1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

තරුණ සංගමය ගොඩ නැගීමේදී සංවිධාන හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට වැඩි බරක් තබා කටයුතු කරන ලදි. 1983 පක්‍ෂය තහනම් වූ අවස්ථාවේ ප්‍රසිද්ධ දේශපාලනයේ නියැළී සිටි සංවිධායකයින්ට වැඩ කිරීමට නොහැකි වන විට බොහෝ තැන්වල එම රික්තය පුරවනු ලැබූයේ, තරුණ සංගම් සංවිධාන යාන්ත්‍රණය මගින් වීම සැලකිය යුතු කරුණකි.


1983 මැයි දිනය වන විට ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම තීව්‍ර වෙමින් තිබූ අතර ජ.වි.පෙ.ට එරෙහිව අවලාද පැතිරවීමේ හා එය මර්දනය කිරීම සඳහා පසුබිම සැකසීමේ කටයුතු ආණ්ඩුව විසින් කරමින් තිබිණි. 1983 මැයි 01 දින ජ.වි.පෙ. වගකීම සහිතව කොළඹ නගරයේ ස්ථානයක පෝස්ටරයක් අලවා තිබූ අතර ඊට රාජ්‍ය මාධ්‍ය මඟින් ප්‍රචාරයක්ද දෙන ලදී. (ඒ වනවිට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය තිබුණේ නැත) ජ.වි.පෙ. ප්‍රතිපත්ති ලෙස කරුණු කිහිපයක් සඳහන් කර තිබූ එම පෝස්ටරයේ ජ.වි.පෙ. ආණ්ඩුවක් යටතේ බයිසිකල් පවා රජයට පවරා ගන්නවා වැනි මැද පංතික හා පහළ මැද පංතික කොටස් ජ.වි.පෙ.න් ඈත් කරවන බොරු කරුණු සඳහන් කර තිබුණි. මෙම මඩ පෝස්ටරය නිර්මාණය කර තිබුණේ, එවකට සැලසුම් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළ අංක එකේ ප්‍රතිගාමියෙක් වූ හා ගාමිණි දිසානායක ඇමතිවරයාගේ මස්සිනා වූ වික්‍රම වීරසුරිය විසින් බව කියැවිණි. ආණ්ඩුවේ මේ සියලු අවලාද බිය වැද්දීම් මැද 83 මැයි දිනය ඉතාම සාර්ථක ලෙස පැවැත්වීමට ජ.වි.පෙ.ට හැකි විය. 


1982 ජනාධිපතිවරණයේ පරාජයත් ජනමත විචාරණයේ පරාජයත් නිසා 83 මැයි දිනය සාර්ථකව පවත්වා ගැනීමට ජ.වි.පෙ අසමත්වනු ඇතැයි ජයවර්ධන පාලනය උපකල්පනය කර තිබුණි. එහෙත් ඔවුන්ගේ නිගමන බොරුකරමින් විශාල සහභාගිත්වයක් සහිතව ඉතාම සටන්කාමී ලෙස හා සංවිධානාත්මකව මැයි දිනය පැවැත්වීමට ජ.වි.පෙ. සමත් විය. මෙය ධනේශ්වර පාලකයින්ට වටහා ගැනීමට නොහැකි ජ.වි.පෙ. සතු විශේෂතාවකි. සිය ඉතිහාසය තුළ ජ.වි.පෙ. මුහුණ දෙන පසුබෑම් වලදී විශේෂයෙන් මැතිවරණවලදී ජ.වි.පෙ.ට හිතවත් හා ඡන්දය දෙන බලවේග තාවකාලිකව ඈත් වුවද පක්‍ෂ කේඩරය හා සංවිධාන බිඳ නොවැටී තබා ගැනීමට ජ.වි.පෙ. සමත් විය. ඒ නිසා ඉතාම බරපතළ පසුබෑමක් සහිත අවස්ථාවලදී පවා සංවිධාන ශක්තිය මෙහෙයවා කරන කටයුතු සාර්ථක කර ගැනීමට ජ.වි.පෙට හැකිවී තිබේ. මෙම මැයිදින රැලියේ තේමා පාඨය වූයේ, “ජනමත විචාරණය වංචාවක් 83 මහ මැතිවරණය පවත්වනු” යන්නය. 


1983 ජ.වි.පෙ. මැයි දින වේදිකාවේ ප්‍රධාණ කථිකයා වූ රෝහණ විජේවීර සහෝදරයා ජයවර්ධන පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ගැන ජනතාවට අනතුරු අඟවද්දී එ.ජා.ප. මැයිදින වේදිකාවේ ප්‍රධාන කථිකයා වූ ජනාධිපති ජයවර්ධන තම පංතියට අනතුරු අඟවමින් පැවසුවේ, මින්පසු තමන්ට මුහුණ දීමට සිදුවන බලවේගය ජ.වි.පෙ. බවය. විශේෂයෙන්ම සාර්ථක ලෙස පැවැති ජ.වි.පෙ. මැයි පෙළපාළිය හා රැලිය ජයවර්ධනලාගේ පංතිමය බිය වැඩි කිරීමට හේතු විය. මෙයින් පසු ජයවර්ධන පාලනය ජ.වි.පෙ. දඩයම් කිරීම අරමුණු කර ගනිමින් ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් කටයුතු කළ බව ඉතා පැහැදිලිය. මේ වන විට ලංකාවේ ජාතික ගැටලුව අනෙකුත් ප්‍රශ්න යට කරමින් මතුවීමට පටන්ගෙන තිබුණි. එය බැලූ බැල්මට පැවතියේ, ධනේශ්වර ආණ්ඩුවේ අසාධාරණයට එරෙහි නැගී එන දෙමළ සටන්කාමී තරුණයන්ගේ අරගලයක් ලෙසය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තිඹිරිගෙය කරගනිමින් බිහිවූ මෙම සටන්කාමී තරුණ ව්‍යාපාරය වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා පෙනී සිටින බෙදුම්වාදී දේශපාලනය නියෝජනය කළ ව්‍යාපාරයක් වූවද ඒවා විසින් මුලදී මතුපිටින් වාමාංශික පෙනුමක් රඳවා ගැනීමටද උත්සාහ කරන ලදී. ඒ නිසාම වමේ සමහර කොටස් මෙහි හරය වටහා නොගනිමින් මෙම අරගලයට පක්‍ෂපාතී වූ අතර අනෙක් අතින් වාමාංශිකයන් ලෙස වෙස්වළාගෙන සිටි අන්ත ප්‍රතිගාමී හා ප්‍රතිවිප්ලවවාදීන් වූ දයාන් ජයතිලකලා වැනි පුද්ගලයෝද ඒ සඳහා දායක වූහ. ආරම්භයේදී බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ ප්‍රධානම සංවිධානය වී තිබුණේ උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් තිබූ ප්ලොට් සංවිධානයයි. එයද වාමාංශික පෙනුමක් සහිතව තිබූ අතර පද්මනාහගේ ඊ.පී.ආර.එල්.එෆ්. සංවිධානයට වඩාත් වාමාංශික පෙනුමක් විය. වමේ කොටස් නොමග යාමට එයද හේතු විය. 


කෙසේ වෙතත් ජාතික ගැටලුව උත්සන්න වී බෙදුම්වාදී සන්නද්ධ තරුණ සංවිධාන කරළියට එද්දී ජාතික ගැටලුව පිළිබඳ ජ.වි.පෙ. සමහරුන් තුළද කිසියම් අවිනිශ්චිත බවක් විය. එවකට පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයාව සිටි ලයනල් බෝපගේ ඇතුළු කිහිප දෙනෙක් දෙමළ බෙදුම්වාදී අරගලය දෙස එය අනුමත කරන හා ඊට උදව් කළ යුතුය යන අර්ථයෙන් බැලූ අතර එහිදී “ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය” නම් ලෙනින්ගේ සූත්‍රයද ඉස්මතුකර ගනිමින් සිටියහ. මේ තත්ත්වය මත ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ ජ.වි.පෙ. ස්ථාවරය නිරවුල් කරගත යුතු විය. ඒ සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් 1983 ජූලි මස අගදී කැඳවීමට පක්‍ෂය කටයුතු කළේය. 


1983 ජූලි 21, 22 හා 23 යන දිනවල තංගල්ලේ විතාරන්දෙණියේදී ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිවාරයක් පවත්වන ලද්දේ, මෙම වාතාවරණය තුළය. මෙම මධ්‍යම කාරක සභා සැසි වාරය විශේෂ වැදගත්කමක් සහිත එකක් විය. මේ වන විට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය මතුපිටින් වාමවාදී ස්වරූපයක් පෙන්වමින් ක්‍රියාත්මක විය. එසේම සමහරු මෙය ගැඹුරින් විග්‍රහකර ගැනීමකින් තොරවම විමුක්ති ව්‍යාපාරයක් ලෙසද සැලකූහ. මෙම වටපිටාව තුළ ජනතා විමුක්ති පෙරමුණේ කීප දෙනෙක්ද දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය පිළිබඳ වැරදි ස්ථාවරයන්ට එළමී සිටියහ. මේ තත්ත්වය වෙනස් කිරීමට ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ මාක්ස්වාදී ඇගැයීමක අවශ්‍යතාව බරපතළ ලෙස ඉස්මතු විය. ඉහත සඳහන් මධ්‍යම කාරක සභා සැසිය පැවැත්වීමට බලකළ ප්‍රධාන කරුණ වූයේ එයයි. 


මෙම මධ්‍යම කාරක සභා සැසිවාරයේදී ලංකාවේ ජාතික ගැටලුවේ ආරම්භය හා එහි ස්වභාවය පිළිබඳවත් ජාතික ප්‍රශ්නය පිළිබඳ මාක්ස් - ලෙනින්වාදී ස්ථාවරය හා “ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය” නැමැති සූත්‍රය ලංකාවේ ගැටලුවට යොදාගත නොහැකි වන්නේ ඇයිද යන්නත් පැහැදිලි කරමින් රෝහණ සහෝදරයා විසින් පුළුල් පැහැදිලි කිරීමක් කරනු ලැබීය. මෙහිදී දේශපාලන මණ්ඩල සභිකයෙක් වූ රත්නායක (පොඩි රත්න) හා එවකට ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ වෙනත් ස්ථාවරයක් දරමින් දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය හා එකට කටයුතු කළ යුතුය යන අදහස සහිත මතයක් ඉදිරිපත් කළහ. මෙහිදී රත්නායක සෘජු ලෙස හා පැහැදිලි ලෙසම දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය පීඩිත ජනතාවගේ විමුක්ති ව්‍යාපාරයක් බවද අප එය සමග අත්වැල් බැඳගත යුතු බවද එම අරගලයට කොන්දේසි විරහිතව සහාය දිය යුතු බවද ප්‍රකාශ කළ අතර පක්‍ෂය එම ස්ථාවරයට නොඑන්නේ නම් තවදුරටත් පක්‍ෂය සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නැති බවද ප්‍රකාශ කළේය. එහෙත් ලයනල් බෝපගේ එලෙස තම මතය පැහැදිලිව ඉදිරිපත් කරනවා වෙනුවට කිසියම් අස්ථාවර බවක් හා දෙගිඩියාවක් පළ කළේය. කෙසේ වෙතත් දෙමළ ඊළමක් සඳහා වන බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාරයක් නොවන බවත් එය පංතියේ සමගියට බාධාකරන නිර්මාක්ස්වාදී හා ප්‍රතිගාමී ව්‍යාපාරයක් බවත් පක්‍ෂයේ බහුතරයේ ස්ථාවරය විය. 


මේ වන විට උතුරේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය උපයෝගී කර ගනිමින් ජයවර්ධන පාලනය ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට සූදානම් වන බව ජ.වි.පෙ. තේරුම් ගෙන සිටි අතර ඉහත සඳහන් කළ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරනු ලැබිණි. ඒ නිසාම මර්දනයකදී පක්‍ෂ නායකයන්ගේ හා සාමාජිකයින්ගේ ආරක්‍ෂාව පිළිබඳවද අවධානය යොමු කර අවශ්‍ය වූ විට ආරක්‍ෂක පියවරයන් ගැනීමටද සාකච්ඡා විය. කෙසේ වෙතත් රටේ තත්ත්වය පිළිබඳව ලැබෙමින් තිබූ තොරතුරුවල බරපතළකම නිසා මෙම මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසි වාරය දින දෙකකින් පසු අතරමග නවතා පක්‍ෂයේ ආරක්‍ෂාව හා පවතින තත්ත්වයට මුහුණදීම සඳහා කළ යුතු කාර්යන් වෙනුවෙන් මැදිහත් වීමට පක්‍ෂයට සිදුවිය. මෙම මධ්‍යම කාරක සභා සැසිවාරයෙන් පසු සිදුවූ එක් සිදුවීමක් වූයේ, රත්නායක පක්‍ෂය හැර යාමය.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්