1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරට ගිවිසුම යටතේ තුන් සිංහලයම බි්‍රතාන්‍යයට යටත් කෙරිණි. රාජ්‍ය විරෝධි අදහස් ඇති අයට කිසිදු සමාවක් නොවිණ. ඔවුන් අද මෙන් පුනරුත්ථාපනය නොකළ අතර එකම ඉරණම වූයේ මරණයයි. 


“අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ රජෙක් ලැබුනොතින් එදා කිරිබත් කන්නේ පෙරහර කරන්නේ සාදු නාදෙන් ගිගුම් දෙන්නේ” 


එදා කුරාකුහුඹු රැලක් දැක කුංකුණාවේ හාමුදුරුවන් පළ කළ අදහසකි. අදිරදවාදීන් ගෙන් හා ඔවුන්ගේ ගැති දේශපාලනඥයන්ගෙන් බැට කෑ ජනතාව එදා කැරලි ගැසූහ. සිරබත් කෑහ. විරෝධාකල්ප රණගී ගැයූහ. රාජ ප්‍රශස්ති අබිබවා අසාධාරණ රාජ්‍ය බලයට එරෙහිව විමුක්ති ගී බිහිවිය. 


ජාතික නිදහස පිළිබඳව අරගල කළ වාමාංශික සමාජවාදී කඳවුරේ සටන් පාඨය වූයේ “සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්” වැනි ගීතය. එය නිර්මාණය වූයේ පායනා කාලෙදි රෑ දවල් මහන්සිවී කන්නදේ රැස්කරයි කූඹියෝ යන ගීතයේ තනුව අනුවය. 


කම්කරු දිනයේදී හා මැතිවරණ සමයේදී පෙළපාළි උද්ඝෝෂණවලදී කම්කරු ජනතාව පුබුදුවනු ලැබුවේ මෙවැනි සටන් ගී තුළිනි. 


ගීතයට කලින් කවිය මගින් ද ජනතා හැඟීම් පුබුදු කිරීමේ කාර්යය සිදුකෙරිණි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ඇතුළු 40 - 60 දශකවල කවියෝ අධිරාජ්‍ය ගැති ආකල්ප හා සංකල්පවලට එරෙහිව කවි ගෙතූහ. 
කව් ගී ගැයීම පාර්ලිමේන්තුව තුළද තහනම් වූ යුගවල සෝමවීර චන්ද්‍රසිරි, ටී. බී. තෙන්නකෝන් වැනි දේශපාලන කවීහු සබා ගැබ විරෝධකල්ප කවියෙන් ඔකඳකළ අයුරු අපට මතකය. 


1970 - 71 සමයෙහි ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූ අප්‍රේල් කැරලි සමයේ සටන්කාමී ගීත සාහිත්‍යයක් නිර්මාණය විය. 


මේ සමයෙහි ප්‍රබලම සන්නිවේදන මාධ්‍ය වී තිබුණේ ගුවන්විදුලියයි. කොළඹ සිට ඈත ගම්බද පෙදෙස්වලට පුවත්පත් පැමිණීමටත් පෙර ගුවන්විදුලිය මගින් ජනතාව දැනුම්වත් කර තිබිණි. ගැමි ගෙදර හේනේ පැලේ කඩමණ්ඩියේ ජනතාව ප්‍රවෘත්ති අසා ගැනීමේ කුතුහලයෙන් ලක් රෙදෙව්ව හෙවත් රේඩියෝ වයර්ලස් එකට කන්දුන්හ. 


එනිසා මහ කැලේ ගල් ගුහාවල සැඟව සිටි සටන්කාමීන්ට තම සගයන් සමග අදහස් හුවමාරු කර ගැනීමටත් රටේ සිදුවන දේ ගැන දැනුම්වත් වීමටත් ගුවන්විදුලිය උපකාරී විය. සන්නිවේදනයට සම්බන්ධ ඇතැම් ජවිපෙ ක්‍රියාකාරීන් විසින් ගුවන්විදුලියේ ඇතැම් ගීත තුළින් සංඥා ලබාදෙන බවට ආණ්ඩුව සැක කළේය. 


රැජින මමයි, අපේ රාජ්ජේ’ කුරුල්ලනේ වරෙල්ලා, කන්දෙන් කන්දට වැනි ගීත ද තහනමට ලක්විණි. 


මේ අතර සිරභාරයට ගනු ලැබු කැරලිකරුවෝ තම අදහස් ප්‍රකාශ කිරීමට සහ ජවය රඳවා ගැනීමේ උත්සාහයක යෙදුණහ. සිරකඳවුරු තුළ වාද්‍ය භාණ්ඩ ලෙස භාවිත කළ බෙලෙක් තැටි, ජෝග්ගු, අඬු කෝප්ප, හැඳි පිහියා, ලී පටි හා ගල් කැබලි උපයෝගී කරගෙන ගොරහැඩි හඬින් විරෝධාකල්ප ගීත යුගයක් බිහි කළහ. 


විශ්වවිද්‍යාල සිසුන්, උගතුන් නිර්මාණවේදීන් විසින් හරබර පදවැල් තනු යොදා නිර්මාණය වූ මෙම ගීත විවිධ ක්‍රම මගින් සටන්කාමී සහෝදරයන් අතට පත් කෙරිණ. 1972 ජයදේව උයන්ගොඩ රචනා කළ සදා සමරමු සොහොයුරෝ නීතිඥ උදේනි බන්දුල ලියු විමුක්තිය රතු උදාර බුහුමන් අම්බලන්ගොඩ සුබසීල කොඩිකාරගේ විප්ලව රණ ගී ඒ අතර වේ. 


අප්‍රේල් නඩුවේ දෙවැනි චූදිතයා වූ ලයනල් බෝපගේ ලියූ ‘නිර්ධනිය සවනක රැව් දෙන්නේ’ ගීතය ද ප්‍රංශ හා ජර්මන් ගී හදාරා කළ අපූරු නිර්මාණයක් වන අතර පසුව ජවිපෙ ගීතය ලෙස ද පිළිගැනිණි. 


කුමාරදාස සපුතන්ත්‍රි වැනි පන්නරය සහිත ගීත රචකයන් විසින් ලියූ බුද්ධදාස විතානාච්චි, සීතාරාම් හා චිත්‍රා මුදලිගේ වැනි අනුසාංගිකයන් ගෙන් ඔපවත් වුණු නන්දා මාලනි රෝහණ වීරසිංහ, අශෝක ජයවර්ධන, සේන වීරසේකර තිස්සසිරි පෙරේරා වැනි සංගීතඥයන්ගෙන් පණ පෙවුණ විමුක්ති ගී ප්‍රසංගයක් 1978 ජූනි මස කොළඹ නගර ශාලාවේදී ප්‍රේක්ෂකාගාරයට ඉතා සමීපව පැවැත්විණි.

 
මෙම සංගීතමය පණිවුඩය ජනතාව අතරට ගෙනයාමේ කාලීන අවශ්‍යතාව ඉටු වූයේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළිනි. කොළඹ සරසවියේ රාජ්‍ය මූල්‍ය අයබදු පිළිබඳ උපාධි අපේක්ෂකයකු වූ චන්ද්‍ර වාකිෂ්ට (මහා ශිෂ්‍ය සංගමය) විසින් තමා ලියු විමුක්ති ගීත 20ක් රැගෙන ගුවන් විදුලියට ගොස් සංගීතවේදී ගුණදාස කපුගේ වෙත පිරිනැමීය. 


විශාරද ගුණදාස කපුගේ ස්වෙච්ඡාවෙන්ම මෙම ප්‍රසංගයට සහාය දැක්වූ අතර සරසවි සිසුන් 30 දෙනෙක් තමන්ට මාසිකව ලැබුණු ශිෂ්‍යාධාරවලින් කොටසක් පිරිනමා කොළඹ විශ්වවිද්‍යාලය තුළ සංගීත කවය බිහිකළහ. විවිධ පීඨවලින් තෝරාගත් දක්ෂයන් දස දෙනකුගෙන් දැයට බිහි කෙරුණු ප්‍රසංගය නව කලාගාරයේදී එළිදැක්විනි. 


කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මේ සඳහා ඔවුන් දිරිමත් කළ බව පැවසේ. ස්ටැන්ලි විජේසුන්දරයන්ගේ දිවියද 88 - 89 භීෂණ යුගයේදී ත්‍රස්තවාදීන් විසින් බිලිගනු ලැබිණ. 


මෙම ප්‍රසංගයේ ප්‍රාර්ථනා ගීතය ගැයූ පසුව තුල්හිරිය පේෂකර්ම කම්හලේ සේවය කළ තිලක් ඉද්දමල්ගොඩ තරුණයාගේ රැකියාව ද 1978 දී අහිමි කෙරිණි. ඔහු එදා ගැයුවේ “උතුරු කොණේ නුඹ හිනැහෙන” ගීතයයි. පසුව ගුණදාස කපුගේම ගයා 1978 ජුලි 18 මොන්ටානා ප්‍රහාරය සැමරීමේදී ප්‍රසිද්ධියට පත් විනි.


උතුරු කොනේ ගීයත්, කෝම්පිට්ටු ඉදිලා ද පුතේ, කම්හල ගොවිපොළ ඇතුළේ, ගොවිපොළෙන් අර ඇහෙන්නේ, ඇල්මෙන් අකුරු කෙරුවේ යන විමුක්ති ගී රචනා වූයේ බැංකු ලිපිකරුවකු වූ චන්ද්‍රා වාකිෂ්ට විසිනි. 
1971 කැරලි සමයේ ඝාතනයට ලක්වූ ප්‍රේමවති මනම්පේරිගේ කතාව ඇසුරින් 1981 දී ජවිපෙ සමාජවාදි කලා සංගමය නිපදවූ “මිලානවු මලක් නොවේ” නාට්‍යය 1982 ජනවාරියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී රඟදැක්විණි. සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුවේදී වේදිකාගත කළ එම නාට්‍යය ද රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ තහනමට ලක්විණි. 


1978 - 1983 දක්වා විමුක්ති ගී ප්‍රසංගය රටපුරා වේදිකාගත කෙරිණ.


මෙයට දායකත්වය දුන් පිරිස අතර 1971 අප්‍රේල් කැරැල්ලේ ක්‍රියාකාරීන් ප්‍රවීණ සංගීතවේදීන් හා රසික පිරිසක් ද වූහ. විශාරද නන්දා මාලනිය විශාරද මාලිනි බුලත්සිංහල සහ සුනිලා අබේසේකර යන ප්‍රබල කාන්තා ත්‍රිත්වයේ අනුග්‍රහය මේ සඳහා ලැබුණු බව සඳහන් කළ යුතුය.


1980 ඔක්තෝබර් 03 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැති විමුක්ති ගී ප්‍රසංගයේ සියවෙනි දැක්මේ ආදායම 80 වැඩවර්ජකයන් හට ආධාර පිණිස වෙන් කෙරිණි. මුදල් පසුපස නොගොස් ජාතික අවශ්‍යතාවන් සඳහා මෙම අරමුදල යොමු කිරීම සුවිශේෂීය.


විරෝධකල්ප ගී පිළිබඳ සඳහන් කරද්දී පක්ෂ දේශපාලන ලේබලයෙන් බැහැරව ජන මනසට ඇමැතු ගීත ප්‍රසංග කිහිපයක් ගැන මතකයට නැගෙයි. ඒ නන්දා මාලනීගේ සත්‍යයේ ගීතය සහ පවන එඞ්වඞ් ජයකොඩිගේ ප්‍රසංග, ජයතිලක බණ්ඩාර ගේ ‘සාධු ජනරාව’ වැනි අර්ථාන්විත භාව ප්‍රකාශනයන්ය. මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ක්‍රියාශීලින් අතින් ලියැවුණු පද මාලා ප්‍රේමසිරි කේමදාස රෝහණ විරසිංහ ආදි කෘතහස්ත සංගීතඥයන් අතින් ඔපවත් වුයේ ඔවුන් ද ජන විඥානය හඳුනාගෙන සිටි බැවිනි. 


වාම ක්‍රියාකාරිකයකු වූ චාල්ස් අබේසේකරයන්ගේ දියණිය වු සුනිලා අබේසේකර ජවිපෙ විමුක්ති ගීවලට පන්නරය වූ අතර කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියේ ගායිකාවක වූවාය. එසේම විමුක්ති ගී ප්‍රසංගවල දී ප්‍රධාන කථිකයා වූයේ බුද්ධදාස විතානච්චිය. ඔහු සමග 126 දෙනකු 1987 ජූනි 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට ගත් තීරණයට බාධාවක් වේ යැයි රජය සිතු නිසා විය හැකිය. 


1970 මුල් සමයේ ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය තුළින් නන්දා මාලනිය සමාජය තුළ දැවෙන ගැටලු පිළිබඳව සංගීතමය සංවාදයක යෙදුණාය. 1980 දී ඇගේ දෙවන ප්‍රසංගය වූ සත්‍යයේ ගීතය තුළින් ඇය සමාජ විවරණය වඩාත් පුළුල් ලෙස විදහා දැක්විණි. 


1982 දී ඊට සමගාමීව පහන් කන්ද මෙන්ම 1985 දී හේමන්තයේදී කැසට්පට නිකුත් කෙරිණි. මේ කාලයේදී ඇය ගැයූ මර්දනකාරී සමාජ හා දේශපාලන රටාව පිළිබඳව සෞන්දර්යාත්මක විරෝධතා ප්‍රේක්ෂකයෝ මහත් උත්කර්ෂවත් අන්දමින් වැළඳ ගත්හ. 


මෙහි ප්‍රතිඵලය ලෙස ගී ගැයූ නන්දාට මෙන්ම ගී ලියූ සුනිල් ආරියරත්නයන්ට ජිවිත ආරක්ෂාව පතා එතෙරට පලායාමට සිදුවිය. 


1991 දී පෙරළා පැමිණි ඔවුන් අතින් පෙම්බර ලංකා නමැති ගී සමුදාය බිහිවිණි. මිනී කාපු, විලාප, පළිගැනීම් හා අහිමිවීම් අතර අසරණ වූ දේශයේ අනාගතය පිළිබඳ අනාවැකි රැසක් එම ගී පෙළ තුළ අන්තර් ගතවී තිබිණි. විරෝධාකල්ප ගී ගයද්දී ලක්දිව ජනතාවගේ ඇදහිලි සහ විශ්වාසවලටද අභියෝග කිරීමට ඇයට සිදුවූ බව පෙනේ. 


කතරගමින් පිටවී යන මුරුගා කටුබිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹු පැටවුණේ, පිළිම නෙළා නැති විරුවන් පිරිසක්, සොරු ගෙට  පැන අඳුරු රැයේ ‘ඩිංගිරි අම්මා’, සුකිරි බටිල්ලෝ, අනේ අපි කවදාක ඇවිදිමුද? ඒ සඳේ, වැනි ජන හද ඇද බැඳ ගත් හා ප්‍රතිගාමින් දැඩි විවේචනයට ලක්කළ ගී එයට නිදසුන්ය.

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.