1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


1982 වන විට ලංකාවේ දේශපාලන තත්ත්වය වෙනස් වෙමින් පැවතුණි. හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් සහිතව බලයට පත් එජාප ආණ්ඩුව අනුගමනය කළ මර්දනකාරී පාලනය නිසාත්, මැතිවරණ සමයේ දුන් ‘ධාන්‍ය රාත්තල් අට’ වැනි පොරොන්දු ඉටු නොවීම නිසාත් ආර්ථික අර්බුදයේ බර දැරීමට පොදු ජනතාවට සිදුවීම නිසාත් ජයවර්ධන පාලනය පිරිහීමට ලක්වෙමින් තිබිණි. ඒ අනුව තම පාලනය තව තවත් පිරිහීමට පෙර ඉක්මන් ජනාධිපතිවරණයක් පවත්වා යළි ජනාධිපති ධුරයට පත්වීමට ජේ. ආර්. ජයවර්ධන කල්පනා කළේය. 


1978 නිර්මාණය කළ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06 ක් විය. පළමු ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණයක් නොපවත්වාම 1978 පෙබරවාරි 04 වැනිදා ගාලු මුවදොර පිටියේදී ජයවර්ධන දිවුරුම් දුන් අතර ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 1984 දීය. එහෙත් මතුවෙමින් එන අර්බුදය තුළ එතරම් කාලයක් පමාවීම අවාසිදායක බව ජයවර්ධන ජනාධිපතිවරයා කල්පනා කළේය.
ඒ අනුව පළමු ජනාධිපති ධුර කාලයට වසර 04 ක් පිරුණු විට අවශ්‍ය නම් ජනාධිපතිවරණයකට යාම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය 1982 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත් තුන්වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගන්නා ලදී. 1982 ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට ඉක්මන් ජනාධිපතිවරණයක් පවත්වා තවත් වසර 6 කට ජනාධිපති ධුරයේ බලය ලබාගැනීමට ජයවර්ධන සූදානම් වන්නේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමනක් යාම සඳහා බව ජවිපෙ තේරුම් ගත්තේය. ජයවර්ධන පාලනය ඒකාධිපති පාලනයක් දක්වා වර්ධනය වීම පරාජය කළ යුතු විය. ඒ සඳහා ජනාධිපතිවරණයෙන් ජයවර්ධන මහතා ජයගැනීම වැළැක්විය යුතුවූ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දේශපාලන පියවරද තැබිය යුතු විය. මේ තත්ත්වය තුළ 82 ජනාධිපතිවරණය සඳහා ඉතාම නිවැරැදි උපක්‍රමික සටන් පාඨයක් නිර්මාණය කළ ජවිපෙ එය ප්‍රකාශයට පත්කොට ඒ වෙනුවෙන් කටයුතු කිරීම ඇරඹීය. එම සටන් පාඨය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට විපක්ෂයේ සියලු පක්ෂවල සහය ඔහුට ලබාදී ඔහු ජයග්‍රහණය කරවීමය. මෙය ඉතාම දියුණු උපක්‍රමික සටන් පාඨයක් විය.


එහෙත් රටේ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය ඊට එකඟවූයේ නැත. ඒ වනවිට වසර 07 කට ප්‍රජා අයිතිය අහිමිකරනු ලැබ සිටි සිරිමා බණ්ඩාරනායකට ජේ. ආර්. ජයවර්ධන පැරදවීමට අවශ්‍ය නොවීය. ඇයට අවශ්‍ය වූයේ, තමන්ට ප්‍රජා අයිතිය ලැබී ඊළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීමට අවස්ථාව ලබාගැනීම සඳහා 1982 ජනාධිපතිවරණයට කවුරු හෝ දුර්වල අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමය. විපක්ෂයේ අභ්‍යන්තර අර්බුදයන්ද මෙම තීරණයට හේතු විය. කෙසේ හෝ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප ප්‍රකාශයට පත් කළේය.


මෙහිදී ජවිපෙ තම සටන් පාඨය සමග විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරමින් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් වමේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් එහිදී වමේ පොදු අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජවිපෙන් විය යුතු බවත් ප්‍රකාශයට පත් කළේය. මේ අවස්ථාවේදී කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප) වමේ පොදු අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය. ඒ සමගම වාසුදේව නානායක්කාර (න.ස.ස.ප.) ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේය.

 

 

මෙම තත්ත්වය සලකා බැලූ ජවිපෙ අවසානයේදී ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළේය. පක්ෂයේ තීරණය වූයේ, ජවිපෙ අපේක්ෂකයා රෝහණ විජේවීර සහෝදරයා විය යුතු බවය. මේ අතර ජනාධිපතිවරණයේ නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජවිපෙ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරනු ලැබීය. පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ තරග වැදුණු පළමු ඡන්දය වූයේ ජනාධිපතිවරණයයි. සීනුව ලකුණ තම මැතිවරණ ලාංඡනය ලෙස තහවුරු කර ගැනීමටද ජවිපෙ සමත් විය.


පළමු ජනාධිපතිවරණය සඳහා 1982 සැප්තැම්බර් 17 දා නාමයෝජනා බාරගන්නා ලදී. එහිදී එජාපයෙන් ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රීලනිපයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, ජවිපෙන් රෝහණ විජේවීර, ලසසපයෙන් කොල්වින් ආර්. ද සිල්වා, නව සම සමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර හා සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් කුමාර් පොන්නම්බලම් යන අයගේ නාම යෝජනා මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගැනීමෙන් පසු ඔවුහු අපේක්ෂකයන් බවට පත්වූහ. ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වීමට නියම කරන ලදී.


ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය පුරාම ජයවර්ධන ජනාධිපතිවරයා විසින් තම ජනාධිපති බලයත් 5/6 පාර්ලිමේන්තු බලයත් මැර බලයත් උපරිම ලෙස යොදාගන්නා ලදී. සමහර ශ්‍රීලනිප නායකයෝ ජයවර්ධනගේ ඡන්ද වේදිකාවට නැග ඔහුට සහාය පළ කළහ. ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරය ඉතාම ඇල් මැරුණු අතිශය දුර්වල එකක් විය. ඒ අතර ජවිපෙ විශාල බරක් හා ශක්තියක් යොදවා දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් මෙහෙය විය.

ජනාධිපතිවරණයේදී ජවිපෙ තේමා පාඨය වූයේ ‘රට හදන්න අපට දෙන්න’ යන්නය. රෝහණ විජේවීර සහෝදරයා සහභාගිවූ ප්‍රචාරක රැලි විශාල ප්‍රමාණයක් රට පුරා පැවැත්වූ අතර ඒවාට විශාල ජන සහභාගිත්වයක්ද තිබුණි. ඡන්ද ව්‍යාපාරය තුළ ජේ. ආර්. ජයවර්ධනට අභියෝගය වූ බලවේගය බවට ජවිපෙ පත්ව තිබුණ අතර ජවිපෙ ඡන්ද ව්‍යාපාරය බොහෝදෙනා ආකර්ෂණය කරගත් එකක් විය. මේ නිසාම පක්ෂයේ සමහර ක්‍රියාකාරීන් ජනාධිපතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප්‍රමාණය පිළිබඳව අධිතක්සේරු කර සිටි බව පසුව සිදුවූ සිදුවීම්වලින් පැහැදිලි විය. ජේ. ආර්. ජයවර්ධන මහතා අවුරුදු 10 කට ලංකාවේ මැතිවරණ සිතියම අකුළන බව ප්‍රකාශ කළේද මෙම ජනාධිපතිවරණයේදීය.


1982 ඔක්තෝබර් 20 පැවති පළමු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජයවර්ධන ඡන්ද 3,450,811 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේය. දෙවැනියා වූ හෙක්ටර් කොබ්බෑකඩුව ලබාගෙන තිබුණේ ඡන්ද 2,548,438 කි. මෙහිදී රට තුළ තුන්වන දේශපාලන බලවේගය බවට හා වමේ ප්‍රධාන බලවේගය බවට ජවිපෙ පත්වෙමින් රෝහණ විජේවීර සහෝදරයා ඡන්ද 273,428 ක් ලබා ගත්තේය. කුමාර් පොන්නම්බලම් ඡන්ද 173,934 ක් ලබාගත් අතර කොල්වින් ආර් ද සිල්වා ලබාගත්තේ ඡන්ද 58,531 කි. වාසුදේව ලබාතිබුණේ ඡන්ද 17,005 කි.


ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර සහෝදරයා ලබාගත් වැඩිම ප්‍රතිශතය හා ඡන්ද ප්‍රමාණය ලැබී තිබුණේ හම්බන්තොට දිස්ත්‍රිික්කයෙනි. 


ඒ ඡන්ද 28,835 කි. විසිදහකට වැඩියෙන් ඡන්ද ලබාගත් දිස්ත්‍රික් කිහිපයක් විය. ඒ කොළඹ 28,580 ක් ගම්පහ 23,701 ක් මාතර 22,117 ක් කුරුණෑගල 21,835 හා ගාල්ල 20,962 ක් වශයෙනි. මෙහි විශේෂය වූයේ විවිධ අවලාද හා බාධා කිරීම් මැද පවා උතුරු - නැගෙනහිර දිස්ත්‍රික්කවලින්ද රෝහණ සහෝදරයාට ඡන්ද ලැබී තිබීමය. ඒ යාපනයේ ඡන්ද 3098 ක්ද, වන්නි 2286 ක්ද, මඩකළපුව 1287 ක්ද, ත්‍රිමලය 5395 ක්ද, දිගාමඩුල්ල 7679 ක්ද වශයෙනි.


ජනාධිපතිවරණයේදී ජවිපෙ තුන්වැනියා බවට හා වමේ ප්‍රධානියා බවට පත්වුවද ලැබුණු ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තු වූ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීය. එබැවින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය සතුටුවිය හැකි එකක් නොවීය. ඒ වන විට මැතිවරණ දේශපාලනය තුළ කටයුතු කරමින් සිටීමත් ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී ඇතිකරගත් අධිතක්සේරුව ප්‍රතිඵලය තුළ බිඳවැටීමත් නිසා ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ සමහර ශ්‍රේණීන් තුළ කිසියම් ප්‍රමාණයක කඩාවැටීමේ හා පසුබෑමේ තත්ත්වයක් නිර්මාණය විය. ඊට මුහුණ දෙමින් එම මනෝභාවයන් පරදවමින් පක්ෂය තුළ විශ්වාසය තහවුරු කරමින් පෙරට යාමට රෝහණ සහෝදරයා ප්‍රමුඛ පක්ෂ නායකයෝ පියවර ගත්හ.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්