රට වෙනුවෙන් පැනවූ කැලණියේ සංඝ ආඥාව - 02

“ඉක්බිති රටවැසියන්ගෙන් එක්තරා පක්‍ෂයක් කිසිදු ජාතික සම්මුතියක් නැතිව ඒ විදේශීය ආක්‍රමණිකයන්ගෙන් අන්තිමයාට රට පාවා දුන්නේය. එතැන් පටන් ඒ අන්තිම ආක්‍රමණිකයාගේ බලපෑම් හේතු කොටගෙන ලංකාවාසීන්ගේ ස්වෛරීභාවයත් සෞභා්‍යයත් ක්‍රමයෙන් හායනය පක්‍ෂයට පත්විය. 


එතෙකුදු වුවත් මෑත අතීතයේදී හෝ ඈත අතීතයේදී කිසියම් පිරිසක් විසින් කරන ලද ක්‍රියාවක් හෝ ක්‍රියාවන්ද ගිවිසගත් ගිවිසුමක් හෝ ගිවිසුම්ද ඇති වූ පමණින් ශිෂ්ට සමාජ වශයෙන් සංස්ථාපිත ජාතීන්ට හිමිවන අයිතිය පශ්චිම ජනතාවට අහිමි කළ නොහැක්කේමය. පසුගිය එක්සිය එක් තිස් වසක් මුළුල්ලේ ස්වකීය උරුමයෙන් පරිබාහිර කරන ලදුව සිටි මහජනයා අද දින පරාධීනව බන්ධනගතව සිටීමට කිසිසේත් කැමති නොවේ.
එසේ හෙයින් මේ ද්වීපවාසී මහජනයාගේ ජීවිතය සහ නිදහස පිළිබඳ ආරකෂකයන් වූද ඒ ජනතාවගේ සමෘද්ධිය, සෞභා්‍යය හා සන්තුෂ්ටිය සංවර්ධනයේ නේතෘවරුන්වූද ශ්‍රී ලංකාවාසී මහා සංඝයා වන අප, තථාගත ශාස්තෘවරයාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ මෙම පරම විශුද්ධ ශුද්ධ භුමියෙහි රැස්වී මේ දිවයිනේ වැඩි මහජනයා වෙනුවෙන් මෙයින් ප්‍රකාශ කර සිටින ප්‍රකාශයේ වග හැටිනම්,


අපේ මේ ශ්‍රී ලංකාද්වීපය ස්වාධීන ස්වෛරී ස්වතන්ත්‍ර උරුමයක් ඇති රාජ්‍යයක් බවද අන්‍ය කිසිම බලයකට හෝ රාජ්‍යයකට හෝ කිරීටයකට හෝ යටත්ව පක්‍ෂපාතීව නොසිටීමට තීරණය කර ගත් බවද මෙරට හා අන්‍ය කවර රටක් සමග වුවත් පැවත එන සියලු දේශපාලන සම්බන්ධකම් මෙයින් අවලංගු කළ යුතු බවද එසේම නිදහස් නිවහල් ස්වෛරී බලතල සහිත රාජ්‍යයක් වශයෙන් මේ ශ්‍රී ලංකා ද්වීපයට මෙතැන් පටන් ස්වකීය නිදහස හා නිදහස් ස්වෛරී බලය සුරක්ෂිත කර ගැනීම සඳහාත් අන්‍ය ජාතීන් සමඟ අවශ්‍ය සමගි සන්ධාන ආදියට බැඳීම සඳහාත් මුළු ස්වතන්ත්‍ර රාජ්‍යයක් විසින් කර ගැනීමට උරුම වාසිකම් ඇත්තා වූ අන්‍ය සියලු කටයුතු සඳහා බලය අප සතු විය යුතු බවද මෙයින් ප්‍රකාශ කර සිටුම්හ.


මෙම සම්මුතිය මෙසේ ප්‍රකාශ කරන්නට යෙදුණේ ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයෙහි ඉදි කරන ලද අභිනව ගන්ධකුටියෙහි වැඩ සිටින අප සම්මා සම්බුද්ධ ශාස්තෘවරයාණන් වහන්සේගේ අනූපම බුද්ධ විලාසය හඳුන්වන සලපිළිම වහන්සේගේ නේත්‍ර ප්‍රතිශ්ඨාපන මංගල්‍යය සිදු වූ බුද්ධ වර්ෂයෙන් දෙදහස් හාරසිය අනූවැන්නෙහි දුරුතු මස අප බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිහිකිරීම් වස් සාංවත්සරික මහෝත්සවයට විධි පවත්වන මංගල්‍ය දිනය වූ මෙම උතුම් පුර පසළොස්වක් ලත් සඳු දිනදීය.


මෙම නිදහස ප්‍රකාශ කිරීම එකල දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ තැන්වල සිටි කිසිදු නායකයෙක් අනුමත නොකළේය. එයට හේතුව වූයේ ඉතාම නුදුරු අනාගතයේදී නිදහස ලැබෙන බව ස්ථිරව පෙනෙන්ට තිබියදී මෙවැනි භයානක පියවරකට යෑම මගින් විශාල ලේ වැගිරීමක් සිදුවිය හැකිය යනුවෙන් උපකල්පනය කිරීමයි. 


පසුගිය දශක හය හතක කාලය තුළ මෙසේ ඒක පාක්ෂිකව නිදහස ප්‍රකාශ කිරීමට යොමුව ඇත්තේ එකම රාජ්‍යයක් පමණක් බවත් එය විශාල ලේ වැගිරීමකින් නිමාවට පත් වූ බවත් අපට මතකය. එකී එකම රාජ්‍යය වන්නේ දකුණු රොඬේසියාව ලෙස අතීතයේදී හැඳින්වුණු වර්තමාන සිම්බාබ්වේ රාජ්‍යයයි. අප්‍රිකා මහාද්වීපයේ දකුණු පෙදෙසේ සැම්බසි නදියේ ගිය සර් සිසිල් රෝඞ්ස් නම් යාත්‍රිකයා මෙම සාරවත් පෙදෙස සොයාගත් බව කියනු ලැබේ. ඒ නිසා ඔහු බි්‍රතාන්‍යයේ අයිතියට පැවරූ රාජ්‍යය ඔහුගේ නමින්ම රොඬේසියාව නමින් ප්‍රචලිතව පැවතියේය. එයට අමතරව යාබද එකල න්‍යාසාලන්තය නමින් හැඳින්වුණු වර්තමාන මලාවි රාජ්‍යයද ඒකාබද්ධ කර රොඬේසියා න්‍යාසාලන්ත රාජ්‍යය වශයෙන් බි්‍රතාන්‍ය යටත්විජිතයත් වශයෙන් පවත්වාගෙන යනු ලැබීය. රත්තරන්, දියමන්ති ආදී ඛනිජවලට මෙන්ම වගාවන්ට මහා සේ ගැළපෙන සරුසාර පොළවකින් යුතු වූ මෙම රාජ්‍යයට බහුල ලෙස බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයෝ ඇදී ආහ. දුම්කොළ වගාව බොහෝ දියුණුවට පත් වූ අතර කිරි සහ මස් පිණිස සතුන් ඇති කිරීමද අධික ලෙස සිදු කෙරුණි. මෙරට සුදු ජාතිකයෝ දේශීය කළු ජනතාව කොන් කරමින්, ඔවුන්ගේ ඉඩ කඩම් උදුරා ගනිමින් මහත් සේ හිරිහැර කළහ. යාබද දකුණු අප්‍රිකාව අනුගමනය කළ රොඬේසියා-න්‍යාසාලන්ත සමූහාණ්ඩුවේ ජනාධිපති ලෙස කටයුතු කළ සර් රෝයි වෙලෙන්ස්කි ඉතා දරදඬු පාලනයක් දීර්ඝ කාලයක් ගෙන ගිය නමුදු දරුණු ත්‍රස්තවාදී ව්‍යාපාරද සහිතව ජාතික විමුක්ති අරගලයක් උතුරු රොඬේසියාව දකුණු රොඬේසියාව සහ න්‍යාසාලන්තයේද පැතිර ගියේය. හේන්ටින්ස් බණ්ඩා නම් වූ නායකයා යටතේ න්‍යාසාලන්තය මුලින්ම මලාවි දේශය නමින් බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේය. සැම්බසි ගංගාවේ දෙපස පිහිටි උතුරු සහ දකුණු රොඬේසියාවේද විමුක්ති සටන් උග්‍රව පැවතුණි. උතුරු රොඬේසියාවද කෙනත් කවුන්ඩා යටතේ සැම්බියානු රාජ්‍යය ලෙස නිදහස ලබා ගත්තේය. ඉතිරි වූ කොටස වන දකුණු රොඬේසියාවේද රොබට් මුගාබේ යටතේ උග්‍ර විමුක්ති සටනක් දියත්ව තිබුණි. 


මේ රටේ ඉතා බලවත්ව සිටි බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයෝ බිතාන්‍ය රජයේද සහාය ඇතිව එම අරගලය මර්දනය කළෝය. ඒ අතරවාරයේ එවකට දකුණු රොඬේසියාව පාලනය කළ ඉයන් ස්මිත් නමැති ජනාධිපතිවරයා කළු ජාතිකයන් අතට නිදහස ලැබුණහොත් තම ජනතාවගේ අයිතිවාසිකම් අහෝසිවනු ඇතැයි අදහස් කර ඒක පාක්‍ෂිකව නිදහස ප්‍රකාශ කළේය. එම ක්‍රියාවෙන් කුපිත වූ එංගලන්තයේ මව් රජය නොපමාව හමුදා යවා එම රට ආක්‍රමණය කළේය. මේ 1960 - 1970 දශකවලදීය. එරට රුධිර ගංගාවක් බවට පත්විය. බි්‍රතාන්‍යයෝ තුන්කොන් සටනකට මැදිවූහ. ඉයන් ස්මිත්ගේ සුදු හමුදාව රොබට් මුගාබේගේ කළු විමුක්ති හමුදාව එකවිට බි්‍රතාන්‍යය සමඟ ගැටුණේය. අවසානයේ ගැටුමෙන් මිදී අතසෝදා ගැනීම පිණිස බි්‍රතාන්‍යයෝ රොබට් මුගාබේට රාජ්‍යය භාර දී ආපසු ගියහ.


ඒක පාර්ශ්විකව නිදහස ප්‍රකාශ කිරීම යනු එවැනි භයානක කටයුත්තකි. සුදු සම්භවයක් සහිත ඉයන් ස්මිත්ට බි්‍රතාන්‍යයන් පිළිතුරු දුන්නේ එම ආකාරයට නම් ලංකාවේ තත්ත්වය අතිශයින්ම භයානක වන්නට තිබුණි. එවැනි අවදානමක් දරා ගනිමින් අපේ සංඝයා වහන්සේලා එම පියවර ගනු ලැබුවේ හුදෙක්ම දේශප්‍රේමය මුල්කොටගෙනම බව අවිවාදිතය. ඉතිහාසය පුරාම එය එසේ වූ බව අපි දනිමු. එහෙත් ගලබොඩ අත්තේ ඥනසාර ස්වාමීන්වහන්සේගේ ක්‍රියා පිළිවෙළ ගැන විනිශ්චය කිරීමට ඉක්මන් වීම ප්‍රඥාගෝචර නොවේ. මක් නිසාද යත් ඒ පිළිබඳව රටේ ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාර බැවිනි. එය තීරණය කරනු ලබන්නේ ඊළඟ පරම්පරාවන් විසිනි. එතෙක් අපි නිහඬ වෙමු.

 

 


එස්. වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.