යාපා පටුනේ පළමු ප්‍රගතිශීලී සටන් පෙරමුණ-04

 

එවක නීති ශිෂ්‍යයෙකුව සිටි එස්. නඬේසන් මේ කොංග්‍රස් සැසිවාරවලදී සම්මත කෙරුණු මුලවිපර්යාසී ආස්ථානය සඳහා න්‍යාය සැකසීය. ඩොනමෝර් කොමිසමේ වාර්තාව 1928 ජුලි මාසයේදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ශිෂ්‍ය කොංග්‍රසය කොමිසමේ ප්‍රධාන නිර්දේශ ප්‍රතික්‍ෂේප කළේය. විශේෂයෙන් 1928 අප්‍රේල් මාසයේ සිව්වැනි වාර්ෂික සැසිවාර පවත්වනු ලබමින් තිබුණු අතර එහිදී නඬේසන් කොමිසම ඉදිරියට පමුණුවන ලද සාක්‍ෂිවල ස්වභාවය ගැන අදහස් දැක්වීය. වර්ග, ආගම් හා කුල නියෝජනයන් එහිදී ප්‍රදර්ශනය කර තිබුණු ආත්මාර්ථකාමීත්වය විවේචනය කරමින් සෑම දේශමාමකයෙක්ම ඒ සිදුවූ දේවල් ගැන ලැජ්ජාවට පත්විය යුතු බව ඔහු කියා සිටියේය. කොමිසන් සභාව ඉදිරියට ගිය ප්‍රසිද්ධ පුද්ගලයෝ තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරදෙනු නොලැබුවහොත් තමන් අයත් කුල, ආගම් හෝ වර්ග වැනසීයාමට හේතුවනු ඇතැයි කියන තරමට ආත්මාර්ථකාමී හා අඥාන වූ බව කියමින්, ඔහු ඔවුන් හැඳින්වූයේ අඥාන ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විසකූරු වාතාවරණයක් නිර්මාණය කළ ආත්මාර්ථකාමීන් පිරිසක් හැටියටය. වාර්ගික නියෝජනය ව්‍යාජ ප්‍රතිකර්මයක් ලෙසත්, පිළිගැනීමට ලක් නොකළ යුතු නපුරක් ලෙසත් හැඳින්වීය.


සැසිවාරයේදී පී. කේ. ඩබ්ලිව්. පෙරේරා “ස්වයං පාලනය සඳහා අධ්‍යාපනය” යන මැයෙන් කථා කළ අතර ඒ. ඊ. ගුණසිංහ සිය ප්‍රියතම මාතෘකාව වන “කම්කරු පංතියේ විමුක්තිය” මැයෙන් දේශනයක් පැවැත්වීය.


යාපන ශිෂ්‍ය කොංග්‍රසය ලංකා තරුණ කොංග්‍රසයක් බවට පරිවර්තනය වනු ඇති බවට 1929 වසර වන විට විශ්වාසයක් ගොඩනැගී තිබුණි. 1929 වසරේ මාර්තු මාසයේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණු රැස්වීමේ සභාපති පදවිය ඩී. බී. ජයතිලක මහතා විසින් උසුලන ලදී. විශ්වවිද්‍යාල, නීති හා වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන් ද මෙහි සහභාගි වී සිටි අතර රැස්වීමේ ප්‍රධාන කථිකයන් දෙදෙනා වූයේ එවකට ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි පී. ද එස්. කුලරත්න මහතා සහ සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි ටී. බී. ජයා මහතාය. ශිෂ්‍ය කොංග්‍රසයේ සම ලේකම්වරුන්ගෙන් එක් අයෙකු වූ එන්. කුමාරසිංහම් ගේ මූලිකත්වයෙන් රැස්වීම කැඳවනු ලැබ තිබුණ අතර “කොළඹ තරුණ සංගමය” පිහිටුවීමට තීරණය කර තිබුණි. එමෙන්ම පී. ද. එස්. කුලරත්න, ටී. බී. ජයා, එස්. ආර්. කනගනායගම්, ඩී. එස්. එස්. පීරිස්, එන්. කුමාරසිංහම්, රොබින් රත්නම්, එම්. රාජසිංහම්, එෆ්. එස්. ජේ. කුරේ, එම්. සාලි, පී. නඩරාජා සහ සී. රණසිංහ යන අයගෙන් සමන්විත කමිටුවක් තෝරා පත්කර ගැනුණි. මේ අනුව යාපන ශිෂ්‍ය කොංග්‍රසයේ බලාපොරොත්තුව වූයේ රටේ අනෙක් ප්‍රදේශ තුළද ඒ සමානම සංවිධාන මතු වී අවසානයේ සමස්ත ලංකා තරුණ කොංග්‍රසයක් ක්‍රියාත්මක වනු ඇති බවය. නමුත් මේ දිශාවට සිදුවූ ප්‍රගමනය මන්දගාමී විය. කෙසේ වුවද, කොළඹ නගරය තුළද, මහනුවර හා ගාල්ල යන නගර තුළද තරුණ සංවිධාන පිහිටුවීමට පියවර ගෙන තිබුණ අතර ඒ තුළින් සමස්ත ලංකා තරුණ කොංග්‍රසය යථාර්ථයක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු විය.


පස්වැනි වාර්ෂික සැසිවාරය 1929 අපේ්්‍රල් මාසයේ කන්කසන්තුරෙයි හිදී පැවැත්වූ අතර වාර්ෂික සැසිවාරය රැස්වූයේ ඒ සඳහා ඉදිකරන ලද විශේෂ ශාලාවක් තුළය. කොංග්‍රසයේ සාර්ථකත්වය හේතුවෙන් කොංග්‍රසය පෙනී සිටි පරමාදර්ශ ජනප්‍රියත්වයට පත්කිරීම සඳහා අර්ධද්වීපයේ විවිධ පළාත් තුළ පහළොවකට වැඩි රැස්වීම් සංඛ්‍යාවක් පවත්වනු ලැබිණි. මේ රැස්වීම්වල ප්‍රධාන කථිකයා වූයේ හැන්ඩි පෙරිම්පනායගම්, එම්. බාලසුන්ද්‍රම් හා එස්. නඬේසන්ය. කොංග්‍රසයේ නායකයෝ ප්‍රජාගණවාදය හා කුල ප්‍රශ්නය සම්බන්ධයෙන් කොංග්‍රසය විසින් ගනු ලැබූ ආස්ථානය අවධාරණ කළහ. පෙර පැවති සැසිවාරවල දී මෙන්ම මෙහිදී ද තරුණයන් විශාල පිරිසකගේ ආකර්ෂනය දිනාගන්නා ලදී. කීරිමලෙයි හි පවත්වන ලද සැසිවාරයෙහිදී කොංග්‍රසයේ මූලික මූලධර්ම අතුරින් එකක් වූ “කුලය නොසලකා සියලු පුද්ගලයන්ගේ සමානාත්මතාව” යන මූලධර්මය ක්‍රියාවට නැගිය නොහැකි වූ අතර කන්කසන්තුරෙයි හි ඉදිකරන ලද විශේෂ මණ්ඩපය සියලු කුලවලට අයත් ජනයාට නිදහසේ එකට මුසු වී එකට එක්ව ආහාර අනුභව කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය කළේය. මේ ආකාරයේ රැස්වීමකදී සියලු කුලවලට අයත් ජනයාගේ අන්තර් - ආහාර අනුභව කිරීමක් යාපනය තුළ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වූයේය. 1929 සැසිවාරයේහිදී සම්මත කරනු ලැබූ ප්‍රධාන යෝජනාව ස්වරාජ්‍ය පිළිබඳව විය. ඒ අනුව මෙරට ජනතාවගේ ජන්ම දායාදය වී යැයි යන සිය තිරසර විශ්වාසය ප්‍රකාශ කළ කොංග්‍රසය එය කඩිනමින් මුදුන් පමුණුවා ගැනීම සඳහා තම ජීවිත කැපකරන්නැයි එහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහි සාකච්ඡාවන් හිදී ශිෂ්‍යන්ගේ හා තරුණයන්ගේ භූමිකාව ඉහළින් කැපී පෙනුණි.
1930 අප්‍රේල් මාසයේ ශිෂ්‍ය කොංග්‍රසයේ සය වැනි වාර්ෂික සැසිවාරය තිරුනල්වේලි හින්දු අභ්‍යාස ආයතනයේදී රැස්විණි. වික්ටෝරියා විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ එස්. ශිවපාතසුන්දරම් සභාපතිවරයා ලෙස එම වසර සඳහා තේරී පත්විය. කුලය පිළිබඳ වාද විෂය 1930 සැසිවාර තුළ ප්‍රධාන ස්ථානයක් අත්කර ගත්තේය. 1930 පාසල් තුළ සම අසුන් පැනවීම ප්‍රධාන වාද විෂයක් බවට පත්ව තිබුණි. කුල ගැටලුව සම්බන්ධයෙන් කොංග්‍රසය විසින් ගන්නා ලද ආස්ථානය ඉතා ප්‍රගමනකාරි විය. ඒ අනුව 1930 වාර්ෂික සැසිවාර කඩාකප්පල් කිරීමට විරුද්ධ පාර්ශ්වය දැරූ ප්‍රයත්නයන් නොතකමින් කොංග්‍රසය පහත යෝජනාව සම්මත කළේය.


“මේ කොංග්‍රසය අපගේ රට තුළ උපත, වෘත්තිය හෝ ධනය මත පදනම් වූ සමාජ අශක්නුතාවන්ට එරෙහිව අවධාරණාත්මක විරෝධය යළි තහවුරු කරන අතර සියලු දෙනාටම සමාන අවස්ථා ලබාදීමට හා එකම කාර්යයෙහි නිරත අනෙක් ආයතන සමග සහයෝගීව කටයුතු කිරීමට අදිටන් කරගනියි. තව දුරටත් මේ කොංග්‍රසය, සියලුම පාසල්වල සම අසුන් පැනවීම අවශ්‍යතාවක් බවට පත්කරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද සාධාරණ නීතිය අගය කරන අතර අපගේ පාසල්වල බලපවත්වන එබඳු සියලු අසාධාරණ බෙදීම් දුරුකරලන්නට ක්‍රියාකරන ලෙස අපගේ සියලු රටවැසියන්ට ආයාචනා කර සිටියි.”


සය වැනි වාර්ෂික සැසිවාරවලදී සම්මත කරගන්නා ලද අනෙක් යෝජනා වූයේ


“ඉන්දියාවේ ක්ෂණික ඉලක්කය ලෙස නිදහස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් මේ කොංග්‍රසය ඉන්දියානු ජාතික ව්‍යාපාරයට ශුභාශිංසනය පළකර සිටින අතර සාමකාමි මාර්ග තුළින් නිදහස් ජාතියක් ස්ථාපනය කිරීමට ඔවුන් ගෙන යන අරගලයේදී මහත්මා ගාන්ධිට හා ඉන්දියානු ජාතියට සියලු සාර්ථකත්වයන්ද සුබගමන්ද ප්‍රාර්ථනා කරයි”
2. දෙවැනි යෝජනාව මින් ඉහත දැක්වුණු සමාජ අශක්නුතාවන් සම්බන්ධයෙන් විය.


“දිවයින තුළ වෙසෙන සියලු ජන වර්ගවල දේශපාලන හා ආර්ථික අයිතිවාසකම් සමාන රූපි යැයි තිර ලෙස ප්‍රකාශ කර සිටින මේ කොංග්‍රසය පොදු අභිවෘද්ධිය වෙනුවෙන් සමගි සම්පන්නව ක්‍රියා කරන ලෙස විවිධ ප්‍රජාගණවලින් ඉල්ලා සිටියි.”


(4) මේ කොංග්‍රසය මිනිසුන් උමතු කරවන ඕනෑම වර්ගයක මද්‍යසාර තහනම් කිරීම සඳහා පෙනී සිටින අතර දර්ශනය අතින් එකම අරමුණක් සහිතව ක්‍රියාකරන සියලු කණ්ඩායම් සමග සහයෝගීව කටයුතු කිරීමට අදිටන් කර සිටියි. ඒ අනුව බලපත්‍ර යටතේ අවසර දෙනු ලබන නිශ්චිත අවම ප්‍රමාණයන් හැර එබඳු මධ්‍යසාර නිපදවීම හා ආනයනය කිරීම වහාම නතර කළ යුතු බව මේ කොංග්‍රසය නිර්දේශ කරයි.

 

 


එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි