විශ්වවිද්‍යාලයන්හි “ශිෂ්‍ය අරගල” ඉතිහාසය පුරාම දක්නට ලැබෙන සාමාන්‍ය කරුණකි. රටේ පොදු ප්‍රශ්න සම්බන්ධව සමහර අවස්ථාවලදී අරගල උද්ඝෝෂණ සිදු කරන අතර තවත් සමහර අවස්ථාවල අරගල කරනුයේ අභ්‍යන්තර ශිෂ්‍ය සංවිධාන හා ශිෂ්‍ය කණ්ඩායම් එකිනෙක අතරයි. එයටත් අමතරව තම විශ්වවිද්‍යාලයේම පාලනාධිකාරියට විරුද්ධව අරගල කරනු ලබන අවස්ථාවන් දක්නට ලැබේ. විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන හා පර්යේෂණ කටයුතුවලට අමතරව දේශපාලනය කිරීම ද අද මෙන්ම එදාත් සිදු වූ අතර එය කලා විෂය ධාරාවන් බහුල සරසවියන් හි වැඩිපුර දක්නට ලැබේ. 


සරසවි බිමේදී දේශපාලනය කරනු ලබන බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සරසවියෙන් පිට වූ පසු වෙන වෙනත් දේශපාලන ව්‍යාපාරයන්හි නිරතවීමද පෙනෙන්නට තිබෙන කරුණකි. සරසවියේදී විප්ලවවාදීන් සේ පෙනී සිටින සමහරු සරසවියෙන් පිට වී ගිය පසු ධනපති යයි හඳුන්වන දේශපාලන පක්‍ෂවල ප්‍රධාන ක්‍රියාකාරීන් බවට පත්වන අවස්ථා බහුලය. කෙසේ වෙතත් දේශපාලනය  ගැන උනන්දුවක් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ සඳහා තෝතැන්නක් කර ගැනීමට සරසවිය හොඳම තැනකි. 


තරුණ කාලයේ තරුණ ජවය නිසාම ඕනෑම දේකට ඉදිරිපත්වීම ඔවුනගේ ලක්‍ෂණයයි. එම අවධිය භය - සැක කම්මැළිකම මහන්සිය නොසලකා ජීවිතය ගැන නොතකා කටයුතු කිරීමට පවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙලඹෙති. වර්තමානයේ කොතෙකුත් කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ - ජල ප්‍රහාරවලට මුහුණ දෙමින් පවත්වනු ලබන මහා විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ එයට හොඳ නිදසුන්ය. ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම මෙම ප්‍රවණතාව දක්නට ලැබේ.


සරසවියට ගිය පසු ශිෂ්‍ය සංගමයකට බැඳීමත් එම සංගමයෙන් නායකත්වය දෙන වැඩ සටහන්වලට සම්බන්ධවීමත් එක්තරා මට්ටමක වීරකමක් ලෙස බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සලකති. එසේම සරසවියට පිවිසි මුල් දින කිහිපය ඇතුළත අලුත් ශිෂ්‍යයින්ට නවක වධය දීමටත් තම ශිෂ්‍ය සංවිධානවලට නවකයින් බඳවා ගැනීමටත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ ඉතා උනන්දුවෙන් ක්‍රියා කරති.


1973 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයට වරම් ලැබූ අපට ද එම යථාර්ථයට මුහුණදීමට සිදුවිය. නවක වධයට මුහුණදුන් අප හට ඒ සමගම සිදුවූයේ ශිෂ්‍ය සංවිධානයකට බැඳීමටයි. මට මතක හැටියට එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ තිබුණු ශිෂ්‍ය සංවිධාන අතර ප්‍රධාන තැන ගත්තේ ජාතික ශිෂ්‍ය සංගමයයි. එය කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයයි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ නිදහස් ශිෂ්‍ය සංවිධානය තිබූ අතර ලංකා සම සමාජ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක් හා ට්‍රොට්ස්කිවාදී ශිෂ්‍ය සංවිධානයක් ද විය. මේ සංවිධාන සියල්ලම නවක ශිෂ්‍යයන් තම ශිෂ්‍ය සංගමයට බඳවා ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. කෙසේ වුවද මහා ශිෂ්‍ය සංගමයේ බලයද ලබාගනිමින් පෙරමුණේ සිටි කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය ජාතික සංගමයට බැඳීමට මා හට ද සිදු විය. දේශපාලන සිදුවීම් ගැන උනන්දුවෙන් සිටි හා දේශපාලන උණ ඇති අපහට සරසවි ශිෂ්‍ය සංගම් ව්‍යාපාරයට එක්වීමෙන් යම් උත්තේජනයක් ඇති විය. දේශනවලට සහභාගිවීමට අමතරව බොහෝ අවස්ථාවල ශිෂ්‍ය සංවිධාන කටයුතුවල නිරතවීමට අපි දැඩි කැමැත්තක් දැක්වූවෙමු. ඒ නිසාම ජාතික ශිෂ්‍ය සංගමයේ කටයුතුවලට සහභාගී වන ගමන් අප කිහිප දෙනෙකු කල්පනා කළේ මෙම සාම්ප්‍රදායික වාමාංශික ශිෂ්‍ය සංගම්වලට වෙනස් ශිෂ්‍ය සංගමයක් අලුතින් පිහිටුවා ගත යුතු බවයි. ඒ අනුව අප බැඳී සිටි ජාතික ශිෂ්‍ය සංගමයේ ප්‍රධානීන්ට හොර රහසේ ආපන ශාලාවේ හා වෙනත් ස්ථානවල සිට සාකච්ඡා වට ගණනාවක් රහසිගතව පැවැත්විණි. එම සාකච්ඡා සඳහා පසුකාලීනව ඇමැතිවරයකු වූ ඉමිටියාස් බාකිර් මාකර් මෑතක් වන තුරු එම සරසවියේම උප කුලපති ධුරය දැරූ සුනන්ද මද්දුමබණ්ඩාර තරුණ සේවා සභාවේ සේවය කළ ධර්මසිරිද සිල්වා වැනි සහෝදරයෝ එක් වී සිටියහ. තවත් එවැනිම සහෝදරයින් රැසක් සමග එක් වී අප සාකච්ඡා කළේ එවකට විශ්වවිද්‍යාලයේ නොතිබුණු එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවා ගැනීමටයි. ඒ අනුව අපි හොර රහසේම එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණ කැලණිය සරසවියේ පිහිටෙව්වෙමු. යූ.එන්.පි.යට වැඩ කිරීම එකල සරසවිය තුළ තහනම් කරුණකි. එවැනි සංවිධාන පිහිටුවා ගැනීම වාමාංශික ශිෂ්‍ය සංවිධානයන්හි දෝෂදර්ශනයට හා කෝපයට හේතුවන්නා වූ කාරණයක් බව අපි හොඳාකාරව දැනගෙන සිටියෙමු. මෙහි නොයෙකුත් ප්‍රශ්නවලට බාධකවලට එදිරිවාදිකම්වලට හා ප්‍රශ්න රැසකට ඒ තුළින් මුහුණදීමට සිදුවන බව හොඳහැටි දැනගෙන සිටියෙමු. එනමුත් අප එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවාගෙන රහසේ සාමාජිකයින් බඳවා ගත්තෙමු. මෙය දැනගත් වාමාංශික ශිෂ්‍ය නායකයින් අපහට තර්ජනය කළේ ‘තොපගේ ජීවිතවලින් පවා වන්දි ගෙවන්න ඉදිරියේ දී සිදුවිය හැකි’ බව කියමිනි. මෙසේ පිහිටුවා ගත් අප ශිෂ්‍ය පෙරමුණට විවිධ බාධකවලට මුහුණදීමට සිදුවුවද සාමාජිකයින්ගේ එකම අධිෂ්ඨානය වූයේ කෙසේ හෝ මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීම දක්වා ශිෂ්‍ය පෙරමුණ වර්ධනය කර ගත යුතු බවයි. ඒ අනුව සාකච්ඡා කර අප ගත් එක් පියවරක් වූයේ එවකට විපක්‍ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන පෙළේ කථිකයෙකු වූ නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ගාමිණී දිසානායක මහතා සරසවියට ගෙන්වා දේශනයක් පැවැත්වීමටයි. ඒ සඳහා තීරණයක් ගත් අපි ගාමිණී දිසානායක මහතාට ආරාධනා කොට, විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් ද වෙන් කර ගෙන සූදානම් වුණෙමු. ඒ සඳහා දිනයක් ද නියම කර ගත්තෙමු. මේ සියලු තොරතුරු අනිකුත් වාමාංශික ශිෂ්‍ය සංවිධානවලට දැනගන්නට ලැබුණි. විශේෂයෙන් එකල ඉතා බලසම්පන්නව පැවති ජාතික ශිෂ්‍ය සංගමයේ නායකයින් අපට තර්ජනාත්මකව පැවසුවේ “කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ඇතුළට කිසිසේත් ගාමිණී දිසානායකට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි” සමවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධව මා ඇතුළු මූලිකයින්ගේ නේවාසික කාමරවල දොරවල්වල පෝස්ටර් අලවා තිබුණේ “ගාමිණී ගෙන්නුවොත් මරණය නියතයි” කියායි. ඒ කිසිවකට අපි  නොසැලුණෙමු. එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට අපි සූදානම් වුණෙමු.  ඒ අනුව රැස්වීම පැවැත්වෙන දිනයේ උදේ සිට අප එයට සූදානම් වූයෙමු. සවස 3.00ට ගාමිණී දිසානායක මන්ත්‍රීතුමා පැමිණීමට භාරගෙන තිබූ බැවින් අපගේ සාමාජිකයින් සියලු දෙනා කලින්ම රැස්වීම් ශාලාවට ඇතුළු කළෙමු. රැස්වීම් ශාලාව අවට තිබූ සැරසිලි සියල්ල ඒ වන විට අනෙකුත් ශිෂ්‍ය සංවිධානවලින් ඉවත් කර තිබුණි. ඒ ගැන අප එතරම් සැලකිලිමත් නොවූයේ නියමිත වැඬේට පෙර ගැටුම් ඇති කර ගැනීම නුසුදුසු නිසයි. 


කෙසේ වෙතත් අප ශිෂ්‍ය සංවිධානයේ මූලිකයින් 25ක් පමණ සවස 2.30ට පමණ කැලණිය සරසවියට පිවිසෙන දළුගම හන්දියට ගියේ ගාමිණී දිසානායක මහතා එතැන සිට පිළිගෙන කැඳවාගෙන ඒමටයි. කෙසේ වෙතත් ගාමිණී දිසානායක මහතා පැමිණීමට වේලාව ළංවෙත් ම ජාතික ශිෂ්‍ය සංගමය ප්‍රධාන වාමාංශික ශිෂ්‍ය සංවිධානවල ශිෂ්‍යයින් ගණනක් දළුගම හන්දියට (විශ්වවිද්‍යාලයට හැරෙන හන්දිය) රැස්වී සිටියේ  ලොකු කලබලයක් කරන්න බවට සැකයක් නැත. කෙසේ  වුවත් අපි පසුබට නොවුවෙමු. වෙලාවටම ගාමිණී දිසානායක මහතා දළුගම හන්දියට පැමිණියේය. අපි ඔහු පිළිගත්තෙමු. ඒ සමගම රැස්වී සිටි දහස් සංඛ්‍යාත වාමාංශික ශිෂ්‍ය පිරිස මහා හඬින් හූ හඬ දී කෑගහන්න පටන් ගත්හ. දිසානායක මන්ත්‍රීතුමා අප සමග ඉදිරියෙන්ම යද්දී පසුපසින් එසේ විශාල පිරිසක් හූ හඬ දෙමින් පැමිණීම අමුතුම අත්දැකීමක් විය. අප කිසිම ගැටුමකට නොගියෙමු. ඔවුහුත් පසු පසින් හූ කියමින් මීටර් 250ක් පමණ අපේ රැස්වීම් ශාලාව ළඟටම ආහ. වාමාංශික ශිෂ්‍ය පිරිස නොනවත්වාම හූ කී අතර එය විනාඩි 20ක් පමණ පැවතුණි. ගාමිණී දිසානායක මහතා ශාලාව ඇතුළට ගත් අප සියලු දෙනා (අප ශිෂ්‍ය පෙරමුණේ අය) වාඩි වී එතුමාගේ දේශනය ඇසීමට සූදානම් වූවත් විනාඩි 20ක් පමණ ගත වන තුරු බලා සිටීමට සිදු වූයේ ඔවුන්ගේ ‘හූ’ හඬ නොනැවතුණ බැවිනි. කෙසේ වුවද විනාඩි 20කින් පමණ මහා හූ හඬ නතර විය. අපගේ රැස්වීම ආරම්භ විය. දිසානායක මහතා දේශනය කළේය. දේශනය ඉවර වූ පසු අප වටපිට බලන විට හූ කිවූ අය ටිකෙන් ටික ඈත් වී ගොස් සරසවියෙන් ද පිට වී නේවාසිකාගාරවලට ද ගොස් තිබුණි. දේශනයෙන් පසු එතුමා සමග අපගේ ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයින් එතුමා පිරිවරාගෙන ආපන ශාලාවට ද ගොස් තේ පැන් සංග්‍රහයක් ද පැවැත් වූ අතර වාමාංශික ශිෂ්‍යයින් කල්තියාම මාරු වී ගියේ ගම්මුන් කිහිප දෙනෙකු මොකක් හෝ යමක් කරන්නට මග දෙපස රැඳී සිටින බවට ඔවුන්ට ආරංචි වූ නිසා යැයි පසුව දැනගන්නට ලැබුණි.