විප්ලවය අත් නොහළ මහමුදලිගේ මුනුපුරා-02

 

මදුරාසියේ ට්‍රැවන්කෝර් විශ්වවිද්‍යාලයට බැඳුණු ඔහු කෘෂිකර්ම විෂය පිළිබදව හැදෑරුවේය. එහි ඉගෙනීම නිමා කර ආපසු පැමිණි ඇස්. ඩී. යුද්ධ සමයේ ආහාර නිෂ්පාදනය සඳහා ඇති කර තිබුණු ගොවි හමුදාවේ උසස් නිලධාරියකු ලෙස සේවයට බැඳුණේය. නොයෙක්විට තම සහෝදර උසස් නිලධාරීන් සමග ගැටෙමින් මහ පොළව සමග හැප්පෙමින් දාඩිය වගුරණ, වැඩ කරණ ගොවි භටයන්ට සහනය ලබාදීමට කටයුතු කළේය. වරක් මේ කරුණ නිසා ඔහු අමාරුවේ වැටුණේය. කම්කරුවන්ට උපකාර කරන කොමියුනිස්ට් වාදියෙකැයි ඇස්. ඩී. ට චෝදනා නැගුණි. වෘත්තීය සමිතියක කටයුතු ඔහු සිදු කරන්නේ යැයි රජය චෝදනා කළේය. සිදු වී තිබුණේ මහන්සි වී වැඩ කරන ගොවි හමුදා භටයන්ට පෝෂ්‍යදායක ආහාරයක් වශයෙන් කිරිපැණි ලබාදීමය. ඔවුන් බොහෝ දෙනා මැලේරියාවෙන් පෙළෙන්නන්ය. මෙහි නිවැරදි තත්ත්වය තේරුම් ගැනීමට පාලකයෝ අසමත් වූහ. ඇස්. ඩී. ගොවි හමුදා සේවයෙන් නෙරපන ලදී.

ඉන්දියාවේ අධ්‍යාපනය ලබන සමයේ ඔහු භාරත නිදහස් සටනේ නායකයන් මුණ ගැසුණේය. මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, සුභාෂ චන්ද්‍රබෝෂ් ආදීන් හමුවීමට ඔහුට අවස්ථාව ලැබුණි. ඇස්. ඩී. ගේ සිත්ගත් නායකයා වූවේ සුභාෂ් චන්ද්‍රබෝෂ්ය. ඔහු විප්ලවවාදියෙකි. භාරත නිදහස උදෙසා ගාන්ධිගේ අවිහිංසා ක්‍රමය යොදා ගැනීම සුභාෂ් පිළිගත්තේ නැත. ඔහු දැඩි ප්‍රතිපත්තියක සිටියේය. අවිහිංසාවාදී නිරායුධ සටන් ව්‍යාපාරයක් වැඩ පැවැත්වීමට අවශ්‍ය වන්නේ සන්නද්ධ වූ පොලිස් නිලධාරීන් සුළු පිරිසකැයි බෝෂ් පෙන්වා දුන්නේය. ඒ නිසා දේශයේ විමුක්තිය පතා සන්නද්ද අරගලයක් දියත් කළ යුතු බව සුභාෂ්චන්ද්‍ර බෝෂ් යෝජනා කළේය. ඔහු ඒ අනුව ක්‍රියා කළේය. ඇස්. ඩී. ගේ චින්තනයේ විප්ලවවාදී අදහස් රෝපණය වීමට මෙම අදහස් බලපෑ බව නිසැකය.


ගොවි හමුදාවෙන් නෙරපනු ලැබූ තරුණ ඇස්. ඩී. බණ්ඩාරනායකයන් සමාජයට පිවිසෙනවාත් සමගම ශ්‍රී ලංකා දේශපාලනයේ නව සංධිස්ථානයකට මුල් වෙමින් එවකට රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමති සහ සභානායක ධුරය දැරූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම රජයෙන් ඉවත්ව ජනතාව අතරට ආවේය. මේ සිදුවීම් දෙක සිදුවූවේ සති දෙකක් එහි එක් ප්‍රතිඵලයක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපතයි. එම පක්ෂයේ ආරම්භක විධායක කාරක සභාවේද ඇස්. ඩී. කටයුතු කළේය. ඒ සමගම වාගේ 1952 මහා මැතිවරණය එළඹුණු අතර ශ්‍රීලනිපයෙන් ආසන ජයගත්තේ නව දෙනකු පමණි. ගම්පහ කොට්ඨාසය ජයගත් ඇස්. ඩී. මැතිසබයට ගියේ එම පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා වශයෙන් යැයි කියැවේ. එවකට විපක්ෂ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා දිනක් ඇස්. ඩී. ට විශාල වගකීමක් පැවරුවේය. එනම් එකල සෝවියට් දේශය, චීනය ඇතුළු සමාජවාදී රාජ්‍ය පද්ධතිය සමග තානාපති සබඳතා ඇති කරගෙන තිබුණේ නැත. එනිසා එම රටවල සංචාරයක යෙදී ඒ රටවල සිදුවන සංවර්ධන ක්‍රියාදාමය ගැනත් මතු අනාගතයේදී ශ්‍රීලනිප බලයට පැමිණි අවස්ථාවකදී එම සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සොයා බලන ලෙසත් එම සමාජවාදී රටවල් සමග තානාපති සබඳතා ඇති කර ගත යුතු ආකාරය ගැනත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.


ඒ අනුව 1952 සැප්තැම්බර් අවසාන භාගයේ චීනයට ගිය ඇස්. ඩී. ගේ කණ්ඩායමට පිලිප් ගුණවර්ධන, එඞ්මන්ඞ් සමරක්කොඩි, එච්. ජී. ඇස්. රත්නවීර, කේ. වෛකුණ්ඪවාසන්, නරාවිල ධම්මරතන හිමි ආදී පිරිසක් ඇතුළත් වූහ. මේ ගමනේදී ප්‍රථම වරට චීන නායකයන් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය. එදා මෙදා තුර පුරා හැට හය වසරක් පුරා අපේ රටට විපුල ඵල ප්‍රයෝජන අත්කර දෙන චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට මග පෑදුණේද මෙම සාකච්ඡා වටයේදීය. එමෙන්ම අභාවයට පත්වන තුරුම එම චීනය සමග වූ ගැඹුරු ආදරණීය සම්බන්ධය මොහොතකටවත් අඩුකර ගත්තේ නැත. මෙම සංචාරයේදී සෝවියට් දේශයට ගිය ඇස්. ඩී. ගේ කණ්ඩායම සෝවියට් නායක ස්ටාලින් හමුවී සාකච්ඡා කළේය. පෝලන්තයේ නායක ගොමුල්කා, චෙකොස්ලෝවෙකියා අගමැති ෆිරෙන්කියවිෂ් වැනි නැගෙනහිර යුරෝපයේ බොහෝ නායකයන් හමුවී සාකච්ඡා කළේය. පසු කලෙක උතුරු කොරියානු නායක කිම් ඉල් සුං කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ ආදීන්ගේද සමීප ඇසුරක් ඇති කර ගැනීමට හැකි විය.


පසුකලෙක චීනය සහ සෝවියට් දේශය අතර කොමියුනිස්ට් විප්ලවය සිදුවිය යුතු ආකාරය ගැන උග්‍ර මතබේදයක් හටගත්තේය. සාමකාමී සහජීවනය පදනම් කොටගෙන ධනවාදී රටවල විප්ලවය සිදුවිය යුතු යැයි සෝවියට් හිතවාදීහු දැඩි ලෙස කියා සිටියහ. ධනවාදී සහ සමාජවාදී යන කඳවුරු දෙකම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධව සිටියදී ආයුධ සන්නද්ධ විප්ලව සිදුකිරීම අනතුරුදායක බවත් එම ක්‍රියා දිග්ගැස්සී ගියහොත් ලොවම විනාශ වී යා හැකි යැයිද අනතුරු හැඟවීය. එහෙත් චීනය දැරූ මතය වූවේ අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියකු බවත් එනිසා නිර්භයව ආයුධ සන්නද්ධ විප්ලවය දියත් කළ යුතු බවය. චීන නායක මාඕ සේතුංතුමාගේ ප්‍රකට කියමනක් වූවේ තුවක්කු බටය හරහා මිස ජයග්‍රහණයක් නොමැති යන්නයි. මෙම න්‍යායික මතභේදය උත්සන්න වීමෙන් සමස්ත ලෝකයේම කොමියුනිස්ට් ව්‍යාපාරය දෙකඩව ගියේය. මේ වන විට ඇස්. බී. බණ්ඩාරනායක මහතා ගම්පහ මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් විය. චීනය කෙරෙහි වන අසීමිත දේශපාලන බද්ධ ප්‍රේමය හේතුකොටගෙන ඔහු චීනයට පක්ෂව ලංකාවේ චීනයට පක්ෂවූ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධවී එහි දියුණුවට කටයුතු කළේය.


ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ නායකයන් වූවේ ඇන්. ශන්මුගදාසන්, ප්‍රේමලාල් කුමාරසිරි, වොට්සන් ප්‍රනාන්දු ආදීන්ය. එහෙත් මෙම පක්ෂයේ සියලුම දෙනා අතරින් ඉහළින්ම කැපී පෙනුණේ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාය. දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු වශයෙන් කළ සේවය එයට හේතු කාරණා විය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උභතෝකෝටිකයක් වූවේ නිරායාසයෙනි. එම පක්ෂයේ ප්‍රබලයෝ ඇස්. ඩී. ගේ චීනය කෙරෙහි ඇති සම්බන්ධය ගැන පක්ෂ නායකත්වයට ගතු කීහ. අවසාන ප්‍රතිඵලය වූවේ ඔහුගේ දීප්තිමත්ව පැවති දේශපාලන අනාගතය අඳුරුවීමය. මේ වන විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ගොඩනගා ගත් නායකයෙක් සිටියේය. 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ