සමසමාජ පක්ෂය නමැති රතු බළකොටුවේ දැවැන්ත චරිත අතර ඇගේ නම රැව් දෙන්නේ දක්ෂ කථිකත්වය මෙන්ම වගකීම් දැරීමේ කුසලතාව සතු වූ නායිකාවක ලෙසයි.


විවියන් හා කුසුමා වැනි වීරෝදාර චරිත තරම්ම ජීවන හැලහැප්පීම්වලට මුහුණපෑමට සේවාව සිදු නොවුණත් සමසමාජයේ දැවැන්තයන් අධිරාජ්‍යවාදීන්ගේ නීතිය යටතේ වරෙන්තුකරුවන් හා සිරකරුවන් වූ හැම විටම පක්ෂයේ බර කරට ගැනීමට සිදුවූ චරිත අතර සෝමා ද වූවාය.


සෝමාගේ පියා උග්‍ර සමසමාජ ක්‍රියාකාරිකයකු වූ මහර නුගේගොඩ එච්. ඩී. ඒ. ධර්මවර්ධනය. මව දෙහිඕවිට චාලියාරත්න සමරසේකරය. පවුලේ වැඩිමලා වූ සෝමා හැදුණේ වැඩුණේ ඇගේ මවගේ මව වූ “දෙහිඕවිට ආච්චි” ළඟය.


අටුලුගම සිංහල ඉස්කෝලේත් කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේත් ඉගෙනුම ලැබූ ඇයගේ ජීවන පෙරළිය සිදුකළ බලවේග දෙකක් විය. එකක් තම දෙවැනි තිඹිරිගෙය ලෙස ඇයම ඇදහූ සමසමාජයයි. දෙවැන්න ආනන්දයේදී ඇගේ සිතුවිලි පරම්පරාව මුවහත් කළ ඊ. ඩබ්. අදිකාරම් ගුරු දේවයෝයි.


සෝමා මෙන්ම පෙරළිකාර මන්ත්‍රීවරු රැසකගේ ජන්ම භූමිය වූයේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයයි. බි්‍රතාන්‍ය විරෝධී මාතෘකා රැසක් පිළිබඳව සිසුවෝ මෙහිදී තර්ක විතර්ක කළහ. ක්‍රිකට් වෙනුවට හෙළ කෙළිසෙල්ලම් පාසල් ක්‍රීඩාංගණයට පැමිණියේය. පරගැති චින්තනය අබිබවා අදිකාරම්තුමාගේ දර්ශනය අනුව ජාත්‍යාල හැඟීම් ඉස්මතු විය. අවසානයේ පාසලෙන් එළියට ආවේ රතු කෙල්ලකි.


මැටි්‍රකියුලේෂන් විභාගය සමත් වූ සෝමාට ගුරු වෘත්තිය උරුම වූ අතර කෝට්ටෙන්  කෑගල්ල විදුහලට යාමට සිදු වුවත් පක්ෂය හා තිබූ ළබැඳියාව බිඳකුදු  අඩු වූයේ නැත.


“දුවට දැන් තේරෙනවනේ සමාජෙ හැබෑ තත්ත්වය. ඔයා දැන් ලොකු ළමයෙක් කැමැති තීරණයක් ගන්න” පියා සහ මව දුන් අවවාදයයි.


එබැවින් සෝමාට බලපෑම් නොවිණ. ඇය “හැඳි නොගා සැදූ හොද්දක් මෙන්” තමන්ගේ ගමන්මග තමන්ම තනා ගත්තාය.


1940 දී රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගැසූ සමසමාජ නායකයෝ ඉන්දියාවට පලා ගියහ. ඔවුන්ගේ අඹු දරුවෝද දහසක් දුක්කම්කටොලු මැද රාජ උදහසට ලක් වූහ. ඒ වන විට සෝමාගේ නම කොළොන්නාව අසුන වෙනුවෙන් සමසමාජ ලැයිස්තුවට දමා තිබිණ.


එහෙත් විසි වසරක් යනතුරු පක්ෂයට ශක්තියක් වූවා මිස ඇයට පාර්ලිමේන්තු යාමට නොහැකි විණ. නායකයන් අතර ක්‍රියාකාරිකයකු වූ ටෙරන්ස් ඇන්. ද සිල්වාද සිරභාරයට ගැනිණ. එබැවින් පක්ෂයේ බර ඇගේ කරට වැටිණ. එකල කොළොන්නාවේ සූරිය විදුහලේ ඉංග්‍රීසි ගුරුවරිය ලෙස ඇය සේවය කරමින් සිටියාය.


සමසමාජ බල කණුවක් වූ එඞ්මන් සමරක්කොඩි වෙනත් අසුනකට දැමීම නිසා දෙහිඕවිට ප්‍රබලයෙකු සොයා ගිය සමසමාජය ගුරු වෘත්තියේ නියැළී සිටි සෝමාට ඒ වගකීම පැවරීය. සෝමා ඒ වගකීම නොපිරිහෙළා ඉටුකිරීමේ ප්‍රතිඵලය ලෙස මහජන මන්ත්‍රී මණ්ඩලයේ අසුන් ගැනීමේ ජනවරම ලද්දාය.


කිව යුත්ත කිය යුතු තැනදීම කියා දැමීම සෝමාගේ වාග් චාතුර්යය විදහා පාන ලක්ෂණයකි. ඒ සඳහා ඇයටම ගැළපෙන උදාහරණ වර්ණ හා භාෂා විලාසයක් විය.


බණ්ඩානායක මැතිනිය ඉන්දු - චීන අර්බුදය විසඳීමට ක්‍රියාකරන්නට මැදිහත් වූවාය. ඒ සඳහා ඇය කෙතරම් ඇපකැපවී ක්‍රියා කළාද යත් එම කාලය තුළ රටේ අනිකුත් ගැටලු පවා ඇයට අමතක විය.


සෝමා වික්‍රමනායක මන්ත්‍රීවරිය මේ ගැන පාර්ලිමේන්තුවේදී සිය පක්ෂය වෙනුවෙන් විරෝධය පෑවේ මෙසේය.


“සහෝදරවරුනි, මේ ආණ්ඩුව විසඳන්න ඕනෑ තරම් ප්‍රශ්න තියෙද්දී ඉන්දු - චීන ප්‍රශ්න විසඳන්න යන්නේ මොකටද? ටකරං ගෙවල්වල ජනතාව ඉන්නෙ හරියට පාණ්ඩුකම්බල ශෛලාසනේ වගේ රත්වෙවි උණුවෙවී.” මේව පේන්නෙ නැද්ද?”


“බස් එකටත් පෝලිම්. බේත් ගන්නත් පෝලිම්, දෙපාර්තමේන්තුවලට  තියෙන වැසිකිළි යන්නත් පෝලිම්.”


“ඇඟේ වහන මැස්සන් මදුරුවන්වත් එළවගන්න බැරි අපට මොන බාහිර ප්‍රශ්නද?”


“ඉස්සර ඔන්න බබෝ බිල්ලො එනවා.” කියලා බය කරලා අම්මලා, දරුවන් ගෙට ගන්නවා. අද හැදෙන දරුවො කියන්නෙ” බිල්ලෝ ඔන්න අම්ම එනවා. මාව තියල අම්ම අරන් පලයන් කියලා.” ඒ වගේ විකාර කරන කාලයක් මේක.”

 

 

 

 

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි