ජීවිතවල වටිනාකම් නොසලකා හැර ජාතිවාදය කරපින්නා ගත් ඉතිහාසයක අඳුරු සෙවණැලි අපගේ දේශපාලන ඉතිහාසයේ අඩුවක් නැත. එකී ජාතික දේශපාලනයේ අමිහිරි අත්දැකීම් අතර කළුජූලිය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. 1983 ජූලි මාසයේ දී දිවයින තුළ දෙමළ ජනයාට එරෙහිව රටපුරා දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මේ ජූලි මාසයට වසර 35 ක් ගතවී තිබේ. 83 කළු ජූලියේ සිදුවූයේ කුමක්දැයි සැබෑ වැටහීමක් ලබාගැනීම සඳහා දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වයේ ඓතිහාසික හා දේශපාලනික හේතූන් මගහැර යා නොහැකිය. ඒ අනුව මේ රටේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ආරම්භයට 1983 දී යාපනයේ දී සිංහල හමුදා සෙබළුන් 13 දෙනෙකු මරණයට පත්වීමේ සිදුවීමට එහා ගිය ඉතිහාසයක් තිබේ.


 

ජීවිතවල වටිනාකම් නොසලකා හැර ජාතිවාදය කරපින්නා ගත් ඉතිහාසයක අඳුරු සෙවණැලි අපගේ දේශපාලන ඉතිහාසයේ අඩුවක් නැත. එකී ජාතික දේශපාලනයේ අමිහිරි අත්දැකීම් අතර කළුජූලිය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. 1983 ජූලි මාසයේ දී දිවයින තුළ දෙමළ ජනයාට එරෙහිව රටපුරා දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මේ ජූලි මාසයට වසර 35 ක් ගතවී තිබේ. 83 කළු ජූලියේ සිදුවූයේ කුමක්දැයි සැබෑ වැටහීමක් ලබාගැනීම සඳහා දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වයේ ඓතිහාසික හා දේශපාලනික හේතූන් මගහැර යා නොහැකිය. ඒ අනුව මේ රටේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ආරම්භයට 1983 දී යාපනයේ දී සිංහල හමුදා සෙබළුන් 13 දෙනෙකු මරණයට පත්වීමේ සිදුවීමට එහා ගිය ඉතිහාසයක් තිබේ.

1929 දී ෆෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටි ලිබරල්වාදී බණ්ඩාරනායක ගේද වෙනසක් 1939 වනවිට පෙනී යයි. බළපිටියේ පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමක දී ඔහු මෙසේ පැවසීය. මම මගේ ජාතිය වූ සිංහලයන් වෙනුවෙන් මගේ ජීවිතය පූජා කිරීමට සූදානම්ය. කිසිවකු අපගේ ඉදිරිගමනට බාධා කළහොත් මම ඔහුට අමතක නොවන පාඩමක් උගැන්වීමට අධිෂ්ඨාන කරගෙන සිටිමි. (ද හින්දු ඕගන් - 1939 ජනවාරි 26 යාපනය) පසු කලෙක බණ්ඩාරනායක මහතාගේ අගමැති ධූර කාලය තුළ 1956 හා 1958 දී දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය කරා වර්ධනය වූ මූල බීජය බණ්ඩාරනායකට තිබූ බලපෑම තුළ දැකිය හැකිය.


“ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන්නෙමු” යන සටන් පාඨය යටතේ තරග කළ එජාපය 1977 ජූලි 22 වැනිදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 168 කින් 140 ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. එජාපයේ මැතිවරණ ජයග්‍රහණයත් සමග ඇතිවූ ජාතිවාදී කලකෝලාහල නිසා ජේ. ආර්. ජයවර්ධන අගමැති ලෙස දිවුරුම් දුන් දිනම රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට සිදුවිය. ජාතිවාදී කලකෝලාහල නිසා මරණයට පත්වූ දෙමළ මිනිසුන්ගේ සංඛ්‍යාව 100 කට අඩු නොවූ අතර අනාථභාවයට පත් අයගේ සංඛ්‍යාව 50,000ක් පමණ විය. එසේම 1981 දී ජාතිවාදී මැරයන් විසින් පොත් 97,000 ක් සතුව තිබූ, දෙමළ ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරයේ වටිනා සම්පතක් වී තිබූ යාපනය පුස්තකාලය ගිනි තබන ලදී.


ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා ලද්දේ කුලභේද, ආගම්භේද හා වර්ගභේද වැනි භේද තුනී කරගනිමින් සියලු දෙනාට සමාන පිළිගැනීමක් ලැබෙන ආකාරයට එක්සත් ජාතියක් ඇති කරගැනීමෙන් තොරවය. ඒ සඳහා වන ශක්තිමත් දැක්මක් පසුකාලීන ජාතික දේශපාලකයන්ට සේම දේශපාලන ව්‍යාපාරවලට ද නොතිබුණි.


කළු ජූලියට මුල්වූ   ආසන්නතම සිදුවීම


පාළු ප්‍රදේශයක අතහැර දමන ලද නිවසක අවිගත් තරුණයන් දෙදෙනෙකි. එක් තරුණයෙකු වෙඩි වැදීමකින් ඇතිවූ තුවාල සහිතව බිම වැතිර සිටියි. අනෙක් තරුණයාගෙන් ඔහු ආයාචනය කරනු ලබන්නේ තමන්ට වෙඩි තබා බේරී පැන යන ලෙසය. තුවක්කුව අතදරා සිටින තරුණයා තම අවිය තුවාල ලබා සිටි තම සගයා වෙත මානා වෙඩි තැබීය. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මීසාලේ ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකට පාදක වේ යැයි කිසිවෙකු දැන සිටියේ නැත. මෙම තරුණයන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ පුරෝගාමී සටන් සගයන් දෙදෙනෙකු වන සීලන් සහ අරුණාය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එල්ල කරන ලද ප්‍රහාරයකින් තුවාල ලබා පැන යන අතරතුර අතහැර දමන ලද මේ පාළු නිවසට ඇතුළු වූ ඔවුන් පසුපස හඹා එන ආරක්ෂක හමුදාවෙන් බේරෙන්නට තුවාල ලබා සිටින තම සගයා වන සීලන්ගේ ඉල්ලීම මත අරුණා සිය මිත්‍රයාට වෙඩි තබා බේරි පලා ගියේය.


සීලන් එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ සමීපතම සගයෙකි. ඔහුගේ මරණය සවනත වැකුණු එල්ටීටීඊ නායකයාගේ සිතෙහි පහළ වූයේ තම සමීපතමයාගේ මරණය වෙනුවෙන් ලේ වලින් පලිගත යුතු බවයි. එය ක්‍රියාවට යෙදවුණේ 1983 ජූලි 23 වැනිදා මැදියම් රැයේදීය. සුපුරුදු පරිදි රාත්‍රී මුර සංචාරයෙහි යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස කෙමෙන් තින්නෙවේලි හන්දිය අසලට ළඟා වෙමින් සිටියහ. 15 දෙනෙකුගෙන් යුක්ත හමුදා භට කණ්ඩායම ගමන් කළ මාර්ගයෙහි අටවා තිබූ බිම් බෝම්බය පුපුරා ගියේ ඉදිරියෙන් ගමන් කළ ජීප් රථය කැබලි බවට පත් කරමිනි. සැඟවී සිටි එල්ටීටීඊ සාමාජිකයන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මුර සංචාරයේ යෙදුණු සෙබළුන් 15 දෙනා අතරින් 13 දෙනෙකු මළවුන් අතරට යැවිණි.


මියගිය හමුදා භටයන්ගේ මළ සිරුරු කොළඹට ගෙන ඒමට රජය තීරණය කළේය. මියගිය හමුදා සොල්දාදුවන්ගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට සියලුම විධිවිධාන සැලසුණි. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වූ ඔවුන්ගේ ඥාතීන් බොරැල්ල කනත්තට රැගෙන එන ලදී. මෙයට අමතරව දහස් ගණනක් වූ පිරිස බොරැල්ල කනත්තට එක්රැස්ව සිටින ලදී. කුමන හේතුවක් මත හෝ හමුදා සෙබළුන්ගේ දේහයන් කනත්තට ගෙන ඒම පමා වෙමින් තිබිණි. එය රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට සමත් වී තිබිණි. අවසානයේ බොරැල්ල කනත්තේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අවමංගල උත්සවය අවලංගු වූ අතර අදාළ ගම් ප්‍රදේශවලට එම දේහයන් යැවීමට තීරණය විය. කෙසේ වෙතත් කනත්ත අසලට රැස්ව සිටි ජනතාව අතර ඇතිවූ කෝපය කොළඹ නගරය ඇතුළු දිවයින පුරා දෙමළ ජාතිකයන්ගේ ජීවිත හා දේපළ බිලිගන්නා ලද ජාතිවාදී ගින්නක් බවට පරිවර්තනය විය.


රාජ්‍යයට විරුද්ධ වීමේ දිගු සම්ප්‍රදායක් ඇති දකුණේ වාමාංශයට මුළුමනින්ම ආණ්ඩුවට දොස් කීමේ කිසිදු අපහසුවක් යටත් පිරිසෙයින් පෞද්ගලිකව හෝ නොවීය. කෙසේ වුවද මේ කාලය 1983 වන විට ඔවුන් දේශපාලනිකව කොන් වී සිටි අතර ඔවුන්ගේ වෘත්තීය සමිති සංවිධානවලට ප්‍රචණ්ඩ ලෙස පහර දෙනු ලැබ තිබිණි. එපමණක් නොව ජූලි ප්‍රචණ්ඩත්වයෙන් පසුව ජවිපෙ ඇතුළු වාමාංශය මත වරද පැටවීමට තැත්කළ ජයවර්ධන ඒවා තහනම් කර දැම්මේය. ඔවුන් පත්ව සිටි තත්ත්වය මෙබඳු වූ හෙයින් ඔවුන් ප්‍රසිද්ධියේ කියූ දේවල් නිහඬ කරවන ලදී.


එල්. පියදාස නමැති ආරූඪ නාමයකින් ලියන ලද “ලංකාව සමූල ඝාතනය හා ඉන්පසුව” නම් වූ කෘතියේ වමට නැඹුරු මූලාශ්‍ර වලින් බොහෝ තොරතුරු උපුටා ගෙන තිබිණි. යාපනයේ සොල්දාදුවන් මරා දැමීමට බොහෝ කලකට පෙරම ආණ්ඩුව සූදානම් වීම පිළිබඳව එය ආණ්ඩුවට චෝදනා කළ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දෙමළ නිවාස සැලසුම් සහගතව ප්‍රහාරයකට ඉලක්ක කර ගනිමින් ඡන්ද ලැයිස්තු අතැතිව ගිය මැර කල්ලි මෙහෙය වූ එජාප පළාත් පාලන සභිකයන් පිළිබඳව ද සඳහන් කළේය. කැලණියේ මැරයන් කර්මාන්ත ඇමැති සිරිල් මැතිව්ගේ කල්ලි බව හඳුනාගෙන තිබුණි. පියදාසට අනුව පසුදින මේ මැරයන්ගෙන් බොහෝ දෙනෙක් මහනුවර බලා බස්වලින් පිටත් කර හරින ලදහ. ඔවුන් එහි ළඟාවීමත් සමගම දෙමළ විරෝධී වර්ගවා දී කලබල පැන නැගිණි. ඊළඟට 27 වැනිදා බදුල්ලේ ද පසුව පස්සර හා නුවරඑළියේ ද කලබල ආරම්භ විය.


ජූලි 24 වැනිදා බොරැල්ල කනත්තේ සිදුවීම්


බොරැල්ල කනත්තට යාබදව ඇති ඒ. එෆ්. රේමන්ඞ්ගේ අවමංගල්‍ය ශාලාවට යාපනයේ සිට මෘතශරීර ගෙන ඒමට නියමිතව තිබුණි. අවමංගල්‍ය පැවැත්වීමට නියමිතව තිබුණේ සවස 5ට වුවත්, තීරණ ගැනීමේ දී ඇතිවූ ප්‍රමාදයන් හේතුවෙන් මෘත ශරීර රැගෙන ආ ගුවන් යානය රත්මලානට ගොඩබෑම බොහෝ ප්‍රමාද වීය. 

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 


එම්. තාරික්