ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රණයෙන් පසු ජාතිය ඇමතූ ලෙනින් විසින් පවත්වන ලද දීර්ඝ කථාවේ මෙසේද සඳහන් වූ බව කියනු ලැබේ. “මේ වන විට ප්‍රජා ජීවක අධිරාජ්‍යවාදය ධනේශ්වරවාදය, කෘර සාර්වරුන්ගේ වැඩවසම් පාලන ක්‍රමය යන මේ සියල්ලම එකවිට පරාජය කොට මෙම සියලු සමාජ උපද්‍රව සමස්ත රුසියානු භූමිතලයෙන් පිටමංකොට ඇත. මිනිසා විසින් මිනිසා සූරාකෑමේ සමාජ ව්‍යසනය රුසියාවෙන් අතුගා දමා ඇත. එම සටනේ දී දිවි දුන් බෝල්ෂෙවික් වරුන්ට ද සාමාජික කේඩරයේ සහෝදරවරුන්ටද කොම්සමෝල් තරුණ සහෝදරවරුන්ට ද සාර් පාලනයට එරෙහිව අරගලයේ නියුක්ත වූ නිර්ධන පන්තියේ සහෝදර සහෝදරියන්ට ද අපි අපේ ආචාරය පිරිනමන්නෙමු.

අපේ ශ්‍රේෂ්ඨ මග පෙන්වන්නා වූ කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් පෙන්වා දුන් ආකාරයට අප වෙත පැමිණෙන තවත් ඓතිහාසික වගකීමක් ද වේ. එනම් සමස්ත මිහිතලයේම වෙසෙන නිර්ධන පන්ති ජනතාවටම තමන් සූරාකෑම කරන දුෂ්ට පාලකයන්ගෙන් මිදීම සඳහා කරන්නා වූ අරගලයේ දී එකී ජනතාවන්ට සාමය, විමුක්තිය, පන්ති සටනට නිරන්තරයෙන්ම අපි සියලු ආකාරයෙන් උදව් උපකාර කරන්නෙමු. ඒ සඳහා නිරන්තරයෙන්ම ඇප කැප වන්නෙමු.”


ලෙනින් ප්‍රකාශ කළ පරිදිම රුසියාව එම ජාත්‍යන්තර යුතුකම මනාව ඉටු කළේය. නොයෙක් උපාය උපක්‍රම යොදා ගනිමින් ලෝකයේ ඕනෑම රටක සිදුවන අරගලයක දී එයට ශක්ති පමණින් ආධාර කළේය. යාබද චීනය සහ මොංගෝලියාවේ දී මෙන්ම ඈත දුර බැහැර කියුබාව ඇන්ගෝලාව ආදී රටවලට ද ආධාර දුන් ආකාරය මෙයට මනා නිදසුන් වේ. කොරියාවේ කිම් ඉල් සුං, වියට්නාමයේ හෝච්මිං ආදීන්ගේ විමුක්ති අරගලයන්හි දී රුසියාව ලබාදුන් සහාය අපරිමිතය. පිදෙල්ගේ කියුබානු විප්ලවයට රුසියාව උදව් කළ බවට සාක්ෂි නැතත් ඇමෙරිකාවේ දත් තිස් දෙක මැද එම රාජ්‍යය මේ සා දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට හැකිවූයේ සෝවියට් රුසියාවේ උපක්‍රමශීලී සහයෝගය නිසා බව නොරහසකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව පෝලන්තය, හංගේරියාව, චෙකොස්ලෝවෙකියාව බල්ගේරියාව, රුමේනියාව, ඇල්බේනියාව යුගොස්ලෝවියාව සහ නැගෙනහිර ජර්මනිය ද ස්ථාවර රාජ්‍යයන් ලෙස ආරක්ෂා කර ගැනීමට සෝවියට් දේශය උපකාර කළාක් මෙන්ම එකී රටවල් ද ඕනෑම මොහොතක ඕනෑම කරුණක් පිළිබඳව එකඟත්වයෙන් කටයුතු කළ ආකාරය අපට මතකය. ඒවා අතර මත ගැටුම් ඇතිවූ අවස්ථා ද තිබුණා වුවත් සෝවියට් දේශයේ යුද බලය උපයෝගී කොටගෙන එම අර්බුද නිරාකරණය කළ හැටි හංගේරියාවේ ඉම්රේ නාගි පලවාහැරීමේ දී සහ චෙකොස්ලෝවෙකියාවේ දී ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් නෙරපා හැරීමේ දී අනුගමනය කළ ක්‍රියාපටිපාටියෙන් මනාව ගම්‍ය විය.

 


රුසියාව ආදර්ශයට ගනිමින් ලෝකය පුරා බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ ආරම්භ විය. ඒවා සියල්ල ඒකාබද්ධ කර එක් සංවිධානයක් ද ගොඩ නගා තිබුණි. ලෙනින්ගේ කාලයේ දී එය හැඳින්වුණේ තුන්වැනි ජාත්‍යන්තරය නමිනි. ලෝකය පුරා රටවල සමාජවාදී අරගලය සිදුවිය යුතු ආකාරය, ඒ එකිනෙක කෙරෙහි යොදාගත යුතු උපාය උපක්‍රම සහ වාස්තවික තත්ත්වයන් පිළිබඳව තීරණය ගැනුණේ මෙම තුන්වැනි ජාත්‍යන්තරය සෙවණේය. වෙනත් රටවල තරුණ පිරිස් රුසියාවට ගෙන්වා කෙටි කාලීන හා දීර්ඝ කාලීනව සංචාරය කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක විය. ලෝකයේ රටවල කොමියුනිස්ට් පක්ෂවල නායකයෝ රුසියාවේ සහ අනෙකුත් සමාජවාදී රටවල සංචාරය කළහ. නව පාලනය යටතේ ඇතිවන ශීඝ්‍ර සංවර්ධනය හා රුසියාවේ ජනතාව විඳින සුව පහසු ජීවිතය දැක බලා ගැනීමට අවස්ථාව සැලසීම එකල නිතර සිදුවූ බව මම දනිමි. ඉතා ළාබාල වයසේදීම රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ තවත් රටවල් කීපයක සංචාරය කිරීමට වසර පනහකටත් එහා අතීතයේ දී මට ද පෞද්ගලිකව භාග්‍යය උදාවූ බව සතුටින් සිහිපත් කළ හැකිය. එහි අත්දැකීම් අනුව සලකන විට රුමේනියාවේ බුකරෙස්ට් විශ්ව විද්‍යාලයේ පවත්වන ලද දින දහයක පාඨමාලාවක් ගැන සිහිපත් කළ හැකිය. මෙරට ශිෂ්‍ය සංගම් නියෝජිතයන් හැටියට එම සංචාරයට අප යොමු කර තිබූ අතර එම සරසවියේ දින දහයේ පාඨමාලාවට මුළුමනින්ම අඩංගු වූයේ මාක්ස් ලෙනින්වාදය ගැන දේශනයක්ය. සිංහලෙන් කියද්දීවත් තේරුම් ගැනීම අපහසු මාතෘකාවක් වූ එය අන්‍ය භාෂාවකින් පැවැත්වූ එම දේශන අප සමග වූ ළමා නියෝජිතයන්ට ගෝචර නොවූ බව මම වටහා ගත්තෙමි. එය සෝවියට් ආණ්ඩුව විසින් කළේ අනාගතය සඳහා කරන අයෝජනයක් වශයෙනි. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ රටවල කොමියුනිස්ට් කාඩර්වරු බිහිකිරීම එමගින් අපේක්ෂා කළ පරමාර්ථය විය. රුමේනියාවේ දී ලැබුණු එම දින දහයේ පුහුණුව මාස දහයක් වූවේ නම් මගේ ජීවිතයේ ඉරණම මෙයට හාත්පසින් වෙනස්වීමට තිබුණි. එහෙත් එපමණට හෝ ලැබුණා යැයි සතුටුවීමට අපි දැන සිටියෙමු.


මා රැඳී සිටි බුකරෙස්ට් සරසවිය වැනි විශ්වවිද්‍යාල නැගෙනහිර යුරෝපයේ බොහෝ අගනුවරවල තිබුණු  බව මම දනිමි. එයින් ප්‍රධාන ස්ථානය ගන්නේ රුසියාවේ මොස්කව්හි ජාත්‍යන්තර මිත්‍රත්ව විශ්ව විද්‍යාලයයි. එයද දැක බලා ගැනීමේ අවස්ථාවද වරෙක මට ලැබුණි. එයට අධ්‍යාපනය ලැබීමේ සුදුස්සන් නිර්දේශ කිරීමේ අයිතිය ලැබී තිබුණේ ඒ ඒ රටවල කොමියුනිස්ට් පක්ෂවලටය. තම රටවල පක්ෂවල ක්‍රියාකාරී තරුණයන්ට එම අවස්ථාව ලබාදීමට නායකයෝ වග බලාගත්හ. එය කළේ අනාගත නායකයන් ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව දැනුමෙන් සන්නද්ධ කිරීමටය. ඒ අතරම යහපත් ජීවනෝපායක් සලසා දීම ද අරමුණක් වූ බව මම දනිමි. මේවා කොතරම් දුරට සාර්ථක වුවද යන්න පනස් වසරකට පසු අද සිදුවනදේ අනුව මට වටහා ගත නොහැක. මෙසේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා පැමිණි බොහෝදෙනා වෛද්‍ය, අධ්‍යාපනඥ, ඉංජිනේරු, පුවත්පත් කලාවේ දී වැනි නොයෙක් ක්ෂේත්‍රවල කටයුතු කළහ. දේශපාලනයේ ද සිටියහ. අද ද සිටිති. මේ සෑම කෙනෙකු තුළම සෝවියට් දේශය සහ කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි විශාල ගෞරවයක් ඇති බව මම දනිමි. එහෙත් ලංකා කොමියුනිස්ට් පක්ෂයට බැඳී එහි නිලතල දරමින් ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය සාර්ථක කර ගැනීමට පන්ති සටන මෙහෙයවන කී දෙනෙක් ඇද්දැයි මම නොදනිමි. එයින් මට වටහා ගත හැකිවන්නේ ලෙනින්ගේ සිට ස්ටාලින්, මාලන්කොව්, බුල්ගනින්, නිකිතා කෘෂෙප්, බ්‍රෙෂ්නෙප් ඇලෙක්සි කොඩිජින්, යූරි අන්ද්‍රොපොව් සහ මිඛායෙල් ගොර්බචෝප් දක්වා වූ රුසියානු නායකයන්ගේ අපේක්ෂා ඉටුවී නැති බවය.

 

 

එහෙත් මොස්කව්හිදී තමන් දැනුම්වත් වූ එම උදාර පුරුෂාර්ථයන් යැයි පිළිගත් සහ ඒ වෙනුවෙන් කැපවූ සටන් කළාක් මෙන්ම ඒ වෙනුවෙන් තම උතුම් ජීවිතය පූජා කළ අයද නැත්තේ නොවේ. ශ්‍රී ලංකාවේ නිර්ධන පන්ති අරගලය වෙනුවෙන් කැපවී දේශපාලන පක්ෂයක් ද ගොඩනගා සන්නද්ධ අරගලය ද මෙහෙයවා, ඒ වෙනුවෙන්ම ජීවිතය පූජා කළ රෝහණ විජේවීරයන් එවැන්නෙකි. ජාත්‍යන්තරයේ ද එවැනි චරිත දක්නට ලැබේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මග ගැන හදාරන්නෙකුට පෙනීයන ප්‍රධානම සත්‍යයක් වනුයේ එම පක්ෂයේ දේශපාලන පරමාදර්ශය වන්නේ චේ ගුවේරා බවය. ආර්ජන්ටිනාවේ උපත ලබා වෛද්‍යවරයකු ලෙස වාත්තීය සුදුසුකම් ඇතිව සිටි අර්නස්වෝ චේ ගුවේරා පිදෙල් කස්ත්‍රෝ, රාවුල් කස්ත්‍රෝ, ඔස්වල්ඩෝ ඩෝර්ට්කෝස් ආදී විප්ලවවාදීහු එක්ව කියුබානු විප්ලවය සිදු කළහ. එය කම්කරු පන්තියේ බලවේගය නායකත්වය දෙන පන්ති අරගලයක් ලෙස මතුවූ විප්ලවයක් වූවේ නැත. සටන්කාමී තරුණ කණ්ඩායමකගේ පහරදීමක් ලෙස ඒකාධිපති බැටිස්ටාගේ මර්දනකාරී පාලනය පෙරළා දැමීමක් විය. එනිසා නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ගොඩනැගීමට සුදුසු පන්ති පදනමක් එහි තිබුණේ නැත. නායකත්වය දුන් පිරිස මාක්ස්වාදීන් වූවේ ද නැත. පසුකාලීනව කියුබාවේ රජයට එරෙහිව යාබ ද ඇමෙරිකාවෙන් සිදුවුණු හිරිහැර අප්‍රමාණ විය. පිදෙල් මරා දැමීමට දරන ලද ප්‍රයත්නයන් ගණනාවක් වළක්වා ගැනීමට ඔවුහු සමත් වූහ. කියුබානු සමාජවා දී රජය ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පමණක් නොව ආර්ථික සහ යුධායුද වශයෙන්ද උපකාර කළේ සෝවියට් දේශයයි. එනිසාම කියුබානු නායකයෝ කොමියුනිස්ට්වාදීහු වූහ. මෙයිනුත් චේ ගුවේරා අසාමාන්‍ය විප්ලවවාදියෙක් වූවේය. කියුබානු රජයේ කර්මාන්ත ඇමතිවරයා වශයෙන් පත්ව එම රටේ දියුණුව සඳහා කටයුතු කරමින් සිටිය දී චේ හිටිහැටියේම අතුරුදන් විය. ඔහු තම නායකයා වූ අගමැති පිදෙල් කස්ත්‍රෝට ලිපියක් ලියමින් දන්වා තිබුණේ කියුබානු විප්ලවය ජයග්‍රහණය කර ඇති නිසා තමාගේ සේවය කියුබාවට තවදුරටත් අනවශ්‍ය බව තමන් අදහස් කරන නිසා තවත් රටක සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවීමේ අරමුණ ඇතිව තමා නික්ම යන බවය. එය එසේම සිදුවිය. චේ බොලිවියාවේ ගරිල්ලා යුද්ධයට සම්බන්ධව සිටිය දී ප්‍රතිවාදීන්ට අසු වී මරා දැමුණු බව වාර්තා විය. මේ අසාමාන්‍ය විප්ලවවාදියා ලොව පුරා සටන්කාමීන්ට පරමාදර්ශයක් වූවේ නිතැතිනි. ලංකාවේ ප්‍රථම ආයුධ සන්නද්ධ අරගලය මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන්ගේ පරමාදර්ශය වූවේත් චේ ගුවේරා බව නිසැකය. ඔහු පැලඳි හිස්වැසුම එහි සටහන් තරුව ලාංඡනය පමණක් නොව උඩු සහ යටි රැවුල පවා අනුකරණය කරන්නක් විය. ආරම්භක යුගයේ ජවිපෙ හැඳින්වූවේ ද චේ කල්ලිය යනුවෙන් බව ද අපට මතකය.


එක්දහස් නවසිය හතළිස් හතේ මහා මැතිවරණයේ දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා වූවේ ප්‍රේමලාල් කුමාරසිරි මහතාය. ඒ මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු වූ රෝහණයන්ගේ පියා ප්‍රතිවාදීන්ගේ පහර කෑමකට ලක්ව රෝගාතුර විය. පසුකාලීනව එම රෝග තත්ත්වය අංශභාග රෝගය දක්වා වර්ධනය වීමෙන් රැකියාවක් කරගත නොහැකි පමණ මත්පළ වූවේය. එනිසා ඔවුන්ට සෑම අතින්ම උදව් කිරීමට කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතා වගබලා ගත්තේය. රෝහණ විජේවීර මහතාට රුසියාවේ මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් යාමට නිර්දේශ වූවේ ඒ ආකාරයෙනි. එයට පෙර ද එක් කණ්ඩායමක් මෙසේ ශිෂ්‍යත්ව ලබා මිත්‍රත්ව සරසවියට ගොස් තිබුණි. එකල පුවත්පත් කලාවේදීන් ලෙසත්, කොමියුනිස්ට් පක්ෂයේ ඉතා දක්ෂ ක්‍රියාකාරී තරුණයන් වශයෙන් ද කටයුතු කළ කරුණා ධර්මකීර්ති සහ ග්‍රේෂන් චන්ද්‍රතිලක එවැනි දෙදෙනෙකි. මේ අයට එකතු වූ ආසියා අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු රටවලින් පැමිණි ශිෂ්‍යයෝ බොහෝ වූහ.


සැන්සිබාරය යනු අප්‍රිකාවේ පිහිටි ඉතා කුඩා දූපත් රාජ්‍යයකි. පැරණි ගතානුගතික පාලනය යටතේ පැවති එම රාජ්‍යය පාලනය කළේ සුල්තාන්වරයෙකු විසිනි. එය සැන්සිබාර් පෙම්බා සහ ලෆම් යන දූපත් තුනකින් සමන්විතය. අප්‍රිකා මහාද්වීපයට උරුමව ඇති ගෝත්‍රික ජන සමාජයක් සැන්සිබාර් රාජ්‍යයෙහි ද වාසය කළ බව මූලාශ්‍රවල සඳහන් වේ. කුඩා පාසල් කීපයකින් අධ්‍යාපනය ලබාදීම සිදුවුවත් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට මගක් තිබුණේම නැත. එරට කොමියුනිස්ට් පක්ෂයක් තිබුණා යැයි වාර්තා නොවුණත් සැන්සිබාරයෙන් බිහි වූ ප්‍රථම උගත් තරුණයා ලෙස කියවෙන කරුමේ හංගා ද මොස්කව්හි මිත්‍රත්ව සරසවියේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණ සිටියේය. ඔහු එම විශ්වවිද්‍යාලයේ දීප්තිමත්ම ශිෂ්‍යයෙකු ලෙස නමක් දිනාගෙන සිටියේය. ක්‍රීඩා සහ විෂය බාහිර කටයුතුවල දී මුල් තැනක් ගෙන ක්‍රියා කළ මොහු සෝවියට් දේශයේ සිදුවන දේශපාලන කටයුතු ගැන ද බොහෝ සෙයින් උනන්දුවක් දැක්වීය.


අප්‍රිකානු මහාද්වීපය අධිරාජ්‍යවාදයේ සහ නව යටත් විජිතවාදයේ නොමැකෙන ගොදුරු බිමකි. ඔවුන්ගේ අත පෙවීම් සහ ඇඟිලි ගැසීම් නිසා විනාශ වූ මිනිස් ජීවිත සහ හලන ලද රුධිරය අපමණය. සරුසාර එම රටවල සම්පත් සූරා ගැනීම සඳහා ගෙන යන මෙම නිශ්චිත විනාශය ඉතිහාසය පුරාම දක්නට ලැබුණි. කොන්ගෝ රාජ්‍යය යනු තවත් එවැනි තිප්පොළකි. බෙල්ජියමට යටත්ව තිබූ මෙම රාජ්‍යය දියමන්ති, ටින් ලෝහය පමණක් නොව අති දුර්ලභ ප්ලැටිනම් ලෝහය ද බහුලව ලැබෙන වාසනාවන්ත භූමියකි. එම වාසනාවම එම රටේ අවාසනාව බවට පත්වීම දෛවයේ සරදමක් වූවේය. පැටි්‍රස් ලුමුම්බා නම් දේශප්‍රේමී නායකයාගේ මග පෙන්වීම යටතේ ආරම්භ වූ විමුක්ති සටනේ සාර්ථකත්වය මත කොන්ගෝවට නිදහස දීමට බෙල්ජියමට සිදුවුවද එම ධන නිධානය අතහැර යාමට බෙල්ජියම කැමති නොවීය. ඇමෙරිකාවේ ද උදව් ඇතිව නිදහස් කොන්ගෝ රාජ්‍යයට එරෙහිව යටි උගුල් ඇදීමට ඔවුහු කටයුතු කළහ. ඡන්ද බලයෙන් පත්වූ අගමැති පැටි්‍රස් ලුමුම්බාගේ රජය දුර්වල කර කඩාකප්පල් කිරීමට එවකට ජනාධිපති ජෝසප් කසටුබු සහ හමුදාපති ජෝසප් මොබුටු තම පැත්තට හරවා ගැනීමට බටහිර ධනවැද්දෝ සමත් වූහ. පසුව කොන්ගෝවේ සරු සාරම සහ මිහි ගැබ ධන ආකරයක්වූ ප්‍රදේශය කටන්ගා නමින් නම් කර වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමට ඔවුහු කටයුතු කළහ. මෙය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වූ අතර අවසානයේ දේශප්‍රේමී ජනනායක පැටි්‍රස් ලුමුම්බා ඝාතනයට ලක්විය. මෙම අවස්ථාවේ දී සෝවියට් දේශය නිරන්තරයෙන්ම ලුමුම්බාට තම සහයෝගය ප්‍රකාශ කළ නමුදු මෙම විපත වළක්වා ගැනීමට නොහැකිවිය. එවිට ඝාතනයට ලක්වූ පැටි්‍රස් ලුමුම්බාට ගෞරව කිරීම සඳහා මොස්කව්හි මිත්‍රත්වයේ විශ්වවිද්‍යාලය ලුමුම්බා විශ්ව විද්‍යාලය යැයි නම් කිරීමට සෝවියට් දේශය කටයුතු කළේය. අදටත් එය එනමින් හැඳින්වෙනු දැකිය හැකිය.


මොස්කව්හි මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ නියමිත කාල සීමාව තුළ තම අධ්‍යාපන කටයුතු නිමා කර තම තමන්ගේ රටවලට නික්ම ගියහ. 

 

 


මතු සම්බන්ධයි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.