මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙහෙයවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නම්වූ සංවර්ධන ප්‍රදර්ශනය පසුගියදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරුණි. එයට සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වූ ජනහමුවක් ද මොනරාගලදී පැවැත්වුණි. “සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය අරමුණු කරගත් ව්‍යවසායකයන් දිරිගන්වන 2025 දී පොහොසත් රටක්” යන්න එම වැඩසටහනේ තේමාව බව කියවේ. මෙම ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා මොනරාගල වැනි ඈත දුෂ්කර ප්‍රදේශයක් තෝරා ගැනීම අතිශයින්ම වැදගත් කරුණක් වනු නිසැකය. “කොළඹට කිරි - අපට කැකිරි” යනුවෙන් චෝදනාත්මක ප්‍රස්ථාපිරුළක් පවා ඇතිවී ඇත්තේ සියලු වරප්‍රසාද කොළඹට හා තදාසන්න ප්‍රදේශවලට කේන්ද්‍රගතව තිබෙන බවට පවතින මතවාදය නිසාය.


ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අතිශය බහුතරය ග්‍රාමීය ජනතාව බව නොරහසකි. එසේ තිබියදී කොළඹටම කේන්ද්‍රගතවූ ආර්ථිකයක් පැවතීම අසාර්ථක ප්‍රයත්නයක් බව වත්මන් රජය අවබෝධ කරගෙන ඇති සෙයකි. තමන්ගේ සංවර්ධන ඉලක්ක සහ අරමුණු ජනතාව වෙත ගලායාම සඳහාත් ඔවුන් දිරිගැන්වීම සඳහාත් මෙයට පෙර ජාතික මට්ටමේ ව්‍යාපෘති මෙන්ම ප්‍රදර්ශනද ක්‍රියාත්මක වූ බව අපට මතකය. ඒවා සිදුකළේ කොළඹ නගරයේ බවද සිහිකළ යුතුමය. එයින් ප්‍රමුඛතම අවස්ථාව වන්නේ ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ පාලන සමයේ කොළඹ වික්ටෝරියා උද්‍යානයේදී පවත්වන ලද “කොළඹ ක්‍රමය” ප්‍රදර්ශනයයි. මෙම ප්‍රදර්ශනය ගැන ආවර්ජනය කිරීමේදී එදා පැවති දේශපාලන සහ සමාජයික වශයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් මතුවීම නිසා මෙය සාකච්ඡාවට බඳුන්කිරීම කාලීන අවශ්‍යතාවක් යැයි සිතමි. 


කොළඹ, ධර්මපාල මාවතේ නගර ශාලාව ඉදිරිපිට මංසන්ධියේ තිබෙන ස්මාරකයකි. එහි පුවරුවක සිංහල භාෂාවෙන් මෙසේ සටහන් කර ඇත. 


“මේ ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තැන්පත් අතිගරු ඩී. ඇස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1950 ජනවාරි මාසයේදී කොළඹ ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශීය ඇමැතිවරුන්ගේ ඉදිරියට පත් දකුණු හා අග්නිදිග ආසියාවේ ආර්ථීක හා සාමාජික සංවර්ධනය සඳහා ඇතිවූ කොළඹ ක්‍රමය සම්බන්ධයෙනි. 


මීට සහභාගීවන රටවල් නම් අවුස්ත්‍රේලියාව, කැනඩාව, ලංකාව, ඉන්දුනීසියාව ලේඕස්, මලයා, මාලදිවයින්, උතුරු බෝර්නියෝ, පාකිස්තානය, පිලිපයින්, සරවක්, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ප්‍රදේශය, වියට්නාමය. 

 

 


සංවිධාන මණ්ඩලය


මුදල් ඇමැති - ගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 


මංමාවත් හා කර්මාන්ත ඇමැති - ගරු සර් ජෝන් කොතලාවල මැතිතුමා :ණඊෑ* 


ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැති - සර් ඔලිවර් ගුණතිලක මහතා :ණක්‍ඵඨල ණඊෑ*


මෙම සටහන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තුන් බසින්ම හා හින්දු, උර්දු මෙන්ම තවත් භාෂා දෙකකින් එම පුවරුවේ සටහන් කර ඇත. ඒ භාෂා දෙක ප්‍රංශ භාෂාව සහ ස්පාඤ්ඤ භාෂාව විය හැකියයි මම අනුමාන කරමි. වියට්නාමයේ ප්‍රංශ භාෂාවත්, පිලිපීනයේ ස්පාඤ්ඤ භාෂාවත් භාවිත වන නිසා එය එසේ වන්නට ඇත. එදා වික්ටෝරියා මහ රැජිනගේ නාමයෙන් හැඳින්වුණු වර්තමානයේ විහාර මහා දේවි උද්‍යානය යැයි නැවත නම් කරන ලද ස්ථානයේ අබියස මෙම ස්මාරකය පිහිටුවා තිබෙන්නේ “කොළඹ ක්‍රමය” ප්‍රදර්ශනය පැවැත්වුණේ එම උද්‍යානය තුළ වීම නිසාය. 


මෙම ප්‍රදර්ශනය පමණක් නොව ඒ හා සම්බන්ධ මුළු ක්‍රියාකලාපයම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් සහ ජයග්‍රහහණයක් වූවේය. සමස්තයක් ලෙස සැලකුවහොත් එය ශ්‍රී ලංකාවේ එවකට මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාර්යශූරත්‍වය හා රාජ්‍යතාන්ත්‍රිය උපාය මාර්ගයන්හි දක්‍ෂතාව පෙන්වන කැඩපතක් බඳු වූවේය. එම ප්‍රයත්නය මෙසේ කැටි කර දැක්විය හැකිය. 1949 ජූලි මාසයේදී ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් ඇමැතිවරුන්ගේ සම්මේලනයක් පැවැත්වුණි. එහි එක් මාතෘකාවක් වූවේ දකුණු හා අග්නිදිග ආසියාතික රටවල දුප්පත්කම පිටු දැකීම සඳහා යම් වැඩපිළිවෙළක් ඇතිකිරීම විය. එම සභාවාරයේදී එම යෝජනාව අනුමත විය. මෙහි දෙවැනි පියවර වූවේ 1950 ජනවාරි මාසයේ කොළඹදී රැස්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවට මෙම යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡාවට ගැනීමයි. ඉන්දියාව නියෝජනය කරමින් අගමැති ශ්‍රී නේරු සහ විදේශ ඇමැති ක්‍රිෂ්ණ මෙනන්ද සහභාගී වූහ. ඕස්ටේ්‍රලියාවෙන් පැමිණි විදේශ ඇමති සර් පර්සි ස්පෙන්චර්ද ජේ. ආර්. ට සහාය දුන් බව කියවේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ කොළඹ සමුළුව වෙත ලංකාවේ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මෙසේ විය. 


“පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් හෝ ඉන් පිටස්තර අග්නිදිග ආසියා කලාපයේ ඌන සංවර්ධිත රටවල ජීවන තත්ත්වය නංවාලීම සඳහා රැකියා පහසුව ඉහළ මට්ටමකින් හා ස්ථාවර තත්ත්වයකින් පවත්වාගෙන යාම සහ එය සහතික කිරීම සඳහා ඒ රටවල කෘෂිකාර්මික සහ කර්මාන්ත ක්‍ෂෙත්‍රවල ආර්ථික ව්‍යුහයන් ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වේ. 


එබැවින් එම රටවල් සංවර්ධනය කිරීම සඳහා දස අවුරුදු යෝජනා ක්‍රමයක් සැලසුම් කිරීම සඳහාත් ඊට අවශ්‍ය තොරතුරු සපයා ගැනීම සඳහාත් අදාළ රටවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට මෙම සම්මේලනය එකඟත්වය පළකරයි. මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල්, තාක්‍ෂණික ඥානය, යන්ත්‍රෝපකරණ සැපයීමෙන් හා නිශ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීමෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ අවශේෂ රටවලට මෙහිලා සහාය විය හැක්කේ කෙසේදැයි විමසා බැලිය යුතුය. 

 


විශේෂ කමිටුවක් මගින් මෙම සැලසුම් විශ්ලේෂණයකර, අදාළ රටවලට ගොස් තතු පරීක්‍ෂා කර බැලීමෙන් පසු යෝජනා ක්‍රියාත්මක කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් දායක විය හැක්කේ කෙසේදැයි වාර්තා කළ යුතුය.”
මෙම යෝජනාව සම්බන්ධව සාකච්ඡාව සිදුවෙද්දී ඉන්දීය නියෝජිත පිරිසේ නායක අගමැති ශ්‍රී නේරු, කැනඩා නියෝජිත ලෙස්ටර් පියර්සන් මෙන්ම බි්‍රතාන්‍ය නියෝජිත අර්නස්ට් බෙවන් විදේශ ඇමැතිවරයා ආදී කිසිවෙකු මෙම යෝජනාව ගැන ක්‍රියාශීලී සහයෝගයක් දැක්වූවේ නැත. එහෙත් ජේ. ආර්. ගේ රාජ්‍යතාන්ත්‍රික දැනීමේ උසස් බවත් කෘතහස්ත බවත් නිසා උපක්‍රමශීලීව මෙම යෝජනා ක්‍රියාත්මක වන ආකාරයට ඉදිරියට ගෙනයාමට ඔහුට හැකිවිය. එහෙත් පාකිස්ථානය ජේ. ආර්. ට සහාය දැක්වීය. 


මෙසේ ක්‍රියාවට නංවන ලද ආර්ථික සැලසුම් වැඩසටහන හැඳින්වුණේ “කොළඹ ක්‍රමය” යනුවෙනි. එය 1950 දී ආරම්භ වූ අතර ජේ. ආර්. මුදල් ඇමැතිවරයා ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙසේ පැවසීය. 


“දකුණු සහ අග්නිදිග ආසියාවේ සාමූහික ආර්ථික අභිවර්ධනය සඳහා වූ “කොළඹ ක්‍රමය” එම කලාපයේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණවලට අදාළ “ශ්‍රේෂ්ඨවූත්” ප්‍රාතිහාත්මකවූත් වැඩපිළිවෙළක් බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබේ. කෘෂිකර්මය කර්මාන්ත, ව්‍යාපාර, ප්‍රවාහන හා සන්නිවේදන කටයුතු ඉන්ධන සහ බලශක්ති හා සමාජ සංවර්ධන ක්‍රියාදාමයන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන ඉන්දියාව, පාකිස්ථානය, ලංකාව, මලයාව, සිංගප්පූරුව, උතුරු බෝර්නියෝ සහ සරවක් යන රාජ්‍ය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත සය අවුරුදු යෝජනා ක්‍රමයකි. දකුණු සහ අග්නිදිග ආසියාවේ සෙසු රටවල්ද මෙවැනිම යෝජනා ක්‍රම සැලසුම් කර මෙම සාමූහික ප්‍රයත්නයට සහභාගීවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 


අදාළ රටවල් මෙම සය අවුරුදු කාලසීමාව තුළදී සිදුකෙරෙන සංවර්ධන යෝජනා ක්‍රමවල මුළු වටිනාකම රන් පවුම් මිලියන 1863 කි. (රුපියල් මිලියන 24,244 කි.) මින් රන් පවුම් මිලියන 1863 ක් (රුපියල් මිලියන 1084 ක් බාහිර අරමුදල් වන අතර ඉන් රන් පවුම් මිලියන 246 ක් එක්සත් රාජධානියේ තැන්පත්ව තිබෙන රන් පවුම් ශේෂවලින් ලබාදෙනු ඇත. මෙකී හය අවුරුදු කාලය තුළදී මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට වැයවන මුදල රන් පවුම් මිලියන 102 කි. (රුපියල් මිලියන 1359 කි.) ඉන් රන් පවුම් මිලියන 60 ක් බාහිර අරමුදල් වන අතර එම මුදලින් රන් පවුම් මිලියන 19 ක් බි්‍රතාන්‍යයේ තිබෙන රන් පවුම් ශේෂයෙන් ලැබෙනු ඇත.


කොළඹ ක්‍රමයේ ආරම්භය එසේ විය. එහි අනුග්‍රහයෙන් වික්ටෝරියා උද්‍යානයේ ආරම්භ වූ කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය එම යුගයේ හැටියට බොහෝ සුබවාදී මහජන ප්‍රතිචාරවලට ලක්වූ සිදුවීමක් විය. වර්තමානයේ තරම් පොදු කටයුතුවලට ජනතාව ඇදී එන යුගයක් නොවූ එකල ප්‍රදර්ශනය ආරම්භවන දිනට පෙර දින රාත්‍රියේ සිට ජනයා පෝලිම් ගැසී සිටි බව පුවත්පත්වල පළවිය. එයට පෙර ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් පවත්වා නොතිබීම එයට එක් හේතුවක් වූ බවද එම වාර්තාවල සඳහන් විය. 


“කොළඹ ක්‍රමය” මහා ප්‍රදර්ශනය විවෘත කිරීමට ආරාධනා කරනු ලැබ සිටියේ එහි සම්භාවනීයත්වයටම ගැළපෙන පරිදි බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරිය වූ එලිසබෙත් මේරි ඇලෙක්සැන්ඩ්‍රාවෝය. එවකට බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ සිහසුන දැරූ හයවැනි ජෝර්ජ් මහ රජතුමාගේ වැඩිමහල් දියණිය වූ ඇයට මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට ආරාධනා කිරීමෙන් කොළඹ ක්‍රමය ප්‍රදර්ශනයට හිමිව තිබුණු ඉහළ තත්ත්වයට රාජකීය බවක්ද ආරෝපණය කර තිබුණි. මේ වනවිට ඔටුන්න හිමි එළිසබෙත් කුමාරිය ලෝක සවාරියක නිරතවීමට සැලසුම් කර තිබුණු නිසා ඒ අතරවාරයේ ලංකාවටද පැමිණ මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට සූදානමින් සිටියාය. ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් පිටත්ව ඇය සංචාරය ආරම්භ කළාය. ප්‍රථමයෙන්ම අප්‍රිකාවට සැපවත්ව එහි පොදුරාජ්‍ය මණ්ඩලීය බි්‍රතාන්‍ය යටත් විජිත වශයෙන් පැවති ටැන්ගනිකාව සහ උගන්ඩාව හරහා ඇය කෙන්යාවට සපිරිවරින් පැමිණියාය. එහිදී නයිරෝබි නගරය ආසන්නයේ එළිමහන් සත්ව උද්‍යානයක සතුන් නරඹමින් සිටියදී හදිසියේ ලැබුණු විශේෂ පණිවුඩයකින් ඇය මහත් කම්පාවට පත්වූවාය. එසේ ලැබුණු රාජකීය පණිවුඩයෙන් කියවුණේ සිය පියාණන් වූ හයවැනි ජෝර්ජ් මහ රජතුමා අභාවප්‍රාප්ත වූ බවත් එනිසා රාජ්‍යයේ සිහසුන භාරගැනීම පිණිස නොපමාව පැමිණෙන ලෙසත්ය. ඒ අනුව ලෝක සංචාරය අතහැර දැමූ එළිසබෙත් කුමරිය ආපසු ලන්ඩනය බලා පිටත්වූවාය. ලංකා සංචාරය නිරායාසයෙන්ම අවලංගු විය. 

 


මේ එක්දහස් නවසිය පනස් එකේ මාර්තු මාසය විය. ප්‍රදර්ශනය විවෘත කර ගතවූවේ දින කීපයක් පමණි. පුවත්පත් වාර්තාවලින් කියවුණේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල ජනතා උනන්දුවක් පවතින බවයි. විශේෂයෙන්ම ප්‍රසිද්ධ වේදිකාවේ රඟදැක්වුණු දේශීය සහ විදේශීය නැටුම් රංගන මහත් අගය කිරීමට ලක්වූ බව ඡායාරූප සහිතව පළවිය. වික්ටෝරියා උද්‍යානය සැණකෙළි සිරියෙන් ඇළලී තිබුණි. අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතා මෙම ක්‍රියාවලිය පිළිබඳව ආරම්භයේ සිටම විශාල උද්‍යෝගයකින් කටයුතු කළේය. එය ආරම්භ වූ පසුද එතුමා මහත් සතුටකින් යුතුව සිටිනු දක්නා ලදී. 


අගමැතිතුමා සෑම උදෑසනකදීම තම අසු පිටින් ගෝල්ෆේස් තණතිල්ලේ සංචාරයක යෙදීම සිරිතක් කොටගෙන සිටියේය. ඒ ශරීර අභ්‍යාසය පිණිසය. එතුමා සතු ඇම්බර් නමැති අශ්වයා යොදාගැනීම සාමාන්‍ය සිරිත වුවත් එදින ඒ සඳහා උපයෝගී කර ගනු ලැබුවේ පොලිසිය සතු චිත්‍රා නමැති වෙළඹයි. එයට හේතුවූවේ ඒ දිනවල “ඇම්බර්” මදක් දඩබ්බර ලෙස හැසිරීමයි. එවකට පොලිස්පති සර් රිචඞ් අළුවිහාරේ මහතාද අසෙකු පිට නැගී ව්‍යායාම් කිරීමෙහි යෙදී සිටියේය. හදිසියේම සිදුවූ අශ්වයාගේ කලබලකාරී හැසිරීමක් නිසා අගමැතිතුමා බිමට වැටීමෙන් බරපතළ තුවාල ලැබුවේය. මේ නිසා මහරෝහලට ඇතුළත් කරන ලදුව පසු දින පෙරවරුවේ නැවත සිහි නොලබාම කලුරිය කළේය. 


අග්‍රාමාත්‍යතුමාගේ අභාවයෙන් රටම කම්පාවට පත්විය. එතෙක් වික්ටෝරියා උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදී රංගනයේ යෙදුණු ඉන්දියානු බෙංගාලි නර්තනවේදිනියක වූ රානි චෞද්රිගේ සහ තායිලන්ත ජාතික ෂින්ගේද නැටුම්වලට වශීකෘතව සිටි ජනතාවෝ කඳුළු සලමින් අගමැතිතුමාගේ අභාවය වෙනුවෙන් වැලපෙන්නට පටන් ගත්හ. 1952 මාර්තු 22 වන දින පුවත්පත් වාර්තා කර තිබුණේ කොළඹ ක්‍රම ප්‍රදර්ශනය දශ ලක්‍ෂයක් දෙනා නරඹා තිබූ බවයි. එයට සහභාගී වූ නොයෙකුත් රටවල්වලට අයත් ප්‍රදර්ශන කුටිවල දකින්නට ලැබුණු නව තාක්‍ෂණය, නව සන්නිවේදනය, සංවර්ධන තාක්‍ෂණය ඒ වනවිට ලංකාවට ලැබී නොතිබුණු නිසා ලංකාවාසීහු එම මෙවලම් දැකීමෙන් මහත් පුදුමයට පත්වූ බවද පුවත්පත්වල පළවිය. 


මෙරට නිදහස් අරගලයට නායකත්වය දීම නිසා ජාතියේ පියා යන විරුදාවලිය ලැබූ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතාණන්ගේ අභාවය මෙරටට අත්වූ මහත් පාඩුවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එමගින් නිර්මාණය වූ දේශපාලන අර්බුදද බොහෝය. එමෙන්ම ඒ වනවිටත් යටත් විජිත රාශියක් අයත්වූ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ දැරූ හයවැනි ජෝර්ජ් මහ රජතුමා කලුරිය කිරීමත් ඒ වෙනුවට දෙවැනි එළිසබෙත් මහා රාජිනිය පත්වීමත් යන සියලු සිදුවීම් කොළඹ ප්‍රදර්ශනයට අඩුවැඩි වශයෙන් යම් පමණකට සම්බන්ධව තිබීම විශේෂ කරුණක් වනු ඇත. 


එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොනරාගලදී පැවැත්වෙන මොහොතේදී මෙයට දශක හතකට ආසන්න කාලයකට එපිටදී පවත්වන ලද කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය සිහියට නැගුණේ අපේ සංවර්ධන ප්‍රයත්නයේ අතීත පියවරක් වර්තමාන පරපුරට මතක් කරදීම වෙනුවෙනි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : චතුර එස්. කොඩිකාර