1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තු නිලකාලය අවසානයේ මහ මැතිවරණයක් නොපවත්වා 1982 පැවැත්වූ ජනමත විචාරණයක් මගින් 1989 දක්වා තවත් අවුරුදු 06ක් නිලකාලය දීර්ඝ කරගන්නා ලදී.

ඒ හරහා 1977 සිට 1989 දක්වා හයෙන් පහක බලයක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාත්මක විය. ඊළඟ මැතිවරණය පවත්වන ලද්දේ 1994 දීය. ඒ වනවිට 1982 ඔක්තෝබර් 20 වැනි දින පළමු ජනාධිපතිවරණයත් 1988 දෙසැම්බර් 19 වැනි දින දෙවැනි ජනාධිපතිවරණයත් පවත්වා තිබිණි. එම ජනාධිපතිවරණයෙන් ආර්. ප්‍රේමදාස මහතා ජයගත් අතර 1993 මැයි 01 වැනි දින මැයි දින රැලියට සහභාගි වූ ආර්. ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ගොදුරක්ව අභාවප්‍රාප්ත විය. 


එවක අගමැති ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ලෙස පත්වූ අතර 1994 අගෝස්තු 16 වැනි දින පැවැති මහා මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ශ්‍රීලනිපයේ අගමැති වරිය ලෙස අගෝස්තු 19 වැනි දින ඩී. බී. විජේතුංග ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නාය.


මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල නායකයකු ලෙස සිටි ගාමිණී දිසානායක ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා විසින් අභාවප්‍රාප්ත ආර්. ප්‍රේමදාස මහතාගේ ඉතිරි ධුර කාලය අවසානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරාගන්නා ලදි. 1994 ඔක්තෝබර් 07 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූ අතර ශ්‍රීලනිපක්‍ෂයේ අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දිවුරුම් දී මාස දෙකක් ඇතුළත ජනාධිපති අපේක්‍ෂක ලෙස නාමයෝජනා දීම සිදුවිය.


1994 ඔක්තෝබර් 07 වැනි දින නාමයෝජනා දුන් අපේක්‍ෂකයෝ 06 දෙනෙක් වූහ. නමුත් ප්‍රධාන සටන පැවතුණේ එ.ජා.ප අපේක්‍ෂක ගාමිණී දිසානායක හා පොදුජන එක්සත් පෙරමුණු අපේක්‍ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අතරය.


මැතිවරණ උණුසුම වැඩිවෙමින් පවතිද්දී 1994 ඔක්තෝබර් 24 වැනි දින කොළඹ තොටළඟ පැවැති එ.ජා.පක්‍ෂ රැලියට එල්ල වූ එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයක් හේතුවෙක් එ.ජා. පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් අභාවප්‍රාප්ත වූහ. කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ වීරසිංහ මල්ලිමාරච්චි, ඔසී අබේගුණසේකර සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ දොස්තර ගාමිණී විජේසේකර, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර එසේ මරු වැළඳ ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.


පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් මන්ත්‍රීවරු පස්දෙනෙක් එකම බෝම්බයෙන් මියගිය අවස්ථාවක් නැත. වීරසිංහ මල්ලිමාරච්චි වෙනුවට මනාප ඡන්ද 37,028 ලබා සිටි කොළඹ එ.ජා. පක්‍ෂ ලැයිස්තුවේ ආර්. යෝගරාජන් මහතාත් ඊළඟට මනාප ඡන්ද 33,494 ක් ලබා සිටි පී. පී. දේවරාජ් මහතාත් පත්වූ අතර ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර හා ගාමිණී විජේසේකර ජාතික ලැයිස්තු මන්ත්‍රීන් වෙනුවට දිනේෂ් දොඩංගොඩ හා සරත් කෝන්ගහගේ මහතාත් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 198,207 ලබා ප්‍රථම ස්ථානය ලබා සිටි  ගාමිණී දිසානායක වෙනුවට මනාප 34,986 ලබා සිටි ගාමිණී රාජපක්‍ෂ මහතා පත්විය.


ගාමිණී දිසානායක ජනාධිපති අපේක්‍ෂක එ.ජා. පක්‍ෂයට අහිමි වීම නිසා ඒ වෙනුවට තරඟකාරියක් ලෙස ශ්‍රීමා දිසානායක නම් වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ එ.ජා. පක්‍ෂය විසින් නම් කරන ලදී. විකල්ප අපේක්‍ෂිකාවක් ලෙස ශ්‍රීමා දිසානායක පත්වීම නිසා ජනාධිපතිවරණ සටන කාන්තාවන් දෙදෙනෙකු අතර සටනක් බවට පත්විය. ඉන් විශිෂ්ට ජයක් ලැබීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සමත් වූවාය.

 

 

 

බණ්ඩාරගම සමරසේන මුදලිගේ