සිංහල රාජවංශයේ වැඩිම කාලයක් රට පාලනය කර ඇත්තේ පියවරුන්, සහෝදරයන් සහ පුතුන් විසිනි. රාජ්‍යයේ වගකිවයුතු නිලතල සියල්ල සහෝදරයන් හා දරුවන් අතර බෙදීගිය කල රාජ්‍ය ආරක්ෂාව, සංවර්ධන සැලසුම් පෝෂණය මෙන්ම සංහිඳියාව පිළිබඳ සිහින සැබෑකර ගැනීම අසීරු නොවීය. ප්‍රාන්ත රාජ්‍යවල කැරලි කෝලාහල වූ බවක්ද ආරංචි නැත.

1815 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට යටත් කරගත් පසු නැගී ආ ජනතා අරගල නිසාත් ස්වදේශීය සිංහල නායකයන්වූ ඩී. ඇස්. හා ඩී. බී. ජයතිලක වැනි දේශමාවක මැතිවරුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමක්ද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර අභීත බෞද්ධ නායකයන් හා දේශප්‍රේමින් අරගලකාරි මට්ටමින්ද ගෙනගිය බලපෑම් නිසා නිදහස ලබාදීම කෙරෙහි බි්‍රතාන්‍ය කිරීටයේ අවධානය යොමුවිය.


එහෙත් එක්වරම රාජ්‍ය පාලනය ස්වදේශීන්ට භාරදීමට මැදිවූ ඔවුහු රටම විශ්වාසය තැබූ නායකයකු පාලකයා වශයෙන් පත්කරගැනීමට පිඹුරුපත් සැකසූහ.


1947 දී අග්‍රාණ්ඩුකාර සර් මන්ත් මේෂස් මූවර්ගේ ඇරයුම පරිදි රජගෙදරට ගිය ඩී. ඇස්. අගමැති තනතුර ලැබ කලිසම් තබා ඇතුළු යුරෝපීය ඇඳුම් පැලඳුම් වෙනුවට ආරිය ඇඳුම හැඳගෙන සුදු සාරියෙන් සැරසුණු තම බිරින්ඳෑවූ දුනුවල මැතිනිය සමග දළදා සමිඳු වඳින්නට ගිය අයුරු එකල මාධ්‍යයට අපූරු දසුනක් විය.


1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස ඩී. ඇස්. ජනප්‍රසාදයට පත්විය. 


1952 මාර්තු මස 21 වැනිදා අගමැති ඩී. ඇස්. ගාලු මුවදොර පිටියේදී අශ්වයා පිටින් ඇදවැටී රෝගාතුර වීම නිසා මාර්තු 2 වැනිදා දිවංගත වූ අතර 26 වැනිදා රාජ්‍ය ගෞරවය සහිතව නිදහස් චතුරස්‍රයේදී ආදාහනය සිදු කෙරිණි. නිදහස් ලංකාවේ දෙවන අගමැතිවරයා ලෙස දෙටුපුත් ඩඞ්ලි සේනානායක පත්කෙරිණි.


අනතුරුව පැවති මහමැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කළ අතර ඩඞ්ලිට යළි අගමැති පදවිය භාර කෙරිණ. මේ වනවිට ජේ. ආර්. ජයවර්ධන, ජෝන් කොතලාවල වැනි ජ්‍යෙෂ්ඨයන් රැසක් ආණ්ඩුව තුළ වූහ.
එජාපයේ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් නිසා ජ්‍යෙෂ්ඨ නායකයකුවූ බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී මීට 67 වසරකට පෙර දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගන්නා ලදී.


කිසිදා එක්සත් ජාතික පක්ෂයෙන් එහාට රාජ්‍ය බලය නොයන බවට සිතා සිටියවුන්ගේ සිහින බොඳ කරමින් ශ්‍රීලනිපය වටා පරිවාර ජනබලවේගය ඒකරාශි වූ අතර 1953 දී සිදුවූ හර්තාලය තුළින් ඩඞ්ලිගේ ආණ්ඩුවට බලවත් මහජන අප්‍රසාදයක් එල්ලවිය. හර්තාලයට ප්‍රධානම හේතුව වූයේ එජාපයේ දෙවන පෙළ නායකයෙකු හා මුදල් ඇමැති වූ ජේ. ආර්. ජයවර්ධන ගෙන ආ අයවැය යෝජනාවකින් හාල් සේරුවේ මිල ශත 25 සිට ශත 75 දක්වා වැඩිකිරීමට නිසාය.


මෙම අර්බුදය නිසා ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට සර් ජෝන් කොතලාවලට සිදුවූයේ මෙහි ප්‍රතිඵලය වශයෙනි. 


බණ්ඩාරනායක මැතිඳුන්ගේ ජන බලවේගයට රාජ්‍ය බලය ලබාදෙමින් 1956 මහ මැතිවරණය අතිවිශිෂ්ට ජයක් ශ්‍රීලනිපයට ලැබී අග්‍රාමාත්‍ය තනතුරට එතුමා පත්විය. අගමැති බණ්ඩාරනායකගේ දෙවන පෙළ දේශපාලඥයෙක් වූයේ සී. පී. ද සිල්වා ප්‍රධාන කණ්ඩායමයි. සිංහල රාජ්‍ය භාෂාව කරමින් බුදු දහමට ප්‍රධාන තැන දෙමින් ජනසතු ව්‍යාපාරයක් හඳුන්වා දෙමින් එතුමා ගෙනගිය ජනතාවාදී ව්‍යාපාරය කීර්තියට පත්විණ.

 

 

මතු සම්බන්ධයි.

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි