1971 අප්‍රේල් අරගලයට පසුගිය 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.

 

 

 

ශ්‍රී.ල.නි.ප.ය මුහුණදුන් මෙම තත්ත්වයත් සමඟ එහි අභ්‍යන්තර අර්බුදයක්ද ඇතිවිය. නීතිමය බාධා තිබිය දී වුවත් සිරිමා බණ්ඩාරනායක ශ්‍රීල.නි.ප.යේ සභාපති පදවිය අත්හළේ නැත. අද එ.ජා.ප.ය මුහුණ දී සිටින අර්බුයට සර්වසම නොවූවද එදා ශ්‍රීල.නි.ප යද බරපතළ ලෙස දුර්වල විය.


මේ හේතු නිසා 1981 සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කිරීමට ශ්‍රී ල.නි.ප.ය තීරණය කළේය. ඒ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා නොව එහි නොහැකියාව හා අර්බුද හේතු කරගෙනය. ශ්‍රී ල.නි.ප.යේ එම තීරණයට අනුව යමින් ල.ස.ස.ප.ය හා කො.ප.ය ද සංවර්ධන සභා ඡන්දය වර්ජනය කිරීමට තීරණය කළේය. 


එහෙත් පුළුල් බහුජනතාව වෙත තම දේශපාලනය රැගෙන යාමට ලැබෙන මෙම අවස්ථාව අත්හැරීමට ජ.වි.පෙ සූදානම් වූයේ නැත. ඒ වෙනුවට සංවර්ධන සභා මැතිවරණයට හැකියාව ඇති දිස්ත්‍රික්කවල දී තරග වැදීමට ජ.වි.පෙ. තීරණය කළේය. එහෙත් මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස ජ.වි.පෙ ලියාපදිංචි කර තිබුණේ නැත. ඒ සඳහා කිහිපවරක්ම ඉල්ලුම්පත් ඉදිරිපත් කළද ජ.වි.පෙ. ට එම අයිතිය ලබාදීම දිගින් දිගටම ප්‍රමාද විය. එබැවින් 1981 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත්වීමට ජ.වි.පෙ.ට සිදුවූයේ ස්වාධීන කණ්ඩායම් ලෙසටය.


ඒ අනුව ජ.වි.පෙ දිස්ත්‍රික් කිහිපයකටම කණ්ඩායම් ඉදිරිපත් කරමින් තරග වැදුණි. එහිදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම උපතිස්ස ගමනායක සහෝදරයාගේ නායකත්වයෙන් ද, ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම වාස් තිලකරත්නගේ නායකත්වයෙන් ද, කළුතර දිස්ත්‍රික් කණ්ඩායම සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ නායකත්වයෙන් ද ගාල්ල ලයනල් බෝපෙගේ ගේ නායකත්වයෙන් ද හම්බන්තොට පියසේන රාමනායක සහෝදරයාගේ නායකත්වයෙන් ද අනුරාධපුර සිසිර රන්දෙණිය සහෝදරයාගේ හා බදුල්ල වික්‍රමපාල හේරත්ගේ නායකත්වයෙන් ද තරග වැදුණි.


81 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයද මැර ක්‍රියා හා මැතිවරණ වංචා රැසක් සිදුවුණ ඡන්දයක් ලෙස ඉතිහාසගත විය. එ.ජා.ප.යේ ප්‍රබල ඇමතිවරු සමඟ යාපනයට ගිය මැර කණ්ඩායම් යාපනයේ ඡන්ද පෙට්ටි රැසක් පැහැරගෙන ගොස් තිබූ අතර යාපනය පුස්තකාලයට ද ගිනි තැබූහ. පසු කලෙක මතු වූ බෙදුම්වාදී යුද්ධය සඳහා පසුබිම සකස් කිරීමට එ.ජා.ප.ය එදා කටයුතු කළේ එසේය.


කෙසේ වුවත් සමානුපාතික ක්‍රමය යටතේ පැවැත් වූ පළමු ඡන්දය වූ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී, දිස්ත්‍රික් කිහිපයකින් මන්ත්‍රීධූර 13 ක් දිනාගෙන තම පළමු මැතිවරණ ජයග්‍රහණය වාර්තා කිරීමට ජ.වි.පෙ සමත් විය. එය බහුජන දේශපාලනය වෙතට ජ.වි.පෙ තැබූ විශාල පියවරක් විය. ඒ අතරම එතෙක් මහජන නියෝජිත ආයතන තුළ දී පරීක්ෂා කර බැලීමට ඉඩක් නොලැබ සිටි ජ.වි.පෙ නායකයන් එවැනි ආයතන තුළ ද පරීක්ෂා කර බැලීමට ලැබුණු වැදගත් අවස්ථාවක් විය. 


මේ පිළිබඳව වරක් ලෙනින් මෙසේ පවසා තිබුණි. ‘ජර්මන් ‘වාම’ වාදීහු ඔවුන්ගේ පක්‍ෂයේ සිටින නරක ‘නායකයන්’ ගැන මැසිවිලි කියති. බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත්වෙති. එපමණක් නොව ‘නායකයන්’ ‘ප්‍රතිෂේධ’ කිරීමේ තත්ත්වයට පවා වැටෙති. නමුත් නායකයන් බොහෝ විට රහසිගත ලෙස සඟවා තැබීමට සිදුවන තත්ත්වයන් යටතේ හොඳ විශ්වාසදායක උරගා බලන ලද හා අධිකාරයක් ඇති ‘නායකයින්’ හැදීම ඉතා දුෂ්කර කාර්යයකි. නීතිවිරෝධී හා නීත්‍යානුකූල වැඩ ඒකාබද්ධ කිරීමක් නොමැතිව වෙනත් මාර්ග තුළින් මෙන්ම පාර්ලිමේන්තුව තුළින් ද ‘නායකයන්’ පරීක්ෂාවට භාජනය කිරීමෙන් තොරව මෙම දුෂ්කරතාවයන් සාර්ථක ලෙසත් ජයගත හැකි නොවේ” (ලෙනින් තෝරාගත් කෘති 10 වෙළුම, 181 පිටුව)


සංවර්ධන සභා මැතිවරණය සඳහා ජ.වි.පෙ නියෝජිතයන් 13 දෙනා පත් වූයේ මෙසේය. කොළඹ 4 ක්, ගම්පහ 3ක්, ගාල්ල 2 ක්, බදුල්ල 2ක්, හම්බන්තොට 1 ක් සහ අනුරාධපුර 1 ක් වශයෙනි. එ.ජා.ප මෙය කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වූ අතර ඡන්දය වර්ජනය කළ ශ්‍රීල.නි.ප.යද මේ තුළින් විශාල පරාජයක් ලැබීය. ඉතිහාසයේ ප්‍රථම වරට ජ.වි.පෙ.න් පත් වූ මෙම මහජන නියෝජිතයින් සඳහා ජ.වි.පෙ ආචාරධර්ම මාලාවක්ද හඳුන්වා දුන් අතර මන්ත්‍රීධුරය සඳහා ලැබුණ වැටුප පෞද්ගලිකව පරිහරණය නොකර පක්‍ෂ අරමුදලට බැර කිරීමට තීරණය කරමින් පෞද්ගලිකව වැටුප් නොගන්නා පළමු මන්ත්‍රීවරුන් ලංකාවට හඳුන්වා දුන්නේය.
මෙයින් පසු ජ.වි.පෙ බහුජන දේශපාලනය තුළ හා මැතිවරණ ව්‍යුහය තුළ තම කටයුතු වේගවත් කළේය. විශේෂයෙන්ම මැතිවරණ ශාඛා සමිති ගොඩනැගීම වේගවත් කළ අතර ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණදීම සඳහා රුපියල් විසිපන් ලක්ෂයේ මැතිවරණ අරමුදලක් ගොඩනැගීම ද 81 නොවැම්බරයේ දී ආරම්භ කරන ලදී.


මැතිවරණ ක්ෂේත්‍රයේ දී ඊළඟට ජ.වි.පෙ මුහුණදුන් ප්‍රබල අවස්ථාව වූයේ 82 ජනාධිපතිවරණයය.

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්