ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”03

 

 

“කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට” මවු බිමේ අයිතිය මැතිනිය දිනාගනී, ඉන්දියන් යෝධයෝ දණ ගසති.


මෙවන් සිරස්තල යටතේ 1974.06.29 දින පුවත්පත්වල මුල් පිටු අලංකාර වී තිබිණ. ශ්‍රී ලංකාවේ සැබෑ උරුමය පිළිගෙන කච්චතිව් දූපත ඉන්දියානු ග්‍රහණයෙන් මුදවාගෙන මෙරටට පැමිණි අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට උපහාරයක් ලෙසිනි.

ඇයගේ සමීපතම යෙහෙළිය වූ ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධි සමග පැවැති සුහද එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලය ලෙස කච්චතිව්හි අයිතිය තහවුරු විණ.


කච්චතිව් යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක් දුරින් පිහිටි අක්කර 285ක දූපතකි. භූගෝලීය වෙනස්වීම් නිසා මව්බිමෙන් දුරස්ථ වූ දූපත් සමූහය අතරින් මීට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ඒ අපේ රටට මෙන්ම ඉන්දියාවට ද උපායමාර්ගික මර්මස්ථානයක් වන බැවිනි.


ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් ක්‍රි.ව. 1860දී “සිලෝන්” නමින් කළ ග්‍රන්ථයේ මෙම දූපතේ සිතියමක් අමුණා ඇත. ක්‍රි.ව. 1857 ජනවාරි 15 වැනිදා ජොන් ඇරෝස්මිත් ලන්ඩනයේ දී අඳින ලද යාපන අර්ධද්වීපයට අයත් දූපතක් ලෙස නම් කෙරිණි.


ක්‍රි.ව. 1800 දී ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් ඇතුළත් කරමින් ක්‍රි.ව. 1950දී ආර්. එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ ඛ්බා ඵ්චි ්බා ීමරඩැහි කෘතියේ ද කච්චතිව් දූපත උතුරට අයිති බව දැක්වේ. ඒ නිසා පැරණිකම අනුව එහි ලංකාවට ඇති අයිතිය තහවුරු වේ.


දකුණු ඉන්දියානුන්ගේ තවත් තර්කයක් වූයේ කච්චතිව්හි පිහිටා ඇති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය වසර සියයකට වඩා ඉපැරැණි බවත් ඉන්දියානු හා ශ්‍රී ලාංකික බැතිමතුන් එම මංගල්‍යය සැමරීමට තවමත් පැමිණෙන බවත්ය.


එහෙත් ආගමික අයිතිය තුළින් දූපතේ අයිතිය තීරණය කිරීම සාවද්‍ය බව ඉතිහාසඥයෝ පවසති. අදටත් කච්චතිව් දූපතට පැමිණිමට කිසිදු අවසරයක් අවශ්‍ය නොවන්නේ අප රටට අයිති ප්‍රදේශයක් බැවිනි.
මෙහි කිතුනු දෙව් මැදුර නිර්මාණය කර ඇත්තේ දකුණු ඉන්දියාවේ දෙමළ කතෝලිකයකු වූ ශ්‍රීනිවාස පදෛයාවි විසිනි. එහි පරිපාලනය භාරවී ඇත්තේ යාපනයේ රදගුරු පියතුමාටය. එහෙත් දූපතේ විදුලි බලය, ආහාරපාන හා ආරක්ෂාව රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව අතේය.


තමිල්නාඩුවේ රාමනාත පුරම්හි රාමනාද් රජ පෙළපතට කච්චතිව් හි පාලනය 1802දී සමින්දාර් යුගයේ දී පැවරිණි. ලන්දේසින් නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සංගමය හා සමින්දාර්වරුන් සමග ක්‍රි.ව. 1822 දී අත්සන් කළ ගිවිසුම අනුවද එය පැහැදිලි වෙයි.


මෙලෙස ක්‍රී.ව. 1766දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසින් සමග එළැඹි ගිවිසුම අනුව යාපා පටුන මෙන්ම අවට ප්‍රදේශ ද ඔවුන්ට පවරා දෙනු ලැබිණි. මෙම ගිවිසුම අනුව 18 වන සියවස තෙක්ම උතුරු සයුරේ දූපත්වල අයිතිය සිංහලයේ රජු සතුව තිබී ඇත. එයින්ද දකුණු ඉන්දීයයන්ගේ තර්කය බිඳ වැටෙයි.


එපමණක් නොව කච්චතිව් යන නාමයේ සඳහන් කච්ච යනු දෙමළ නාමයක් යැයි තර්කයක් විය. එහෙත් කච්ච යනුවෙන් දෙමළෙන් උච්චාරණය කළත් නියම නාමය කච්ච යන පාලි වචනය බවත් ඉන් නිරූපණය වන්නේ කැස්බෑවා බවත් භාෂා විශාරදයෝ පෙන්වා දෙති. එනිසා කච්චතිව් කැස්බෑ දූපත බව නිරවුල් වේ.


ඉන්දියාව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ 1947දීය. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ 1948දී. එම නිසා ශ්‍රී ලංකාවට ඇති අයිතිය පිළිබඳ ගැටලුවක් පැන නැගුණේ රාමහිඞ් රාජා නමැති සමින්දාර් යටතේ පාලනය වූ බැවිනි.


කච්චතිව් දූපතට දෙමළ කතෝලිකයන් මෙන් සමින්දාර්වරුන් මෙසේ අයිතිවාසිකම් කියද්දී දකුණු ඉන්දීය දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට එය පත් විණ. මෑතක් වන තුරුම තමිල්නාඩු මහ ඇමැතිනියව සිටි ජයලලිතා ජයරාම් එම දූපත ඉන්දියාව විසින් පවරා ගත යුතු යැයි ප්‍රකාශ කළාය.


මෑත කාලයේදී කාගේත් අවධානය ඊට යොමු වූවේ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට එය යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වීම නිසාය.


එසේම මත්ස්‍ය සම්පත මෙන්ම වෙනත් සාගර සම්පත් ගවේෂණයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගකාරී මෙන්ම මතභේදකාරී උණුසුම් වාතාවරණයක් කච්චතිව් දූපත වටා නිර්මාණය විය.


එමෙන්ම ඈත අතීතයේ පටන්ම මෙම දූපත ජාත්‍යන්තර වෙළෙඳභාණ්ඩ මධ්‍යස්ථානයක්ව තිබී ඇත. ඉන්දියන් සාරි, වේට්ටි, විසිතුරු භාණ්ඩ, තඹ හා පිත්තල භාණ්ඩ හොරෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමත් ඒ වෙනුවට එරට දුර්ලභ භාණ්ඩ වන ටින්කෑම, අරක්කු, විදුලි පන්දම් බැටරි ගෙන යාමත් ක්‍රි.ව. 1965 - 66 වකවානුවේ දී සිදුව ඇත.


යාපනය දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත තැනගේ වාර්තාව එම තොරතුරු හෙළිකරයි. ත්‍රස්තවාදී සමයේදී මෙන්ම දේශසීමා සටන් සමයන්හිදී ද ලොව අවධානය මෙම දූපතට යොමුවූ අතර, ගුවන් හා නාවුක යුද අභ්‍යාස සඳහා ද කච්චතිව් භාවිත කර ඇත.

ලොවම අවධානයට ලක්වූ වැදගත්ම සාධකය වන්නේ මන්නාරම් මුහුදු සීමාවේ මෙන්ම ඩෙල්ප් දූපත අවට ඛනිජ තෙල් පිළිබඳ ඉන්දියාව ඇතුළු බලවතුන් පර්යේෂණ පැවැත්වීමයි. මේ නිසා කුඩා දූපත් කොටසක් වුවත් කච්චතිව් දූපතේ වටිනාකම වචනයෙන් කියා නිම කළ නොහැකිය.


ආසියාවේ බලවතා වීමට සිහින මවන ඉන්දියාව මෙම රන් හා සමාන දූපත අයිතිකර ගැනීමට මාන බැලුව ද ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයන්ගෙන් ඊට කිසිදු බුරුලක් නොලැබිණ.


එහෙත් ඉන්දියානු ගැති පිළිවෙතක් අනුගමනය කළ දේශපාලනඥයන් පිරිසක් බලයට පත් වනතුරු ඉන්දියාව ද ඇඟිලි ගනිමින් සිටියාට සැක නොමැත. ඒ ගැන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් නමැති ද්‍රවිඩ ව්‍යාපාරය දශක ගණනාවක් තිස්සේ මධ්‍යම රජයට බලපෑම් කරමින් ශ්‍රී ලංකාවට අභියෝග කළහ.


ක්‍රි.ව. 1947 සිට පැවැති මෙම ජාත්‍යන්තර අර්බුදයට තිත තැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අතර ක්‍රී.ව. 1974 ජූනි 26දා අත්සන් කළ ගිවිසුම තුළිනි.


එය ක්‍රියාත්මක වීමට පෙර 1965දී ඇගේ රජය බිඳ වැටිණ. අනතුරුව ඩඞ්ලි සේනානායක ආණ්ඩුව බලයට පත්වූ නමුත් 1968 දී ඉන්දිරා සමග පැවැත්වූ සාකච්ඡා ඵල රහිත විය. ඒ තමිල්නාඩුවේ බලපෑම් නිසාය.
යළි 1970දී බලයට පැමිණි අගමැතිනි සිරිමාවෝ 1974 දී ඉන්දිරා මුණගැසී විශේෂයෙන් කච්චතිව් දූපත පිළිබඳ ශ්‍රී ලංකාවේ අයිතිය තහවුරු කරගත්තාය.


එම ගිවිසුම ඉන්දීය විදේශ ලේකම් වූ කේවල් සිං විසින් මෙරටට රැගෙන ආ අතර විදේශ අමාත්‍යාංශයේ දී ජූලි 26දා අගමැතිනිය ඊට අත්සන් තැබුවාය. අනතුරුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ලේකම් වූ ඩබ්.ටී. ජයසිංහ මහතා එම ගිවිසුම නවදිල්ලිය වෙත රැගෙන විත් ජූනි 28 වනදා අත්සන් තබන ලදී.


දෙවසරක් පුරා උග්‍ර වී තිබූ මෙම අවුල විසඳීමත් සමගම සිය මාළු දැල් එළා ගැනීමට ඉන්දීය ධීවරයන්ට අවසර ලැබිණ. එනිසා හොර බඩු වෙළෙඳාම හා අනවසර ඉන්දියානු සංක්‍රමණය අවසන් විණ. ආගමික සහජීවනය ද රටවල් දෙකටම වූයේ ශාන්තියකි.


බණ්ඩාරනායක මැතිනිය ජාත්‍යන්තරයට ලැබූ මෙම ජයග්‍රහණය තුළින් අපේ රටට තවත් වැදගත් බලාපොරොත්තුවක ඉඟියක් ඉතිරි විය. එනම් ආර්ථික අතින් අපේ රටට අභිමානයක්ව හිස එසවිය හැකි සේ කච්චතිව් දූපත අවටින් තෙල් නිධියක් මතුවේය යන ප්‍රාර්ථනාවයි.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි