දිවංගත ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 වසරේදී මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන අවස්ථාව වන විට ඔහුට 5/6 ක පාර්ලිමේන්තු බලයක් තිබුණේය. ඒ අනුව එතෙක් මෙරට පැවැති ජනරජ ව්‍යවස්ථාව වෙනුවට තමන් විසින්ම නිර්මාණය කරන ලද විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරන විට රටේ ව්‍යවස්ථාදායකයත්, විධායකයත් අයත් වූයේ එජාපයටය.


ජේ. ආර්. ගේ අලුත් පාලන ක්‍රමය මේ රටට ගැළපෙන්නෙ නෑ. කවදා හෝ විධායක සහ ව්‍යවස්ථාදායක බලය පක්ෂ දෙකක් අතට පත්වුණොත් දෙපාර්ශ්වය අතර මත ගැටුම් ඇතිවී රටේ ඉදිරි ගමන අඩාළ වෙනවා, යි කියමින් එකල සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි කෘතහස්ත දේශපාලනඥයෝ එහි අනිෂ්ට ඵල විපාක පෙන්වා දුන්හ. ජේ. ආර්. එය කනකටවත් නොගත්තේය. ඔහුගේ පිළිගැනීම වූයේ 1977 දී ලැබූ මැතිවරණ පරාජයෙන් වියරු වැටුණු එම වාමාංශිකයන් පිරිස ඊර්ෂ්‍යාවෙන් නන්දොඩවන බවය.


ඒ අනුව 1977 මහ මැතිවරණයෙන් ලැබූ හයෙන් පහක පාර්ලිමේන්තු බලය උපයෝගී කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පහසුවෙන් සම්මත කර ගැනීමටත්, අභිනවයෙන් ඇතිකරන ලද විධායක ජනාධිපති ධූරයට තමන් විසින් තමන්ම පත්කර ගැනීමටත් එතුමාට හැකිවිය. එය වඩාත් පහසු කාර්යයක් වූයේ පාර්ලිමේන්තුවේ 1/6 ක් පමණ වූ සුළු බලයක් සහිතව සිටි විපක්ෂයට ඊට එරෙහිව අභියෝග කිරීමටවත් හැකියාවක් නොතිබූ බැවිනි.
කෙසේ වෙතත් එවර විධායක ජනාධිපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1988 දක්වාත් ඉන් අනතුරුව එම තනතුරට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1992 දක්වාත් එම විධායක ජනාධිපති ධූරය උසුලන ලද්දේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ද සමගය. එහෙත් 1992 දී සිදුවූ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනයෙන් පසු එම තනතුරට පත්වූ ඩී. බී. විජේතුංග මහතා 1994 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසු මුහුණ පෑවේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දේශපාලන පෙරළියකටය. එනම් රටේ ව්‍යවස්ථාදායක බලය එජාපයෙන් ගිලිහී ගොස් පොදුජන එක්සත් පෙරමුණ අතට ලැබීමය.


කෙසේ වෙතත් ඉවසිලිවන්තයෙකුවූ ඩී. බී. විජේතුංග මහතාට තමන්ගේ නිල කාලයේ ඉතිරි තෙමසක කාලය අර්බුදකාරී තත්ත්වයකට මුහුණ නොදී සාර්ථකව අවසන් කිරීමට ඉඩ ලැබුණේය.


1994 දෙසැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් එවකට අග්‍රාමාත්‍යධූරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජයග්‍රහණය කිරීමෙන් පසු යළිත් රටේ විධායක සහ ව්‍යවස්ථාදායක බලය එකම පක්ෂයක් අතට පත්වීම නිසා එම බලය 2001 වසර දක්වාම රැක ගැනීමට චන්ද්‍රිකා මැතිනිය සමත් වූවාය.


එසේ වුවද 2001 මහ මැතිවරණයෙන් එජාපය වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දිනා ගැනීම නිසා ව්‍යවස්ථා අර්බුදයක පෙරනිමිති පහළවී තිබුණේ 1978 දී ආචාර්ය ඇන්. ඇම්. සහ ආචාර්ය කොල්වින්ලා දැක්වූ අනාවැකි සත්‍යයක් බව පසක් කරමිනි.


ඒ අනුව රාජ්‍ය නායිකාව වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වුවද 2001 දී පත්වූ ආණ්ඩුවේ නායකත්වය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව පැවරී තිබුණේය.


එහිදී අභිනව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූ රනිල්ට එම පත්වීම ලබාදුන්නේ චන්ද්‍රිකාය. එහෙත් තම ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය තෝරාගනු ලැබුවේ රනිල් විසින් වුවද  ඔවුන්ට එම පත්වීම් ලබාදුන්නේ චන්ද්‍රිකා මැතිනිය විසිනි.


මුලින්ම දෙපාර්ශවය අතර ප්‍රශ්නයක් පැන නැගුණේ එස්. බී. දිසානායක සමෘද්ධි ඇමැති වශයෙන් පත් කිරීම ගැනය. එයාට සමෘද්ධි අමාත්‍යාංශය දෙන්න බෑ යි ජනාධිපතිනිය මුලින් කියා සිටියද පසුව එම පත්වීමේ ලිපිය ඔහුගේ මුහුණ දෙසවත් නොබලා ප්‍රදානය කිරීමට ඇයට සිදුවිය.


අභිනව ආණ්ඩුවේ මුල්ම කැබිනට් මණ්ඩල සාකච්ඡාව පවත්වන ලද්දේ චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරය තුළය. එහෙත් ජනාධිපතිනිය ප්‍රමාදවී පැමිණීමත් එතුමිය පසුපසින් තඩි බල්ලෙකු පැමිණ ඇය අසලට වී ඇමැති මණ්ඩලය දෙස බලා සිටීමත් නිසා ඇමැතිවරු ඊට විරෝධය පළ කළහ.


“අපිට ජනාධිපතිනිය එනකං පැය ගණන් බලාගෙන ඉන්න බෑ.”


“ඊටත් කැබිනට් රැස්වීමට බල්ලො එන්නෙ මොන රටේද?” යි ඇමැති එස්. බී. රාජිත සහ රවි ඇතුළු පිරිස ඊට විරෝධය පළ කර සිටියහ. එම විරෝධයේ ඊළඟ ප්‍රතිඵලය වූයේ සති කීපයකට පසු කැබිනට් සාකච්ඡාව ජනාධිපති මන්දිරය අසල විදේශ අමාත්‍යාංශ භූමියේ පිහිටි කැබිනට් කාර්යාලයේ පැවැත්වීමට දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ඇති කරගැනීමය.


ජනාධිපතිනියගෙ ප්‍රමාදයටත් වඩා අපේ අයට ඇල්ලුවෙ නැත්තෙ අර බලු තඩියා ඇවිත් අපි දිහා බලාගෙන හිටපු විදියයි. අඩුම වශයෙන් පියන් කෙනෙක්වත් එන්නෙ නැති තැනකටයි මේ බලු තඩිය කඩාගෙන එන්නේ යි කී හිටපු ඇමැතිවරයෙකු වූ තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමාදවී පැමිණීමත්, බල්ලෙකු කැටුව ඒමත් හැරෙන්නට මුල් මාස කීපය තුළ චන්ද්‍රිකා මැතිනියගෙන් ඇමැතිවරුන්ට වෙනත් කිසිදු බාධාවක් සිදුනො වූ බවය.


හරියටම කියනවා නම් ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න මුලදී ජනාධිපතිනිය ලොකු උනන්දුවක් ගත්තා. වෙන එකක් තියා ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය නායකත්වය සතුව තිබිය යුතු ආරක්ෂක ඇමැතිකම පවා තිලක් මාරපනට දුන්නා. යි කී අත්තනායක මහතා ඇතැම් ඇමැතිවරුන්ගේ උද්ධච්ඡ හැසිරීම් ස්වභාවය නිසා චන්ද්‍රිකා මැතිනිය ද ක්‍රමයෙන් ආක්‍රමණශීලීව කටයුතු කිරීමට පෙලඹී ගිය බව වැඩිදුරටත් සඳහන් කළේය.
මුලින්ම විරසකය හටගත්තේ ආණ්ඩුව ජනාධිපතිනියට නොදන්වා කොටි සංවිධානයත් සමග සාම සාකච්ඡා පැවැත්වීමට යාම සම්බන්ධයෙනි.

 

 

“මමයි රාජ්‍ය නායිකාව ඇයි මට නොකියා මෙහෙම දේවල් කරන්නේ?” යි ජනාධිපතිනිය විමසූ විට ඇතැම් ඇමතිවරුන් ඇය සමඟ තර්ක කිරීමට ද පෙලඹී ගොස් තිබුණේ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපිටමය.


ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන බොහොමයක් යෝජනා සහ කැබිනට් සංදේශ මුලදී කිසිදු වග විභාගයකින් තොරවම අනුමත කළ ඇය කල් යාමේදී එම ක්‍රමවේදය වෙනස් කළාය. ඉන් පසු ඇය එවැනි යෝජනා අනුමත කරන ලද්දේ ඒ පිළිබඳව හොඳින් කියවා බලා විමර්ශනය කිරීමෙන් පසුවය.

 

තවත් සමහර කැබිනට් සංදේශ “අපි මේක ගැන පස්සෙ බලමු” යි කියමින් අග්‍රාමාත්‍යවරයා විසින් කල්තබන විට ජනාධිපතිනිය “නෑ ඒක හොඳ යෝජනාවක්” යි කියමින් ඊට තම අනුමැතිය පළ කර තිබුණේ දෙවරක් නොසිතමිනි.


මේ කාලය තුළ බරපතළ සිද්ධියක් ඇති නොවුණද ඇතැම් ඇමැතිවරුන් ජනාධිපතිනිය සමග බහින්බස් වීමට පවා පෙලඹී සිටියේ ඉතාමත් සුළු ප්‍රශ්න මුල්කර ගෙනය. එහෙත් උන්හිටි ගමන් එම තත්ත්වය වෙනස් අතකට හැරුණේ ජනාධිපතිනිය විසින් රැගෙනවිත් තමන් ඉදිරියේ මේසය මත තබාගෙන සිටින ඇයගේ හෑන්ඞ් බෑගය සම්බන්ධයෙනි.


“චන්ද්‍රිකා මැතිනිය තමන්ගේ හෑන්ඞ් බෑග් එකේ ටේප් රෙකෝඩර් එකක් හංගාගෙන ඇවිත් අපේ කතා පටිගත කරනවා“ යෑයි රවි කරුණානායක කියද්දී රාජිත සේනාරත්න එම චෝදනාවට පොහොර දැමුවේ, “නෑ. ඒකෙ කැමරාවකුත් තිබෙනවා” යි කියමින් ඊට තවත් චෝදනාවක්ද එක් කරමිනි.


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ දෙපාර්ශ්වයම ඉංග්‍රීසි බසින් සට සට ගා බැණ ගැනීමය. ඒ මොහොතේ එහි සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ඇමැති සගයන් සංසුන් කරගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම ද විශේෂ සිද්ධියක් විය.


අන්තිමේදී ප්‍රශ්නය බොහෝ සෙයින් දුරදිග ගිය අතර සති අන්ත පුවත්පත්වල දේශපාලන ඕපාදූප රචකයන් එය කාලයක් තිස්සේ තලු මරමින් රසවින්ඳ අයුරු අපට තවමත් මතකය.


මේ අතර අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා එතෙර ගොස් සිටියදී ආණ්ඩුවේ ඇමැතිවරුන් තිදෙනෙකු ඇමැතිධූර වලින් පහකර දැමූ චන්ද්‍රිකා ජනාධිපතිනිය එම අමාත්‍යාංශය තමන් යටතට පවරාගෙන තිබුණාය.
“ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. අපි ජනාධිපති මන්දිරය වටලා ඒ අමාත්‍යංශ තුන ආපහු ගනිමු” යි ඇතැම් ඇමැතිවරුන් මහ සෙනගක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළට ගොස් ආපසු එමින් සිටි අගමැතිවරයාට බලකර සිටිය ද ඔවුන්ට තමන්ගේ වැඩක් බලාගන්නා ලෙස කී වික්‍රමසිංහ මහතා තමන් පිළිගැනීමට පැමිණි මහ සෙනඟත් වටකරගෙන කොළඹට පැමිණ නිහඬව ගෙදර ගියේය.


පසුව ජනාධිපතිනිය තමන් විසින් පවරා ගන්නා ලද අමාත්‍යංශ තුනෙන් දෙකක් ආපසු දීමට එකඟත්වය පළකර තිබුණ ද ඊට කැමැත්තක් නොදැක්වූ වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් එම අමාත්‍යාංශ තුනම තානාපති අංශ හරහා ආපසු ලබාගන්නා හැටි දැන සිටින බවය. මේ කාලය තුළත් කැබිනට් රැස්වීම් පවත්වන ලද්දේ ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජනාධිපතිනිය විසින් පවරා ගන්නා ලද අමාත්‍යාංශ තුන පිළිබඳව කිසිදු කතාබහක් සිදුනොවීම විශේෂ සිද්ධියක් විය. එහෙත් දෙපාර්ශ්වයම පසුවූයේ ඔවුනොවුන් කෙරෙහි හටගත් සැකයෙනි.


අපි ජනාධිපතිනියගේ වැය ශීර්ෂය අයවැය ඡන්දයේදී අනුමත කරන්නේ නෑ. යි එස්. බී. ලා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මේ අතරතුරය. ඒ ගැන දැනගත් ජනාධිපතිනියගේ අග්‍ර පුරෝහිතයන් වූ මංගල සමරවීරත්, ලක්ෂ්මන් කදිරගාමරුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා බලා එවැනි දෙයක් සිදුවුවහොත් ගතහැකි ඊළඟ ක්‍රියාමාර්ගය ගැන ජනාධිපතිනියට උපදෙස් දී තිබුණහ.


මේ අතර පැතිර ගිය තවත් අලුත්ම ආරංචියක් වූයේ ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් කීපදෙනෙකු අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇති බවයි.


ඒ කතාව අසා තිගැස්සුණු ජනාධිපතිනිය තමන් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව විසිරුවා නොහරින බවට කතානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙත ලිඛිත ප්‍රතිඥාවක් දී තිබුණේ ඒ අතරතුරය. ඒ ගැන විශ්වාසය රැඳවූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිනියගේ වැය ශීර්ෂය පරාජය කිරීමත්, ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමත් යන යෝජනා දෙකටම තහංචි දැමුවේය.


“අපොයි වැරදිලාවත් මේ යක්කු දෝෂාභියෝගයක් ගෙනාවොත් ජනාධිපතිනිය අක්‍රිය වෙනවා. ඊට කලින් අපි කොහොම හරි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. යි කී මංගලත්, ලක්ෂ්මන් කදිරගාමර් සහ විමල් වීරවංශත් ජනාධිපතිනියට බලකර සිටියේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසය. එම උපදෙස් අකුරටම පිළිපැදීම හැර වෙනත් විකල්පයක් ඒ මොහොතේ චන්ද්‍රිකා ජනාධිපතිනියට ද නොතිබිණි. ඒ අනුව 2004 පෙබරවාරි මස 7 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.


අවසානයේ සිදුවූයේ විධායකයත්, ව්‍යවස්ථාදායකයත් දේශපාලන පක්ෂ දෙකත් අතර බෙදීයාම නිසා හටගත් ව්‍යවස්ථා අර්බුදය මත 2001 මහ මැතිවරණයෙන් එජාපෙට ලැබුණු ජනවරම තනි පුද්ගලයෙකු සහ විධායක බලය හමුවේ අහෝසි වී යාමය. ඊට වසර 26 කට ඉහත එනම් 1978 දී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි දේශපාලන බහුශ්‍රැතයන් පළකළ අනාවැකිය සත්‍යයක් බවට පත්වූයේ එලෙසිනි.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර