1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

පක්ෂ තහනමෙන් පසු මෙලෙස පක්ෂය තම කටයුතු ක්‍රමවත් හා පුළුල් කරමින් ගෙන යද්දී ආණ්ඩුව ජවිපෙ ට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රචාරයක් දියත් කළ අතර ඒ සඳහා පක්ෂයට ද්‍රෝහිකම් කළවුන් හා උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය සමග සම්බන්ධකම් පැවැත්වූවන්ද යොදා ගන්නා ලදී.
1985 වන විට පක්ෂ තහනමෙන් සිදුවූ පසුබෑම මගහරවා ගෙන යළි සක්‍රීය ලෙස දේශපාලන කටයුතු ගෙනයාමට තහනම පවතිද්දීම ජවිපෙ සමත් විය. මේ වන විට පක්ෂය හැරයාම් අවසන්ව තිබූ අතර සමහරු යළි පක්ෂය හා සම්බන්ධ වෙමින් සිටියහ. ඒ අතරම අලුතින් බඳවා ගැනීම් ද සිදුවෙමින් තිබිණි. පක්ෂයේ තහනම් තත්ත්වයට ගැළපෙන සේ සංවිධාන ව්‍යුහයන් සකස් වී තිබූ අතර අධ්‍යාපන පංති පවා ඊට ගැළපෙන ලෙස වෙනස් කරන ලදී. කලින් පැවති පංති පහ පන්ති තුනක් දක්වා කෙටි කිරීමට ද කටයුතු කරන ලදී.


1984 කාලයේ ලයනල් බෝපගේ පක්ෂය හැර යාමෙන් පසු බෝපගේ සමග නිදහස්ව සිටි දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ සෝමරත්න කළුආරච්චිද අක්‍රීය තත්ත්වයට පත්වූ අතර දේශපාලන මණ්ඩල සභිකයෙකුව සිටි දයා වන්නිආරච්චිද අක්‍රීය විය. ඉන් නිර්මාණය වූ හිස්තැන් සඳහා අලුත් අය පත්කර ගනිමින් සියලු සංවිධාන ප්‍රතිසංවිධානය කරමින් පක්ෂය ක්‍රියාත්මක විය. 1983 තහනමෙන් අනතුරුව ලයනල් බෝපගේ පක්ෂය හැරයාමෙන් පසුව පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට උපතිස්ස ගමනායක සහෝදරයා පත්විය. 1989 නොවැම්බරයේදී ඝාතනයට ලක්වන තුරුම ඔහු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විය.


1983 පක්ෂය තහනම් කළද පක්ෂයේ ක්‍රියාකාරිත්වය බිඳ දැමීමට හෝ පක්ෂ නායකයන් අත්අඩංගුවට ගැනීමට ජයවර්ධන පාලනය අසමත් විය. මේ නිසාම තහනමෙන් වසරකට පමණ පසු ආණ්ඩුව ආරක්ෂක අංශ යොදවා එක් දිනකදී රට පුරාම වැටලීමක්ද සිදු කරන ලදී. එහෙත් ඉන් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ 150 කට ආසන්න පිරිසකි. එම පිරිසෙන් බහුතරයද ඒ වන විට පක්ෂ ක්‍රියාකාරිත්වයෙන් ඈත්වී නිවෙස්වලට වී සිටි අය වූහ. ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අසාර්ථක විය.


මේ තත්ත්වය මත ආණ්ඩුව පක්ෂයට එරෙහිව පෙරමුණු දෙකක සටන් ආරම්භ කළේය. එකක් අත්අඩංගුවට ගැනීම සඳහා මැදිහත්වීම හා රෝහණ විජේවීර සහෝදරයා මරා දැමීමට සැලසුම් කිරීමය. අනෙක පක්ෂයට හා නායකයින්ට එරෙහිව අවලාද හා බොරු පතුරුවමින් සාමාන්‍ය ජනතාව අතර අප්‍රසාදයට ලක් කිරීමටත් මර්දනය සාධාරණීකරණය කිරීමටත් කටයුතු කිරීමය. පක්ෂයට එරෙහිව අවලාද නැගීම සඳහා ආණ්ඩුව යොදා ගත්තේ උතුරේ දෙමළ ඊළාම් අරගලය වීම විශේෂයකි. 1984 අග සහ 85 මුල් කාලවල ජවිපෙ උතුරේ සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ බවට මතයක් ආණ්ඩුව විසින් ප්‍රචාරය කරන ලදී. මේ කාලයේ අත්අඩංගුවට පත්වූ ජවිපෙ විරෝධියෙකු වූ හෙන්රි පෙරේරා නම් පුද්ගලයා මේ සඳහා උපයෝගී කරගනු ලැබිණි.


උතුරේ දෙමළ සන්නද්ධ කණ්ඩායමක් සමග කටයුතු කරමින් සිටි හෙන්රි පෙරේරා ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු ට්‍රොට්ස්කිවාදී මත දැරූ අතර කලක් බාලාතම්පෝ සමගද වැඩ කර තිබිණි. මේ සියල්ල සොයා ගත් ආණ්ඩුව ජවිපෙ හා දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර සම්බන්ධය හෙන්රි පෙරේරාගේ ප්‍රකාශයකින් හෙළිවූ බවට ප්‍රචාරය කළේය. ඒ අතරම ගාමිණී දිසානායකගේ මස්සිනා වූ වික්‍රම වීරසූරිය (මොහු උග්‍ර ජවිපෙ විරෝධියෙකි) විසින් සැලසුම් කරන ලද කාටුන් පෝස්ටරයක්ද රටේ බොහෝ තැන්වල අලවන ලදී. එහි කොටියකුගේ පින්තූරය හා රෝහණ සහෝදරයාගේ පින්තූරය ඇඳ දෙදෙනා කරට අත දමාගෙන සිටින ආකාරයෙන් නිර්මාණය කර තිබූ අතර හෙන්රි පෙරේරාගේ ප්‍රකාශය ගැනද සඳහන් කර තිබිණි. ආණ්ඩුව මින් නොනැවතුණු අතර පසුව එක්තරා ජාතික පුවත්පතක ප්‍රවෘත්තියක් පළකරමින් රෝහණ විජේවීර සහෝදරයා තමිල්නාඩුවේ කොටි කඳවුරක රැකවරණය ලබන බව සඳහන් කර එම කඳවුරේ සැලැස්මක්ද ඇඳ එහි රෝහණ සහෝදරයා සැඟවී සිටිනවා යැයි කියන ස්ථානයද සලකුණු කර තිබිණි. මෙම ප්‍රශ්නයේදී ආණ්ඩුව එතරම්ම සාහසික ලෙස බොරු ගොතා ප්‍රචාරය කළේය.


මේ මගින් ආණ්ඩුව එක් අතකින් ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයකු වූ රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගැනීමට අසමත් වීමෙන් නිර්මාණය වූ ලැජ්ජාව මකාගැනීමට උත්සාහ කළ අතර අනෙක් අතින් සිංහල ජාතිවාදී පිරිස්වල විරෝධය ජවිපෙ වෙත එල්ල කිරීමට ද උත්සාහ කරන බව පෙනුණි.


මේ අතර 1986 මැයි දිනය ඉතාම වැදගත් මැයි දිනයක් විය. පොදුවේ ගත්විට පක්ෂ තහනමෙන් පසු ජවිපෙට මැයි දින පෙළපාළි පැවැත්වීමට නොහැකි වූ අතර 84, 85 වැනි වසරවලදී පක්ෂයේ පිරිස් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ මැයි පෙළපාළිවලට උපක්‍රමශීලීව ඇතුළුවී පක්ෂයේ සටන් පාඨ හඬ නැගූහ. එහිදී අපි යන්නේ කොයි පාරේ විජේවීර යන පාරේ වැනි සටන් පාඨ හඬ නැගූ අතර ජවිපෙ තහනම ඉවත් කරනු යන සටන් පාඨය සහිත බැනර් ද රැගෙන යන ලදී.


කෙසේ වෙතත් 1986 මැයි දිනය ජවිපෙට වැදගත් වූයේ ඉතා විශේෂ සිද්ධියක් එහිදී සිදුවූ නිසාය. 86 මැයි දිනය වෙනුවෙන් ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනය කොළඹ නව නගර සභා ශාලාවේ මැයි දින රැස්වීමක් සංවිධානය කර තිබිණි. රෝහණ සහෝදරයා විසින් සැඟවී සිටියදී ලියා රහසිගතව මුද්‍රණය කරන ලද දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද නම් කෘතිය දොරට වැඩීම කෙරුණේ මෙම මැයි රැලියේදීය.
පක්ෂය වෙනුවෙන් රෝහණ විජේවීර සහෝදරයා විසින් සම්පාදනය කරන ලද එම කෘතිය ඉතා වැදගත් එකක් විය. එමගින් ලෝකය තුළ අධිරාජ්‍යවාදයේ උපාය මාර්ගික අරමුණු එමෙන්ම දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාවේ උපක්‍රමික අරමුණු හා ඒ තුළ ලංකාවේ ජාතික ගැටලුව ස්ථානගත වී ඇති ආකාරයත් ඒ පිළිබඳ මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටියත් නව ප්‍රවේශයකින් ඉදිරිපත් කර තිබූ අතර එම කෘතිය දැවැන්ත කාර්යයක් හා පංති වුවමනාවක් ඉටු කිරීමක් විය. එමගින් ජාතික ගැටලුව පිළිබඳව පක්ෂය තුළ තිබූ අපැහැදිලි මතවාදයන් හා දෙගිඩියාවන් අහෝසි කරමින් මතවාදී හා න්‍යායික ඒකමිතියක් ස්ථාපිත කරන ලදී. මෙම පොත 1983 තහනමට පෙර පැවති මධ්‍යම කාරක සභාවේදී ජාතික ගැටලුව පිළිබඳව සිදු කළ සංවාදය සමග බැඳුණු හා පක්ෂය විසින් ඒ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලෙස රෝහණ සහෝදරයාට පැවරූ වගකීම ඉටු කිරීමක්ද විය. දේශපාලනය, ඉතිහාසය, ජාත්‍යන්තර අත්දැකීම්, මාක්ස් ලෙනින්වාදය ජාතික ප්‍රශ්නය ආදී විෂයයන් ගණනාවක් අධ්‍යයනය කරමින් කරුණු හා තොරතුරු සම්භාරයක් එකතු කරමින් සකස් කර තිබූ මෙම කෘතිය ලිවීමට රෝහණ විජේවීර සහෝදරයාට සිදුවූයේ සාමාන්‍ය පහසු තත්ත්වයක් තුළ නොවේ. පක්ෂ තහනම නිසා සැඟවී සිටිමින් ආරක්ෂාව පතා තැනින් තැනට මාරු වෙමින් අවම පහසුකම් යටතේ මෙම කෘතිය රචනා කිරීමට සිදුව තිබූ අතර එවැනි තත්ත්වයක් තුළ එය ලියා අවසන් කිරීම මෙහි අගය වැඩි කරන්නක් විය.


මෙම කෘතිය 1986 මැයි පළමුවැනිදා එළිදැක්වූයේ ද බාධාවලින් තොරව නොවේ. හෝකන්දර ප්‍රදේශයේ නිවසක රහසිගතව කුඩා මුද්‍රණාලයක් පවත්වාගෙන යමින්, අතින් අකුරු අමුණා මුද්‍රණ කටයුතු කරන එම මුද්‍රණාලයේ පොත මුද්‍රණය කරමින් තිබියදී 1985 මාර්තු අග මුද්‍රණාලයත් පොතේ මුද්‍රිත පිටු හා අත් පිටපත් කොටස් කිහිපයකුත් පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ එහි මුද්‍රණ කටයුතු සිදුකරමින් සිටි ගුණරත්න වනසිංහ සහෝදරයා හා තවත් සහෝදරයකුද සමගය. වනසිංහ සහෝදරයා ඒ වන විට පක්ෂයේ අධ්‍යාපන අංශය භාරව සිටි අතර දේශපාලන මණ්ඩල සභිකයෙක්ද විය. පසුව හෙළි වූ පරිදි පොලිසිය මෙම ස්ථානය වටලන ලද්දේ පොත මුද්‍රණය කිරීම පිළිබඳ ලැබුණු තොරතුරක් මත නොව මෙම ස්ථානයේ කොටි සාමාජිකයින් යැයි සැක කළ හැකි පිරිසක් සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ඔත්තුවකට අනුවය. ස්ථානය වැටලූ පසු මුද්‍රණාලයත් පොත් කොටස් හා වනසිංහ සහෝදරයා සහ අනෙක් සහෝදරයාත් අත්අඩංගුවට ගන්නා ලදී.


පොත මුද්‍රණය කරමින් තිබියදී අහඹු සිද්ධියක් මත අත්අඩංගුවට පත්වීමත් සමග පොත එළිදැක්වීම පමා විය. බරපතළම අර්බුදය වූයේ සමහර පරිච්ඡේද අලුතින්ම ලිවීමට සිදුවීමයි. පක්ෂය එම අභියෝගයට මුහුණ දුන්නේය. සමහර පරිච්ඡේද රෝහණ සහෝදරයා විසින් අලුතින් ලියන ලදී. ඉන්පසු 1985 සැප්තැම්බර් මාසයේදී වෙනත් කුඩා මුද්‍රණාලයක් රහසිගත ලෙස ආරම්භ කොට පොත මුද්‍රණය කිරීම නැවත ආරම්භ කළ අතර ඉතාම පරෙස්සමෙන් එම කාර්යය සිදු කරන ලදී. පොත මුද්‍රණයට දායකවූ සහෝදරවරු සමහර විට සතියක් පුරා අදාළ ස්ථානයෙන් එළියට නොපැමිණ පොත මුද්‍රණයට අදාළ වැඩ කරමින් එම කාර්යය ඉටු කළහ. ඒ අනුව පොතේ ප්‍රථම මුද්‍රණය ලෙස පොත් 500 ක් 1986 එළිදැක්වීමට පක්ෂය සමත්විය.


1986 න් පසු ඇරඹෙන්නේ පක්ෂය කම්කරු ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, බහුජන ව්‍යාපාරය මගින් සමාජය මත තම දේශපාලන බලපෑම වැඩි කළ වකවානුවය. විශේෂයෙන් 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග ආයුධ සන්නද්ධ දේශප්‍රේමී අරගලයට පක්ෂ නායකත්වය කැපවී කටයුතු කළ අවධිය ආරම්භ විය.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්