ලෝක බෞද්ධ මහා සම්මේලනය අරඹා ජූලි මස 26 දිනට 68 වසරක් සපිරිණ. විවිධ මතවාද සහ නිකාය භේද නිසා බෙදුණු බෞද්ධ ජනතාව බුදුදහම තුළ ඒකරාශි කිරීමේ අරමුණින් ඇරඹි මෙම එකමුතුවේ නිර්මාතෘවරයා වූයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය 25 වසරක් දැරූ මහාචාර්ය ගුණපාල මලලසේකරයෝය.


1950 වෙසක් පුන් පෝදා දළදා මාළිගය අබියසදී රටවල් 29ක බෞද්ධ නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් ඇරඹුණු මෙම බෞද්ධ ව්‍යාපාරයේ යාවජීව සම්මානිත සභාපති පදවිය ද එතුමා වෙත පිරිනැමිණ.
පෙරපර දිග භාෂා ශාස්ත්‍රාදීය හා ආගම දහම මෙන්ම බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව එතුමා සතු වූ ඥානයට අමතරව සුවිශේෂී වාසනා ගුණයත් මලලසේකරයන් සතු විය. එනම් තැනට සුදුසු සේ කටයුතු කර ගැටලු නිරවුල් කිරීමේ ශක්තියයි.


ඇතැම් විට සමාජ හා දේශපාලන ක්ෂේත්‍රවල දැන උගතුන්ට පවා පැහැදිලිව තේරුම්ගත නොහැකි වුණු ගැටලු රැසක් විසඳීම උදෙසා එතුමන්ට භාර කෙරිණ. එතුමා එම අභියෝග භාර ගත්තා පමණක් නොව සියල්ලන්ටම සාධාරණ වන පරිදි විසඳලීමට ද සමත් විය.


අගමැති බණ්ඩාරනායක යුගයේදී මහජන චීනයේ පළමු අගමැති චෞ එන් ලායිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය සිදුවිය. නිදහස් චතුරශ්‍රයේදී එතුමාට දේශනයක් පැවැත් වීමට නියමිතව තිබූ අතර ඊට විනාඩි 10 කට පෙර චීන අගමැතිවරයා පැවසුවේ තමා කතාව පවත්වන්නේ චීන භාෂාවෙන් බවයි. ඉංග්‍රීසි පරිවර්තකයා ද අන්දුන් කුන්දුන් විය.


චීන භාෂා පරිවර්තකයන් නොවූ එකල සිංහලට එම දේශනය පරිවර්තනය කළ නොහැකි වීම නිසා බණ්ඩාරනායක අගමැතිවරයා ද අන්දුන් කුන්දුන් විය. ආරාධිතයකු වූ මලලසේකරයන්ගේ කනට මෙම පුවත වැටුණු අතර වහා එතුමා අගමැතිවරයා හමුවිය.


“ඔබතුමා අවසර දෙනවා නම් මට පුළුවන් සිංහලට පරිවර්තනය කරන්න.” පෙරපර දෙදිග භාෂා රැසක් දැනගත් වියතකු වුවද මලලසේකරයන්ගේ චීන භාෂා ඥානය කිසිවකු දැන සිටියේ නැත. කෙසේ වෙතත් ඊට අවසර ලැබිණ.


චීන අගමැතිවරයා මව් භාෂාවෙන් කළ දේශනය මලලසේකර සූරිහු ව්‍යක්තව හෙළබසට පෙරළුෑහ. චීන අගමැතිවරයා හරබර වදන් දොඩන විට මලලසේකරයෝ ව්‍යක්තව ඊට අර්ථ සැපයූහ. අභිනය ද පෑවේය.
“තමුසේ හරි මිනිහෙක්නෙ. මං දන්නෙ නෑනෙ චීන භාෂාව දන්නව කියල.” ඔහුට ප්‍රශංසා කළ බණ්ඩාරනායක අගමැතිවරයා පැවසීය.


“මොන පිස්සුද මං දන්න චීන භාෂාවක් නෑ.” මලලසේකරයෝ පැවැසූහ.


“එහෙනම් අර අපූරුවට කළේ”


“ඒ වුණාට මං දන්නව චීන අගමැතිතුමා මෙහේ ඇවිත් කියන්නෙ මොනවද කියලා. ඒ විදියට මාත් කළා.” මහාචාර්යවරයා ඇඟපතට නොදැනී පැවැසීය.


1955 දී මලලසේකරයන්ගේ මෙහෙයවීමෙන් බෞද්ධ කොමිෂන් සභාව පිහිටුවන ලදී. 1956 යුග පෙරළියට හේතු වූ කරුණක් වූයේ මෙම කොමිසමේ කාර්යභාරයයි. එම කොමිසම බෞද්ධ පුනර්ජීවනය සඳහා දස පනතක් යෝජනා කළ අතර මලලසේකරයන් හමුවූ කොමිසම ඔහුගෙන් ඉල්ලා සිටියේ මේ සඳහා දේශපාලන සහයෝගය ලබාගන්නා ලෙසය.


1955 සමයේ වැඩි ජන බලයක් තිබූ නායකයා ලෙස ඩඞ්ලි සේනානායක සැලකිණි. එහෙත් දේශපාලන මතිමතාන්තර නිසා ඔහු පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව සිටියේය. “මට මේ වෙලාවෙ කිසිම වගකීමක් ගන්න බෑ. ඔය යෝජනාත් අරන් ගිහින් බණ්ඩාරනායක මහත්තයා හම්බ වෙන්න.” ඩඞ්ලි පැවැසීය.


ඩඞ්ලි සේනානායක මලලසේකරයන්ගේ ගජමිතුරකු වුවද මෙම ගැටලුවේදී ඩඞ්ලිගේම අනුදැනුම මත බණ්ඩාරනායකයන් හමුවී බෞද්ධ කොමිසන් සභාවේ දස පනත ඉදිරිපත් කළ අතර එය පිළිගෙන ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන ලදී. ඒ අනුව බෞද්ධ ජනතාවගේ ප්‍රසාදය මත 1956 මහජන ආණ්ඩුව ජයග්‍රහණය කළ බව නොරහසකි.   

                                                                                
ජෝර්ජ් පීරිස් මලලසේකර නමින් 1899 නොවැම්බර් 09 දින පානදුරේ මාලමුල්ලේ ආයුර්වේද වෙද පරපුරක උපත ලද මලලසේකරයන් අනගාරික ධර්මපාලතුමන්ගේ බෞද්ධ පුනරුදය ගැන පැහැදී තම පරගැති නාමය ඉවත්කර ගුණපාල පියසේන මලලසේකර නාමය වැළඳ ගත්තේය.


1907 - 1917 දක්වා පානදුරේ ශාන්ත ජෝන් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ මලලසේකර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ලංකා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ වෛද්‍යවරයකු වීමේ සිහිනයෙනි.


පියාගේ අභාවය නිසා එම අරමුණ ඉටු නොවුවද ලන්ඩන් සරසවියෙන් බාහිර බී. ඒ. උපාධිය ලැබුවේ පළමු පන්තියේ සමාර්ථයක් ලෙසිනි. ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක, ප්‍රංශ භාෂා හදාරා එවැනි සමාර්ථයක් ලත් ළාබාලම සිසුවා වූයේ ඔහුය.


අනතුරුව ආනන්ද විදුහලට පළමු පත්වීම ලැබුවේ විදුහල්පති පී. ද ඇස්. කුලරත්නයන් යටතේය. සිංහල ජාතික ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ද මොවුන් දෙදෙනාටය.


1923 දී නැවත ලන්ඩන් සරසවියේ පෙරදිග භාෂා අංශයට ඇතුළත්ව 1925 දී එම්.ඒ. මෙන්ම පී. එච්. ඩී. පශ්චාත් උපාධි දෙකම දිනාගත් ඔහුගේ පී. එච්. ඩී. උපාධි නිබන්ධය වූයේ ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යයයි.


කොළඹ නාලන්දා විදුහල්පති ධුරය ඉසිලූ මලලසේකරයෝ කොළඹ විශ්වවිද්‍යාලයේ මුල් අවදියේ ලන්ඩන් සරසවි විභාග සඳහා පාලි හා සංස්කෘත භාෂාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වූහ.

 


1940 දී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල, පාලි, සංස්කෘත හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ මහාචාර්යවරයා බවට පත්වූහ. එතුමා තුළ වූ ශාස්ත්‍රීය දැනුම නිසාම බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය පිරිනැමිණ. එතුමන් සම්පාදනය කළ ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය, පාලි සර්ව නාම ශබ්ද කෝෂය ද ඉතා ජනප්‍රිය විය.


1958 දී රුසියාවේ ලංකා තානාපති පදවිය ඇතුළු සමාජවාදී රටවල් රැසක තානාපති පදවි ඔහුට පිරිනැමුණු අතර කැනඩාව හා බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල තානාපති පදවිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත තනතුර ද දැරීය. 1967 දී ජාතික උසස් අධ්‍යාපන කොමිසමේ සභාපති ලෙස පත්ව 1971 දක්වා කටයුතු කළේය.


“තාත්තට පුංචි කාලෙ යාළුවො කියල තියෙන්නේ “අශ්වයා කියලා. පාසල් යනකොට සපත්තු දෙක අතට අරන් මාලමුල්ලෙ ඉඳන් පානදුරේට වේගයෙන් දුවලා තමයි දාගන්නේ. තාත්තා තරම් කඩිසර කෙනෙක් මං දැකලා නෑ. එයාගෙ ජීවිතේම පදනම කඩිසරකම හා කරුණාවන්තකමයි.


මලලසේකරයන්ගේ දියණිය චිත්‍රා වරක් පවසා තිබිණි. උගත්කමින් පිරිපුන් මිනිසකු වුවද ජීවිත කාලය පුරාම කියවීමටත් ඉගෙනීමටත් හැදෑරීමටත් එතුමා ඇබ්බැහි වී සිටියේය.


කෙතරම් ලොකු වැඩක් කළ ද කෙදිනකවත් ඔහු එය ලොකු වැඩක් ලෙස නොසැලකූ බව සමකාලීනයෝ කියති. පාලි සාහිත්‍යය පිළිබඳ පිටු දෙදහසකින් වෙළුම් දෙකකින් යුක්තව ඔහු ඉංග්‍රීසියෙන් කළ පාලි සංඥා නාම අකාරාදියට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඩී ලිටි උපාධිය පිරිනැමිණ. වරක් එංගලන්තයේ මහ කොමසාරිස් පදවිය උසුලන සමයේ පැවැති සාදයකට  මවුන් බැට්න් සාමිවරයා ද එක්විය.


“ඔබතුමා තානාපති ලෙස මෙහේ ඉන්න කාලේ මං ඕනෑම දෙයක් කරන්නම්.” මවුන් බැට්න් සාමිවරයා මලලසේකරයන්ට  පොරොන්දු විය.


එරට විසූ බෞද්ධ ජනතාවගේ ඉල්ලීමක් වූයේ නුවර පෙරහැර වැනි පෙරහරක් ලන්ඩන් නුවරදීද කිරීමයි. මෙය භාරදූර කටයුත්තක් බව මලලසේකරයන්ට පෙනිණ. එහෙත් අභියෝගවලට බිය නොමැති ඔහුට සිහියට ආවේ තම මිතුරු මවුන් බැට්න් සාමිවරයාය.


“මට ඔබතුමාගේ උදව්වක් ඕනෙ වෙලාව ඇවිත්.”


“මං උදව් දෙන්න ලෑස්තියි” මවුන් බැට්න් සාමි කීය.


“මට අලි හතර දෙනෙක් ඕනෑ.” සාමිවරයාගේ ඇස් උඩ ගියේය. “ඒ මොකටද මං අලි කොහෙන් හොයන්නද?”


ඔහු විමසීය.


“ඇයි මේ සත්තුවත්තේ ඉන්නේ. මලලසේකර කීය.


අනතුරුව රජයෙන් අවසර ගෙන හීලෑ අලි සිව්දෙනාද ලබාගෙන නුවර පෙරහරට සමාන උසස් දර්ශනීය පෙරහරක් ලන්ඩන්හි වීදි සංචාරය කිරීමට වැඩි දවසක් ගතවූයේ නැත. ඒ මලලසේකරයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවයි.
1958 බණ්ඩාරනායක අගමැතිඳුන් ඝාතනය කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය. නියෝජ්‍ය නායක සී. පී. ද සිල්වා ද එවකට රෝගාතුරව සිටියේය. මැතිනිය ඇතුළු පවුලේ ඥාතීහු මලලසේකරයන් සොයා ආහ.


“මේ වෙලාවේ පක්ෂයටත් රටටත් විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලයා ඔබයි. කරුණාකර පක්ෂයේ නායකත්වය භාරගන්න.” ඔවුහු ඉල්ලා සිටියහ.


සෑම අභියෝගයක්ම භාරගන්නා මලලසේකරයන් ගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි. “මම ගුරුවරයෙක්. මගෙන් විශාල මෙහෙවරක් රට බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකකම භාරදූර කාර්යයක්. මේ වෙලාවේ මට එය පිළිගන්න බෑ. කනගාටුයි.”


එදා මලලසේකරයන් පක්ෂයේ නායකත්වය හෙවත් අගමැති කිරුළ භාරගත්තා නම් රටේ ඉදිරි අනාගතය පෙරළිකාර ක්‍රියාදාමයකට අවතිර්ණ වීමට තිබිණ. ඒ බෞද්ධ රාජ්‍යයේත් දේශපාලන රාජ්‍යයේත් කිරුළ ඔහුටම හිමිවීම තුළිනි.


දේශීය සංස්කෘතියට හා බුදුදහමට දැක්වූ ඉමහත් ආදරය නිසාම මව්බිමට පෙම්කළ මෙම මහා ප්‍රාඥායාගේ හදවත උදුරාගත් තවත් චරිතයක් විය. ඒ පෙරදිගින් ලන්ඩන් පුරවරයෙන් ඔහුට හමුවූ මාගට් හෙලේනා රසල් නැමැති ඉංග්‍රීසි ජාතික බිරිඳය.


ගෙදරින් කෙතරම් අරියාදු එල්ල වුවද මලලසේකරයන්ගේ රුවගුණ දත් හෙලේනා රසල් තනිවම මෙරටට පැමිණ එතුමා සමග විවාහ වූවාය. ලන්ඩනයේ ජනප්‍රිය සංගීත විශාරදවරියක වූ ඇය වෙත හිල්ඩා කුලරත්න මැතිනිය තම විද්‍යාලයේ සංගීතාචාර්ය පදවියක් පිරිනැමුවාය.


ඇගේ ජීවිත කාලය පුරාම ස්වාමියාට මෙන්ම සිංහලකමට අපරිමිතව ආදරය කළ හෙලේනා රසල් මහත්මියගේ අකල් වියෝවෙන් පසු මෙම පඬිවරයාගේ හදවත හඳුනාගෙන අත ගත්තේ ලයිලි විජේවර්ධන මහත්මියයි. පුරා වසර 42 ක් සාමකාමීව ඔවුන්ගේ කැදැල්ල පැවතිණ. ඒ දරුවන් සය දෙනෙකු සමගිනි.


මලලසේකරයන්ගේ නමින් මාවතක් නම් කිරීමට යෝජනාවක් ආවේ සි. ඩබ්. ඩබ්. කන්නන්ගර සූරින් වෙනුවෙන් මාවතක් විවෘත වූ කාලයේමය. ඊට එකහෙළාම විරුද්ධ වූයේ “මං මැරුණොත් මලලසේකර මුඩුක්කුව කියල බෝඞ් එකක් ගහයිද දන්නෙ නෑ.” කියාය.


“මං මිය ගියාම බොරු ආටෝප එපා. බොරු වියදම් එපා. ඔන්න ඔය බාල පකිස්පෙට්ටියක දාල සිරුර ආදාහනය කරන්න. එතුමාගේ අවසන් ඉල්ලීම විය. 1973 දී 73 වියට සැපැත් එතුමා මිය යන විට එම ඉල්ලීම ඉටුනොවුණි. මලලසේකරයන්  පවුලට පමණක් නොව බෞද්ධ ලෝකයටම අයත් වස්තුවක් බැවින් නිසි ගෞරවපූර්වකව සිදුකෙරිණි.

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.