1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

1982 ජනාධිපතිවරණයෙන් ජයගෙන 82 දෙසැම්බර් ජනමත විචාරණය මගින් හයෙන් පහේ බලය සහිත පාර්ලිමේන්තුව තවත් වසර හයකට දිගු කර ගත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අරමුණ වූයේ, යළිත් වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තුන්වන වරටත් ජනාධිපති ලෙස පත්වීමට අවස්ථාව සකසා ගැනීමය.


78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයකුට ජනාධිපති ලෙස පත්වීමේ හැකියාව ධුර කාල දෙකකට සීමා කර තිබිණි. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබුණේ එය වෙනස් කර ගැනීමය. ජයවර්ධනට අනුප්‍රාප්තිකයෙක් නොවීමත් ඔහු ප්‍රේමදාස සමග ප්‍රතිවිරෝධයක සිටීමත් අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය තුළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති දිගටම පවත්වා ගෙන යාමත් ඒ සඳහා දිගු කලක් බලයේ සිටීමේ වුවමනාවත් තුන්වන වරටත් ජනාධිපතිවීමට ජයවර්ධනට වූ අවශ්‍යතාවට බලපෑ කරුණු විය.


කෙසේ වෙතත් 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග රට තුළ ඇවිළී ගිය ජයවර්ධන විරෝධය 1988 අග වන විට වඩාත් උත්සන්න වන්නට විය. ජයවර්ධන විරෝධී සටන ධනපති ක්‍රමයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි සටනක් බවට පත්ව තිබූ අතර එහි පෙරමුණ ගෙන ක්‍රියා කළේත් සටන් කළේත් ජනතා විමුක්ති පෙරමුණ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ය. ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එ.ජා.ප පාලනය පරාජය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් ගොඩනැගීම ඉලක්ක කර ගත් දේශපාලන සාකච්ඡාවක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ මෙම තත්ත්වය තුළය. ව්‍යවස්ථාවට අනුව 1988 නොවැම්බරයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු වූ බැවින් එය මුල් කර ගෙන මෙම සාකච්ඡා ආරම්භ කෙරිණි. පැවති දේශපාලන තත්ත්වය විග්‍රහ කර ගත් ජනතා විමුක්ති පෙරමුණ. එජාප පාලනය පරාජයට පත් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමත් පක්‍ෂයේ දේශපාලන භූමිකාව සවිමත් කර ගැනීම හා අවසානයේදී එය ආණ්ඩු වෙනසක් මගින් ක්‍රමයේ වෙනසක් දක්වා ගෙන යාමද සහිත උපාය මාර්ගයක් හා එහිම උපක්‍රම ලෙස මෙම සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කළේය. මෙම සාකච්ඡා මුලින්ම ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගය. ඒ 1988 අගෝස්තු අග හා සැප්තැම්බර් මුලදීය. ජ.වි.පෙ ශ්‍රී.ල.නි.ප සාකච්ඡා කිසියම් එකඟතාවකට පැමිණි පසු එම සාකච්ඡාවලට මහජන එක්සත් පෙරමුණත් පසුව එක්සත් ලංකා ජනතා පක්ෂයත් එක් විය. මෙම පක්ෂ හතර අතර කිසියම් දුරක් දක්වා සාකච්ඡා ගෙන යාමෙන් පසු යෝජිත වැඩපිළිවෙළට තවත් පක්ෂ සම්බන්ධ කර ගැනීමේ එකඟතාවක්ද තිබිණි. ඒ පක්ෂ වූයේ මුස්ලිම් කොංග්‍රසය, ලිබරල් පක්ෂය, දෙමළ සංගමය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමයයි. මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කිරීමේ කාර්යයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයද සම්බන්ධ විය.


මෙම සාකච්ඡා සිදුවන අතර 1988 සැප්තැම්බර්වලදී පමණ ජාතිය ගලවා ගැනීමේ එක්සත් පෙරමුණක් සඳහා වගන්ති 45 කින් යුත් වැඩපිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබීය. එහි තිබූ මූලික කරුණු අතර විධායක ජනාධිපති ධුරය හිස් කිරීම, ආණ්ඩුව ඉල්ලා අස්වීම, අපක්ෂපාතී භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම, පළාත් සභා විසුරුවා හැරීම, ජයවර්ධන - රජිව් ගිවිසුම අහෝසි කිරීම, මර්දනය නතර කිරීම, භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වීම, මැතිවරණයෙන් පසු ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් පිහිටුවීම ආදී කරුණු විය. 


ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක් සඳහා වූ සාකච්ඡා කඩිනමින් අවසන් කරනවා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කළේ සාකච්ඡා දිගට ඇදගෙන යාමේ ප්‍රතිපත්තියකි. ම.එ.පෙ. ද මෙහිදී අනුගමනය කළේ කිසියම් දේශපාලන කුහක ප්‍රතිපත්තියක් මත පිහිටා බව පෙනෙන්නට තිබිණි. සාකච්ඡා සඳහා විටින් විට ශ්‍රී.ල.නි.ප වෙනුවෙන් සිරිමා බණ්ඩාරනායක, හලිම් ඉෂාක්, ශ්‍රී.ල.නි.ප උපලේකම් ඉන්ද්‍රපාල අබේවීර, අනුර බණ්ඩාරනායක හා අනුරුද්ධ  රත්වත්තේ සහභාගි වූහ. ම.එ.පෙ. වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන සහභාගි වූ අතර එ.ලං.ජ.ප වෙනුවෙන් රුක්මන් සේනානායක සහ එහි ලේකම් ගාමිණි විජේසේකර සහභාගි වූහ. මෙම සාකච්ඡා සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගි වූයේ සෝමවංශ අමරසිංහ සහෝදරයාත් ආනන්ද ඉඩමේගම සහෝදරයාත්ය. මෙම කණ්ඩායම් සාකච්ඡා රැසක් පැවැත් වූ අතර ඒවා පැවැත්වූ ස්ථාන වූයේ රොස්මිඞ් වලව්ව, එ.ලං.ජ.ප මූලස්ථානය වූ වුඞ්ලන්ඞ්ස් නිවස, හලීම් ඉෂාක්ගේ නිවස, රත්වත්තේ නිවස යන ස්ථානයන්ය. මෙහි අවසාන සාකච්ඡාව පවත්වා ඇත්තේ. බන්දුල ගුණවර්ධනගේ නිවසේදීය.
ආණ්ඩුව විසින් ජනතාව වෙත මුදාහරිමින් තිබූ මර්දනය උත්සන්නවීමත් ඒ සමග ආණ්ඩු විරෝධය හා ජයවර්ධන විරෝධය උත්සන්න වීමත් සාධාරණ මැතිවරණ පවත්වා ගැනීමේ වුවමනාවත් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක් වෙනුවෙන් කරන සාකච්ඡාවල බලපෑමත් සහිතව රටේ විවිධ සංවිධාන ආණ්ඩුවට කරන බලපෑම වැඩිවෙමින් තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද කරුණු දැක්වීම් හා ඒ වන විට මතුව තිබූ තත්ත්වය අනුව 1988 ඔක්තෝබර් මුලදී මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් ප්‍රකාශයක් නිකුත් කළ අතර, ඒ මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණ දෙකම භාරකාර ආණ්ඩුවක් යටතේ පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී. ඊට අමතරව ප්‍රබල වෘත්තිය සමිති හා සංවිධාන 20 ක්ද මේ බලපෑම ආණ්ඩුවට කළේය. එනම් 1988 ඔක්තෝබර් 18 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ 08 විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද කරනු ලැබීය. එම පක්ෂ වූයේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ලංකා ජනතා පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංගමය, ලිබරල් පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමයයි.
රට තුළින් මතු වූ බරපතළ විරෝධය නිසා අවසානයේ එ.ජා.ප.යේ සුක්කානම ප්‍රේමදාස මහතාට බාර දීමට ජයවර්ධන අකමැත්තෙන් වුවත් තීරණය කළේය. එහිදී ජයවර්ධන තම පෞද්ගලික අරමුණට වඩා පංතියේ පැවැත්ම ගැන කල්පනා කළ බව පෙනේ. රට පුරා ජයවර්ධනට ප්‍රබල විරෝධයක් පැවතියද ප්‍රේමදාස කෙරෙහි එවැනි බරපතළ විරෝධයක් නොවීය. ඒ නිසාම ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරනු හැර අන් විකල්පයක් ජේ. ආර්. ට නොවීය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණයේ එ.ජා.ප. අපේක්ෂකයා ප්‍රේමදාස බව එ.ජා.ප.ය ප්‍රකාශයට පත් කළේය.


ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමට නියමිතව තිබුණේ. 88 නොවැම්බර 10 වැනිදාය. ඒ වන විටත් ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් සඳහා වූ සාකච්ඡා අවසානයකට පැමිණ තිබුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළේ එම සාකච්ඡා දිග්ගස්සමින් ගොස් ජ.වි.පෙ සහාය එම පක්ෂයට ලැබෙන බව ජනතාවට අඟවා ජනතා සහයද ලබාගෙන ජනාධිපතිවරණය දිනා ඉන්පසු ඔවුන්ට අවශ්‍ය ලෙස මහ මැතිවරණයක් පවත්වා එයද දිනාගැනීම සඳහා වූ සැලසුමක් සහිතවය ‘වැඩපිළිවෙළකට’ හා ජාතිය ගලවාගැනීමේ ආණ්ඩුවේ සංයුතිය පිළිබඳව නිශ්චිතව එකඟවීම මඟහැරීමේ ක්‍රමයක් ශ්‍රී.ල.නි.ප අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ වටහා ගෙන සිටියේය. අවසාන මොහොතේදී නිශ්චිත එකඟතාවකට ඒමට උත්සාහ දැරුවද එය අසාර්ථකවීම නිසා අවසානයේ ජාතික ගලවා ගැනීමේ එක්සත් පෙරමුණක් සඳහා පැවැත් වූ සාකච්ඡාවෙන් ඉවත්වීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවිය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊට තමා තරග වදින බව සිරිමා බණ්ඩාරනායක ප්‍රකාශ කළ අතර මහජන පක්ෂය වෙනුවෙන් ඔසී අබේගුණසේකරද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීය.


ශ්‍රී.ල.නි.ප ඇතුළු පක්ෂ ජනාධිපතිවරණයට පොදු වැඩපිළිවෙළක් තුළ මුහුණ දීමට සූදානම් නොවී වෙනම තරග වැදීමත් සමඟ එවකටත් තහනම්ව තිබූ ජ.වි.පෙ හමුවේ පැවති එකම ක්‍රියාමාර්ගය වූයේ, ජනාධිපතිවරණය වර්ජනය කිරීමය. ඒ අනුව ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි. ජ.වි.පෙ ත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය. එය එම ජනාධිපතිවරණයේදී ගත යුතුව තිබූ හොඳම තීරණය නොවුණද පැවති වාස්තවික වටපිටාව තුළ එය ඉතිරිව තිබූ එකම ක්‍රියාමාර්ගය විය.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.