය.
 
ඕල්කට් තුමා සිය දිනපොත්වල එතුමා ගොවිතැන් කටයුතු ගැන දැක්වූ උනන්දුව සම්බන්ධයෙන් වැඩි යමක් ප්‍රකාශකර නැතත් 1880 මැයි 22 වැනිදා ගාල්ලේ විසූ ධනවත් බෞද්ධයෙකු වූ සයිමන් පෙරේරා අභයවර්ධන මහතාට අයත්ව තිබූ තේ හා කෝපි වත්තකට ගිය ගමන ගැන කර ඇති සටහන් වලින් එතුමා එකල කෘෂිකර්මය ගැන දැන්වූ ඇල්ම මැනවින් පැහැදිලි වෙයි.
වැලිගම තානායම් පළේ පිහිටීම ගැනත් ලංකාව “ස්වභාවික සෞන්දර්යයෙන් පිරි සුරපුරක්” හැටියට හඳුන්වමින් රත්නපුරය අවට ගම්බද පෙදෙස්වල සිරිය හා අලි පොල් බිඳ දමන ආකාරය ගැනත් දක්වමින් ඕල්කොට්තුමා කර තිබෙන විස්තරයෙන් එතුමා ස්වභාවික සෞන්දර්යය රසවිඳි ආකාරය පැහැදිලි වේ.
 
ඕල්කට් තුමා ගොවිතැන් දියුණු කිරීමට ඇල්මක් දැක්වූයේ ඒ සඳහා වූ න්‍යායයන් ගැනම සැලකීමෙන් පමණක් නොව ඒවායේ ක්‍රියාත්මකභාවය ගැන ද සැලකීමෙනි. ඒ ගැන එතුමා ළඟින් ඇසුරු කළ කෙනෙකු වන ලෙඞ් පීටර් මහතා විසින් මෙසේ ලියා තිබේ. “අතේ තිබූ කැඩුන මුද්දක් පෙන්වූ එතුමා එය කැඩුණේ ඇත්ත වශයෙන්ම සී සෑමට නගුලක් ඇල්ලීම නිසා යයි කීවා මට මතකය”
ලෝකය පුරාම ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තිබෙන මේ අවදියේදී ඒ පිළිබඳව අවබෝධයක් දීමට ඕල්කට් තුමාගේ ජීවිතයේ තරුණ කාලය අද තරුණයින්ට ආදර්ශයක් වෙනු ඇත. ගොවිතැනට ලංකාවේ ඉතාමත්ම උසස් තැනක් හිමිව තිබුණි. ඔබේ රජවරු පවා ගොවියාට උසස් ලෙස සලකන ලද බව ඉතිහාසයේ සඳහන්ව ඇත. “මඩ සෝදාගත් ගොවියා රජකමට පවා සුදුසුය “යන්න සිංහල ආප්තෝපදේශයක් යයි මම විශ්වාස කරමි.
 
අද ඔබේ රට ආහාර වගාව දියුණු කිරීම සඳහා මහත් වෑයමක් දරන මේ අවස්ථාවේදී ඕල්කට් තුමාගේ ආදර්ශය ඔබේ තරුණ පරම්පරාවේ ප්‍රබෝධයට හේතු නොවන්නේද? ඒබ්‍රහම් ලින්කන් තුමාත් එතුමාගේ තරුණ කාලයේදී සිය පියා සමග ඉන්දියානු ගොවිපොළවල ගොවිතැන් කටයුතු කර තිබේ.
 
ඔබේ කටයුතු ද කෘෂිකාර්මික අත්හදා බැලීම් සමග සම්බන්ධ කරගත් විට එය දියුණුවේ ප්‍රයත්නයක් වෙනවා. ඇත. මෙම විසිවෙනි ශත වර්ෂයේදී කෙනෙකුට කොතරම් හොඳට තම රට වෙනුවෙන් සේවය කළ හැකිද? පෙර කාලවලදී ගොවිතැන් කටයුතු දිගටම කරගෙන යෑමේදී මිනිසා තුළ ඇති වූ සිතුවිලි හා දාර්ශනිකත්වයේ උසස් බව එදා විසූ ඒබ්‍රහම් ලින්කන් තුමා තුළින් හා මෑත යුගයේදී ගොවියෙකු වශයෙන් ඇඞ්ලායි ස්ටීවන්සන් තුළින්ද විද්‍යමාන වූයේය.
 
ඕල්කට් තුමා මෙන්, ගොවිතැන් කටයුතු කරගෙන යෑමෙන් එය ධර්ම ශාස්ත්‍ර අවබෝධයක් ඇතිකර ගැනීමටද යොමුකර පසුව මිනිසාට සේවයක් වෙන ලෙසද කරගෙන ගියහොත් අපි ඇත්ත වශයෙන්ම උසස් ආදර්ශයක් තැබුවා වෙනු ඇත.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ආර්. කේ. ප්‍රීතිසිරි රණසිංහ