1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

 

 

ජනමත විචාරණය ජයවර්ධන විසින් පොදුවේ ජයග්‍රහණය කළද දිස්ත්‍රික්ක ගණනාවකදී ඔහු පරාජයට පත්වී තිබුණි. එකී දිස්ත්‍රික්ක වූයේ හම්බන්තොට, යාපනය, වන්නි හා මඩකළපුවයි. ඊට අමතරව අනෙක් දිස්ත්‍රික්කවල සමහර ආසන ආණ්ඩුව පරාජය වී තිබුණි. ආසන අනුව ගත් කල මැතිවරණ ආසන 168න් 48ක් ලාම්පුව පරදවා තිබිණි. මෙහිදී ජයවර්ධන ආණ්ඩුව පරාජයට පත්වූ උතුරේ හා නැගෙනහිර ආසන 19 හැර ඉතිරි ආසන 29න් 18ක අතුරු මැතිවරණ පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව එම ආසන 18 මන්ත්‍රීවරු ඉල්ලා අස්වූ අතර අතුරු මැතිවරණය 1983 මැයි 18ට දින නියම කරන ලදි. 


මෙම අතුරු මැතිවරණවලදීත් එ.ජා.ප.ය පරාජයට පත්කිරීමේ වුවමනාව මතුවූ අතර ජ.වි.පෙ. ශ්‍රී.ල.නි.ප.යට යෝජනාවක් ඉදිරිපත් කරමින් නිතරග ගිවිසුමක් තුළ එක්ව තරග වැදීමට යෝජනා කළේය. එහිදී ජ.වි.පෙ. යෝජනාව වූයේ ආසන 18න් 5ක් ජ.වි.පෙ.ටත් ඉතිරිය ශ්‍රී.ල.නි.පයට හා පැරණි වමටත් ලැබෙන සේ නිතරග ගිවිසුමකට යා යුතු බවය. මෙහිදී ශ්‍රී.ල.නි.පය පැරණි වමේ බලපෑමද සහිතව ප්‍රකාශ කළේ, ජ.වි.පෙ.ට ලබා දිය හැක්කේ එක් ආසනයක් පමණක් බවය. එය මුළුමනින්ම ජ.වි.පෙ. ශක්තිය නොසලකා හැරීමක් වූ අතර පැවැති දේශපාලන අභියෝගය පිළිබඳ ශ්‍රී.ල.නි.ප.යේ ඇති දේශපාලන දැක්ම හා කුහකකමද ප්‍රකාශ කරන්නක් විය. මේ අනුව මෙම අතුරු මැතිවරණ සඳහා තනිවම තරග වැදීමට ජ.වි.පෙ තීරණය කළේය. ජ.වි.පෙ. ආසන 18ටම අපේක්ෂකයන් ඉදිරිපත් කළේ නැත. ජ.වි.පෙ. අපේක්ෂකයන් ඉදිරිපත් කළේ තංගල්ල, බෙලිඅත්ත, දෙවිනුවර, කඹුරුපිටිය, රත්ගම යන ආසන 5ටය. තංගල්ලට විජිත රණවීර, බෙලිඅත්තට ආරියසේන ඊශ්වරගේ, දෙවිනුවරට කේ. එච්. ජයන්ත, කඹුරුපිටියට ප්‍රේමචන්ද්‍ර මුණසිංහ හා රත්ගමට වෛද්‍ය කේ. එස්. එන්. ප්‍රනාන්දු යන අපේක්ෂකයෝ ජ.වි.පෙ. වෙනුවෙන් තරග වැදුණහ. හබරාදූවට ස්වාධීනව තරග කළ ප්‍රින්ස් ගුණසේකර මහතාට ජ.වි.පෙ. සහය දුන්නේය. 


අතුරු මැතිවරණ ප්‍රතිඵල අනුව ආසන 18න් 14ක්ම එ.ජා.ප. දිනාගත්තේය. ජ.වි.පෙ. යම් ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් බොහෝ ආසනවල තුන්වැනි තැනට පත්වුවද ජයග්‍රහණයක් ලබාගැනීමට ඉඩක් නොවීය. 
මේ අතර “1982 ජනමත විචාරණය වංචාවක්. 83 මහ මැතිවරණය පවත්වනු!” යන සටන් පාඨය මත ජ.වි.පෙ. උද්ඝෝෂණ හා ප්‍රචාරක ව්‍යාපාරයක් ආණ්ඩුවට එරෙහිව දියත් කළේය. එහි එක් වැදගත්ම කාර්යයක් වූයේ ජනමත විචාරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් රෝහණ විජේවීර සහෝදරයා විසින් නඩුවක් පැවරීමය. එවකට මැතිවරණ කොමසාරිස්ව සිටි චන්ද්‍රානන්ද ද සිල්වා මහතාගේ ජනමත විචාරණය පිළිබඳ වාර්තාව තුළද එය දූෂිත බවට සාක්ෂි තිබිණි. මෙම කාර්යයේදී ශ්‍රී.ල.නි.ප.ය නිහඬව සිටියදී මේ සඳහා රෝහණ විජේවීර සහෝදරයා ඉදිරිපත්විම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වූවක් විය. 


මෙම නඩුවේදී තවත් විශේෂ සිදුවීමක් ඉතිහාසයට එක්විය. රෝහණ සහෝදරයා වෙනුවෙන් ජනමත විචාරණ නඩුව ගොනු කිරීමේදී එහි වගකීම පැවැරී තිබුණේ, නීතීඥ ප්‍රින්ස් ගුණසේකර මහතාටය. මේ සඳහා ප්‍රබල නීතීඥයකුගේ සහයද අවශ්‍ය විය. මෙහිදී එක් පුද්ගලයෙක් සිය කැමැත්තෙන්ම මෙම නඩුව භාර ගැනීමට ඉදිරිපත් විය. හේ අන් කිසිවකු නොව 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයෙක් වූද 1971 ජ.වි.පෙ. මර්දනයේදී එහි විශාල වැඩ කොටසක් ඉටුකළ අයෙකු වූද ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාය. ඔහු ප්‍රින්ස් ගුණසේකර මහතාගේ මාර්ගයෙන් රෝහණ විජේවීර සහෝදරයා මුණගැසී කතාකොට මේ මොහොතේ මේම නඩුවේ වැදගත්කමත්, ඊට රෝහණ සහෝදරයා ඉදිරිපත් වීමේ වැදගත්කමත් මත මෙම නඩුවට පෙනී සිටීමට කැමැති බව පවසා එය භාර ගත්තේය. 


ඉතිහාසයේ සරදම සෑම දෙයක්ම කණපිට පෙරළන්නේය යන කියමන සනාථ කරමින් වරක් ජ.වි.පෙ. විනාශ කිරීමට තැත් කර රෝහණ සහෝදරයා දිවි ඇතිතෙක් සිරගෙයි තැබීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාම රෝහණ සහෝදරයාගේ නඩුවේ නීතීඥයා බවට පත්විය. රෝහණ විජේවීර සහෝදරයා ඉතාම පරිණත දේශපාලන නායකයෙක් බව පෙන්වමින් ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ අතීතය බාධාවක් බවට පත්කර නොගනිමින් ඔහුට ජනමත විචාරණ නඩුව බාර දුන්නේය. 


1983 ජ.වි.පෙ.ට මෙන්ම රටටද තීරණාත්මක වසරක් විය. මේ වන විට ජයවර්ධන ජනාධිපතිවරයා තම දෙවන ධූර කාලය අරඹා තිබිණ. එලෙසම පාර්ලිමේන්තුවේ පැවති 5/6 බහුතර බලය තවත් වසර 06කට දිගු කරගෙනද තිබිණ. 1980 ජුලි වර්ජනය මගින් සම්ප්‍රදායික වමේ වෘත්තිය සමිති ව්‍යාපාරයද බරපතළ ලෙස දුර්වල කර තිබිණ. ශ්‍රී.ල.නි.ප.ය දුර්වල කොට කැබලි වලට කඩා දමා තිබිණ. එම තත්ත්වය යටතේ ජයවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ තිබූ අභියෝගය වූයේ ජ.වි.පෙය. ඒ බව කිහිපවරක්ම ජයවර්ධන විසින්ම ප්‍රකාශකර ද තිබිණි. ඒ අනුව ඉතා පැහැදිලි වූයේ එ.ජා.ප. ආණ්ඩුව ජ.වි.පෙ. සමඟ සෘජු ලෙසම සටනට සූදානම් වන බවය. 


තත්ත්වය එසේ වෙද්දී රට සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් පිරිහීමට පත්ව තිබියදී ආණ්ඩුව මර්දනය ඉදිරියට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් සිටියදී ඊට මුහුණදී එය පරාජය කිරීමට පෙරමුණ ගතයුතුව තිබූ ජ.වි.පෙ. ද මේ වන විට පැවතියේ ජනාධිපතිවරණයට හා ජනමත විචාරණයට මුහුණ දී එයින් ලත් කිසියම් ප්‍රමාණයක පසුබෑමක්ද සහිතවය. මැතිවරණ තුළින් ලොකු ජයග්‍රහණ බලාපොරොත්තු වූ සමහර කොටස් මන්දෝත්සාහී වී සිටි අතර සමහර පූර්ණ කාලීනයෝද ආර්ථික දුෂ්කරතා පිළිබඳ ගැටලු මතුකරමින් වැඩ වලින් ඉවත් වෙමින් සිටියහ. මේ අතර පක්ෂයේ සමහර කොටස් තුළින් දේශපාලන හා සදාචාරමය පිරිහීමක ලකුණුද පහළවෙමින් තිබිණ. ජයවර්ධනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව සටන් වැදීමට ජ.වි.පෙ.ට සිදුවූයේ, පක්ෂය තුළ මතුවූ මෙම පිරිහීමේ ප්‍රවණතාවට එරෙහිවද සටන් වදිමිනි. එය අභියෝගයක් ලෙස බාරගත් ජ.වි.පෙ. ඊට අනුව ක්‍රියාත්මක විය.


1976න් පසුව ජ.වි.පෙ. ප්‍රසිද්ධ දේශපාලනයේ නියැළෙමින් විශාල ප්‍රචාරක ව්‍යාපාරයන් හා මැතිවරණ ඔස්සේ බහුජන ව්‍යාපාරයක් ලෙස පොදු ජනතාව අතරට ගමන් කරමින් සිටියද පක්ෂයේ ඇතැම් කොටස් ප්‍රචාරක වාදයට හා මැතිවරණවාදයට වැටෙමින් තිබිණි. එහි බරපතළ කරුණ වූයේ, 1982 අවසන් වන විට පක්ෂයේ ඉහළ පෙළේ නායකයින් කීපදෙනෙකුද සිය විප්ලවවාදී ජීවිතය තුළ පිරිහීමට ලක්ව තිබීමය. ඔවුහු සදාචාරමය වශයෙන් පිරිහීමට ලක්ව සිටි අතර පක්ෂ සංවිධානවල දැනුමකින් තොරව මුදල් ලබාගැනීමේ මුදල් ඉපයීමට විවිධ ආර්ථික ව්‍යාපෘති ආරම්භ කිරීම් හා සංවිධාන අවබෝධයෙන් තොරව මුදල් වියදම් කිරීම් සඳහාද පෙලඹී සිටියහ. මෙය එකල පක්ෂය විසින් හඳුනා ගත්තේ, ආර්ථිකවාදය ලෙසය. වමේ දේශපාලන ව්‍යාපාර මුහුණ දෙන සමහර තාවකාලික පසුබෑම් වලදී මෙවැනි ප්‍රවණතා මතුවන අතර ඒවා හඳුනාගෙන ප්‍රවේශමෙන් පරාජය කළ යුතුය. ජ.වි.පෙ. ඒ අනුව කටයුතු කළේය. 


මෙම ප්‍රශ්නයේදී යළි නිවැරදි කළ නොහැකි මට්ටමෙන් සිය ජීවිතය පිරිහීමකට ලක් කරගෙන පක්ෂය තුළ විනය විරෝධීව කටයුතු කළ කිහිප දෙනෙකු පක්ෂයෙන් නෙරපා දැමීමට පක්‍ෂයට සිදුවිය. ඒ අනුව වාස් තිලකරත්න, මහින්ද පතිරණ ඇතුළු කීපදෙනෙක් පක්‍ෂයෙන් නෙරපා හල අතර තවත් කිහිප දෙනෙකුගේ වගකීම් වෙනස් කිරීමටද පියවර ගන්නා ලදි. මින් වාස් තිලකරත්න පක්‍ෂයේ එවකට දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් වූ අතර ගම්පහ සංවර්ධන සභා මන්ත්‍රීවරයෙක්ද විය. මහින්ද පතිරණ මධ්‍යම කමිටු සාමාජිකයෙක් වූ අතර කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරයෙක් විය. මෙලෙස ඉවත් කළ අය අතර එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ දිසා ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාද විය.


මෙහිදී වාස් තිලකරත්න හා මහින්ද පතිරණ පසු කලෙක ද්‍රෝහීහු බවට පත්වූහ. මෙලෙස පිරිහීමට පත්ව පක්‍ෂයෙන් ඉවත් කිරිමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට ලක්වූ කිහිප දෙනාගෙන් සමහරු ඒ වනවිට ප්‍රසිද්ධ දේශපාලනය තුළ ක්‍රියාත්මක වූ හා මහජන නියෝජිතයන් ලෙස කටයුතු කළ අය වූහ. ඒ අතරම ඔවුහු 1971 අරගලයේදීත් අර්ධ රහසිගත දේශපාලනය තුළ හා හිරෙගෙවල් තුළදීත් පක්‍ෂය සමඟ කටයුතු කොට විශ්වාසය දිනා සිටි අයද වූහ. 1982 කාලය වන විටද දේශපාලන මණ්ඩලය නියෝජනය කළ උපාලි රන්දෙණිය පක්‍ෂයෙන් ඉවත්විය. ඒ, ඔහුගේ නිදහස්වාදී හැසිරීම තුළ නිර්මාණය කරගත් ගැටලු සමඟය. 


මේවා විප්ලවවාදී ව්‍යාපාරයන්ට අලුත් තත්ත්වයක් නොවේ. එක් දේශපාලන වටපිටාවක් තුළ සාර්ථක වන අය වෙනස් වටපිටාවක් තුළ අසාර්ථක වීමට හෝ දුර්වල වීමට ඉඩ තිබෙන බව ඉතිහාසය පෙන්වා දී තිබේ. මේ පිළිබඳ කම්පා වී පක්‍ෂ නායකයින් බහුජන දේශපාලනයෙන් හෝ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමෙන් වළකාලීමට පියවර ගතයුතු නැත. ලෙනින් කී පරිදිම කළ යුත්තේ, ඔවුන් ඒ සෑම ක්ෂේත්‍රයකම අත්හදා බැලීමට ලක් කිරීමය.


පක්‍ෂය තුළ මතුවූ ආර්ථිකවාදය හා සදාචාර පිරිහීම් පරාජය කිරීමට විනයානුකූල පියවර ගන්නා අතරම ඒවා දේශපාලනිකව පරදවා පක්‍ෂයේ විප්ලවවාදී ගුණයන් තහවුරු කිරීම සඳහාද එක විටම පියවර ගන්නා ලදී. ඒ අනුව 1983 වසර ආරම්භයේදීම පක්‍ෂයේ කේඩරය තුළ විප්ලවවාදී ගුණයන් සහිතව පක්‍ෂය ගොඩනැගීම සඳහා සමාජවාදී තරුණ සංගමය වෙත වැඩි බරක් තබා තරුණ සංගමය ගොඩනැගීමට පියවර ගන්නා ලදී.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්