තමන් වගකිවයුතු ධුරයක් දරමින් සිටින ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවට ගෙන ආ පනතක් පරාජය කිරීමට තරම් එඩිතර දේශපාලනඥයන් ඇත්තේ අතළොස්සකි.


පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ පළාත් සභා සීමා නිර්ණ පනතට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂ දෙකක් ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු කණ්ඩායම් ද විරුද්ධ වූයෙන් තුනෙන් දෙකක් ලබාගත නොහැකිව පනත පරාදයට පත්විය.
වඩාත්ම කැපී පෙනෙන්නේ පනත ගෙන ආ අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද එම පනතට එකහෙළා විරුද්ධව ඡන්දයද ප්‍රකාශ කිරීමයි. මෙවැනි සිද්ධියක් 1964 පත්තර පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී සිදුවිය. එහෙත් එම පුවත සීමා නිර්ණ පනතට වඩා බොහෝ සංකීර්ණ විය.


1964 දී එනම් මීට වසර 54ට පෙර පැවති ශ්‍රීලනිප රජයට මහත්  අභියෝගයක්ව තිබූ එක්සත්  ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුසිය රජයට පවරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ පනතට පක්‍ෂ හා එරෙහිව සම ඡන්ද ප්‍රකාශ වී තිබිමෙන් පනත ඉදිරිපත් කළ නොහැකි විය.


රටේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් ලෙස ප්‍රචලිත වූ මෙහි අතුරු ප්‍රතිඵලය වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුව ඉන් බිඳවැටීම ඇරැඹීමය.


ලෝකයා මොනවා කිව්වත් තමන්ගේ හදවතට එකඟ නොමැති, පත්තර නිදහස නැති කරන මෙම පනත පරාජයට පත්කිරීමේ එඩිතර තීරණය ගත් මෙම දේශපාලනඥයා වනාහි එකල නාත්තණ්ඩිය අසුන නියෝජනය කළ හියු ප්‍රනාන්දුය. 


හලාවත දිස්ත්‍රික්කයේ වෙන්නප්පුවට නුදුරු නයිනමඩමේ උසස් පෙළපතක වැඩිමල් දරුවා සේ උපත ලද හියු ප්‍රනාන්දු ගමේ පාසල් අධ්‍යාපනය ලබා මීගමුව මාරිසේටෙලා විදුහලෙන් උසස් අධ්‍යාපනය හමාර කර ඉංග්‍රීසි ගුරු පුහුණුව ලබා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්විය. ගම්මුලාදෑනියකු වූ පියාගේ නායකත්ව ලක්‍ෂණ කුඩා කල සිටම ඔහුගෙන් විරාජමාන විය. හියු දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයකු හා උපදේශකයෙකුද විය.


පාසල තුළ සිසුන්ගේ ගැටලු විසඳීම තුළින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කළ ගුරුවරයකු වූ හියු ගම් මට්ටමින් තමන්ට හැකි සෑම අයුරින්ම ගැමි ජනතාවගේ ගැටලු විසඳීමට දායක වූයේය.


විශේෂයෙන් ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ග වූ පොල්  කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන කම්හල්වල කම්කරු ගැටලු විසඳන්නට ඔහුට සිදුවූයේ හාම්පුතුන් සමග පැවති සහසම්බන්ධතා නිසාය. දිගින් දිගටම කොහුමෝල් හා පොල් නිෂ්පාදන ආශ්‍රිත ගැටලු පිළිබඳ මැදිහත්කරුවකුවූ හා සාධාරණ විනිසුරුවරයකු වූ හියු කෙරේ ජනතා ප්‍රසාදය ගලාඑන්නට වූයේ නිතැතිණි.


“අපේ මහත්තයා ගම් සභාවට ගියානම් හොඳයි.” කම්මල් පත්තු ගම්කාර්ය සභා බලප්‍රදේශයේ ජනතාව හියුගෙන් ඉල්ලීමක් කළේය. එය වැඩිකල් නොගොසින්ම සැබෑවිය. එහෙත් ජනතාව එයින් නොනැවතුණි.
“මහත්තයා මහ ඡන්දෙත් ළඟ එනවා. අපි හිතුවා ඔබතුමාව අපේ ආසනෙන් ඉදිරිපත් කරන්න.” නොසිතු විරු මොහොතක ගම්කාර්ය සභාපතිතුමන් වෙත නාත්තණ්ඩිය ජනතාව මෙම යෝජනාව ගෙන ආහ.
ඒත් හියු පක්‍ෂ දේශපාලනය පිළිබඳ එතරම් විශ්වාසයක් තැබුවේ නැත.


“අපි ගමේ ප්‍රශ්න ගමේදීම විසඳගන්න බලමු. මහපාරිමාණෙන් වැඩ කරන්න ගිහින් නැති ගැටලු අති කරගන්න මං කැමති නෑ.” හියු ගම්මුන්ට කීවේය.


“එහෙනම් අපි ස්වාධීනව ඉල්ලමු.” එතකොට පැරදුණත් ගැටලුවක් නෑනේ” ජනතාවගේ අදහස්වලට කන් දුන් හියු ප්‍රනාන්දු ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරුව ලකුණින් තරග කළේය.


එදා ඔහුට එරෙහිව නාත්තන්ඩියට තරග වැදුණේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායක ශ්‍රීමත් ඇල්බට් ඇෆ්. පීරිස්ය. ඔහුද ස්වාධීනව තරග කළ අතර ඡන්ද ලකුණ වූයේ බසයිකලයය. ඔහුගේ ප්‍රධාන ඡන්ද නියමුවා වූයේ විජය බස් සමාගමේ අධ්‍යක්‍ෂ නිව්ටන් ජයමාන්නය. හියු වෙනුවෙන් සටන මෙහෙයවූයේ හිටපු ධීවර ඇමැති අගෝස්තිනු ෆොන්සේකාය. ඔහුගේ සගයා තිමෝති පෙරේරාය.


බලය ඇති එජාපයට වාහනවලින් අඩුවක් නොවුණද හියුට තිබුණේ කුඩා මෝටර් රියක් පමණි. එබැවින් කුලී ගමන් යාම සඳහා ඔහුගේ රැකවලා වූ ජෝන් රියැදුරු මහතාගේ ඕපල් රෙකාඞ් මෝටර් රිය උපකාර විය.
හියු ප්‍රනාන්දුට බලය ඇති එජාප ආණ්ඩුවේ හා මැරවරයන්ගේ තර්ජන ගර්ජන එල්ලවන්නට විය. එපමණක් නොව ඔහුට රැස්වීම් පැවැත්වීමට ස්ථාන ලබාදුන්  අයටද නොයෙකුත් බලපෑම් එල්ල විය. එහෙත් නිර්ධන පන්තියේ ජනතාව ස්වේච්ඡාවෙන් තමන්ගේ වාසස්ථාන හා භූමි හියුගේ ඡන්ද රැස්වීම් තැබීමට පිරිනැමුවේය.


කෙසේ හෝ අවසානයේදී වැඩි ඡන්ද 306කින් එජාප අපේක්‍ෂකයා නාත්තණ්ඩිය අසුන දිනා ගත්තේය. හියු ප්‍රනාන්දුට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබීම ඔහුටම අදහා ගත නොහැකි තරම් විය. ඒ ඔහුගේ පළමු පාර්ලිමේන්තු සටන නිසාය. “කවුරු දිනුවත් හියු මහත්තය තමයි අපේ මන්ත්‍රී.”


ජනතාව ප්‍රදේශයේ සියලු වැදගත් උත්සවලට ගෙන්වූයේ හියුමය. තරුණයෝ ඔහු වටා එක් රොක්වීම විශාල ශක්තියක් විය. ඔවුන්ගේ සංවිධායකත්වයෙන් නයිනමඩමේ දෙව්මැදුරේ රඟමඩලේ පාස්කු නාට්‍යයක් රඟ දැක්වූ අතර “ගොල් ගොතා” නම් එම නාට්‍යයේ පිලාත් නම් රෝම නරපතිගේ භූමිකාව සාර්ථකව රඟපෑවේ හියු ප්‍රනාන්දු විසිනි. 


1956 මහ මැතිවරණයට නාත්තන්ඩිය අසුන වෙනුවෙන් තරග කිරීමට ජනතාව ඔහුට අවස්ථාව දුන් අතර ස්වාධීනව තරග කළ ඔහුගේ ඡන්ද ලකුණ වූයේ මලය. ඉතා  උණුසුම් ලෙස ඡන්ද සටන යද්දී හියු ප්‍රනාන්දු වසංගත රෝගයකට ගොදුරුවී අඩපණ විය. “පණට ආදරයක් තියෙනවනම් එළිමහනට” යන්න එපා. වෙහෙසෙන්න එපා.” වෛද්‍යවරුන්ගේ උපදෙස් නිසා එක්තැන්වුණු හියු ප්‍රනාන්දුගේ ඡන්ද සටනේ බර කරට ගත්තේ දියණිය අයි. ඩී. ප්‍රනාන්දුය. ඇය කුඩා දැරියක වූ අතර ඇගේ කතා අසා කම්පාවූ ජනතාව හියුගේ ජයග්‍රහණයට දායකත්වය දීමට තීරණය කළේය.


වෙනදා මෙන්ම විවිධ ගැටුම්, තර්ජන, බලපෑම් හා රාජ්‍ය බලය යොදවා කළ අකටයුතුකම් ආදීය මෙම මැතිවරණයේදීද සුලබ විය. එහෙත් පුත්තලම දිසාපති මැදුරේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන විට හියු ප්‍රනාන්දු විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් නාත්තන්ඩිය අසුන දිනා සිටියේය. 


එපමණක් නොව 1956 බලයට පැමිණි අගමැති බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය ධුරය ඉසිලු පිලිප් ගුණවර්ධනයන්ගේ පාර්ලිමේන්තු  ලේකම් ධුරයට පත්වූ හියු ඓතිහාසික කුඹුරු පනත සැකසීමේදී පිලිප්ට සහය විය.


1960 ජුලි මහ මැතිවරණයෙන් බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ හියුට යළි දේශපාලන කරළිය විවෘත විය. කතානායක ධුරයට හියු ප්‍රනාන්දු පත්කෙරිණි. එවකට ඔහු උප කතානායක ධුරය ඉසිලීය.

 

පවතින රජයේ දුර්වලතා එළිපිටම විවේචනය කරමින් එදා ලේක්හවුස් පුවත්පත් ගෙන ගිය ප්‍රචාරය ආණ්ඩුවේ අතැම් කොටස්වලට මහත් කරදයක් විය. ඒ නිසා එම ආයතනය වහාම රජයට පවරාගැනීම සඳහා කෙටුම්පත්  සකසන්නට විය. නමුත් හියු ප්‍රනාන්දු වැනි ප්‍රජාතන්ත්‍රවාදය හඳුනන නම්‍යශීලි මන්ත්‍රීවරුන් රැසකගේ අප්‍රසාදය ඊට එල්ල විය. කතානායක ධුරය දරන නිසා එළිපිට ඊට විරෝධය නොපෑවද හියුගේ හදවත අවංක විය.
මේ අතර සභානායක අමාත්‍ය සී. පී. ද සිල්වා ඇතුළු කිහිප දෙනෙක් පනත පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට සැරසෙන බව බණ්ඩාරනායක මැතිනියට දැනගන්නට ලැබිණ. ඒ ඇගේ හිතෛෂියකු වන නුවරඑළිය මන්ත්‍රී ටී. විලියම් ප්‍රනාන්දු ගෙනි.


මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට ඔහු කොත්මලේ මන්ත්‍රී ජේ. ඩී. වීරසේකර ගෙන් උදව් ඉල්ලීය. එකල ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සවිධායක වූ ඔහු රජයේ සියලු මන්ත්‍රීවරුන්ට විදුලි පුවත් යවා ඡන්දයදීමට නොවරදවා පාර්ලිමේන්තු එන ලෙස දැනුම් දුන්නේය. ආණ්ඩුවේ ඉරණම එයින් විසඳෙනු ඇතැයි ඔවුහු සිතුහ. 


ඒ 1964 අප්‍රේල් 02 වැනිදාය. පත්තර පනත පාර්ලිමේන්තුවට ගෙන එන තීරණාත්මක දිනයය. පාර්ලිමේන්තුව රැස්වන්නට පෙරම සභානායක මෙන්ම මහාමාර්ග, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍ය සී. පී. ද සිල්වා වෙත දිව ගිය ටී. විලියම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ විමසුවේය.


“මට නරක ආරංචියක් ලැබුණා. ඒක ඇත්තද ඇමැතිතුමා? ඔබතුමා පනත පරාජය කරනවයි කියන්නෙ?”නමුත් සී. පී. ද සිල්වා ඉන් කලබල නොවීය. “කවුද කියන්නෙ? ඕව බොරු ආරංචි” කී ඔහු නිහඬ විය.
එම පිළිතුරෙන් සෑහීමකට පත්වූ විලියම් ප්‍රනාන්දු තම අසුනේ වාඩි වූයේ සැනසුම් සුසුමක් හෙළමිනි.


පනත පරාජය වූ වහාම මන්ත්‍රීවරු එන්නට පටන් ගත්හ. “අපට විදුලි පුවත ලැබුණෙ නෑ. මගේ වාහනේ කැඩුණා” වැනි හේතු  ඒ සඳහා දක්වන ලදී.


කෙසේ වෙතත් එතැන් සිට හියු ප්‍රනාන්දු මැතිවරණ සඳහා ඉදිරිපත් වූ බවක් නොපෙනේ. 1965 මහ මැතිවරණයේද නාත්තන්ඩියෙන් ජය යළි ශ්‍රීමත් ඇල්බට් පීරිස්ට හිමිවිය. හියුට පාකිස්තාන මහ කොමසාරිස් ධුරය හිමිවිය. 1968 දී ඇල්බට් ඇෆ්. පීරිස් මියගිය පසු හියු එම ධුරයට පත් කෙරිණි. 1977 දී පුත්තලම ශ්‍රීලනිප සංවිධායක ලෙස පත්විය.


1992 අප්‍රේල් 2 වැනිදා විපක්‍ෂනායක ධුරය දැරු මහින්ද රාජපක්‍ෂ සමඟ එජප ආණ්ඩුවට එරෙහිව පාද යාත්‍රාවේ යෙදී සිටියදී හියු ප්‍රනාන්දු හදිසියේ රෝගාතුරවී අභාවප්‍රාප්ත විය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.