මෙරට දෙවැනි ජනාධිපතිවරණය පැවැති 1988 වසරේදී ශ්‍රී ලංකාව දෙපැත්තකින් ගිනි ඇවිළෙමින් තිබුණේය. එසේ වූයේ රටේ උතුරු ප්‍රදේශයට කොටි ත්‍රස්තවාදීන් විසිනුත්, දකුණු ප්‍රදේශ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නාඳුනන තුවක්කුකරුවන් විසිනුත් ගිනි දල්වා තිබූ බැවිනි. ඒ අනුව එම කාලය තුළ උතුරේත්, දකුණේත් බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවුණු දිනයක් ගැන අසන්නටවත් නොලැබිණි. 


කෙසේ වෙතත් මෙරට මැතිවරණ කැලැන්ඩරයට අනුව 1988 වර්ෂය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට එවකට සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සිදු වී තිබුණි. එහෙත් 1978 දී සම්මත කර ගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවකට සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නීතියෙන් අවකාශයක් නොලැබිණි. ඔහු ඒ වන විට පිට පිට දෙවරක් මෙරට ජනාධිපති ධුරයට පත්ව සිටීම නිසා එම නීතිමය බාධකය ඇතිව තිබුණේය. 


“ඒත් ආණ්ඩුවට 5/6 ක පාර්ලිමේන්තු බලයක් ඇති නිසා සර්ට පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා මෙදා සැරෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න.” 


ජනාධිපතිවරයාගේ නීති උපදේශකයන් එසේ කීවද “නැහැ මට එහෙම අවශ්‍යතාවක් නැහැ”යි කියමින් ඔහු එම අවස්ථාව මඟ හැරියේය. ඒ සඳහා මුල් වූ හේතුව කුමක් වුවද එකල ජනතාව අතර පැතිර ගොස් තිබුණේ එලීනා රූපසිංහ ජයවර්ධන ආර්යාවගේ බලවත් අකැමැත්ත නිසා ලොක්කා එවැනි තීරණයකට එළඹුණු බවය. 


ඒ අනුව එවකට මෙරට අග්‍රමාත්‍ය ධුරය ඉසිලූ රණසිංහ ප්‍රේමදාස මහතාට 1988 ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප. අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව නිරායාසයෙන්ම ලැබී තිබුණේය. එහිදී ඊළඟ ප්‍රශ්නය මතු වූයේ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුගේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන් දැයි යන්න පිළිබඳවය. 
ඒ සඳහා විකල්ප විසඳුම් කීපයක්ම තිබිණි. ඒ අතරින් ඉහළින්ම කැපී පෙනුණේ ජේ. ආර්. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙපළක් වූ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත්මුදලිය. ඊට අමතරව රොනී ද මැල්, මොන්ටේගු ජයවික්‍රම සහ ඒ. සී. එස්. හමීඞ් යන මහත්වරුන්ගේ නම් සඳහන් වුවද විවිධ හේතු සාධක මත ඔවුන්ගේ නම් මුලදීම හැලී ගොස් තිබුණේය. 
කෙසේ වෙතත් අවසානයට ඉතිරි වූ ලලිත් සහ ගාමිණී යන දෙදෙනා ගැනම ප්‍රේමදාස මහතා තුළ එතරම් ප්‍රියමනාප ගතියක් නොතිබිණී. ඊට හේතු වූයේ ඇමැති මණ්ඩලයේ සිටි උගතුන් හා බුද්ධිමතුන් වූ ඔවුන් දෙදෙනාම අග්‍රාමාත්‍යවරයා වූ තමන් කෙරෙහි එතරම් තැකීමක් නොකරන බවට සැකයක් ඔහු තුළ හට ගෙන තිබීමයි. 


“ඒත් මේ මිනිස්සු දෙන්නගෙම උදව් නැතුව මට දිනන්න බෑ”යි සිතූ ප්‍රේමදාස මහතා ඒ සඳහා හීන් නූලෙන් ගැටයක් ගැසුවේය. එනම් ජනාධිපතිවරණයේදී තම තමන්ගේ දිස්ත්‍රික්කවලින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් තමන් වෙත ලබා දෙන දිස්ත්‍රික් නායකයාට මීළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට හිමිකම් කිව හැකි බවට යම් අදහසක් පළ කිරීමයි. ලලිත් සහ ගාමිණී යන දෙදෙනාම තම තමන්ගේ දිස්ත්‍රික්කයන් හි නායකයන්වූ නිසා ඔවුන් දෙපළම කළේ ලොක්කාගේ ජයග්‍රහණය පතා බොක්කෙන්ම වැඩ කිරීමය. 


අන්තිමේදී එම උපක්‍රමය ද කෙස් ගහට වැඩ කළේය. එවර ජනාධිපතිවරණයෙන් එ.ජා.ප. අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 25,69,199 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රතිවාදිනිය වූ ශ්‍රීලනිපයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලැබී තිබුණේ ඡන්ද 22,89,860 ක් පමණි. ඒ සඳහා ලලිත් ඇතුළත් මුදලි මහතාගේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගාමිණී දිසානායකගේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුත් ඉතා ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබුණේය. ඒ අනුව රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට අභිනව ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අතර එම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ දාම මෙරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැර තිබුණ්ය. 


මීළඟ මහ මැතිවරණය 1989 වසරේ පෙබරවාරියේ 15 වැනිදාට යෙදී තිබුණ අතර එවර කැපී පෙනුණ විශේෂත්වය වූයේ එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණය වීමයි. 


මේ අතර ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන මහත්වරුන් දෙදෙනාම බලාපොරොත්තු වූයේ තම තමන්ගේ නම් එවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් නම් කරනු ඇති බවයි. එහෙත් එවැන්නක් සිදු නොවීය. 


ඒ වෙනුවෙට ජනාධිපතිවරයා කියා සිටියේ දෙදෙනෙකුගේ නම් අග්‍රාමාත්‍ය අපේක්ෂකයන් ලෙස සඳහන් කිරීමට නොහැකි බැවින් එවර මහ මැතිවරණයට ඉදිරිපත් වන එ.ජා.ප. අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් ඔවුන් දෙදෙනාගේම නම් සඳහන් කිරීමෙන් වැළකී සිටි බවය. එවර ද ඔහු ඊට පෙර දුන් අදහසම ඔවුන් දෙපළගේ සිත්වලට ඇතුළු කිරීමට සමත් වූවේය. 


ඒ අනුව එවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික් නායකයාව ලලිත් ඇතුළත්මුදලි මහතා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් නායකයාව ගැමිණී දිසානායක මහතා අතර ඇති වී තිබුණේ දැඩි තරගකාරී බවකි. එහිදී ඔවුන් දෙදෙනාගේම අපේක්ෂාව වූයේ තම තමන්ගේ දිස්ත්‍රික්කවලින් ඉහළම මනාප සංඛ්‍යාවක් රැස් කර ගැනීමය. 


එම මනාප පොරයේ අවසන් ප්‍රතිඵලය වූයේ ලලිත් ඇතුළත්මුදලි මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 235,447 ක් හා ගාමිණී දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මනාප 73,790 ක් ලබා තම තමන්ගේ දිස්ත්‍රික්කවලින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමය. 


“දැන් ඉතින් අපේ ලොක්කාට අගමැතිකම ලැබේවි”යි සිතා ඔවුන් දෙදෙනාගේම ආධාරකරුවන් අහසේ මාළිගා තැනුවද ඔවුන් දෙදෙනාටම කොකා පෙන් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේනතුවෙන් ද පිටමං කර පළාත් ආණ්ඩුකර ධුරයකට පත් කර සිටි ඩී. බී. විජේතුංග මහතා තම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේය. එම ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය වූයේ ලලිත් සහ ගාමිණී යන දෙපළම තම තමන්ගේ පෞද්ගලික වාදභේද අමතක කර ලොක්කාට එරෙහිව අවි අමෝරා ගැනීමය. අන්තිමේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම දක්වා දුර දිග ගොස් තිබුණේ ද එම අගමැති කෝන්තරයයි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි