1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

 

 

1988 දෙසැම්බර් 19 පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රේමදාස ජයග්‍රහණය කළේය. මෙය ඉතාම බරපතළ ගැටුම් හා විරෝධයන් මැද පැවති රාජ්‍ය බලය හා මර්දනය උපරිම ලෙස යොදාගත් ජනාධිපතිවරණයක් විය. ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ජ.වි.පෙ. ක්‍රියාමාර්ගයද කිසියම් සාර්ථකත්වයක් අත්කර ගෙන තිබිණි.

 මෙහිදී ඡන්දය පාවිච්චි කර තිබුණේ, ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 55.32්‍ර ක් පමණකි. ජ.වි.පෙ බලපෑම වැඩිපුර තිබූ ප්‍රදේශවල ඡන්දය භාවිතා කිරීම අවම මට්ටමක විය. මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49 ක ඡන්ද විමසීම පැවැත්වූයේ නැත. දිස්ත්‍රික්ක 13 ක ඡන්ද පොළවල් 207 ක ඡන්ද පෙට්ටිවල එකම ඡන්ද පත්‍රිකාවක්වත් නොවීය. ඉන් බහුතරය දකුණේ දිස්ත්‍රික්ක විය. ඡන්ද පත්‍රිකා නොතිබූ එම ඡන්ද පොළ 207 න් 78 ක්ම මාතර දිස්ත්‍රික්කයේ ඒවා විය. ඒ අනුව ප්‍රේමදාසගේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවීය.


කෙසේ වෙතත් ආණ්ඩුව පරාජය කර ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා තිබූ අවස්ථාව ශ්‍රී.ල.නි.ප, ම.එ.පෙ වැනි පක්ෂ විසින් අත්හැර දැමීම නිසා, එය සාර්ථක කර ගැනීමට නොහැකි වීමෙන් වඩාත් දුෂ්කර තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ ජ.වි.පෙ.ටය, ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගය නිසා ජ.වි.පෙ හා ශ්‍රී.ල.නි.ප පහළ කොටස් අතරද ප්‍රතිවිරෝධතා මතු විය. එය එ.ජා.ප යට තාවකාලික වාසියක්ද විය.


88 දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් ‘ජයගත්’ ප්‍රේමදාස පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා 88 දෙසැම්බර් 30 සිට 89 ජනවාරි 06 දක්වා නාම යෝජනා භාර ගන්නා බව ප්‍රකාශයට පත්විය. මේ වන විට කල් දැමූ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්ව පැවතීම හා තමන්ට ගැළපෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වුවමනාව ප්‍රේමදාසට තිබීමද මෙලෙස පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට හේතු විය.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එතෙක් මාස් පතා පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් පවත්වාගෙන ආ හදිසි නීතිය අහෝසි විය. ඒ සමගම නඩු හෝ අධිකරණ නියෝග නොමැතිව හදිසි නීතිය යටතේ රඳවනු ලැබ සිටි දහසකට වැඩි පිරිසක් නිදහස් කෙරිණි. එහෙත් සමහර අයට එසේ වූයේ අනිවාර්ය ලෙසම රඳවා ගත යුතු යැයි ආණ්ඩුව විශ්වාස කළ අය වහාම හදිසි නීති රෙගුලාසි වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ඒ යටතේ යළි රඳවා ගැනීම නිසාය.


ප්‍රේමදාස පාලනය යටතේ 1989 පෙබරවාරි 15 වැනිදා මහ මැතිවරණය පැවැත් වූ අතර එයද වර්ජනය කිරීමට ජ.වි.පෙ ට සිදුවිය. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පැවැත් වූ පළමු මහ මැතිවරණය මෙය විය. ඉන් එ.ජා.ප.ය ජය ලැබීය. මහ මැතිවරණය වර්ජනය කිරීමට ගත් ක්‍රියාමාර්ග තුළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් මෙන්ම ආරක්ෂක අංශවල මර්දනකාරීත්වයද නිසා මැතිවරණ ගැටුම්, මිනිස් ඝාතන හා රාජ්‍ය මර්දනය බරපතළ ලෙස ක්‍රියාත්මක වූ මැතිවරණයක් විය.


1989 මහ මැතිවරණයෙන් පසු ඒ වසර අග දක්වා වූ කාලය මර්දනය හා භීෂණය එතෙක් නොවූ විරූ අන්දමින් උත්සන්න වූ කාලයක් වූ අතර ජ.වි.පෙ. බිඳවැටීම සනිටුහන් වූයේද එම කාලය තුළදීය.


1989 පෙබරවාරි 15 මහ මැතිවරණයෙන් පසුද ජ.වි.පෙ ට එරෙහිව මර්දනය නොකඩවා පැවතිණි. මැතිවරණය නිසා හදිසි නීති රෙගුලාසි ඉවත් වී තිබුණද නිල වශයෙන් ජ.වි.පෙ. තහනම පවා ඉවත් වී තිබුණද මර්දනයේ හා ඝාතනවල අඩුවක් නොවීය. මේ වන විට ආරක්ෂක හමුදා මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනගා තිබූ විවිධ ඝාතක කල්ලිද ක්‍රියාත්මක වෙමින් ජ.වි.පෙ. ක්‍රියාකාරීන් විනාශ කිරීම දිගටම කරගෙන යන ලදී. කොළ කොටි, ප්‍රා, ඝ්‍රා වැනි සංවිධාන ඒ අතර පෙරමුණේ විය. මෙම සංවිධානවල ජ.වි.පෙ. ට ද්‍රෝහී වී පළා ගියවුන්, විවිධ විනය හේතු මත විටින් විට ජ.වි.පෙ.න් නෙරපා දැමූවන් මෙන්ම වමේ වෙස් මුහුණු දා ගත් ද්‍රෝහී ඔත්තුකරුවෝද ක්‍රියාත්මක වූහ.


1989 මුල වන විට ආණ්ඩුවේ මර්දනය නිසා ජ.වි.පෙ. අත්දැකීම් සහිත, පරිණත, සංවිධාන විනයක් තුළ ගොඩනැගී තිබූ කේඩරයෙන් විශාල ප්‍රමාණයක් පක්ෂයට අහිමි වී තිබිණි. ඒ අතරම එම හිඩැස පිරවීමට අලුතින් උරාගත් අය අත්දැකීම් රහිත, විනයකට හුරු නොවූ අය වීමත් සමහරු අරගලයේ ආස්වාදය තුළ ඊට සම්බන්ධ වූ නවක අය වීමත් තවත් සමහර අය පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමත් නිසා අරගලයේ ගුණය හා විනය කිසියම් පිරිහීමකට ලක්වෙමින් තිබිණි. මෙම තත්ත්වය පක්ෂය විසින් සලකා බලා තිබිණි. ඒ අනුව 1989 අප්‍රේල් සමරුව මුල්කරගනිමින් 89 අප්‍රේල් සිට 90 අප්‍රේල් දක්වා පක්ෂය ගුණාත්මකව සංවර්ධනය කිරීමේ සංවර්ධන වසරක් නම් කරන ලදී. එහෙත් සිදුවීම් සිදු වූයේ, ඊට ඉඩ තබමින් නොවේ.


1989 සිදු වූ එක් වැදගත් සිදුවීමක් වූයේ ජුනි 09 වැනිදා නුගේගොඩදී දේශප්‍රේමී රැලිය පැවැත්වීමයි. ආණ්ඩුවේ දැවැන්ත මර්දනයක් තුළ මෙවැනි රැලියක් පැවැත්වීම අභියෝගයක් වූ අතර කෙසේ හෝ මෙම රැලියට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය, සමස්ත ලංකා විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයින්ගේ දෙමාපිය සම්මේලනය, එක්සත් ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යන සංවිධාන හා තවත් පුද්ගලයෝද සම්බන්ධ වූහ. ඉන්දියානු හමුදා ආපසු යැවීම, මර්දනය නතර කිරීමට බලකිරීම ආදී කරුණු මෙහි ප්‍රධාන මාතෘකා විය.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.