කොමියුනිස්ට්වාදය නමැති දේශපාලන දර්ශනය ලොවට දායාද කළ කාල් මාක්ස් වනාහී කර්මාන්තශාලා හිමියෙකුගේ පුතෙකි. ඔහුට කොමියුනිස්ට් ප්‍රකාශනය සකස් කිරීමට සහාය වූ ෆෙඞ්රික් එංගල්ස් උගතෙකි. බුද්ධිමතෙකි. මෙම දර්ශනය යථාර්ථයක් බවට පත් කළ රුසියාවේ ඔක්තෝබර් විප්ලවයේ නායක ව්ලැඩිමීර් ඉලියනොව් ලෙනින් නීතිඥයෙකි. ඔහුගේ සහායක ලියොන් ට්‍රොට්ස්කි මධ්‍යම පාන්තිකයෙකි. කෙටියෙන් සඳහන් කළහොත් ලොව පුරා විප්ලවවාදීන්ගේ පරමාදර්ශය වූ අර්නස්ටෝ චේ ගුවේරා බටහිර වෛද්‍යවරයෙකි. ඒ ජාත්‍යන්තර තලයේදීය. 


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්වාදයේ ආදී කතෘවරයා වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාද චේ මෙන්ම බටහිර වෛද්‍යවරයෙකි. ඔහුගේ සහායකයා වූ එම පක්‍ෂ ලේකම් පීටර් කෙනමන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ පුත්‍රයෙකි. එම පක්‍ෂ තරුණ සංගමයේ නායකයා වූ සරත් මුත්තෙට්ටුවගම මහතා පැරණි ප්‍රභූ රදල පවුලකින් පැවත එන්නෙකි. වෘත්තියෙන් අධිනීතිඥයෙකි. එම තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. ජි. එස්. රත්නවීර මහතා ආදායම් පාලක නිලධාරියෙකි.


මේ සියල්ලෝම හොඳ කොමියුනිස්ට්වාදීහු වූහ. තම ශක්ති පමණින් මානවවාදි ජීව ගුණය ප්‍රකට කරමින් නිර්ධන පන්ති විප්ලවය වෙනුවෙන් ඇප කැප වූවෝ වූහ. ඒ ගැන කිසිදු මත භේදයක් නැත. එහෙත් සඳහන් කළයුතු කරුණක් ඇත. කාල් මාක්ස් හා ප්‍රෙඞ්රික් එන්ගල්ස් යන චින්තකයන් දෙදෙනා ප්‍රකාශයට පත් කළ කොමියුනිස්ට් ප්‍රකාශනය නම් වූ ඓතිහාසික ලියවිල්ලේ සඳහන් වන දේශපාලන න්‍යායේ මූලික පදනම වන්නේ කම්කරු පන්තියේ නායකත්වයෙන් සිදුකෙරෙන ආයුධ සන්නද්ධ විප්ලවය මගින් ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රය පෙරළා දමා කම්කරු රාජ්‍යයක් ගොඩනැගීමය. ආර්ථික විද්‍යාත්මක දේශපාලන න්‍යායක් වූ එය කම්කරු පන්තියට කෙතරම් මූලික තැනක් දී ඇතිදැයි කියතොත් එම ලියවිල්ලේ මෙසේද ප්‍රකාශ කර තිබුණි. “ලෝකයේ කම්කරුවනි එක්වව්! ඔබ තළන පෙළන සූරාකන ධනේශ්වරයට එරෙහිව සටන් වදිව්! ඔබට නැතිවන්නට දෙයක් නැත. එහෙත් දිනා ගන්නට ලෝකයක් ඇත. එනිසා සංවිධානය වී සටන් වදිව්!” 


කාල් මාක්ස් කියූ අයුරින්ම ලෝකයේ සෑම රටකම කොමියුනිස්ට් පක්‍ෂ බිහිවන්නට පටන් ගත්තේය. ඒවායේ නායකයෝ නොයෙකුත් දුක් පීඩා විඳිමින් බලගතු රාජ්‍ය නායකයන්ගේ අප්‍රසාදයට ලක්වෙමින් කම්කරු පංතිය සංවිධානය කළහ. එම බැරෑරුම් කාර්යයේ නිරත වීමේදී එම නායකයන්ට සිර දඬුවම් විඳීමට සිදුවිය. එමෙන්ම සමහරු රුදුරු මරණයට ගොදුරු වූහ. රටින් පිටුවහල් කරනු ලැබූහ. සයිබීරියානු මහා කාන්තාරයේ හුදකලාවේ රැඳවූහ. මේ කුමන දුක් කම්කටොලු මධ්‍යයේ වුවද මෙම කොමියුනිස්ට්වාදීහු තම ජාත්‍යන්තරවාදී යුතුකම අත් නොකළහ. දිවි ඇති තෙක් සටන් කළහ. ඒ වෙනුවෙන් අරගල කළහ. එහිදී ලැබෙන මරණය වුවද අභිමානයෙන් වැලඳ ගත්හ. එහෙත් ලෝකයේ කිසිදු රටක කොමියුනිස්ට් පක්‍ෂයක හෝ රටක නායකත්වයට කම්කරුවෙකු පත් වූ බවක් වාර්තා වන්නේ නැත. එම දුර්ලභ වාර්තාව පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ නායකයෙකු  විසින් වීම ඇත්තෙන්ම බොහෝ දෙනාගේ විමතියට කරුණක් විය. මේ ලිපිය ඔහු පිළිබඳවය.


ඔහු නමින් කේ. පී. සිල්වා නම් වූවේය. ඔහුගේ කතාව අප දැන ගත යුතුව ඇත්තේ පසුගිය සතියේ ඔහු මිය ගිය නිසා නොව මෙරට නිර්ධන පංති අරගලයේත් දේශපාලන ක්‍ෂේත්‍රයේත් නොමැකෙන සටහනක් තබා ඇති නායකයකු වන නිසාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුප්පත් යැයි කිව හැකි පවුලක සාමාජිකයෙකු වූ ඔහුගේ පියා දේවාලයක කපු මහතෙකි. පසුකලෙක විඥාණවාදී යැයි පුත්‍රයා විසින් ප්‍රතික්ෂේප කරන ලද ක්‍ෂේත්‍රයක් වූ “කපුකම” තම පියාගේ රැකියාව වීම ඔහුගේ දෛවයේ සරදමක් බඳු වූවේය. දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක එදිනෙදා ජීවිතය ගෙන යාමට දේවාලයට ලැබෙන පඬුරු ප්‍රමාණවත් වූයේ නැත. එනිසා ඔහුගේ මවද කුලී වැඩක් හෝ සුළු වෙළඳාමක් කිරීමටද පෙලඹුණාය. පසුව පියාද දේවාල කපුකම අතහැර දමා කුලී වැඩ කිරීම ආරම්භ කළේය. පානදුරේ ප්‍රදේශයේ තල්පිටිය ගමේ උපත ලද කේ. පී. එම ගමේ පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ අතර ආර්ථික දුෂ්කරතා නිසා එයද එතරම් සාර්ථක වූවේ නැත. නිවසේ සිට පාසල දක්වා දුර පයින් යාම මඳක් අසීරුය. බස් ගාස්තුව ශත පහකි. එය සොයා ගැනීම කේ. පී. සිසුවාට දුෂ්කර කාර්යයකි. ඔහු පයින්ම පාසලට යයි. අවශ්‍ය පොත් පත් නැත. එනිසා ගුරුවරුන් වෙතින් ගුටි කෑ වාර අනන්තය. යාම්තම් අටේ පන්තිය පසු කළ ඔහු පාසල් ගමන අතහැර දමා පියාගේ ජීවන බර මඳකින් හෝ සැහැල්ලු කිරීම සඳහා පාරට බැස්සේය. 


පානදුරේ වාද්දුව ආදී ප්‍රදේශ වමේ ව්‍යාපාරයේ ආරම්භක යුගයේදීත් සමසමාජ බළකොටු බවට පත්ව තිබුණි. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇරඹෙද්දී පැවති මැතිවරණයට පළාතේ දානපතියෙකු මෙන්ම විශාල ධනපතියෙකු ද වූ සුසන්තා ද ෆොන්සේකා මහතා ඉදිරිපත්ව සිටියේය. ඔහුගේ ප්‍රතිවාදියා වූවේ සමසමාජයෙන් ඉදිරිපත්ව සිටි එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු බැරිස්ටර්වරයෙකු ලෙස සමත්ව ආපසු පැමිණ සිටි ලෙස්ලි ගුණවර්ධන මහතාය. කේ. පී. සිල්වා ගැටවරයාද ලෙස්ලිගේ ආධාරකරුවෙකු බවට පත්වූවේ අහම්බෙනි. ඔහු ලෙස්ලිගේ රැස්වීම්වලට යාම පුරුද්දක් කර ගත්තේය. ඒවායේ සිදු කෙරෙන වේගවත් දේශනවලට සවන් දීමට කැමැත්තක් ඇතිවූවේ සසර පුරුද්දකට මෙනි. පහළොස් හැවිරිදි වියේදී රැකියාවක් සොයා කොළඹ පැමිණි කේ. පී. සිල්වා තරුණයාට බේකරියක සුළු රැකියාවක් ලැබුණි. එහෙත් එයින් තෘප්තියට පත් නොවූ කේ. පී. වෙහෙස මහන්සියෙන් කළ හැකි රැකියාවක් සොයා ගැනීමට උනන්දු වූවේය. ඒ අනුව මට්ටක්කුලියේ සම් කර්මාන්ත ශාලාවේ කම්කරු තනතුරක් ලබා ගැනීමට හැකි වූවේ දිනකට ශත හැට දෙකක වැටුපකටය. පානදුරේදී ලැබූ සමසමාජ ආභාසය මත සම් කර්මාන්ත ශාලාවේදී ද වමේ වෘත්තීය සමිති ව්‍යාපාරය වෙත ඇදී ගියේය. 


දෙවැනි ලෝක මහා සංග්‍රාමය පැවති මෙම කාලයේ බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුවේ මර්දනය බොහෝ සෙයින්ම කම්කරු පංතිය වෙත එල්ල වී තිබුණි. රජයේ සම් කර්මාන්ත ශාලාවේ කම්කරුවෝද මහත් පීඩාවට ලක්ව සිටියෝය. කෙසේ වුවත් මර්දනය නොතකා සටන් වැදුණු සම් කර්මාන්තශාලා සේවකයෝ වැදගත් ඉල්ලීම් රැසක් දිනා ගත්හ. දිවා ආහාර වේලක්, සුළු වැටුප් වැඩීවීමක්, සේවක කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු ආදිය ඉන් ප්‍රමුඛ විය. නැතිවන්නට දෙයක් නොමැති කේ. පී. සිල්වා මෙම සටනේ නායකයා වූවේය. යුගයේ හැටියට කිසිදු දඬුවම් දීමක්ද නොමැතිව ඉල්ලීම් දිනා ගනිමින් මෙම ජයග්‍රහණය ලැබූ කේ. පී. එක රැයකින් ජනප්‍රිය කම්කරු නායකයෙක් බවට පත් කළේය. මෙය දැනගත් වෙනත් ආයතනවලද සේවකයෝ ඔහු ආදර්ශයක් කොට සැලකූහ. ඔහු හැඳින්වුණේ ලෙදර් සිල්වා නමිනි. මෙසේ නායකයෙකු බවට පත්වූ කේ. පී. ප්‍රායෝගිකවම අවබෝධ කරගෙන සිටි න්‍යාය සිය සගයන්ට පහදා දීමට දේශන පැවැත්වූවේය. ඔහුගේ මිතුරෝද මේ සඳහා උදව් කළහ. ඒ අය අතර හොස්පිටල් පෙරේරා, එලිපන්ට් පෙරේරා (සිගරට්), මහ රෝහලේ තිරත්නදාස, රජයේ මුද්‍රණාලයේ ආරියදාස, රෝහලේ සේවිකාවන් වූ ලීලාවතී, මර්තිනා හා සෙපී ආදීහුද වූහ. මේ අය සංවිධානය කළ වෘත්තීය සමිති ඉතා බලවත් හා ශක්තිමත් වූවේය. සටන්කාමීද විය. මොවුහු සමසමාජ පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවෝ වූහ. කොස්ගස් හන්දියේ එකල පවත්වාගෙන ගිය රාත්‍රී ඉංග්‍රීසි පන්තියකට එක්වූ කේ. පී. තම සාර්ථකත්වයට මහත් රුකුලක් වූ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගැනීමට උනන්දු වූවේය. මෙසේ පියවරින් පියවර ඉදිරියට පැමිණි කේ. පී. පනහ දශකය ආරම්භ වෙද්දී සමස්ත කම්කරු ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු බවට පත්ව සිටියේය. 1953 මහා හර්තාලය කැඳවීමේදීද කේ. පී. විශාල කාර්යභාරයක් ඉටු කළේ සමසමාජ වෘත්තීය සමිති නායකයෙකු වශයෙනි. එහෙත් පසුව ඇතිවූ මතභේදයක් නිසා සමසමාජ ප්‍රබල කණ්ඩායමක් සමග බිඳී ගොස් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට එක්වූවේය. ඒ අය අතර ස්ටැන්ලි තිලකරත්න, ඇල්. ඩබ්ලිව්. පණ්ඩිත, කේ. ඒ. ඊ. බි්‍රටෝ, වී. ඒ. සමරවික්‍රම යන නායකයෝ වූහ. පසුකාලීනව මොවුහු බලවත් කොමියුනිස්ට් නායකයෝ බවට පත්වූහ. 


මෙසේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට එක්වූ කේ. පී. එහි මධ්‍යම කාරක සභාවට සහ දේශපාලන මණ්ඩලයට තෝරා පත් කර ගන්නා ලදී. පසුකලෙක එම පක්‍ෂයේ ඉතා බලගතු තනතුරු ගණනාවකටද පත් කෙරුණි. කොමියුනිස්ට් න්‍යාය ගැන සුවිශේෂී හැදෑරීමක් කර තිබුණු කේ. පී. එම පක්‍ෂයේ සාමාජිකයන්ට දේශපාලන දැනුම ලබාදීම සඳහා අධ්‍යාපන කඳවුරු පැවැත්වීමේ ප්‍රබලතමයා වූවේය. එමෙන්ම පක්‍ෂයේ ඉහළම තනතුරක් වූ ජාතික සංවිධායක ධුරයද ඔහුට පිරි නැමුණි. එපමණක් නොව න්‍යාය, භාවිතය හා කොමියුනිස්ට්වාදී සංකල්පය හැදෑරීම සඳහා සෝවියට් රුසියාවේ සරසවියක දෙවසරක පාඨමාලාවක් සඳහාද තෝරා ගන්නා ලදී. ඒ සඳහා 1961 දී මොස්කව් බලා ගිය කේ. පී. 1963 දී ආපසු මව්බිමට පැමිණෙන විට එම පක්‍ෂයේ න්‍යාය සහ භාවිතය පිළිබඳ ඉහළම දැනුම ලැබූ න්‍යායාචාර්යවරයා බවට පත්ව සිටියේය. 

 


වාමාංශික සමගිය වෙනුවෙනුත් වෘත්තීය සමිති සහ කම්කරු පන්තියේ එකමුතුව වෙනුවෙනුත් ආරම්භයේ සිටම නොනැවතෙන අරගලයක යෙදී සිටි කේ.පී. සිල්වා මහතාට මෙම නව දැනුම තවදුරටත් සමාජවාදී ගමන් මග ශක්තිමත් කිරීම සඳහා ලැබුණු මහඟු වරමක් විය. ලොව පුරා රටවල් විශාල ගණනකින් මෙම පාඨමාලාව හැදෑරීමට මොස්කව් වෙත පැමිණ සිටි එම පාඨමාලාව හැදෑරූ කොමියුනිස්ට් නායකයන්ට සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහයේ මුලසුන දරණු ලැබුවේ එවකට සෝවියට් නායකයා වූ අගමැති නිකිතා කෘෂෙප් විසිනි. එහිදී කේ. පී. රුසියන් භාෂාවෙන් කළ ව්‍යක්ත දේශනය ඇසූ සෝවියට් නායකයා කේ. පී. වෙත පැමිණ ඔහු වැලඳගෙන සුබ පැතුවේය. එය ඔහුගේ ජීවිතයේ අමරණීය මොහොතක් වූවා නිසැකය. 1979 ජූලි 29 වැනිදා සිට පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුර දැරූ ඔහු ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ නායකයෙකු බවටද පත්වූවේය. කොමියුනිස්ට් ව්‍යපාරයේ ක්‍රමයට අනුව පක්‍ෂයේ ලේකම්වරයා එහි නායකයා වන්නේය. ඒ නිසා කේ. පී. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වූවේය. 1994 මහා මැතිවරණයෙන් පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ පක්‍ෂයෙන් නම් කෙරුණේ කේ. පී. සිල්වා මහතාය. පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීමට නම් කරන කණ්ඩායමටද ඔහුගේ නම ඇතුළත් විය. ඒ අනුව කම්කරු පන්තියෙන් පැමිණි මන්ත්‍රීවරයා පහළොස් වතාවක් කතානායක අසුනේ වාඩිවී සභාව මෙහෙයවූවේය.


දරිද්‍රතාව ජීවන දායාදය ලෙස ලබා මෙලොව ජනිතව සකල ලෝකවාසී නිර්ධනයන් සඳහා සුව පහසු ලෝකයක් නිර්මාණය කිරීම සඳහා වූ ජාත්‍යන්තරවාදී අරගලයට තම ජීවිතය කැප කළ කේ. පී. සිල්වා නම් වූ නායකයා පසුගිය සතියේ මෙලොවින් නික්ම ගියේය. ඔහු අපේක්‍ෂා කළ ලෝකය මතු දිනෙක බිහිවනු ඇතැයි ඔහුගේ අනුප්‍රාප්තිකයෝ බලාපොරොත්තු සහගතව සිටිති.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි