පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම උප ඇමති රාජ්‍ය ඇමති, ඇමති දක්වා වැටුප් වැඩිකර එය ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ වැටුපට සමාන වන ලෙස සංශෝධනයක් කළ යුතු බවට යෝජනාවක් පක්ෂ නායක සාකච්ඡාවේ දී තීරණය වී ඇත.


මෙම වැටුප් වැඩිවීමට අදාළව, මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 54,285 සිට රුපියල් 120,000 දක්වාත් උප ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 63,500 සිට රුපියල් 135,000 දක්වාත් ඇමති හා රාජ්‍ය ඇමති වැටුප රුපියල් 65,000 සිට රුපියල් 140,000 දක්වාත් වැඩි කිරීමට නියමිත බව ඉකුත් දිනක පළ කෙරුණු ඉරිදා ලංකාදීප පුවත්පතින් අනාවරණය කර තිබුණි.


මෙම වැටුපට අමතරව මන්ත්‍රීවරයකුට (1) සංග්‍රහ දීමනාව (2) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමේ දීමනාව (3) කාර්යාලයක් පවත්වා ගෙන යෑමේ දීමනාව (4) තැපැල් දීමනාව (5) දුරකථන දීමනාව (6) ඉන්ධන දීමනාව සඳහා මසකට තව රුපියල් ලක්ෂ කීපයක මුදලක් හිමිවෙන බවත් එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත.


ඉකුත් රජය විදේශීය හා දේශීය වශයෙන් ලබාගෙන ඇතැයි කියන ණය කන්දරාව පියවීම සඳහා ජනතාව පිට පටවා ඇති බදු බර උසුලා ගෙන යෑමට මිනිසෙකුට නම් කෙසේවත් පහසු නොවන හෙයින් ඒ සඳහා අලියෙකුගේම සහය ලබා ගැනීමට සිදුවුවහොත් එය පුදුමයක් නොවේ. ඒ සා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට අසරණ ජනතාව පත්ව සිටිද්දී එම ජනතාවගේම බදු මුදල් වලින් සුර සැප විඳීමට දේශපාලකයන් වෑයම් කරතොත්, එය මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද? මොවුන්ට රෙද්දක් හැඳගෙන යළිත් ජනතාව හමුවට යා හැකිද?


අද තත්ත්වය එසේ වුවත් 1931 පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් වෙනුවෙන් ලබා දී ඇත්තේ වැටුප් හා ගමන් ගාස්තු පමණක්මය. ගමන් ගාස්තු ද දුර ප්‍රමාණය අනුව වෙනස් වී ඇත. එම විස්තරය මතු දැක්වේ.
මෙම මන්ත්‍රීවරුන්ට අද මන්ත්‍රීවරුන් භුක්ති විඳින (1) සංග්‍රහ දීමනා (2) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමේ දීමනා (3) කාර්යාලයක් පවත්වාගෙන යෑමට දීමනා (4) තැපැල් දීමනා (5) දුරකථන දීමනා (6) ඉන්ධන දීමනා ලැබීමට වාසනාවක් තිබුණේ නැත.


එහෙත් ඔවුන් අවශ්‍ය වූ විට තම වැටුපෙන් හෝ සංග්‍රහ නොකර සිටියේ නැත. ව්‍යවස්ථාදායක සභා රැස්වීම්වලට සහභාගි නොවී සිටියේ නැත. කාර්යාලයක් පවත්වා නොගෙන තිබුණේ නැත. දුරකථන පහසුකම් තිබුණේ නම් ඒවා පරිහරණය නොකර සිටියේ නැත. තැපැල් ලියුම් නොඑවා සිටියේ නැත. වාහන සන්තකව තිබුණේ නම් ඉන්ධන සඳහා වැය නොකර සිටියේ නැත.


එසේ නම් කුමක්ද මේ වෙනස. එය සක්සුදක්සේ පැහැදිලිය. ඔවුන් ජනතාව අතර රැඳී ඔවුන්ගේ දහඩිය ගඳ සුවඳක් සේ සලකා ඔවුන් හා එකට කා බී කොටින්ම සඳහන් කරතොත් ඔවුන් අගයමින් ඔවුන් සමගම ජීවත්වී ඔවුන් උදෙසාම සේවය කිරීම තම පරම යුතුකම සේ සැලකුවා මිස වැටුපට සීමාවී වැටුප් වැඩිකර ගැනීමේ ආත්මාර්ථ කාමීත්වයකින් යුතුව කටයුතු නොකළ හෙයිනි.


අද තත්ත්වය ගැන කිව යුතුද? ජනතාවගෙන් ගලන දහඩිය වලින් ඉපයෙන බදු මුදල් සූරාගෙන කෑම තම එකම ජනතා සේවය සේ සලකන ලේ පිපාසිත නරයින් මෙන් අහිංසක ජනතාවගේ රීරි මාංශ උරාබීමට කැස කැවීමට එම වෙනසේ ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලික ලක්ෂණයට එය ද එක්වී ඇති බව පෙනේ.

 

1931 ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් ලේඛනය

 

 

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.