කඩුවෙල වසන්ත නමැති නොම්මර එකේ ගණන්කාරයකු කලකට ඉහත මුළු කඩුවෙල ප්‍රදේශයම හොල්ලාගෙන සිටියේය. තරමක් උස හීන්දෑරි තරුණයකු වූ ඔහු පාසල් යන කාලයේ සිටම නම් දරා සිටියේ නොයෙකුත් දඩබ්බරකම් වලටය. මුල් කාලයේදීම නිසි මඟපෙන්වීමක් ලැබුණා නම් ඔහු යහමගට ගැනීමට ඉඩ තිබුණද වසන්තට දේශපාලන රැකවරණ ලබාදෙමින් තම අතකොළුවක් ලෙස යොදාගෙන තිබුණේ එවකට පැවති ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් කීප දෙනෙකි. 


ඔවුන්ට අවශ්‍ය වූයේ ඔහු ලවා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට අඩම්තේට්ටම් කිරීමටය. එවැනි බොහෝ අවස්ථාවලදී වසන්තගේ හිරිහැරවලට ලක්වූ පිරිස් නීතියේ පිළිසරණ පැතුවද ඉහත සඳහන් දේශපාලනඥයන්ගේ ආනුභාවයෙන් නීතියෙන් ගැලවී යාමට ඔහුට හැකිවිය. 


මේ අතර සිදුවූ ආණ්ඩු පෙරළියකින් පසු රටේ පාලන බලය වෙනත් පිරිසක් අතට පත්වුවද වසන්තලාගේ මැරකම් එයින්ද නතර නොවීය. එසේ වූයේ කඩුවෙල වසන්තද තම ගෝල බාලයන් සමඟ ඒ පැත්තේ සිට මේ පැත්තට කරණමක් ගැසූ බැවිනි. කඩුවෙල වසන්ත වැනි පුද්ගලයන් ඉත්තන් ලෙස යොදා ගෙන තම දේශපාලන අවශ්‍යතා පිරිමසා ගැනීමට ඉදිරිපත් වූ දේශපාලනඥයන් අලුතින් බලයට පත්වූ පිරිස අතරද සිටීම නිසා ඔහුට එය වඩාත් පහසු කරුණක් විය. 

 

බුද්දෙ විසින් කඩුවෙල රංකඩු විහාරස්ථානයේදී සිල් ගැන්වූ කඩුවෙල වසන්ත සහ ඔහුගේ ගෝල බාලයන් විහාරාධිපති හිමියන්ගේ ධර්ම දේශනාවකට සවන් දෙමින් සිටින අයුරු. කඩුවෙල ප්‍රදේශීය සභාවේ එවකට සභාපති ධුරය ඉසිලූ ජී. එච්. බුද්ධදාස සහ එවකට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බැසිල් හැරිසන් පෙරේරා යන මහත්වරුද ඡායාරූපයේ දැක්වෙයි.

 

 

ඒ වනවිටත් කඩුවෙල වසන්තට එරෙහිව බරපතළ චෝදනා රාශියක්ම පොලිස් පොත්වල ලියැවී තිබුණේය. ඒ අතර වැඩිපුරම තිබුණේ විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ගැනීම් පිළිබඳ චෝදනාය. මනුෂ්‍ය ඝාතන පිළිබඳවද හෙතෙම සැකයට ලක්වී සිටියේය. එම තත්ත්වය මත රිමාන්ඞ් සිරගෙදර ද කඩුවෙල වසන්තට සුපුරුදු ස්ථානයක් වූයේ ඔහු එහි නිතර ආගිය බැවිනි. 


මේ අතර ඔහුගෙන් කැඩී ගිය දෙතුන් දෙනෙක්ම ප්‍රදේශයේ පාතාල බලය සියතට ගැනීම සඳහා කල් යල් බලමින් සිටියහ. ඔවුන් තම ගෝලබාලයන්ට උපදෙස් දී තිබුණේ ‘කොහොම හරි වසන්තයා ඉවරයක් කරපල්ලා’ යනුවෙනි. ඒ ගැන ඇසූ වසන්ත ද සිටියේ ඕනෑම දේකට සූදානම්වය. 


මේ කාලයේ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දරන ලද්දේ ජී. එච්. බුද්ධදාස හෙවත් බුදෙධ විසිනි. ඔහුගේ ගෝලයෙකු ද ඒ දිනවලම ඝාතනය කර තිබුණේය.  ඒ ගැනද පොලිසියේ සැකය යොමුවී තිබුණේ වසන්ත කෙරෙහිය. 


‘සමහර විට මම අඳුනන හාදයා මැරුවේ වසන්ත වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි මට පෙනුණේ මෙහෙම ගියොත් මේ මිනිහා මුළු කඩුවෙලටම ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවයි කියලා. හැබැයි මිනිහ හොඳ මඟට ගත්තොත් එයින් අපේ පළාතට යහපතක් වෙන්නත් පුළුවන් බව මට පෙනුණා’යි කියමින් එම සිද්ධිය ආවර්ජනය කරන බුද්දෙ ඒ ගැන බොහෝ වේලාවක් කල්පනා කර බලා තමුන් හමුවීමට පැමිණෙන්නැයි කඩුවෙල වසන්තට පණිවුඩයක් යැවීය. එවිට ඔහු සිතුවේ බුද්ධදාසටත් තමන්ගෙන් යම් උදව්වක් ලබාගැනීමට අවශ්‍යවී ඇති බවය. 


‘ඇයි සභාපතිතුමා මට එන්න කිව්වේ. මොකක් හරි ගුස්පියක්ද?’ 


බුද්දෙගේ පණිවුඩය ලැබුණු විගස කඩුවෙල ප්‍රාදේශීය සභා කාර්යාලයට පැමිණි වසන්ත එසේ ඇසුවේ ලොක්කා දෙස විමසුම් බැල්මක් හෙළමිනි. මේ අතර වසන්තගේ ආරක්ෂාවට පැමිණි ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් තම නිල මැදිරියට මඳක් ඔබ්බෙන් රැක සිටින බව බුද්දෙටද රහසක් නොවීය. 


‘වසන්ත මම තමුසෙට එන්න කිව්වේ ලබන සතියේ අපේ ශ්‍රමදානයක් තියෙනවා. ඒකට එන්න කියන්නයි.’ 


බුද්දෙගේ ඒ කතාව ඇසූ වසන්තට පුදුම හිතුණේය. එසේ වූයේ මෙතෙක් තමන්ට හමුවූ කිසිම දේශපාලනඥයෙකු තමන්ගෙන් එවැනි ඉල්ලීමක් නොකළ බැවිනි. ඔවුන්ට තමන්ගෙන් යම් උදව්වක් අවශ්‍ය වූයේ මොකක් හෝ නීති විරෝධී ක්‍රියාවකට බව හෙතෙම දැන සිටියේය. 


‘ඉතින් මොකක්ද සර් මම ඇවිත් කරන්න ඕන?’


‘තමුසෙ විතරක් නෙවි වසන්ත තමුසෙගෙ ගෝලයෝ ටිකත් එක්ක ඇවිත් අපිත් එක්ක හෙට්ටිගේ ඇළ සුද්ධ කරන ශ්‍රමදානෙට හවුල් වෙන්න ඕන...’ 


බුද්දෙ එසේ කීවේ තමන් විසින් ඒ වනවිටත් සංවිධානය කර තිබූ කඩුවෙල හෙට්ටිගේ ඇළ ශුද්ධ කිරීමේ ශ්‍රමදානය ගැනය. ඒ අතර ඔහු තවත් අදහසක්ද සිත තුළ සඟවාගෙන සිටියේය. එහෙත් ඔහු ඒ ගැන වචනයක්වත් නොකීවේ වසන්ත ඊට එකහෙළාම අකමැති වෙතැයි සිතූ බැවිනි. 


‘හරි සර් මම අනිවාර්යෙන්ම කට්ටියක් එක්ක එනවා මම වෙන මොනවද ගේන්න ඕන?’යි ඇසූ වසන්තට ඔහු කියා සිටියේ එම ශ්‍රමදානයට පැමිණ ඊට සහභාගිවීම හොඳටම ප්‍රමාණවත් බවය. 


තමන් වසන්තට එසේ කීවද ඔහු එහි පැමිණෙතැයි හෙතෙම විශ්වාස නොකළේය. එහෙත් ඔහුට තම දෙනෙත් අදහා ගැනීමට පවා නොහැකි වූයේ වසන්ත තම ගෝල බාලයන්ද සමඟ නියමිත වෙලාවට එහි පැමිණ සිටින අයුරු දැකීමෙනි. 


‘ඒ සැරේ අපි කැවුම් කිරිබත් එහෙම කාලා ඇළ සුද්ධ කරන ශ්‍රමදානය පටන් ගත්තා.  වසන්තයි මිනිහගෙ ගෝලයො ටිකයි අපිත් එක්ක හරි හරියට වැඩ කෙරුවා’යි කියන බුද්දෙ වැඩිදුරටත් සඳහන් කරන්නේ දින තුනක් තිස්සේ පැවැති එම ශ්‍රමදාන ව්‍යාපාරය මගින් කාලයක් තිස්සේම වල් බිහිවී පැවැති හෙට්ටිගේ ඇළේ කිලෝ මීටර් 3 1/2ක පමණ දුරක් ශුද්ධ කළ බවය. 


එම ශ්‍රමදානයේ අවසාන දිනයට පසුදා පසළොස්වක පොහොයක් යෙදී තිබුණේය. එදින කඩුවෙල රංකඩු විහාරයේ මහා ශීල ව්‍යාපාරයක් පැවැත්වීමට විහාරාධිපති හිමියන්ගේ  අනුමැතියද ඇතිව බුද්දෙ කටයුතු යොදා තිබුණේය. 


‘වසන්ත තමුසෙයි තමුසෙගෙ ගෝල බාලයො ටිකයි හෙට අපිත් එක්ක සිල් ගන්න එන්න ඕනෑ’. 


ශ්‍රමදානයේ අවසන් දින දහවල් කාලයේ බුද්දෙ වසන්ත තමන් අසලට කැඳවා එසේ කියද්දී ඔහු ඊට එක පයින් කැමැත්ත පළ කළේය. ප්‍රදේශවාසීන් සමඟ උරෙන් උර ගැටී ශ්‍රමදානයට සහභාගි වීමෙන් ඔහුගේ සිතට ඒ වනවිටත් යම් ආශ්වාදජනක හැඟීමක් ඇතිවී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ මුළු කඩුවෙල ප්‍රදේශයම හොල්ලා ගෙන සිටි කඩුවෙල වසන්ත නමැති පාතාල නායකයා සහ ඔහුගේ ගෝල බාලයන් පිරිස සුදුවතින් සැරසී කඩුවෙල රංකඩු විහාරස්ථානයේදී බුද්දෙලා සමඟ පෙහෙවස් සමාදන්වීමට එක්වීමයි. 


‘කඩුවෙල වසන්ත වගේ පාතාල නායකයෙක් ඒ දින කීපයේදීවත් මැරකම් වලින් වළක්වා ගන්න මට පුළුවන්වීම ගැන මම අදටත් සතුටු වෙනවා’ යි කියන බුද්දෙ වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සිද්ධියට අදාළව ගන්නා ලද ඡායාරූප ඒ දිනවල මෙරට බොහොමයක් පුවත්පත්වල පළවී තිබුණු බවය.

 

 

 

 

 

 

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර