පෙබරවාරි දහවැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ජයග්‍රාහකයෝ සතුටු වෙති. ජය පැන් බොති. පරාජිතයෝ නිදහසට කරුණු කියති. සමහරු පැරදුණේ නැති බව කියමින් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉලක්කම් ජිල්මාට් පෙන්නති. සතියකට පසුව ගම්බදදී දැකිය හැකි තත්ත්වය මෙයයි. 


සභා තුන්සිය හතළිහක මැතිවරණ පැවති නමුදු එම බොහෝ සභාවල විස්සත් හතළිහත් අතර නියෝජිත සංඛ්‍යාවක් පත්වන ආකාරය අපි දුටුවෙමු. එයට වැඩි අපේක්ෂකයන් පත් වූ පළාත් පාලන ආයතන නොතිබුණා නොවුනත් මේ සියල්ලෙන්ම වැඩිම සභික සංඛ්‍යාවක් තේරී පත්වූයේ කොළඹ මහ නගර සභාව සඳහා බව සැවොම දනිති. වැඩිම ජනගහනයක් සහිත ප්‍රදේශය මෙන්ම රාජ්‍ය කටයුතු ව්‍යාපාරික ආයතන බහුල වශයෙන් විසිරී පැතිරී තිබෙන්නේ තවමත් කොළඹ නගරයේය. නිල අගනුවර වශයෙන් ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රකාශයට පත්ව ඇතත් ඒ නිල පිළිගැනීම් වශයෙන් හා ව්‍යවස්ථාදායකයේ පිහිටීම නිසා පමණි. ආනයන අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ වරාය නිසා පෘතුගීසි සමයේ සිටම කොළඹ නගරයට හිමි වූ වැදගත්කම තවමත් අහෝසි වී නැත. එහෙයින් කොළඹ නගරයේ පරිපාලනය මෙහෙයවීමේ භාරදූර කාර්යභාරය පැවරී ඇති කොළඹ නගර සභාව දිවයිනේ ප්‍රධානම පළාත් පාලන ආයතනය ලෙසින් සුවිශේෂී ස්ථානයක් ගනී. 


වසර එකසිය පනහක් ඉක්මවන ඉතිහාසයක් ඇති කොළඹ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය බිහිවන්නේ මෙම වසරේදීය. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායිකා ලෙස මැතිවරණයේදී තරග කළ හිටපු ඇමතිනියක ද වන රෝසි සේනානායක මහත්මිය එම සභාවේ ප්‍රථම රැස්වීමේදී නගරාධිපතිනිය ලෙස නිසැකවම පත්වනු ඇත. බස්නාහිර පළාතේ රජයේ ඒජන්තවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ප්‍රථම කොළඹ නගර සභාවට නිල බලයෙන් පත් වූ සී. පී. ලෙයාර්ඞ්ස්ගේ සිට තවත් බොහෝ දේශපාලනඥයෝ මෙම ගෞරවනීය තනතුර දැරූහ. නගරාධිපති නොවූවත් සමහරු නගර සභිකයන්ව පමණක් සිට මෙරට රාජ්‍ය නායක පදවියට ද පිය නැගූහ. 
මරදාන නාගරික මන්ත්‍රීවරයා ලෙස ටික කලක් කටයුතු කළ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ග්‍රෑන්ඞ්පාස් නාගරික මන්ත්‍රීව සිටි ජේ. ආර්. ජයවර්ධන, සන්ත බස්තියම සහ කෙහෙල්වත්ත අසුන් කලින් කළ නියෝජනය කළ ආර්. ප්‍රේමදාස යන මහත්වරු එසේ රාජ්‍ය නායකවීමේ ගිරිදුර්ගය තරණය කිරීමට සමත්වූහ. ඒ. ඊ. ගුණසිංහ මහතා මෙරට කම්කරු සමිති ව්‍යාපාරයේ පුරෝගාමියා වේ. ඔහු කලක් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළ බව වාර්තාගතව තිබේ. පසුව ප්‍රබල කැබිනට් ඇමතිවරයකුද විය. එමෙන්ම වාමාංශික නායකයන් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, රොබට් ගුණවර්ධන, ඇම්. ජී. මැන්ඩිස්, බර්නාඞ් සොයිසා, විවියන් ගුණවර්ධන ආදී ප්‍රබල මාස්ක්වාදී නායකයෝ කොළඹ නගර සභාව නියෝජනය කළහ. මෙයින් ඇන්. ඇම්. පෙරේරා මහතා කොළඹ ප්‍රථම වාමාංශික පුරපතිවරයා ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ලැබූ බව දන්නේ ටික දෙනෙකි. නගර සභා මැතිවරණයකින් පසු නගරාධිපතිනියක් තෝරා ගැනීමට සූදානම් වන මේ මොහොත ඇන්. ඇම්. ගේ නගරාධිපතිවීම ගැන වූ කතාව සිහිපත් කිරීමට උචිත අවස්ථාවකි. මේ පෙළගැසෙන්නේ ඒ කතා පුවතයි. 


1953 වසරේ අගෝස්තු 12 - 13 යන දින දෙකේදී මෙරට වාමාංශික ව්‍යාපාරය විසින් දියත් කළ මහා හර්තාල් ව්‍යාපාරය ජයග්‍රහණයෙන් අවසන් වූ බවක් ජනතාවට හැඟී ගියේය. පනස් දෙකේ මැතිවරණයේදී ශත විසි පහකට දෙන්නට පොරොන්දු වූ හාල් සේරුවේ සහනාධාර මිල නොපමාවම ශත හැත්තෑව දක්වාත් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල අධික ලෙස ඉහළ දැමීම, බදු බර වැඩිකිරීම, පාසල් දරුවනට නොමිලයේ ලබා දුන් දිවා ආහාරය නවතා දැමීම ඇතුළු පීඩාකාරී යෝජනා රැසක් ඇතුළත් යෝජනා රැගත් අයවැය ලේඛනයට විරුද්ධව මෙම සටන් ක්‍රියා මාර්ගය වමේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරන ලදි. මහජන ආරක්‍ෂක පනතේ බලතල ප්‍රකාරව මෙම දැවැන්ත අරගලය අවිබලයෙන් මර්දනය කරන ලදි. නව දෙනෙකුට ජීවිත අහිමි විය. 


සමසමාජ තරුණ නායකයෙකු වූ පිටකොටුවේ එඞ්වින් මහතා මිය ගියේ පොලිස් භටයෙකු තමාට තුවක්කුව එල්ල කරද්දී තමා ඇඳ සිටි රතු කමිසය ගලවා හැකි නම් වෙඩි තබන ලෙස අභියෝග කරමින් ළය පෑමේදීය. වෙඩි පහර වැදී සියපපු කුහරයෙන් ගලා එන රක්ත රුධිරය දෑතින් ප්‍රදර්ශනය කරමින් ඔහුගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේ “පීඩිත ජනතාවගේ සටනට ජයවේවා”යි කියමිනි. අවසානයේදී නව දෙනෙකුගේ ජීවිත අහිමිව තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අගමැති ඩඞ්ලි සේනානායක මහතාත් අයවැය සකස් කළ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාටත් එම තනතුරුවලින් ඉවත්වීමට සිදුවිය. එය ජයග්‍රහණයක් ලෙස සැලකූ වාමාංශිකයෝ උද්දාමයට පත් වූහ. තමන් වෙනුවෙන් දිවි පරදුවට තබා අරගල කළ වමේ පක්ෂ කෙරෙහි ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇති බව දක්නට ලැබුණි. 


මෙම වකවානුවේ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පවත්වන ලද්දේ එක් දිනක නොවේ. සති අන්ත කීපයකදී කොටස් වශයෙන් ඒවා පවත්වනු දැකිය හැකි විය. කළුතර, පානදුරේ, මොරටුව, දෙහිවල - ගල්කිස්ස වැනි මුහුදු බඩ නගරවල පමණක් නොව බදුල්ල, රත්නපුරය වැනි ප්‍රත්‍යන්ත නගරවල පවා නාගරික ඡන්දයේදී වමේ අපේක්ෂකයෝ බහුතරයක් ජයගත්හ. මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානාත්මකව ඉදිරියට පැමිණ නොතිබුණාක් මෙන්ම යම් පදනමක් තිබුණේ ගැමි ජනතාව අතරය. එනිසා මෙම ජයග්‍රහණයන්ට හිමිකම් කීවේ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු විප්ලවකාරී සමසමාජ පක්ෂයයි. 


ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ආරම්භයේ සිටම දක්නට ලැබුණු උපන් ගෙයි දෝෂයක් වූවේ අසමගියයි. නොයෙකුත් න්‍යායික කරුණු ඉස්මතුකොට ගනිමින් කෙස් පැළෙන තර්ක මවා පාමින් ඔවුහු නිරන්තරයෙන් වාද විවාදයන්හි යෙදී සිටියහ. සාමාන්‍ය ජනතාවට නොතේරෙන අන්තර් ජාතික කරුණු හුවා දක්වමින් සිදු වූ මෙම වාද විවාද නිසා එකම ප්‍රතිපත්තිය සහ අරමුණ මත වුවත් රතු පක්ෂ තුනක් පවත්වාගෙන යාමට ඔවුන්ට සිදුවී තිබුණි. 


1917 සෝවියට් සමාජවාදී විප්ලවය සිදුවීමේදී බලපෑ යම් මතභේදයක් සහ ලෙනින්ගේ මරණයෙන් පසු සෝවියට් නායකත්වයට පත්වීම සඳහා වූ බල අරගලයක් හේතුවෙන් ට්‍රොට්ස්කීවාදීන් සහ ස්ටාලින්වාදීන් යනුවෙන් ලොව පුරා වාමාංශිකයෝ දෙපිලකට බෙදී සිටියහ. 


මේවා ගැන කිසිදු හයක් හතරක් නොදැනම වුවත් ගම්බදව පවා වාමාංශිකයෝ පිල් දෙකක සිටියහ. සමසමාජ පාක්ෂිකයෝ ට්‍රොට්ස්කිවාදය පිළිගත් අතර කොමියුනිස්ට් පක්ෂය ස්ටැලින්වාදීන්යයි හඳුන්වනු ලැබූහ. සමසමාජ පක්ෂය සහ විප්ලවකාරී සමසමාජ පක්ෂය අතර මතවාදය මෙවැනි න්‍යායික අර්බුදයක් නොවීය. එය බලයට පත්වීමට පැවති තරගය නිසා හටගත් පුද්ගලික ආරවුලක් ලෙස වමේ සගයෝ එය හඳුනාගෙන සිටියහ. කොළඹ නගර සභාව තුළද මෙම පාර්ශ්ව කටයුතු කළේ මෙම සම්ප්‍රදායට අනුගත වෙමිනි. 


හර්තාල් සමයේදී කොළඹ නගරාධිපතිව සිටියේ වමේ මතයට මදක් නැඹුරු වූ ටී. රුද්‍රා මහතාය. සමසමාජ හෝ කොමියුනිස්ට් පාක්ෂිකයෙකු නොවූ ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් දකුණු වැල්ලවත්ත කොට්ඨාසය නියෝජනය කළේය. දෙමළ සම්භවයකින් පැවතෙන්නකු වූ ටී. රුද්‍රා මහතා 1954 නගර සභා මැතිවර්ණය එළඹෙන විට සිය නගර සභික සගයන් අතර මතභේද ඇති කර ගෙන සිටියේය. එහෙත් යහපත් මහත්මයෙකු වූ රුද්‍රා වමේ මතවාදය වෙතින් බැහැර නොවී ස්ථිර සාර ලෙසම තම පිළිවෙත ආරක්ෂා කළේය. මේ වන විට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ඉතා ශක්තිමත් පදනමක් සහිතව කටයුතු කරනු දක්නා ලදී. ලංකා කොමියුනිස්ට් පක්ෂද නාගරික කම්කරු පන්තිය අතර විහිද ගිය සංවිධානාත්මක බලයකින්ද යුතුව කටයුතු කරමින් සිටියේය. එය පිලිප්ගේ විප්ලවකාරී සමසමාජ පක්ෂය සමග හවුලක් ගොඩනගා ගෙන තිබුණි. කොළඹ නාගරික සභාව කොට්ඨාස 31 කින් සමන්විත වූ අතර 1954 ජූලි මස 24 වැනිදා පැවති නගර සභා මැතිවරණයේදී වමේ අපේක්ෂකයෝ යූඇන් පියට තියුණු තරගයක් ලබා දෙමින් අභියෝග කළහ. එහිදී මෙම අපේක්ෂකයෝ ජයග්‍රහණය කළහ. 


පිටකොටුව - ඇම්. ජබීර්. ඒ. කාදර් (එ.ජා.ප) 
කොම්පඤ්ඤවීදිය - සී. ඊ. කුමාරන් රත්නම් (ස්වාධීන) 
සන්ත බස්තියම - ආර්. ප්‍රේමදාස (කම්කරු පක්ෂය) 
වෑකන්ද - ඇම්. ඩී. කිච්ලාන් (එ.ජා.ප) 
සුදුවැල්ල - එච්. ජී. ඇස්. රත්නවීර (කොමි - විප්ලවීය එක්සත් පෙරමුණ) 
කොටුව - ෆලීල් ඒ. කපූර් (එ.ජා.ප) 
හුනුපිටිය - ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක (ස්වාධීන) 
මාලිගාවත්ත - ඇම්. එච්. මොහොමඞ් (එ.ජා.ප) 
කුප්පියාවත්ත - ඩබ්ලිව්. ඩී. ද සිල්වා (ස්වාධීන සමාජවාදී) 
මරදාන - බී. නන්දසේන කුරේ (එ.ජා.ප) 
මාලිගාකන්ද - ඒ. එච්. මාකන් මාකර් (එ.ජා.ප) 
දෙමටගොඩ - ඇම්. ඇස්. අබුබකර් (කොමි. විප්. එක්සත් පෙරමුණ) 
බම්බලපිටිය - ජේ. ඇෆ්. දේවපුර (ල.ස.ස.ප) 
මූට්වෝල් - ආර්. ඇන්ඩෘ ප්‍රනාන්දු (කොමි.විප්. පෙරමුණ) 
මාදම්පිටිය - ජේ. ඇස්. සේරම් (එ.ජා.ප) 
කොල්ලුපිටිය - ඩී. ඇස්. මල්ලවාරච්චි (ල.ස.ස.ප) 
කුප්පියාවත්ත - ඩබ්ලිව්. ඩී. ද සිල්වා (ස්වාධීන) 
බොරැල්ල - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා (ල.ස.ස.ප) 
හැව්ලොක් ටවුන් - ඩී. ඇන්. ආර්. ද සිල්වා (එජාප) 
කුරුඳුවත්ත - ජී. ඇස්. ජයසූරිය (එ.ජා.ප) 
කිරුළපනේ - රොබට් ගුණවර්ධන (ල.ස.ප.ප.) 
තිඹිරිගස්යාය - බර්නාඞ් සොයිසා (ල.ස.ස.ප) 
වැල්ලවත්ත - ඔස්මන් ජයරත්න (ල.ස.ස.ප) 
වැල්ලවත්ත උතුර - ටී. රුද්‍රා (ස්වාධීන) 
කොටහේන නැගෙනහිර - ඇන්තනි මාසේල්ස් (කොමි. විප්. පෙරමුණ) 
කොටහේන බටහිර - පීටර් කෙනමන් (කොමි.විප්. එක්සත් පෙරමුණ) 
නිව් බසාර් - ඇම්. වින්සන්ට් පෙරේරා (කම්කරු පක්ෂය) 


නගර සභා මැතිවරණයෙන් පසු දින පුවත්පත්වල විවිධාකාරයෙන් එහි ප්‍රතිඵල විග්‍රහ කර තිබුණි. එයින් එක් පුවත්පතක් ප්‍රධාන සිරස්තලය යොදා තිබුණේ “යූඇන් පිය ජයගත් බව අගමැතිවරයා කියයි” යනුවෙනි. අනු සිරස්තල යටතේ “වම දකුණ කරට කර ගියා.” “විවියන්ගේ පරාජයෙන් වමට අවාසියි” වශයෙන් දැක්වුණි. තිඹිරිගස්යාය කොට්ඨාසයට තරග වැදි යූඇන්පී අපේක්ෂකයාට විවියන් පරාජය වීම එසේ විශේෂයෙන් හුවා දක්වා තිබුණි. ඉන් පසුව වුවද කොළඹ නගර සභා ඡන්ද විමසීම්වලදී විවියන් ගුණවර්ධන මහත්මියගේ ජය හෝ පරාජය විශේෂ පුවතක් ලෙස පළ කර තිබුණු බව අපට මතකය. 


ජයග්‍රාහකයෝ නගරාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ප්‍රථම වරට රැස්වූහ. ලංකා සමසමාජ පක්ෂයෙන් බොරැල්ල නාගරික මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා නගරාධිපති ධුරයට ඉදිරිපත් කළ අතර කොමියුනිස්ට් වි.ස.ස.ප එක්සත් පෙරමුණ තම අපේක්ෂකයා ලෙස කුප්පියාවත්ත නාගරික මන්ත්‍රී දොස්තර ඩබ්ලිව්. ඩී. ද සිල්වා මහතා ඉදිරිපත් කළේය. ඡන්දය විමසීමේදී යූඇන්පී අපේක්ෂකයාට ඡන්ද පහළොවක්ද ඇන්. ඇම්. ට සහ සිල්වා මහතාට අට බැගින්ද ලැබී තිබුණි. ඉන් අනතුරුව සිල්වා සහ ඇන්. ඇම්. අතර කුසපත් ඇදීමක් සිදු වූයෙන් ජයග්‍රාහකයා වූවේ ඇන්. ඇම් ය. පසුව දෙවැනි වටයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට වඩා එක් ඡන්දයක් ලැබූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා කොළඹ නගරාධිපති ධුරයට පත් විය. 


වාමාංශික පාලනය කොළඹ නගරයට නව යුගයක් උදා කිරීමට සමත් වූවේය. නගරය පිරිසිදු කිරීමේ කටයුතු විධිමත් විය. පිරිසිදු කිරීමේ යෙදුන සේවකයෝ උද්දාමයෙන් යුතුව වැඩ කළහ. තමන් බහුතරයක් බැඳී සිටින සමස්ත ලංකා පළාත් පාලන සේවක සංගමයේ සභාපති ඇන්. ඇම්. නගරාධිපති පදවියට පත්වීම ඔවුන්ගේ ධෛර්ය වඩන්නක් විය. නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ආරම්භ කළේය. පළමු වසරේදීම නිවාස හාරසියයක් තනා ජනතාව අතර බෙදා දුන්නේය. එය එම යුගයේ හැටියට වර්තාගත ක්‍රියාන්විතයක් විය.

 

 

කොළඹ නගරය තුළ පෞද්ගලික බස් ධාවනය නවත්වා නගර සභා පාලනය යටතේ ට්‍රොලි බස් සේවාවක් ආරම්භ කළේය. එවකට සමසමාජ පක්ෂයට නාගරික සභා බලය හිමිව තිබුණු කොලොන්නාව, කෝට්ටේ, දෙහිවල - ගල්කිස්ස නගර සභා සමග එක්ව කොටස් මුදල් යොදවා බස් සමාගමක් ඇති කර නාගරික ජනයාට ගමනා ගමන පහසුව ඇති කළේය. එය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් වූ අතර රාජ්‍ය ගමනා ගමන සේවාවන් නොතිබුණු එම යුගයේ මගී ජනතාවට පහසුවක් ඇති කළාක් මෙන්ම බස් සමාගම් හිමියන්ගේ දැඩි වෛරයටද හේතු විය. 


එම වකවානුවේ පැවති සර්ජෝන් කොතලාවල රජයට මෙම තත්ත්වය රිස්සුවේ නැත. ළඟදී දිවයිනට පැමිණීමට නියමිත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සංචාරයේදී කොළඹ ප්‍රධාන පුරවැසියා මාක්ස්වාදී පක්ෂයක අයෙකුවීම නුසුදුසු ක්‍රියාවකැයි අගමැතිගේ උපදේශකයෝ පෙන්වා දුන්හ. 


විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් සර් උක්වත්තේ ජයසුන්දර මහතා මේ මතයේ තදින්ම ගැලී සිටියේය. එනිසා රතු නගරාධිපතිවරයා පදවියෙන් ඉවත් කිරීමේ මහා මෙහෙයුමක් ඇරඹුණි. එය වෙනම කතාවකට උචිත මාතෘකාවකි. සුදුසු හා කාලීන අවස්ථාවකදී මම එය ඔබට ඉදිරිපත් කරන්නෙමි. එම දීර්ඝ මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙන් එජාපයේ නාගරික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවක් වැඩි ඡන්ද එකකින් සම්මතවීම නිසා ඇන්. ඇම්.ට නගරාධිපති ධුරය අහිමි විය. එසේ වූයේ කොමියුනිස්ට් විප්ලවකාරී සමසමාජ හවුලේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ නැගෙනහිර කොටහේනේ අසුන නියෝජනය කළ ඇන්තනි මාසේල්ස් මහතා උපක්‍රමයෙන් එජාපයට හරවා ගැනීමෙනි. 


සමකාලීන දේශපාලනයේ බොහෝ තීන්දු තීරණ ගැනෙන්නේ අනෙක් සියලු නිර්ණායකයන් පසෙකට දමා පක්ෂ භේදය මුල්කරගෙනය. එයින් ලැබෙන බොහෝ ප්‍රතිචාර අහිතකරවීම පුදුමයක් නොවේ. කොළඹ නගර සභා ඉතිහාසයේ පත් වූ එකම මාක්ස්වාදී නගරාධිපතිවරයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කිරීමට පක්ෂව ඡන්දය දුන් බොහෝ මන්ත්‍රීවරුද එසේ ප්‍රකාශ කළහ. අපේ රටේ දේශපාලනයේ ස්වභාවය ඒ ආකාරය. කොළඹ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නගරාධිපතිනිය බිහිවූයේ මේ සතියේදීය. එයට සමගාමීව කොළඹට පත් වූ එකම මාක්ස්වාදී නගරාධිපතිවරයා ගැන සටහන් කළෙමු. මතු අනාගතයේදී තවත් ඉතිහාසගත වන සිදුවීම් අසන්නට දකින්නට ලැබෙනු නිසැකය. අපි එතෙක් ඉවසා සිටිමු.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ