ශ්‍රීලනිපයේ නොපළ කතා 5

 

 

කෑගලු සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටියේ දේශපාලනයට නවකයෙකු වූ නීතිඥ පී. බී. ජී. කළුගල්ල මහතාය. පක්ෂ ප්‍රතිපත්තිය මත තම සහෝදරයා වෙත සමීප නොවී කළුගල්ල මහතාට අති විශාල සහායක් ලබාදීමට අශෝක කරුණාරත්න මහතා පසුබට වූවේ නැත. කළුගල්ල මහතාගේ 1956 ජයග්‍රහණයට කරුණාරත්න මහතාගෙන් ලැබුණු අපරිමිත සහාය බණ්ඩාරනායක මහතාට විශාල ශක්තියක් වූවේය.

පනස් හයේ සිංහල අවුරුද්ද එළඹෙමින් පවතිද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ අතිවිශාල බලයක් සහිතව රාජ්‍ය බලය අත්කර ගත්තේය. එය අති විශාල ජනතා වරමක් වූවේය. මහාමේරුව සේ ස්ථිර සාර යයිද කිසි දිනක පරාජය කළ නොහැකැයිද උදම් අනමින් සිටි රජය දැවැන්ත පරාජයකට ලක්වූවේය.


ආණ්ඩු පක්ෂයට හිමිව තිබුණේ ආසන අටක් පමණි. කන්ද උඩරටින් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන තුනක් පමණි. එයිනුත් මහනුවර දිසාවෙන් එකක් පමණි. එයද බහු ආසනයක් වූ කඩුගන්නාවේ දෙවැනි මන්ත්‍රී ධූරයයි. ඇල්. බී. එස්. ජිනසේන මහතා එම ජයග්‍රාහකයා විය. එය ජයග්‍රහණයකැයි සැලකිය නොහැකි පමණට දුර්වල තත්ත්වයක් පැවති බව එකල උඩරට වැසියෝ විශ්වාස කළහ. ප්‍රධාන පක්ෂ දෙකෙන් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටි වාතාවරණයක දී බහු ආසනයේ මන්ත්‍රී ධූර දෙක එම දෙදෙනා අතර බෙදී යාම ස්වභාවික සංසිද්ධියක් වූ බැවිනි.


මේසා විශාල ජයග්‍රහණයක් ලබා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට අතගැසීමට සිදුව තිබූ බරපතළ ප්‍රශ්න දෙකක් තිබුණි. ඒ ව්‍යවස්ථාදායකය නිසි පරිදි ව්‍යවස්ථාවට අනුව සකස් කිරීමය.


එදා පැවති සෝල්බරි ආණ්ඩු ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් පත්ව එන මන්ත්‍රීවරුන් අනූපස් දෙනාට අමතරව තවත් මන්ත්‍රීවරු හයදෙනෙක් පත් කිරීමට අවශ්‍ය විය. මහජන ඡන්දයෙන් පත්වීම් ලැබීමට ශක්තියක් නොමැති සුළු ජාතික පිරිස්වලට ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් සලස්වා දීම සඳහා එම නීති සකස් කර තිබුණි.

 

මැලේ, බර්ගර්, වැනි ජන කොටස්වලට තම ජනතාවගේ ඡන්දයෙන් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට කිසිම ඡන්ද කොට්ඨාසයක දී ඉඩක් නැත. එම අඩුව පිරිමසා ගැනීම මෙම නීති ප්‍රතිපාදන සැලැස්වීමේ අරමුණ විය. ඒ වනවිටත් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සෑහෙන බි්‍රතාන්‍ය ප්‍රජාවක් සිටියහ.රාජ්‍ය නිලධාරීන් සැලකිය යුතු පිරිසක් බි්‍රතාන්‍යයෝ වූහ. ගුවන් හමුදාපති බාකර් මහතා ද බි්‍රතාන්‍යයෙක් විය. එම ප්‍රජාව නියෝජනය කරමින් මැති සබයට දිගින් දිගටම පත්වූයේ ආර්. සිංගල්ටන් සැමන් මහතාය. ආර්. ඇස්. වී. පෝලියර්, ඇම්. පී. ද්‍රහමන් ආදීහු නිතරම කුමන රජය යටතේ වුවත් මැති සබයට පත්වීම් ලැබූහ. නව රජය යටතේ පත්කරන මන්ත්‍රීවරුන් හයදෙනා පිළිබඳව සිතා බැලීමට බණ්ඩාරනායක අගමැතිතුමාට අවස්ථාව උදාවිය.


තමාගේ අතිශය සමීපතමයන් වූ ගම්පොල ජයසේන සොහොයුරන් දෙදෙනා හා අශෝක කරුණාරත්න මහතාත් මැතිවරණයට ඉදිරිපත් නොවූ නිසා මැතිසබයට පත්ව සිටියේ නැත. එහෙත් දක්ෂ අවංක, රටට සේවයක් කිරීමේ දැඩි උවමනාවක් ඇති ඒ අයට ද අවස්ථාවක් ලබාදිය යුතු යයි අගමැතිතුමා තීරණය කර තිබුණි. එනිසා එතෙක් පැවති සම්ප්‍රදාය කඩ කරමින් පත් කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිංහල ජාතිකයෙකු පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස රඹුක්කන පදිංචි නුවර පක්ෂ හේවායලාගේ අශෝක මහානාම කරුණාරත්න මහතා අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නිර්දේශය පරිදි අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් පත් කරන ලදී. ජයසේන මහතුන්ගේ නියෝජනය ද රටට අවශ්‍ය බව අදහස් කළ අගමැතිතුමා පී. ඇම්. ජයසේන මහතා එදා පැවති සෙනෙට් සභාවේ මන්ත්‍රී ධූරයකට පත්කරනු ලැබීය.


සෙනෙට් සභාව උත්තර මන්ත්‍රී මණ්ඩලය යන නාමයකින් ද හඳුන්වන ලදී. එය මන්ත්‍රීවරුන් තිහකගෙන් සමන්විත විය. එයින් පහළොවක් අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර අනෙක් පහළොස්දෙනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්කරනු ලැබීම සම්ප්‍රදාය විය. මහජනයාගේ ඡන්දයෙන් පත්වීමට ඉදිරිපත් නොවන එහෙත් රටට සේවයක් ලබාගත හැකි දැනුම සහ ශක්තිය ඇති විශේෂ පුද්ගලයන් මෙම සභාවට පත් කිරීම එම සභාව පිහිටුවීමේ අරමුණ විය. බැංකු, වෛද්‍ය, ඉංජිනේරු, ආදී විෂය ක්ෂේත්‍ර මෙන්ම වෙනත් අංශ ද නියෝජනය කරන අය මෙයට පත්වීම් ලැබූහ. ඒ අනුව පී. ඇම්. ජයසේන මහතා සෙනෙට් සභාවට පත්කරනු ලැබ එහි සිට රටට ජාතියට මහත් සේවයක් කිරීමට භාග්‍ය ලද්දේය.

 

 

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ