වාර්ගික නියෝජනය මත පදනම් ව ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීන් පත්කිරීමේ ක්‍රමය යටත්විජිතවාදී බි්‍රතාන්‍යයන් විසින් ඉවත් කරන ලද්දේ 1927 නොවැම්බර් 13 වැනිදා මෙරටට පැමිණි ඩොනමෝර් සාමි ප්‍රමුඛ ඩොනමෝර් කොමිසන් සභාවේ යෝජනා මගිනි.


ඒ අනුව සර්ව ජන ඡන්ද බලය වයස 21 ට වැඩි ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවයටම හිමිකර දුන් අතර ලංකාව කොට්ඨාස 50කට බෙදා ඉන් මන්ත්‍රීවරු 50 ක් තෝරාගැනීමටත් 08 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත්කිරීමටත් රාජ්‍ය ලේකම්, නීති ලේකම් හා මුදල් ලේකම් නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීමටත් ඒ අනුව 61 දෙනකුගෙන් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීමටත් ඉන් යෝජනා විණි.


1931 ජුනි මාසයේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීන් තෝරා ගැනීමේ ඡන්ද පැවැත්වුණි. අද මෙන් එක දිනක මේවා සිදු නොවූ අතර ජුනි මාසය තුළ මන්ත්‍රීන් 50ක් තෝරාගැනීම සිදුවිය. එම මැතිවරණයේදී මන්ත්‍රීවරු 50 න් 09 දෙනෙකු නිතරඟයෙන් පත්වීම විශේෂයකි.


යාපනය සහිත උතුරු ප්‍රදේශයේ දෙමළ අපේක්ෂකයින් නාමයෝජනා දීම ප්‍රතික්‍ෂේප කළ නිසා දෙමළ මන්ත්‍රීවරු තිදෙනෙක් පත්වූයේ වෙනත් ප්‍රදේශ වලින් මුල්ම මැතිවරණයේදී උතුරු කොළඹ ඡන්ද කොට්ඨාසයේ පැවැති අතර දොස්තර රත්නජෝති සරවනමුත්තු මහතා සර්වජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වූ ප්‍රථම දෙමළ මන්ත්‍රීවරයා විය.


දොස්තර ආර්. සරවනමුත්තු  ඡන්ද  11,855
දොස්තර එම්. ඇම්. පීරිස් ඡන්ද 6063
ඩී. බී. ද සිල්වා ඡන්ද  2027
ඒ. රාමනාදන් ඡන්ද 150
වැඩි ඡන්ද 5792


එම මැතිවරණයේදී හැටන් ඡන්ද කොට්ඨාසයට පැරී සුන්දරම් මහතා නිතරඟයෙන් තේරී පත්වූ අතර තලවාකැලේ කොට්ඨාසයට එස්. පී. වෛත්‍යලිංගම් දෙමළ මන්ත්‍රීවරයාත් තේරීපත්විය. 


ප්‍රථමයෙන්ම උතුරු කොළඹ ඡන්ද කොට්ඨාසයෙන් තේරීපත් වූ දොස්තර ආර්. සරවනමුත්තු මහතාට විරුද්ධව ඡන්ද පෙත්සමන් ඉදිරිපත් වූ අතර ලංකාවේ ප්‍රථම මැතිවරණ ඡන්ද පෙත්සම ලෙසද එය හැඳින්වේ. එම ඡන්ද පෙත්සමේ ප්‍රථම වගඋත්තරකරු වූ දොස්තර සරවනමුත්තු මහතාගේ තේරීපත්වීම ඡන්ද පෙත්සම විභාග කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලදී. මැතිවරණ දූෂණයකටද ඔහු වරදකරුවකු කළ බැවින් ප්‍රථම වරට වසර 07කට ඔහුගේ සිවිල් අයිතිවාසිකම්ද අධිකරණය මගින් අත්හිටවනු ලැබීය. ඒ අනුව 1932 මැයි 28 වැනි දින අතුරු මැතිවරණයක් උතුරු කොළඹ ආසනයට පැවැත් වූ අතර සැමියාගේ දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට සරවනමුත්තු මහතාගේ බිරිඳ ඉදිරිපත්විය. අපේක්ෂකයින් තිදෙනකු පරදා ඇය වැඩි ඡන්ද 8701 කින් ජයගත්තාය. 


නේසන් සරවනමුත්තු මිය ඡන්ද 13,114
එම්. එල්. එම්. රෙයාල්  ඡන්ද 4413
දොස්තර එම්. එම්. පීරිස් ඡන්ද 3333
ඩබ්. බී. පෙලී සිංගර් ඡන්ද 116
වැඩි ඡන්ද 8701


එම උතුරු කොළඹ අතුරු මැතිවරණයේදී සිවිල් අයිතිවාසිකම් අහිමි වූ සිය සැමියා වූ දොස්තර ආර්. සරවනමුත්තු ඇයට ආධාර උපකාර කරන ලද බව ප්‍රකාශ කරමින් ඇයට විරුද්ධවද ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය. එය විභාග කළ එල්. සී. ඩෝල්ටන් විනිසුරුවරයා උතුරු කොළඹට නේසන් සරවනමුත්තු මහත්මියගේ පත්වීම අවලංගු කළේය. 1932 සැප්තැම්බර් 27 වැනි දින දුන් එම නඩු තීන්දුව අනුව ඇයගේ පත්වීම අවලංගු වුවත් නැවත ඉදිරිපත්වීමේ හැකියාව තිබිණි. මෙලෙස සරවනමුත්තු මහතා මාස 08 ක් උතුරු කොළඹ මන්ත්‍රීවරයා වුවද ඔහුගේ බිරිඳ නේසන් සරවනමුත්තුට මන්ත්‍රීධුරය දැරිය හැකිවූයේ තුන් මාසයක් පමණි.


1932 නොවැම්බර් 12 වැනි දින පැවැති දෙවැනි අතුරු මැතිවරණයේදීද නේසන් සරවනමුත්තු මහත්මිය ජයගත්තේ ඉදිරිපත් වූ ප්‍රතිවාදියා ඡන්ද 7730 කින් පරාජය කරමිනි. 


නේසන් සරවන මුත්තු ඡන්ද 8106
එම්. වී. කාසිචෙට්ටි ඡන්ද 376
වැඩි ඡන්ද 7730


මේ අනුව ප්‍රථම දෙමළ මන්ත්‍රීවරයා ප්‍රථම ඡන්ද පෙත්සමින් මන්ත්‍රීධුරය අහිමිකරගනු ලැබුවත් ඔහුගේ බිරිඳ 1936 පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවටද වැඩි ඡන්ද 4943 කින් තේරිපත් වූවාය.

 

 

 

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ