1993 ජනවාරි 23 වැනි දින මාගේ දින පොතෙහි සටහන් වී ඇත්තේ ජනාධිපති ප්‍රේමදාස මහතා හමුවන්නට යාම පිළිබඳවයි. සතියක් හැර සතියක් පවත්වන පාර්ලිමේන්තු සභා වාරයට පෙර ආණ්ඩු පක්‍ෂ මන්ති්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ හෝ පාර්ලිමේන්තු සංකීර්ණයේකමිටු ශාලාවක පැවැත්වීම සාමාන්‍ය ක්‍රමයයි.


එම රැස්වීමෙන් අනතුරුව බොහෝ විට සමහර මැති ඇමතිවරුන් තම තමන්ගේ විශේෂිත කරුණු ඇතුළත් ඉල්ලීම් ජනාධිපතිතුමාට  ඉදිරිපත් කළ අතර ජනාධිපතිතුමාද වැඩි වේලාවක් ගත නොකොට ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට මූලික පියවර ගන්නා ලදී. අප ද එසේ සිදු කළ අතර තවත් සමහර ප්‍රශ්න වේලාවක් හා දිනයක් නියම කරගෙන ඉදිරිපත් කිරීමටද කටයුතු කළේය. වැඩිවේලාවක් කරුණ පැහැදිලි කර දී විසඳුම් ලබාගැනීමට අපේක්‍ෂා කරන ප්‍රශ්න හා ගැටලු  එසේ දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව මා හා හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ෂාම් මහරුප් මහතා එකතු වී ජනාධිපතිතුමාට ලිපියක් ඉදිරිපත් කළේ “අප දෙදෙනාටම ඔබතුමා හමුවී ප්‍රශ්න කීපයක්ම කතා කිරීමට ඇති  බව සඳහන් කරමිනි. මහරුප් මහතාත් මාත් හම්බන්තොට නගරයේ පදිංචි වී සිටි නිසා නිතරම වාගේ හමුවී දේශපාලන හා සමාජ තොරතුරුද සාකච්ඡා කිරීම පුරුද්දක් විය. සංවර්ධන  වැඩ කටයුතු ඉටුකිරිමේදී ඇතිවන ගැටලු බල ප්‍රදේශයන්හි ක්‍රියාකාරකම් පක්‍ෂ ප්‍රතිසංවිධාන කොට්ඨාසයන්හි ඇතිවන ගැටලු ආදිය ගැනද අපි හමුවූ අවස්ථාවල සාකච්ඡා කළෙමු. 1989 - 1994 කාල පරිච්ඡේදයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වශයෙන් සිටියේ දොස්තර පී. එම්. බී. සිරිල් ආනන්ද, කුලරත්න - දොස්තර රංජිත් අතපත්තු  හැරී අබේදීර - ජි. තිස්සකුට්ටි ආරච්චි යන පස් දෙනායි.


ඉන් දොස්තර රංජිත් අතපත්තු මහතා 1990 දී ඉල්ලා අස් වූ නිසා ෂාම් මහරුප් මහතා මන්ත්‍රී ධුරයට පත්විය. විරුද්ධ පක්‍ෂයෙන් මන්ත්‍රීවරු වශයෙන් පත්ව සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා හා චමල් රාජපක්‍ෂ මහතායි. මෙසේ පත්වී සිටි මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුපක්‍ෂයේ තිදෙනෙක්ම සිටියේ තිස්සමහාරාම  මැතිවරණ කොට්ඨාසය ඇතුළතයි. දොස්තර සිරිල් මහතා මා හා මහරුප් මහතා එම තිදෙනායි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම - තංගල්ල - බෙලිඅත්ත - මුල්ගිරිගල යන මැතිවරණ කොට්ඨාස 4න් එකක පමණක් ආණ්ඩු පක්‍ෂයේම මන්ත්‍රීවරු තිදෙනෙක් සිටීම සමහර අවස්ථාවල සමහර  ක්‍රියාවන්වලදී ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට මග පෑදිය. සමානුපාතික  ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූ මුල්ම වකවානුව නිසාත් දේශපාලනඥයින්ට හා ජනතාවට හුරුවී තිබුණේ මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් වැඩ කිරීම නිසාත් එසේ ගැටලු මතුවිය. ඇත්ත වශයෙන්ම සමානුපාතික ක්‍රමය යටතේ ඡන්ද දායකයින්ට සිදුවන අසාධාරණය ගැන හොඳ උදාහරණයක් විය. මෙය ආණ්ඩු පක්‍ෂයේ තිදෙනෙක්ම තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශය තුළ සිටින විට ආනන්ද කුලරත්න මන්ත්‍රීවරයා සිටියේ මුල්ගිරිගලය. තංගල්ලට සිටියේ හැරී අබේදීර මන්ත්‍රීවරයාය. බෙලිඅත්තට අතපත්තු මහතාගෙන් පසු ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් නොවීය. හේතුව අතපත්තු මහතා ඉවත්වීමෙන් පසු මනාප ලැයිස්තුව අනුව මන්ත්‍රීවරයා පත්වූයේ හම්බන්තොටිනි. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මහින්ද රාජපක්‍ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශය නියෝජනය කළ අතර චමල් රාජපක්‍ෂ මහතා මුල්ගිරිගල ප්‍රදේශය වැඩියෙන් නියෝජනය කළේය. ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ වේවා   මහජනතාවට එක එල්ලේ වග කියන මන්ත්‍රීවරයෙකු නොසිටීම සමානුපාතික ක්‍රමයේ ලොකු  අඩුපාඩුවක් යැයි කීම අසත්‍යයක් නොවේ. එම තත්ත්ත්වය තුළ  ඡන්දදායකයින් එක එක මන්ත්‍රීවරුන් කරා ගොස් තම තමන්ගේ වැඩ ඉටුකර ගැනීමට උත්සාහ කළ අතර සමහර ප්‍රදේශවලට කිසිදු වැඩක් සිදු නොවීමටත් සමහර ඡන්ද දායකයින්ට හමුවීමට මහජන නියෝජිතයෙකු නොසිටීමත් මෙහිදී කැපී පෙනෙන්නට විය. මේ අතර දිස්ත්‍රික්කයේ ඕනෑම මන්ත්‍රීවරයකුට ඕනෑම තැනක වැඩ කිරිමට හැකියාවක් ඇතිවීම මෙම ක්‍රමයේ එක් සාධනීය ලක්‍ෂණයක් වශයෙන් දැකිය හැකිය. එසේ වුවද එසේ වැඩ කරන්නට යාමේදී නොයෙක් ගැටුම් හා හරස්වීම් ඇතිවීමද තවත් නරක පැත්තකි. කෙසේ වුවද සමානුපාතික ඡන්දක්‍රමයේ අඩුපාඩු වෙනම අවස්ථාවක සාකච්ඡා කළ යුතුය. මෙම ගැටලු මැද්දේ දිස්ත්‍රික්කයේ පළාත් සභා මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුම්ද ඕනෑ තරම් දක්නට ලැබුණි. කෙසේ හෝ කාගෙ කාගේත් ඉදිරිපත්වීම් මත ප්‍රශ්න මැද්දේ වුවද විශාල සංවර්ධනයක් සිදුවුවද එවායේ අසමතුලිතභාවය දුගී දුප්පත් ජනතාවගේ ජීවිතවලට තදින්ම දැනුණු බව නොකිවමනාය. 

 

 


කෙසේ වුවද මෙබඳු පසුබිමක් යටතේ මා හා මහරුප් මන්ත්‍රීතුමා ජනාධිපතිතුමා මුණගැසීමට තීරණය කළේ මෙකී ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමටයි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමසේ සියලු ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට බෙදා දී සමාන සේවයක් දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදිය යුතු බවටත් පක්‍ෂයේ සංවිධායක පදවි එසේ ඡන්ද ප්‍රමාණයක් සමසේ බෙදී යන ආකාරයෙන් වෙන් කර දෙන ලෙසත් තවත් කරුණු කීපයකුත් සමග ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම අපේ බලාපොරොත්තුව විය.


ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම අනුව 1993 ජනවාරි 23 වැනි දින පෙරවරු 9.00ට මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවීමට අපි දෙදෙනාම ගියෙමු. නියමිත වේලාවට  ජනාධිපතිතුමා හමුවීමට හැකිවූ අතර අප දුටු ගමන් ජනාධිපතිතුමා මාගෙන් හා මහරුප් මහතාගෙන් විමසා සිටියේ “මොනවද තමුන්නාන්සේලාගෙ ප්‍රශ්න” කියාය. අප දෙදෙනාම විනාඩි 20ක් පමණ නවකයින් දෙදෙනකු වශයෙන් අපට මුහුණ පාන්නට සිදුවී ඇති ගැටලු පිළිබඳවත් මූල්‍ය ප්‍රතිපාදන සංවර්ධන කටයුතු සඳහා අක්‍රමවත්ව බෙදී යන ආකාරයත් පක්‍ෂයේ සංවිධාන කටයුතු අවුල් වී ඇති ආකාරයත් අපි පැහැදිලි කළෙමු. ප්‍රේමදාස ජනාධිපතිතුමා සියල්ල සාවධානව ඇහුන් කන් දී ඒවා එකින් එකට විසඳුම් දීම වෙනුවට ප්‍රකාශ කළේ අපි පුදුම කරවන ප්‍රකාශයකි. එතුමා අපට වැඩි වැඩ පවරන්නේ නැතිව කීවේ “තමුන්නාන්සේලා සංවිධාන කටයුතු  හෝ පක්‍ෂ ප්‍රතිසංවිධාන ගැන හෝ අනාගතයේ එන ඡන්ද ගැන හෝ නොහිතන්න. එහේ ප්‍රශ්න ඔක්කොම මම දන්නවා. ඒ සියල්ල මම බලා ගන්නව. ඡන්ද දිනන ප්‍රශ්නය මම බලාගන්නම්. ඔයාලට දැනටමත් පවරා ඇති වැඩ ටික හොඳින් කරන්න. වැඩි වැඩ ගැන හිතන්න එපා. ඒවා ඔක්කොම මං බලාගන්නම්” කියලා අප එතුමාගේ වචන කීපයෙන් පසු “හොඳයි ජනාධිපතිතුමනි” කියා වෙනත් යමක් නොකියාම පිටත් වූ අතර පක්‍ෂයේ හා රටේ සංවර්ධන කටයුතු ගැන එතුමාම කොතරම් වගකීමක් හා වගකීම් සහගත ශක්තියක් සිතෙහි රඳවාගෙන අධිෂ්ඨානශීලීව එම ප්‍රකාශය කළ අයුරු කොතරම් අපූරුදැයි අප දෙදෙනා සාකච්ඡා කළ අතර අපගේ සිත්හි රඳවාගෙන ගිය අදහස් ගොන්නම එම වචන කීපයෙන් සංසුන් වී නිවි ගිය අයුරුද සිහිපත් කරමි.