රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී බෙදා වෙන් කරන ලද ගම්පහ ආසනය තුළ, දිස්ත්‍රික් උසාවියක් හා මහේස්ත්‍රාත් උසාවියක් ද පවත්වාගෙන ගිය නමුත්, ආසන සීමාවේ ආසනය පිහිටා තිබූ බැවින්, මධ්‍යස්ථානය වශයෙන් සලකන ලද්දේ යාබද ජා-ඇල නගරයයි. එදා වික්ටෝරියා පාලමෙන් පටන් ගෙන, කොළඹ සිට මීගමුව පාරේ දඬුගම දක්වා වූ පෙදෙසත්, ගම්පහ සිට ජා-ඇල දක්වා වූ කොටස් හා පමුණුගම, හැඳල ආදී ප්‍රදේශ ගම්පහ ආසනයට අයිති කොටස් විය.


ධීවර කර්මාන්තය, ගොවිතැන, රා මැදීම ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයන් වූ අතර, වෙනත් රැකියාවන්හි නිරත වූවන් ද නොසිටියා නොවේ. කොළඹට නුදුරු ප්‍රදේශයෙක් වූ හෙයින්, අගනුවර කර්මාන්තශාලාවන්හි හා වරායේ සේවය කරන කම්කරුවෝ ද මධ්‍යම පන්තික රජයේ සේවයේ නියැළි අය හා ව්‍යාපාර සේවකයෝ ද මෙම ආසනයේ පදිංචි වූවෝ වූහ.


අධ්‍යාපනය ද උසස් මට්ටමින් පැවති අතර, මිෂනාරි හා උසස් විද්‍යාල කිහිපයක් නිසා උගතුන් බිහිවීම ද බහුල විය.


එදා ජනගහනයෙන් වැඩි දෙනා කතෝලික භක්තිකයන් වූ අතර, නොයෙකුත් කර්මාන්ත නගරය තුළ බිහිවීම නිසා, රැකියාවල යෙදෙන්නෝ ද බොහෝ වූහ. මේ හැර තෙල්මෝල් කිහිපයක් ද ක්‍රියාත්මක විය.
ගම්පහ රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් මුලින්ම තෝරා පත්කර ගනු ලැබුවේ. “පන්ති මහත්මයා” යන සුරතල් නමින්  හැඳින් වූ පන්තිනියස් ජයසූරිය මහතාය. තම තියුණු දෑස්, උපැස් යුවළකින් අලංකාර කර ගෙන සිටි මොහු ඉතා චාම් නිරහංකාර පෙනුමක් ඇති අඩි හතරකට වඩා මදක් උස් වූ කිසිම පන්තියකට සමාන කළ නොහැකි වූ විශේෂිත ගති පැවතුම් ඇති කා අතරත් ජනප්‍රියම පුද්ගලයෙකි.


රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 1931 පැවති මුල්ම මැතිවරණයේ දී ගම්පහ ආසනයේ ප්‍රතිඵල මෙසේ විය.


පන්තිනියස් ජයසූරිය මහතා - ඡන්ද 9295

රාජනීතිඥ පැන්සිස් ද සොයිසා මහතා - ඡන්ද 8152

දොස්තර ඩී. ඇස්. ජයමහ මහතා - ඡන්ද 2983


මේ අනුව වැඩි ඡන්ද 1143කින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගම්පහ ආසනය පහසුවෙන් දිනාගත් ‘පන්ති මහත්මයා’ රාජ නීතිඥවරයෙකු හා දොස්තරවරයකු වැනි සමාජයේ ඉතා ඉහළ පැළැන්තියේ ප්‍රභූන් දෙදෙනකු පැරද වූයේ. ප්‍රමාණයෙන් කොට වූවද පිළිගැනීමෙන් ඉතා උස් බව ප්‍රදර්ශනය කරවමිනි.


1936 දීද ප්‍රබල අපේක්‍ෂකයන් කිහිප දෙනෙකු පරදා ජයගත් පන්ති මහත්මයා මරණය තෙක්ම රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පැවති හැම මැතිවරණයකින්ම ජය ලැබුවේ. කිසිදු වෙනත් අපේක්‍ෂකයෙකුට ජය කණුව කරා ළඟා වීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙමිනි.


1947 දී ගම්පහ ආසනයට අයත් වැඩි කොටසක් කඩා, ජා-ඇල නමින් අලුත් ආසනයක් නම් කරන ලද අතර, මිනුවන්ගොඩ හා කැළණිය ආසනවලින් ඇඳාගත් කොටස් කිහිපයකින්, ගම්පහ ආසනය සකස් කරන ලදී.
ජා-ඇල හා ගම්පහ ආසන, එක්සත් ජාතික පක්‍ෂයට බරව තිබූ අතර, දෙදෙනෙකු බැගින් ඉදිරිපත් වීම නිසා එය එක්සත් ජාතික පක්‍ෂයට විවෘත ආසන දෙකක් ලෙසට සලකා, ජා-ඇල ආසනයට ඩී. පී. ජයසූරිය හා නෝබට් සිරිවර්ධන යන අයට ද, ගම්පහ ආසනයට ඩී. ඩී. කරුණාරත්න හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු කතානායකවරයෙකු වූ පොරැස්ටර් උබේසේකර යන අයට ද පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දුනි. ආසන දෙකට අපේක්‍ෂකයන් දෙදෙනා බැගින් තරග කිරීම නිසා, යාබද ආසන සඳහා තරග කළ, පක්‍ෂයේ නායකයන් වන ඩී. ඇස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන යන මහතුන්ට, ජා-ඇල හා ගම්පහ මැතිවරණ වේදිකාවලට නැගීමට අවස්ථාවක් නොවීය. 


මේ අනුව, 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඩී. පී. ජයසූරිය මහතා, තමා සමගම එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට ඡන්ද 3406ක් ලැබූ නෝබට් සිරිවර්ධන මහතාට වඩා ඡන්ද 11,133ක් ලබා ජා-ඇල ආසනයේ මන්ත්‍රීවරයා බවටත්, ගම්පහ ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කොට ඡන්ද 1333ක් ලැබූ පොරැස්ටර් උබේසේකර මහතා තරගයේ පස්වැන තැන ලබද්දී, එම පක්‍ෂයේම ඩී. ඩී. කරුණාරත්න මහතා ඡන්ද 11,786ක් ලබා පළමුවන තැනට පත් වී, ගම්පහ ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් විය.


ගම්පහ ආසනය දිනාගත් ඩී. ඩී. කරුණාරත්න මහතා 1949 දී කලුරිය කළෙන්, 1947 දී බොල්ෂේවික් ලෙනි නිස්ට් පක්‍ෂයෙන්, මීරිගම ආසනයට, ඩී. ඇස්. සේනානායක මහතා හා තරගවැදී ඡන්ද 16,089කින් පරාජය වූ එඞ්මන්ඞ් සමරක්කොඩි මහතා, ජා-ඇලට තරග කළ යුතු බවට එම පක්‍ෂයෙන් කියා සිටීම හා 1947 ගම්පහ ආසනයෙන් පරාජය වූ සී. ඒ. මැතිව් මහතා වමේ අපේක්‍ෂකයා වියයුතු බවට ලංකා සම සමාජ පක්‍ෂයෙන් කියාසිටීම නිසාත්, එම දෙදෙනාම තරග වැදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පී. පී. ජයවර්ධන මහතා පහසුවෙන්ම ගම්පහ ආසනය දිනා ගත්තේය.


1951 දී එක්සත් ජාතික පක්‍ෂයෙන් අස් වී ගොස් සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්, ගම්පහ ආසනයට ඉදිරිපත් වූ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා 1952 සිටම ඉදිරිපත් වූ හැම මැතිවරණවලදීම, ගම්පහ ආසනය රැක ගැනීමට සමත් විය.

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර