වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා 70 දශකයේ මුල භාගයෙදී මෙරට ස්වේච්ඡා සේනාංකයේ දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් කටයුතු කළේය. ඔහු එලෙස ස්වේච්ඡා සේනාංකයට සම්බන්ධ වී සිටියේ කොළඹ නගරයේ පිහිටි විදේශීය සමාගමක විධායක නිලධාරියෙක් වශයෙන් කළ රැකියාවට අමතරවය. 


ස්වේච්ඡා සේනාංකයට අයත් භට කණ්ඩායම සක්‍රීය සේවයට කැඳවනු ලැබුවේ ඔවුන්ගේ සේවා අවශ්‍යතාවක් ඇතිවුවහොත් පමණි. ඇතැම් අවස්ථාවලදී පමණක් ඉන්දියාවේ සිට මෙරටට හොර මාර්ග ඔස්සේ පැමිණෙන  කල්ලතෝනින් අත්අඩංගුවට ගැනීම සඳහා ස්වේච්ඡා භටකණ්ඩායම උතුරු වෙරළ තීරයේ ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා තිබුණද සය මාසයක් හෝ දෙකක් වැනි සීමිත කාලයකට පමණක් සීමා වී තිබුණේය.
හරියටම 1971 අප්‍රේල් මාසයේ 05 වැනිදා අලුයම් කාලයේ නඳුනන පිරිසක් වැල්ලවාය පොලිසියට පහරදි අවි ආයුධ පැහැර ගත්තා. ඊට පස්සේ පැය කීහිපයක් ඇතුළත ඒ පහරදීම රටේ වෙනත් ප්‍රදේශවලටත් පැතිරුණා. ඒ දවස්වල අපේ යුද හමුදාවෙත් ස්ථිර සොල්දාදුවන් සිටියේ දහදාහකටත් වඩා අඩු පිරිසක්. අවි ආයුධ පතොරම් ආදියත් මෙවැනි පහරදීමකට මුහුණදීමට තරම් ප්‍රමාණවත් වුණේ නෑ. ඒ අනුව තමයි ස්වේච්ඡා බළකායේ සාමාජිකයන් වූ අපටත් ඒ ගැටුම්වලට මුහුණ දෙන්න ඉඩ ලැබුණේ....”යි කියන කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ට එම කැඳවීම ලැබුණු විගස එවකට කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ශ්‍රී ලංකා ස්වේච්ඡා බළකායේ මූලස්ථානයට ගොස් එහි ප්‍රධාන අණ දෙන නිලධාරියා හමුවූ බවය.


මේ වන විට තරුණ කැරැල්ල ඇරඹි දින 2ක් හෝ 3ක් පමණ කාලයක් ගතවී තිබුණේය. රටේ ඇතැම් ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවලට පහරදුන් තරුණ කැරලිකරුවන් ඒවා ගිනි තබා විනාශ කර ඒවායේ තිබූ ගිනි අවි සහ  පතොරම් පැහැර ගෙන ගොස් තිබුණා. එපමණක් නොව ඇතැම් ප්‍රදේශ පවා ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබුණේ. අද හෙටම මුළු රටේම පාලන බලය තම සංවිධානය සතුවන බව කියමිනි.


මේ අතර ආණ්ඩුව රට පුරාම හදිසි නීතිය පණවා තිබුණේය. කැරලිකරුවන් මහා මාර්ග සහ දුම්රිය මාර්ගයට ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම පවා අඩපණවී තිබුණේය.
එම නිසා විශේෂයෙන්ම උතුරු මැද පළාතේ අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කීපයක උග්‍ර ආහාර හිඟයක් පැවතිණි. ඒ අනුව ජනතාවගේ දෛනික පරිභෝජනයට අවශ්‍ය වියළි ආහාර තොගයක් එහි යැවීමට රජය පියවරගෙන තිබුණද මහා මාර්ග ඔස්සේ හෝ දුම්රිය මාර්ගයෙන් ඒවා ප්‍රවාහනය කිරීමට නොහැකි වූයේ කැරලිකරුවන් විසින් එම සියලුම මාර්ග අවහිර කර තිබූ බැවිනි.


රටේ මීට පෙර මෙවැනි කැරලිකාරී තත්ත්වයක් උද්ගතවී නොතිබුණෙන්  මුළු ආණ්ඩුවම පත්වී සිටියේ බලවත් කැලඹීමකටය. එම තත්ත්වය වඩාත් උග්‍රවූයේ මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට හෝ හමුදාවට ඒ සඳහා අවශ්‍ය පිරිස් බලයක් ප්‍රමාණවත් පරිදි නොතිබූ බැවිනි. පොලිසිය හා යුද හමුදාව සහ අවි ආයුධ පවා බි්‍රතාන්‍ය පාලන කාලයේ මෙරටට ගෙන්වා තිබූ ඉතාමත් පැරණි පන්නයේ යල්පැනගිය ඒවා විය.


“කොහොම වුණත් රටේ ආහාර බෙදා හැරීම හරියාකාරව කෙරෙන්න ඕනෑ. මොන ප්‍රශ්නයක් ආවත් ජනතාව බඩගින්නේ තියන්න එපා....!යි එවකට සිටි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ආහාර කොමසාරිස්වරයාට උපදෙස් දී තිබුණාය. ඒ අනුව යුද හමුදාවේ පූර්ණ ආරක්‍ෂාව යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් දුම්රියක් කොළඹ සිට අනුරාධපුරයට යැවීමට ආහාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය විය.


මෙහිදී එවකට සිටි ආරක්‍ෂක ලේකම් ආතර් රත්නවේල් සහ යුද හමුදාපති සේපාල ආටිගල යන මහත්වරුන් මුහුණදුන් බරපතළම ප්‍රශ්නය වූයේ ඒ සඳහා ප්‍රමාණවත් හමුදා භට පිරිසක් යෙදවීමට නොහැකි වීමයි. අන්තිමේදී එම ප්‍රශ්නය විසඳුණේ ස්වේච්ඡා බළකායේ හමුදා භට පිරිසක් ඒ සඳහා යෙදවීමට හමුදාපතිවරයා තීරණය කිරීමෙනි.


මේ වන විට මෙරට ස්වේච්ඡා බළකායට අයත් සියලුම භට පිරිස් වහාම ක්‍රියාත්මක වන පරිදි සක්‍රීය සේවයට කැඳවා තිබුණේය. ඒ අනුව එවකට කොළඹ යුද හමුදා මූලස්ථානයේ පිහිටි ස්වේච්ඡා බළකායේ ප්‍රධාන කාර්යාලයට ගොස් සේවයට වාර්තා කිරීමට එම බළකායේ දෙවැනි ලුතිනන්වරයකු වූ කරු ජයසූරියටද සිදුවිය.


කොහොම හරි කොළඹ සිට අනුරාධපුරයට යවන රේල්ලුවේ ආරක්‍ෂාව මගේ යටතේ තිබුණු භට කණ්ඩායමටයි පැවරුණේ. මගේ භට කණ්ඩායම මාත් එක්ක විසිහය දෙනයි. කෝච්චියේ බඩු, ගැල් දහයක් නැත්නම් දොළහක් අමුණා තිබුණා. මගීන් ගමන් කරන මැදිරි තුනක් තිබුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 250ක් අපිත් එක්ක ගියා පාර ක්ලියර් කරන්න. මට දීලා තිබුණා. මැෂින්ගන් එකක්, හැබැයි බුලට් තිබුණේ විසිපහයි. ඊළඟට අපේ සෝල්ජර්ස්ලා විසිපස් දෙනාට රයිෆල් 25ක් දීලා තිබුණත්  ඒ හැම දෙනාටම  තිබුණේ එක බුලට් එක බැගිනුයි. 


කරු ජයසූරිය එසේ කියන්නේ 1971 වසරේ සිංහල අවුරුද්දට දවසකට හෝ දෙකකට පමණ පෙර කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ වියළි ආහාර ද්‍රව්‍ය රැගත් දුම්රියේ ආරක්‍ෂාවට ගිය තමන් ඇතුළු හමුදා භට පිරිසට  ලබාදී තිබූ සීමිත උණ්ඩ ප්‍රමාණය ගැනය. එසේ වූයේ ඒ මොහොත වනවිට හමුදාව සතුව තිබුණේ උණ්ඩ ඉතාමත් අඩු සංඛ්‍යාවක් වූ බැවිනි.


කෙසේ වෙතත් ගමන පිටත්වීමටත් පෙර අසන්නට ලැබුණු ආරංචි කිසිසේත්ම සුබදායක නොවීය. අහවල් තැන රේල් පාරේ පීලි ගලවා දමලා...... අහවල් තැන ගස් කපලා රේල් පාර හරහට දමලා...... අඹේපුස්ස ස්ටේෂන් එකට ටිකක් එහාට වෙන්න තියෙන යත්තල්ගොඩ පාලම පුපුරවන්න දෙතුන් වතාවක්ම හැදුවා.....! ආදී වශයෙන් නොයෙකුත් අසුබ ආරංචි ලැබෙමින් තිබියදී පවා තමන් සතු රාජකාරිය ඉටු නොකර ඉදිරියට තැබූ පය පසුපසට ගැනීමට කරුගේ සිත නොනැමිණි.


විශේෂයෙන් ඔහුගේ සිත යම් තරමකට හෝ අධෛර්යය වූයේ තම කණ්ඩායම සතු වෙඩි උණ්ඩ ප්‍රමාණය එවැනි අන්තරාදායක ගමනකට කිසිසේත්ම නොසෑහුණ බැවිනි.


මේ අතර කොළඹ සිට අනුරාධපුරය දක්වා යාමට නියමිත දුම්රිය ගමන් ඇරඹීමට මොහොතකට පෙර  යුද හමුදා මූලස්ථානයෙන් එවන ලද  තරමක් විශාල ආයුධ පෙට්ටියක් හමුදා සොල්දාදුවන් කීප දෙනෙක් විසින් ඔසවා ගෙන විත් තමන්ට බාරදුන් බව හෙතෙම පවසයි. එම ආයුධ පෙට්ටිය දුටු කරුගේ සිතට යම් සහනයක් දැනුණද එම සහනදාය හැඟීම විනාඩි ගණනකට පමණක් සීමා විය. එසේ වූයේ එම ආයුධ පෙට්ටිය විවෘත කර බැලූ කෝප්‍රල්වරයකු සර් බට්ටො රතිඤ්ඤා විතරයි! යි කියමින් මුහුණ ඇඹුල් කර ගත් බැවිනි. 

 

තමන් සතුව ප්‍රමාණවත් වෙඩි උණ්ඩ සංඛ්‍යාවක් නොමැති අසීරු අවස්ථාවන්හිදී එවැනි සංග්‍රාමික උපක්‍රම මගින් සතුරා නොමග යැවිය හැකි බව තමන් දියතලාවේ පැවැති පුහුණු කඳවුරකදී ඉගෙන ගෙන තිබූ බව ඒ සමගම කරුගේ මතකයට නැගුණේය.


“දැන් ඔන්න කෝච්චිය හෙමින් හෙමින් ඉදිරියට යනවා. මම අර බට්ටො රතිඤ්ඤා විසිපහ බැගින් දාපු කැන්වස් බෑග් කාටත් නොදැනෙන්න අපේ සොල්දාදුවන් අතර බෙදා දුන්නා. හරියටම කියනවා නම් අපේ ළඟ වෙඩි උණ්ඩ තියෙන්නේ බොහොම ටිකයි කියන එක අපිත් එක්ක ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ටවත් දැනෙන්න ඉඩ ඇරියේ නෑ.....!යි කියන කරු ජයසූරිය ඊට හේතුව වශයෙන් දක්වන්නේ එසේ වූවා නම් ඔවුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් ආපසු හැරීයාමට පවා ඉඩ තිබුණු බවය.


එම දුම්රිය ඉදිරියට ගමන් කළේ ඉතාමත් සෙමිනි. ඊට හේතු වූයේ මග දිගටම ගස් කපා දැමීමත්, රේල් පීලි බුරුල් කිරීමත් අඩි දහයෙන් දහයට සිදුවී තිබුණ බැවිනි. එවැනි අවදානමක් දුටු වහාම රයිෆල් අමෝරාගත් යුද භටයන් හතර පස් දෙනෙක් බිමට බැස මග දෙපස දෙස විමසිල්ලෙන් බලා සිටි අතර දුම්රිය සේවක පිරිස වහ වහා එම ගස් ඉවත් කිරීමට කටයුතු කළේ ඉතාමත් කඩිසරවය. 


“මුළු රටේම ඇඳිරි නීතිය පනවා තිබුණු නිසා පාර දෙපැත්තේ කවුරුවත් පේන්න හිටියෙ නෑ. මුලින් පැය හතරක්-පහක් යන තුරු අපට බරපතළ ප්‍රශ්නයක් මතු නොවුණත් යට්ටල්ගොඩ පාලම ළඟදී ත්‍රස්තවාදීන් අපට වෙඩි තිබ්බා. එතකොට අපි කළේ රයිෆල් එකෙන් එක වෙඩිල්ලක් තියා අපි ළඟ තිබුණු බට්ටො රතිඤ්ඤා තිස් හතළිස් ගාණක් එක සැරේ පත්තු කරන එකයි. ඒ ගැන ත්‍රස්තවාදීන් හිතුවේ අපි දිගට හරහට වfඩි තියනවයි  කියලායි. ඒ සැරේ ඔවුන් කෝච්චිය පැත්තට වෙඩි තිය තියා පැනලා ගියා.”


එම අවසරය මැද්දේ පාලම උඩින් වැටී තිබුණ රේල් පාරෙ  බුරුල් කර තිබූ ඇණ යළි සවිකර  ගෙන දුම්රිය, පාලමෙන් මෑතට ගැනීමට එහි සිටි  සේවක පිරිසට හැකිවිය. දුම්රිය කුරුණෑගලත් පසුකර මහව නගරයට එනවිට මුළු නගරයම පැවතුණේ කැරලිකරුවන්ගේ අණසකට නතුවය. ඒ වන විට මහව දුම්රියපොළේ අවිගත් කැරලිකරුවන් දහ-පහළොස් දෙනෙකු රැඳී සිටියද ඔවුන් දුම්රිය දෙස බලා සිටියා විනා කිසිදු එදිරිවාදිකමක් නොදැක්වූ බව කරු ජයසූරියට මතකය.


කොළඹ සිට අනුරාධපුර දක්වා ගමන් කළ දුම්රිය තම ගමනාන්තයට පැමිණියේ දින හතරකට පසුවය. ඒ මුළු කාලය පුරාම කරු ජයසූරිය ඇතුළු භට කණ්ඩයාම නින්දට ගොස් තිබුණේ දිනකට පැය දෙකක් වැනි ඉතා සුළු කාලයකි. ආහාරයට ගනු ලැබුවේ බත්, සැමන් සහ අල හොදිය. නැත්නම් පරිප්පු වෑන්ජනය.


අපිත් එක්ක ගිය දුම්රිය සේවකයන් දහදෙනෙක් විතර මාරුවෙන් මාරුවට කෑම ඉව්වා. අපේ භටයන් විසිපස් දෙනා කෑම කෑවෙත් වරකට තුන්දෙනා බැගිනුයි. ඒ අතරේ අනිත් අය තුවක්කු දුම්රිය ජනෙල් අතරින් එළියට එල්ල කරගෙන ඉන්නවා. අතරමගදී වෙඩි ප්‍රහාර දෙක තුනක් එල්ල වුණත් අපි කරුවලේම බට්ටො රතිඤ්ඤා පත්තු කරන කොට උන් පැන ගියා. කොහොම හරි දින හතරක් ඇතුළත ඒ දුම්රිය අනුරාධපුරයට අරගෙන ගිහින් ස්ටේෂන් එකට ඇවිත් හිටපු දිසාපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට බාරදී අනුරාධපුර හමුදා කඳවුරෙන් දීපු ට්‍රක් එකකින් ආපසු කොළඹට ආවා......”


පාර්ලිමේන්තුවේ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා එලෙස ආවර්ජනය කරන්නේ 1971 අප්‍රේල් කැරැල්ල සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා සේනාංකයේ දෙවැනි ලුතිනන්වරයෙකුව සිටි තමන් රජයේ උපදෙස් පරිදි වියළි ආහාර ද්‍රව්‍ය රැගත් දුම්රියක් කොළඹ සිට අනුරාධපුරය දක්වා රැගෙන ගිය අන්දම ගැනය. 


අතරමඟ රැක සිටි තරුණ කැරලිකරුවන් අවස්ථා කීපයකදීම එම දුම්රියට බෝම්බ ගසා වෙඩි තැබුවද බට්ටො රතිඤ්ඤා වැල් පත්තුකර ඔවුන් බිය ගන්වා පලවා හැරීමට තමන් සමග සිටි හමුදා භටයින් විසිපස් දෙනා සමත් වූ බව හෙතෙම පවසන්නේ සිනාසෙමිනි. කෙසේ වෙතත් දුම්රියේ ආරක්‍ෂාවට ගිය හමුදා භටයන් විසිපස් දෙනා සතුව වෙඩි උණ්ඩ විසි පහකට වඩා නොතිබුණු බවත් ඔවුන් කැරලිකරුවන් බියට පත්කර පලවා හරින ලද්දේ බට්ටො රතිඤ්ඤා වැල් පත්තු කිරීමෙන් බවත් එහි ගමන් කළ දුම්රිය සේවකයන් අදටත් නොදැන සිටින බව කරු ජයසූරිය මහතා පවසයි.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර