උතුර ගැන මේ දිනවල කතා බහ බොහෝය. විජය කලාගේ විසූක දස්සන එක පැත්තකය. විග්නේෂ්වරම් සහ ටී.ඇන්.ඒ. සංගමයේ කියුම් කෙරුම් තවත් පැත්තකය. පළාත් සභා මැතිවරණයක් ළඟම එන නිසා හෙට අනිද්දා වන විට තවත් මෙවැනි දේ දක්නට ලැබෙනවා නිසැකය. එහෙත් මූලික ප්‍රශ්න හමස් පෙට්ටියේ ය.


තිස් වසරක් පුරා පැවති කෘර ප්‍රචණ්ඩකාරී යුද්ධයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා මාතාව තවමත් ඔත්පලව හිඳින්නීය. මෙම යුද්ධයේ දී මිය ගිය ලක්ෂ ගණනක් වූ ඇයගේ දූ පුතුන්ට නැවත කිසි දිනක ජීවිතය ලැබෙන්නේ නැත. එමෙන්ම යුද්ධයේ දී ආයුධ වශයෙන් හෝ ආයුධවලින් පුලුස්සා දමන ලද කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මහා ධනස්කන්ධය ආපහු රුපියල් හෝ ඩොලර් බවට හරවන්නට සමතෙකු ද මිහි පිට බිහි වී නැත. එහෙත් ලොව සැමගේ අවධානය යොමුව ඇත්තේ සිංහල දමිළ වශයෙන් බෙදී සිටින ශ්‍රී ලාංකික ජන කොටස් දෙක අතර කල්පවත්නා සාමය, සංහිඳියාව සහ බිඳී ගිය විශ්වාසය යළි ඇති කිරීම ගැනය. එම බැරෑරුම් සහ වැදගත් කාර්යභාරය උදෙසා වගකිවයුත්තෝ නොයෙක් පියවරයන් ගනිමින් සිටිති. තවත් බොහෝ දේ යෝජනා කරති. රටක ඉතාම අමරු කාර්යයක් ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සම්පාදනයට පවා කටයුතු කෙරෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කළේය. 


රෝගයට විධිමත් අයුරින් ප්‍රතිකාර කිරීමට නම් රෝග නිධානය නිසි පරිදි හඳුනාගත යුතුය. මෙම කටයුත්ත ද අතිශය බැරෑරුම්ය. එයට අදාළ බොහෝ කරුණු කාලයේ වැලි තලාවෙන් වැසීගොස් අවසානය. වත්මනෙහි විසඳුම් සොයන්නේ පසුව එම වැලි තලාව මත පැළවුණු විෂ පැළෑටි උපුටා දැමීමට පමණක් බව ඔවුහු නොදනිති. 


උතුරේ ප්‍රචණ්ඩත්වය මුලින්ම ආරම්භ වූයේ ජාතිවාදයකට එහා ගිය අරමුණක් වෙනුවෙන් බව අප අවබෝධ කර ගත යුතුය. එම සාධකය නම් කුලවාදයයි. මෙම තත්ත්වය හරි හැටි වටහා නොගන්නේ නම් සිදු වන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැන්දාක් මෙන් යැයි කියැවෙන ගැමි කියමනේ ආකාරයට ප්‍රතිඵල විරහිත අසාර්ථක බවකට පත් වීමේ ඛේදවාචකයට මුහුණ දීමෙනි. එම කුල පීඩනය ගැන ඉතිහාසය වටහා ගැනීමට 1967 දී ගම්පහ මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ කථාවකින් කොටසක් උපුටා දැක්වීමට මම අදහස් කරමි. මෙම පැරණි විස්තරය ආරම්භ කිරීමට ප්‍රවේශය වශයෙන් එය යෝග්‍යයයි මම සිතමි. 
“ගරු නියෝජ්‍ය කතානායක තුමනි, 

 

 

1964 පෙබරවාරි මාසයේ දී අපි දැක්කා උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අරගලය. විශේෂයෙන්ම දවස් පනස් හයක් (56) ඔවුන්ගේම ආණ්ඩුවක් ඒ ප්‍රදේශවල තිබුණු අවධියක එදා අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම අනුව මට තොන්ඩමන් මහතාත් සමග එම ප්‍රදේශයට යාමට පුළුවන් වුණා. දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ සටන කොයි ආකාරයට සිදු වන්නේ ද කියන එක අපි ඒ අවස්ථාවේ දී දැක්කා. 


ගරු නියෝජ්‍ය කතානායක තුමනි, එහෙත් අද අපිට පෙනී යනවා මේ රටේ දෙමළ කතා කරන වෙනම ජනතාවක් ලෙස නගා සිටුවීමට ක්‍රියා කිරීමට ෆෙඩරල් පක්ෂය සහ ද්‍රවිඩ සංගමයක් අතර තරගයක් ඇතිවේගෙන එන බව. මා මෙහිදී ද්‍රවිඩ සංගමයෙන් සහ ෆෙඩරල් පක්ෂයෙන් විමසා සිටින්නේ අද උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වාසය කරන දෙමළ ජනතාවගේ සියයට තිහක් පමණ කුල හීනයයි කියන ජනතාව ගැන ෆෙඩරල් පක්ෂයත් ද්‍රවිඩ සංගමයත් දරන ප්‍රතිපත්තිය කුමක්ද යන්නයි. අද දක්වා එවැනි ප්‍රකාශයක් සිදු කර නැහැ. අද මෙම කුල හීනයයි කියන ජනතාවට ඒ පෙදෙස්වල කෝවිලකට ආගම අදහා ගැනීමට යාමේ මනුෂ්‍ය අයිතිවාසිකම් පවා නැහැ. බොන්න වතුර ටිකක් ලබා ගන්නට ළිඳකට යාමේ නිදහසක් අද ඔවුන්ට නැහැ. ඔබේ පක්ෂ දෙක මේ ගැන කියන්නේ මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව ආගමික ප්‍රශ්නයක් බවයි. ඒත් අද යාපනය ප්‍රදේශයට ගිහින් බැලුවොත් අපට පෙනෙනවා වතුර බොන ළිං පවා කුල අනුව වෙන් කර තිබෙන බව. කුල හීනයන්ට සමහර බාබර් සාප්පුවලට අතුළු වීමට අවසර නොදුන් අවස්ථා, ඒ සම්බන්ධයෙන් උසාවියට ගොස් දඩ ගසා ඇති අවස්ථා පවා තිබෙනවා. කුල හීනයයි කියන අයට කෝවිලකටවත් ඇතුළු වන්නට දෙන්නේ නැහැ. මේ රදල ක්‍රමය නිසා පීඩනයට පත්ව සිටින ඒ ප්‍රදේශවල සිටින කුල හීනයැයි කියනු ලබන සාමාන්‍ය ජනතාව, රා මදින සහෝදරවරු, කම්කරු සහොදරවරු කල්පනා කරනවා මේ පුද්ගලයින්ට විරුද්ධව සටනකින් තොරව ඒ පීඩිතයන්ගේ මිනිස් අයිතිවාසිකම් ලබා ගන්නට බැරිය කියා. 


නැවත දිනයක ඇස්. ඩී. මෙසේ ප්‍රකාශ කර ඇත. සමාජ අවහිර වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන මෙන් අප වරින් වර ඉල්ලා සිටියා. ගිය අවුරුද්දේ මාවිඞ්ඩපුරම් කෝවිලේදීත් මේ අවුරුද්දේ ඔඞ්ඩුවිල් අම්මාන් කෝවිලේදීත්, ඇති වූ සිද්ධි ගැන අපි පැහැදිලි විස්තරයක් බලාපොරොත්තු වුණා. ඒ කුල හීනයයි කියනු ලබන සහෝදරවරුන්ට කෝවිල්වලට යාමට අයිතිවාසිකමක් ඇතැයි පොලිස්පතිතුමා කියා තිබෙනවා. එහෙත් යාපනයේ සිටින පොලිස් සුපරින්ටැන්ඩන්ට් මහත්මයා, පසුගිය කාලයේ මෙම සභාවේ සිටි මන්ත්‍රීවරයෙකු වූ සුන්දරලිංගම් මහතා සමග සාකච්ඡා කර 1966 දෙන ලද අයිතිවාසිකම් ඒ අයට දිය යුතු යැයි තීරණය කර තිබෙනවා. ඔය සුන්දරලිංගම් මහතා ප්‍රතිගාමී කොවුලක්. හොඳයි, 1966 දෙන ලද අයිතිවාසිකම් යැයි කියන්නේ මොනවාද? කෝවිල්වල පිටත සිටීමට ඉඩ දීමයි. ඉතින් මේ කර තිබෙන විකාර සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් ඕනෑ. මේ විදියේ ප්‍රකාශයක් දෙන්නට යාපනයේ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් මහත්මයාට බලයක් තිබෙනවාද? ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාට පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය කිරීමට සිදුවූවේ ඒ දිනවල කුලහීන යැයි සැලකුණු පිරිස් කෝවිල්වලට යන අවස්ථාවල දී කුලීනයයි නම් ගත් වංශවතුන් එළව එළවා පහර දුන් සිදුවීම් වාර්තා වෙද්දීය. කුලවතෙකු බවට හැඳින් වුණු වව්නියාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ සී. සුන්දරලිංගම් මහතා කෝවිලට යාමට උත්සාහ කළ කුල හීන අසරණයන්ට පා පහර දෙන ඡායාරූප පුවත්පත්වල පළ වී තිබුණු ආකාරය අපට මතකය. 

 

 

උතුරේ පමණක් නොව සමස්ත ලංකාවේම කුල භේදය රජ කරන යුගයක් පැවති බව අපි අසා ඇත්තෙමු. මෙය කොතරම් සමාජ පීඩනයක් වීද යන්න වටහා ගැනීමට 1927 දී නිකුත් කරන ලද ් ජ්ිැ ්ට්සබිඑ ජ්ිඑ නම් කෘතිය කියවිය යුතුය. සිංහල රාජධානි අවධියේ යම් යම් වෘත්තීන්හි නියැළුණු පිරිස් පාරම්පරිකවම එම වෘත්තියෙහි යෙදීම සිදු වූ අතර එය කුලයක් ලෙස සැලකීමට පුරුදු වූ බව කියනු ලැබේ. 


මෙය දේශපාලන ක්ෂේත්‍රයට අදාළව බෙහෙවින්ම ක්‍රියාත්මක වූ සාධකයක් බව පැරණි මූලාශ්‍රයන්හි දැක් වේ. 1834 දී කෝල්බෲක් කොමිසමේ නිර්දේශ යටතේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පිහිටුවන ලදී. එහි මන්ත්‍රී සංඛ්‍යාව නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව හය දෙනෙකි. එම මන්ත්‍රීවරුන් පත් කිරීම සිදු වූයේ වර්තමානයේ දී මෙන් භූගෝලීය පදනමක් මත බෙදා සකස් කළ ආසන ක්‍රමයක් අනුව නොවේ. ජනවාර්ගිකව සලකා බලා නම් කර මන්ත්‍රීවරුන් පත් කිරීම එදා ක්‍රියාත්මක කළ බව කියැවේ. සිංහල ජනයා වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙක් ද දෙමළ ජනයා ද බර්ගර් අය එක බැගින් ද මෙරට ජීවත් වූ යුරෝපීය ජන කොටස් නියෝජනය කිරීමට මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුගෙන් ද සමන්විත වූවේය. එකල මුස්ලිම් ජන කොට්ඨාසය ද දෙමළ වර්ගයා ලෙස සලකන ලදී. යුරෝපීය ජනතාව යනුවෙන් සලකන ලද්දේ එකල ලංකාවේ පදිංචිව සිටි රාජ්‍ය නිලධාරීන්, හමුදා ප්‍රධානීන් මෙන්ම ව්‍යාපාරික කටයුතුවල නියැළුණු අය, වතු වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු කළ අය ද වේ. අනෙකුත් ප්‍රජාවන් නියෝජනය කරන නියෝජිතයන්ගේ නම් ලැබී තිබුණා වුවත් සිංහල හා දෙමළ නියෝජිතයන් විය යුත්තේ කවුරුන්දැයි නම් කර තිබුණේ හෝ කිසිවෙකු ඉදිරිපත්ව සිටියේ නැත. වසරක් ගත වෙන තුරු මෙම දෙදෙනාගේ පුරප්පාඩු පැවති හෙයින් ලංකාණ්ඩුකාර සර් විල්මට් හෝර්ටන් බලවත් අසීරුවකට මුහුණ දී සිටි බව කියනු ලැබේ. වසරක් යන තුරු මන්ත්‍රණ සභාව කැඳවීමට නොහැකි වීම තමාගේ අසමත්කමක් ලෙස බි්‍රතාන්‍ය මව් රජය වටහා ගනී ද යන සැකය සිත තුළ දරා සිටි ආණ්ඩුකාරවරයා කළේ එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන භාෂා පරිවර්තකයන් දෙදෙනා ලෙස කටයුතු කළ උසස් නිලධාරීන් දෙදෙනා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ලෙස බලහත්කාරයෙන් පත් කිරීමය. එසේ ප්‍රථම සිංහල මන්ත්‍රීවරයා ලෙස පත් කෙරුණේ ජොහැන්නස් ගොඞ්ෆ්‍රෙඞ් පිලිප්ස් පණ්ඩිතරත්න වූ අතර දෙමළ ජනයා නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස පත් කරන ලද්දේ මුතු කුමාරස්වාමි මහතාය. එම යුගයේ මන්ත්‍රී ධුරය යාවජීව තනතුරක් වූ නිසා නැවත මන්ත්‍රීවරයෙකු පත් කිරීමට අවශ්‍ය වූයේ සිටින මන්ත්‍රීවරයා මරණයට පත් වූ කල්හිය. එය ද පාරම්පරික උරුමයක් සේ ඥාතීන් නොකඩවා පත් වූ ආකාරය සිංහල මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී දැක ගත හැකි විය. දෙමළ ජනතාව නියෝජනය කළ මුතු කුමාරස්වාමි මහතා ඉහළ පෙළේ ප්‍රභූ පවුලක සාමාජිකයෙකු වූ අතර ඔහුගේ සොහොයුරිය විවාහ වී සිටියේ මුදලිවරයෙකු සමගය. ප්‍රකට දේශපාලන විචාරකයෙකු හා පර්යේෂකයකු වන වික්ටර් අයිවන් මහතා ලියූ නිදහස ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය නම් කෘතියේ සඳහන් කරන ආකාරයට සර් පොන්නම්බලම් රාමනාදන් දෙමළ සමාජයේ ඉහළ කුලයක් වන වෙල්ලාල කුලයට අයත් වේ. ඔහු මන්ත්‍රීවර මුතු කුමාරස්වාමිගේ සොහොයුරියගේ පුත්‍රයා බව සැලකිල්ලට ගැනීම වටී. ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබා යටත් විජිත රජයේ ඉතා උසස් තනතුරු දැරූ පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුණාචලම් සොහොයුරෝ පසුව දේශපාලන පොරපිටියට සම්ප්‍රාප්ත වූහ. ඔවුහු ලාංකීය ජන සමාජයම එකම ඒකකයක් ලෙස සලකා කිසිදු ජාති භේදයකින් තොරව කටයුතු කළහ. 

 

 

1915 සිංහල මුස්ලිම් ජාතිභේදවාදී අරගල අවස්ථාවේ දී බි්‍රතාන්‍ය පාලනය විසින් සිංහල ජනතාවට කරන ලද තාඩන පීඩන ගැන විරෝධය දක්වමින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව තුළත් ඉන් පිටතත් කටයුතු කිරීමට සර් පොන්නම්බලම් මහතා කටයුතු කළ අතර ඔහු ආණ්ඩුකාර සර් රොබට් චාමස්ව දැඩි විවේචනයට ලක් කළේය. 


ඔහුගේ සොහොයුරු පොන්නම්බලම් අරුණාචලම් මහතා ද නිදහස් සටනට මහත් සේ දායක විය. ලංකා ජාතික සංගමය ආරම්භ කිරීමට ද පුරෝගාමී නායකත්වයක් දැරීය. එහෙත් සාම්ප්‍රදායික මතවලට නැඹුරු වූ මොවුහු කාන්තාවන්ට ඡන්ද බලය ලැබීමට පවා විරුද්ධ වූහ. උසස් කුලයේ අය වූ මොවුහු කුල හීනයන්ට අනුග්‍රහය දැක්වූයේ නැත. එහෙත් නායකත්වය තිබුණේ ඔවුන් අත ය. 


ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 වන විට පැහැදිලි ව්‍යුහයක් සහිත බලවත් දේශපාලන පක්ෂ උතුරේ බිහි වී තිබුණේ නැත. එකල ඉන්දියාවේ නිදහස් සටන ඉතා උග්‍ර අන්දමින් කෙරී ගෙන ගිය අතර එහි ආශ්වාදය පෝක් සමුද්‍රසන්ධිය ඔස්සේ උතුරට දැනෙමින් තිබුණි. මහත්මා ගාන්ධිගේ නායකත්වයෙන් අවිහිංසාවාදය මත පදනම්ව කෙරීගෙන යන නිදහස් අරගලය ගැන ප්‍රසාදයට පත්ව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් එහි නේවාසිකාගාරයේ දී එක්ව කුඩා සංවිධානයක් ඇති කර ගන්නා ලදහ. 


ඉන්දියානු නිදහස් සටන තුළ එරට ශිෂ්‍ය ප්‍රජාව අත් කරගෙන ඇති උසස් තත්ත්වය ඔවුන්ට පන්නරය සපයා තිබුණි. මෙහි මූලිකත්වය ගත් පිරිස අතර ප්‍රමුඛයා ලෙස නිසැකවම කැපී පෙනුණේ හැන්ඞ් පෙරිම්පනායගම් නම් ශිෂ්‍ය නායකයෙකි. දෙමළ ක්‍රිස්තියානි පවුලකින් පැවත එන එකල සමාජ පසුබිමට අනුව රැඩිකල් මතධාරී යැයි සැලකිය හැකි මෙම බුද්ධිමත් තරුණයා යාපනයේ දැඩි ලෙස පවතින කුල භේදය තරයේ ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ආධාරකරුවෝ ද එම මතයේම එල්බ ගෙන සිටියහ. තමාගේ නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකු කුලය සහ සමාජ තත්ත්වය නොසලකා සම අසුන් පනවා පහසුකම් ලබා දී තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට මෙම රැඩිකල් මතධාරීහු පසුබට නොවූහ. 

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ