1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

රට තුළ දැවැන්ත ආණ්ඩු විරෝධයක් නිර්මාණය වී තිබිණි. එය ආණ්ඩු විරෝධයකින් එහා ගොස් ජයවර්ධන විරෝධයක් බවට පත්ව තිබිණි. මෙම ජනතා විරෝධයට නායකත්වය දීමට ඒ වන විට දුබලව සිට ශ්‍රීලනිප යට නොහැකි විය. එම තත්ත්වය තේරුම්ගත් ජවිපෙ තහනම් තත්ත්වයක් තුළ සිටිමින් වුවද ජනතා විරෝධයට නායකත්වය දීමේ භූමිකාවට පණ පෙවීය.

ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය පෙළ ගැසුණේ උද්ඝෝෂණ හා විරෝධතා සටන් බිම තුළය. එම උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ඒවා තව තවත් වර්ධනය වීමට හේතු විය. උද්ඝෝෂණ පෙරමුණේ සටන් බිම් ජවිපෙට වාසිදායක විය. එමගින් සටන්කාමී දේශපාලනයකට මග විවරකර තිබිණි. ආණ්ඩුව හා ජවිපෙ අතර සටන තීව්‍ර වෙමින් පැවතිණි. පක්ෂයක් ලෙස හුදකලා නොවී උපයෝගීකර ගත හැකි ආණ්ඩු විරෝධී සියලු බලවේග පෙළගැස්වීමටත් ඊට නායකත්වය දීමටත් ජවිපෙ කටයුතු කළ අතර එහි සාර්ථක ප්‍රතිඵලද දකින්නට හැකිවිය.


ජයවර්ධන පාලනය විසින් 1987 ජුලි අගදී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබූයේ මෙවැනි දේශපාලන වටපිටාවක් තුළය. ඒ සමගම රට තුළ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් හා සිවිල් යුදමය තත්ත්වයක් නිර්මාණය විය.


1987 ජුලි 29 වැනිදා අත්සන් කරන ලද ජේ. ආර්. රජිව් ගිවිසුම හෙවත් ඉන්දු - ලංකා ගිවිසුම ලාංකේය දේශපාලනයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේද ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් විය. එක්සත් ජනපද ගැති ජේ. ආර්. දණ ගස්වා ගැනීම සඳහා බලය පාවිච්චි කළ ඉන්දියාව ඒ වන විට කොටි සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබූ වඩමාරච්චි මෙහෙයුම නතර කිරීමට බල කරමින් ලංකාවේ ගුවන් සීමා උල්ලංඝනය කොට ලංකාවට ගුවනින් පරිප්පු හෙළමින් ජයවර්ධන බිය වද්දා ඉන්දු - ලංකා ගිවිසුම ලංකාව මත පැටවීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ජුලි 29 වැනිදා ලංකාවට පැමිණි ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි එදිනම ජනාධිපති ජයවර්ධන සමඟ ගිවිසුම අත්සන් කළේය. ගිවිසුම අත්සන් කර පැය 24 ක් ගතවීමටත් පෙර 1987 ජුලි 30 වැනිදා ඉන්දීය හමුදාව (ඊනියා සාමසාධක හමුදාව) යාපනයට කඩා වැදුණි. මෙය පැහැදිලිවම ලංකාව ඉන්දියාවට පාවා දීමක් මෙන්ම ලංකාවට එරෙහිව ඉන්දීය ආක්‍රමණයක්ද විය.


ජේ. ආර්. ජයවර්ධනට ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට සිදු වූයේ දැවැන්ත ජනතා විරෝධයක් මධ්‍යයේය. ජනතා විරෝධය ඇවිළීමේදී පෙරමුණ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණය. ඉන්දු - ලංකා ගිවිසුම පාවා දීමේ ගිවිසුමක් ලෙසත් ජයවර්ධන ජනාධිපතිවරයා මව්බිමට ද්‍රෝහී වූවකු ලෙසත් ඉන්දියානු හමුදාව ආක්‍රමණික හමුදාවක් ලෙසත් හැඳින්වූ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කළේය. ගිවිසුම අත්සන් කළ දා ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූවද එය නොසලකා දස ලක්ෂයක් පමණ වූ ජනතාව රට පුරා පෙළපාළි පවත්වමින් මාර්ග වසා දමමින් විරෝධතාව පළ කළහ. මෙම සාමකාමී ජනතා උද්ඝෝෂණවලට වෙඩි තැබූ ආණ්ඩුව රට පුරා උදඝෝෂකයින් 147 දෙනෙකු පමණ ඝාතනය කළේය. ගිවිසුමට එරෙහිව විරෝධය සාමාන්‍ය ජනතාවට පමණක් සීමා නොවීය. එය හමුදා කොටස් අතරටද ව්‍යාප්තව තිබුණේය. එහි ප්‍රතිඵලයක් වූයේ ගිවිසුමට පසුවදා එනම් ජූලි 30 වැනිදා උදේ 10.15 ට පමණ හමුදා ආචාර පෙළපාළියක් පිළිගනිමින් සිටි රජිව් ගාන්ධි අගමැතිවරයාට එම ආචාර පෙළපාළියේ සිටි නාවික භටයකු තුවක්කු බඳෙන් පහරදීමය.


මෙතැන් සිට ඉන්දීය ආක්‍රමණයට එරෙහිවත් ජයවර්ධනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ද්‍රෝහී පාලනයට එරෙහිවත් දැවැන්ත ජනතා විරෝධයක් හා ජනබලයක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය. එය උද්ඝෝෂණ ක්ෂේත්‍රයේ, බහුජන ක්ෂේත්‍රයේ මෙන්ම සන්නද්ධ ක්ෂේත්‍රයේද ක්‍රියාත්මක විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් බවට පත් වූයේ මේ සමගය. ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සිදුවූ ප්‍රබල සිදුවීමක් වූයේ 1987 අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ රැස්වීමකට බෝම්බයක් එල්ල වීමය. එහිදී ඇතුළත්මුදලි ඇමැතිවරයා බරපතළ තුවාල ලැබූ අතර කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා හා සේවකයෙක් මිය ගියහ.


ඉන්දු - ලංකා ගිවිසුම මගින් පළාත් සභා ව්‍යුහය ලංකාව මත පටවා තිබූ අතර එය ජයවර්ධන ආණ්ඩුව විසින් 13 වැනි සංශෝධනය ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලදී. ඉන්පසු පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමට පෙර 1988 සැප්තැම්බර් 08 වැනිදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන ලදී. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව නැගුණු ජනතා විරෝධය පළාත් සභාවලටද එරෙහිව මතුවීම නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අසීරු කාර්යයක් බවට පත්ව තිබිණි. පළමු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම 1988 මාර්තු 02 සිට 09 දක්වා සිදු කෙරෙන බව ප්‍රකාශ කරන ලදී. එහෙත් පැවැති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින්ම බස්නාහිර, දකුණු මධ්‍යම හා උතුරු - නැගෙනහිර පළාත් සභා ඡන්ද කල් දමනු ලැබීය. නාම යෝජනා බාර ගත් ඉතිරි පළාත් සභා සඳහා මැතිවරණය 1988 අප්‍රේල් 28 පැවැත්වූ අතර කල් දමනු ලැබු පළාත් සභාවල ඡන්ද පැවැත්වුයේද අවස්ථා කිහිපයකදී කඩින් කඩය. ඒ අනුව බස්නාහිර හා මධ්‍යම ජුලි 02 වැනිදාද දකුණු පළාත් සභාව සඳහා ඡන්දය ජුනි 08 වැනිදාද උතුරු හා නැගෙනහිර පළාත් සභාව සඳහා ඡන්දය නොවැම්බර් 19 වැනිදා ද පැවැත්විණි.


පළාත් සභා මැතිවරණය වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරන ලද අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එය වර්ජනය කිරීමට තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂය සමග එක්සත් සමාජවාදී පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ලිබරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ්. වැනි පක්ෂ තරග කරන ලදී. දැවැන්ත විරෝධතා හා බාධා මධ්‍යයේ රාජ්‍ය බලය යොදා ගනිමින් පැවැත්වූ මෙම මැතිවරණවලදී පාවිච්චි කළ ඡන්ද ප්‍රතිශතය ඉතාම අඩු විය. මුළු රටේම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 49.7% ක් වු අතර හම්බන්තොටදී එය 7.97% ක් තරම් සුළු ප්‍රමාණයක් විය.


මෙයින්  පසුව ආණ්ඩුව හා ජනතාව අතර වූ ගැටුම උග්‍ර වන්නට විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්වමින් ඉතාම සාර්ථක විරෝධතා දින කිහිපයක්ම විටින් විට සංවිධානය කළ අතර මේ වන විට බිහි වී තිබු කම්කරු සටන් මධ්‍යස්ථානය වෘත්තීය අරගලවලට නායකත්වය සැපයීය. කම්කරු සටන් මධ්‍යස්ථානය ජවිපෙ කම්කරු සංගමයේ නායකත්වයෙන් ගොඩනගන ලද සටන්කාමී කම්කරු මධ්‍යස්ථානය විය. ඒ අතර වඩාත් සටන්කාමී වූ ශිෂ්‍ය ව්‍යාපාරයද අරගලයේ පෙරමුණ ගෙන සිටියේය.


මේ අතර ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව විවිධ කුමන්ත්‍රණ බොරු ප්‍රචාර ආදිය යොදා ගනිමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව රාජ්‍ය මර්දනය මුදා හැරීමත් එක විට සිදු කළේය. 


1988 මැයි 10 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුව අතර ගිවිසුමක් අත්සන් කෙරුණු බවත් ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කරන බවත් ජවිපෙ නායකයෙක් වු කේ. සී. සේනානයක නමැත්තෙක් සහ තිස්ස බාලසූරිය පියනම ඊට මැදිහත් වූ බවත් ආණ්ඩුව ප්‍රචාරය කළේය. එය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් විය. ඒ සඳහා කේ. සී. සේනානායක නම් අයෙකු (ඔහු ජවිපෙ නායකයෙකු තබා හිතවතෙක්වත් නොවීය) යොදා ගෙන තිබිණි. මෙම කුමන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙළි කිරීමත් ප්‍රතික්ෂේප කිරීමත් සමග එය අසාර්ථක විය. මින් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකයින් එළියට ගැනීම බව පෙනිණි.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.