කෙසේ වෙතත් එකම එක බහුතර ඡන්දයක් සහිතව තම පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව 2000 වසර දක්වා පවත්වා ගෙන යාමට ඇය සමත් වූවාය. එම කාලය තුළ උතුරේ කොටි සංවිධානය තම විනාශකාරී ක්‍රියාවන් රටපුරා මුදා හරිමින් බලවත් ව්‍යසනයක් සිදු කළ ද  චන්ද්‍රිකා ජනාධිපතිනිය දුර්මුඛ කිරීමට උතුරේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට නොහැකි විය. මේ අතර තම රජයට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැතිවීම මත වසර 2001 දී තවත් මහ මැතිවරණයකට මුහුණදීමට ඇයට සිදුවී තිබුණේය. එහෙත් 2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයගෙන තිබුණේ එ.ජා.ප. යයි. ඒ අනුව මෙරට විධායක ජනාධිපතිනිය වශයෙන් ප්‍රතිවිරුද්ධ පක්‍ෂයක ආණ්ඩුවක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇයට සිදුවිය.

ආරම්භයේදී ව්‍යවස්ථාවෙන්ම තමන්ට හිමි ආරක්‍ෂක ඇමැතිධූරය පවා ඇය තම ප්‍රතිපාක්‍ෂික ආණ්ඩුවට ස්වකැමැත්තෙන්ම පවරා දුන්නාය.


ජනාධිපතිනිය එහිදී බොහෝ විට උත්සාහ කළේ ජනතා තීන්දුවට හිස නමා එ.ජා.ප. ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමටය. එහෙත් දොස්තර රාජිත සේනාරත්න, එස්. බී. දිසානායක සහ රවි කරුණානායක වැනි ඇමැතිවරු ඇය හා පැටලීමට නිරතුරුව උත්සාහ කළහ. 


ජනාධිපතිනිය කැබිනට් සාකච්ඡාවලට සහභාගිවීම සඳහා එනවිට ගෙනෙන “හෑන්ඞ් බෑග්” එකේ “මයික්‍රෝ ටේප්රෙකෝඩරයක්” සහ කුඩා ප්‍රමාණයේ කැමරාවක් ඇතැයි ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ එම ඇමැතිවරුන් තිදෙනා විසිනි. එපමණක් ද නොව එතුමිය ආණ්ඩුවේ ඇතැම් යහපත් ක්‍රියාමාර්ගවලට එරෙහිව බාධා ඇති කරන බවටද ඔවුහු ප්‍රසිද්ධියේ චෝදනා කළහ.


එකල ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති බොහොමයක් කැබිනට් සාකච්ඡාවලදී ජනාධිපතිනිය සමග ඇමැතිවරුන් බහින් බස් වෙද්දී අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ඇමැතිවරුන් එසේ කිරීමෙන් වළක්වා ගැනීම සඳහා එතරම් උනන්දුවක් නොගන්නා බවට ද සති අන්ත පුවත්පත්වල දේශපාලන ඕපාදූප වශයෙන් පළකර තිබුණේය. එවැනි තොරතුරු එම දේශපාලන ඕපාදූප තීරු රචකයන්ට ලබාදෙන ලද්දේ ඇතැම් ඇමැතිවරුන්ම බව ප්‍රසිද්ධ රහසක් විය.


රාජ්‍ය නායිකාවට එරෙහිව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් ගෙන ගිය අභූත යැයි කියන මෙවැනි ප්‍රචාර නිසා සිත් රිදවා ගත් ශ්‍රීලනිප හිතවතුන් ජනාධිපතිනියට පුන පුනා කියා සිටියේ තමන් සතු බලතල යොදවා ඒවා නතර කළයුතු බවය. මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයද පිහිටුවා තිබුණු අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කටවල් වැසීම සඳහා තමන් සතු විධායක බලතල යොදා ගන්නා ලෙස චන්ද්‍රිකා මැතිනියට බලපෑම් කළහ. 


මුලදී ජ.වි.පෙ. සමඟ සන්ධාන ගතවීම ගැන චන්ද්‍රිකා ජනාධිපතිනිය දැඩි ලෙසම විරෝධය පෑවාය. අවසානයේදී ඇය තම විරෝධය හකුළා ගන්නා ලද්දේ ඒ වනවිට යළිත් ශ්‍රීලනි.ප.ය වෙත පැමිණ සිටි අනුර බණ්ඩාරනායක, මංගල සහ ලක්‍ෂ්මන් කදිරගාමරුත් එහි වැදගත්කම ගැන දිගින් දිගටම කරුණු පැහැදිලි කරදීමෙන් පසුවය. 


මේ වනවිට ආණ්ඩුවත්, කොටි සංවිධානයත් අතර තිම්පු නගරයේ පැවැති සාම සාකච්ඡා අසාර්ථක වෙමින් තිබුණේය. එසේ වුවද දෙපාර්ශ්වය අතර ඇති කරගත් සටන් විරාමය යටතේ එතෙක් දකුණේ තිබූ සියලුම මුරකපොලු ඉවත් කිරීම නිසා කොටින්ගේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය කිසිඳු බාධාවකින් තොරව දකුණට එවීමට හැකි විය. එහි බරපතළම තත්ත්වය වූයේ පොලිස් හා යුද හමුදා බුද්ධි තොරතුරු අංශයේ සේවය කළ සුනිල් තාබෲ සහ මුතාලිෆ් වැනි අති දක්‍ෂ නිලධාරීන් කීප දෙනෙකුටම කොටින්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වී ජීවිතය හැර යාමට සිදුවීමයි. 
මේ අතර මෙරට ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම මත ඔස්ලෝ නගරයේ පැවැති සාම සාකච්ඡාද බිඳ වැටී තිබුණේය. එම කාල වකවානුව තුළ පැවැති සටන් විරාමය පවා කොටින් විසින් හිතාමතාම කඩකර තිබුණේ කිසිඳු හිරිකිතයකින් තොරවය.


රට තුළ එවැනි අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වෙමින් තිබියදී ඊට එරෙහිව දැඩි පියවරක් ගතයුතු බව අභිනවයෙන් පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පාර්ශවකරුවෝ ජනාධිපතිනියට දැඩි ලෙස බල කරමින් සිටියහ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එ.ජා.ප. ආණ්ඩුව යටතේ පැවැති ආරක්‍ෂක අමාත්‍යංශය, අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශය සහ ජනසන්නිවේදන සහ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය භාරව සිටි තිලක් මාරපන, ජෝන් අමරතුංග සහ ඉමිටියාස් බාකීර් මාකර් යන ඇමැතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර එම අමාත්‍යංශ තමන් යටතට පවරා ගැනීමට චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් පියවර ගැනීමයි. 


තමන් සතු විධායක බලතල යටතේ ප්‍රතිපාක්‍ෂික ආණ්ඩුවකට අයත් ඇමැතිවරුන් ඉවත් කළ ජනාධිපතිනිය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙනුත්, දි. මු. ජයරත්න මහතා තැපැල් හා විදුලි සංදේශ ඇමැතිවරයා වශයෙනුත් පත් කරන ලද්දේ එහි තවත් පියවරක් වශයෙනි. 


ඒ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ විදේශගතවය.

රටේ අග්‍රාමාත්‍යවරයා පවා නොමැති අවස්ථාවක ජනාධිපතිනිය විසින් ගන්නා ලද එම අත්තනෝමතික ක්‍රියාමාර්ගය බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්ව තිබුණද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ජනාධිපතිනියට ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන හිමිවී තිබුණේය. එහෙයින් ඇයගේ එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුවට නොහැකි විය.
වසර 2003 නොවැම්බර් මස 5 වැනිදා එලෙස රජයේ අමාත්‍යාංශ 3 ක් තමන් වෙත පවරා ගෙන තම පක්‍ෂයේ ඇමැතිවරුන් දෙදෙනකු එම අමාත්‍යංශ දෙකකට පත්කළ චන්ද්‍රිකා ජනාධිපතිනිය එහි තවත් පියවරක් ඉදිරියට තබමින් 2004 පෙබරවාරි මස 23 මධ්‍යම රාත්‍රියේ සිට එවකට එ.ජා.පෙ.ට වැඩි මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිව තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. එයද රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ සිද්ධියක් වුවද විධායක ජනාධිපතිවරයෙකු සතු අසීමිත බලතල පිළිබඳව දැන සිටි නීති විශාරදයන් පවා ඒ ගැන මුනිවත රකින අයුරු පෙනෙන්නට තිබුණේය. 
කෙසේ වෙතත් ඒ සඳහා ජනාධිපතිනිය සතුව තිබූ නීතිමය ප්‍රතිපාදන පිළිගනිමින් කරුණු දැක්වූ ඇතැම් ප්‍රතිපාක්‍ෂික නීති විශාරදයන්ගේ අදහස වූයේ ඇය එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ජනාධිපතිවරියට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා නම් විධායක ජනාධිපති බලතල යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වා ගැනීමට යම් හැකියාවක් පැවැති බවය. එහෙත් කුමන හෝ අපහැදිලි හේතුවක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම පක්‍ෂයේ මැති ඇමැතිවරුන් එවැනි දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීම වළක්වා ගෙන තිබුණේය. ඇතැම් විට ඔහු එසේ කරන්නට ඇත්තේ චන්ද්‍රිකා ජනාධිපතිනිය එ.ජා.පෙ.ට වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තරම් සාහසික නොවෙතැයි උපකල්පනය කිරීම නිසා විය හැකිය.


කෙසේ වෙතත් චන්ද්‍රිකා ජනාධිපතිවරිය එ.ජා.පෙ. ආණ්ඩුව සතු අමාත්‍යාංශ තුනක් තමන් වෙත පවරා ගැනීමත්, ඉන්පසු පාර්ලිමේන්තුව තම හිතුමතයට විසුරුවා හැරීමත් යන කරුණු කාරණා දෙකම මෙරට දේශපාලන ඉතිහාසයේ දුර්ලභ ගණයේ සිදුවීම් ලෙස හැඳින්විය හැකිය. එසේම එය රටේ මූලික නීතියත්, සදාචාරයත් එකිනෙක ගැටෙන අවස්ථාවක් ලෙස ඇතැම් නීති විශාරදයෝ හඳුන්වති. 


මීට පෙර පැවැති සෝල්බරි ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය නායකයා වූ අගමැතිවරයාටද තම ඇමැති මණ්ඩලයට අයත් ඕනෑම ඇමැතිවරයෙකු සතු අමාත්‍යාංශයක් තමන් වෙත පවරා ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පැවතුණද එදා විධායකය පැවතුණේ ව්‍යවස්ථාදායකයේම කොටසක් ලෙසිනි. එහෙයින් විධායක බලය එක් පක්‍ෂයකටත්, ව්‍යවස්ථාදායක බලය තවත් පක්‍ෂයකටත් හිමිවිය හැකි පාලන රටාවක් එකල රට තුළ නොතිබිණි.


දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ආචාර්ය විජයානන්ද දහනායක මහතා තම කෙටි කාලීන පාලන සමයේ එක්තරා අවස්ථාවකදී තම ඇමැති මණ්ඩලයේ සිටි ඇමැතිවැරන් කීප දෙනෙකුගේ අමාත්‍යාංශ උන්හිටි ගමන් තමන් වෙත පවරා ගෙන තිබුණද එය චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ක්‍රියාවට කිසිසේත්ම සමාන කළ නොහැක. එසේ වන්නේ එකල දහනායක අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඔහු විසින් ඉවත්කළ ඇමැතිවරුන් පිරිසක් එකම පක්‍ෂයක සාමාජිකයන් වූ බැවිනි. 


මේ අතර චන්ද්‍රිකා ජනාධිපතිනියගෙන් පසු මෙරට ජනාධිපති ධූරයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා තමන් සතු විධායක බලය ඊට පෙර මෙරට සිටි කිසිඳු ජනාධිපතිවරයෙකු සිදු නොකළ අන්දමින් ක්‍රියාත්මක කර තිබෙන බව නොරහසකි. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ 18 වැනි සංශෝධනයයි. මහින්ද රාජපක්‍ෂ මහතා 18 වැනි සංශෝධනය ගෙනඑන ලද්දේ තමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සඳහා පැවැති ව්‍යවස්ථාමය බාධාව ඉවත් කර ගැනීමේ අභිලාෂයෙනි. එහිදී එ.ජ.නි.ස. මැති ඇමැතිවරුන්ට එම සංශෝධන පනතට අදාළ ඡන්ද විමසීමේදී තම හෘදසාක්‍ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හෙතෙම ඉඩ නොදුන්නේය. ඒ අනුව ඔවුන්ට සිදුවූයේ තම හෘදයසාක්‍ෂියට පටහැනිව රාජ්‍ය නායකයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමටය. 


එහි ආදීනව වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට තමන් සිහිනයකිනුදු නොපැතූ ඉරණමකට මුහුණ පෑමට සිදුවූ බව නොරහසකි. කෙසේ වෙතත් ඔහු ඉතිහාසයට එක්වී ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙරටට හඳුන්වා දෙන ලද අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයෙන් ස්වාර්ථය ඉටුකර ගැනීමට ගොස් අතකට පුලුස්සාගෙන අමතක නොවන පාඩමක් ඉගෙන ගත් ජන නායකයෙකු වශයෙනි.

 

 

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර