ගිරාඹේ ආනන්ද නාහිමි-කතා පෙළ- 07

පී. හැරිසන් මහතා වෙනුවෙන් මුලින්ම පෝස්ටර් ඇලෙව්වේ  ජනතා විමුක්ති පෙරමුණ යැයි කිවහොත් කවුරුන් පිළිගනීද? එවැන්නක් අනුරාධපුර දේශපාලන ඉතිහාසයේ සනිටුහන්ව ඇත. ඒ හාස්‍යජනක සිද්ධිය ද දන්නේ ගිරාඹේ ආනන්ද නාහිමියන්ය. ජාතික දේශපාලනයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දේශපාලනයේ ද බරපතළ වෙනස්කම් ඇතිකරන්නට ගිරාඹේ ආනන්ද හිමියෝ මුල්වූහ.


නාරම්මල සීලවතී පිරිවෙණ දියුණු කළ ගිරාඹේ ආනන්ද නාහිමියෝ 1979 ඔක්තෝබර් 10 වැනිදා අනුරාධපුරයට වැඩම කළහ.


අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරස්ථානයේ විශ්‍රාම ශාලාවට මුල්ගල තැබුණේ 1979 පෙබරවාරි 23 වැනිදායි. ඒ වකවානුව  වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ රජරට නායකයින් වූයේ මෛත්‍රීපාල සේනානායක හා කේ. බී. රත්නායක මහත්වරුය.


එක්සත් ජාතික පක්ෂයේ ඊ. එල්. බී. හුරුල්ලේ මහතා සංස්කෘතික ඇමැති විය. සාරානන්ද විහාරස්ථානය ඉදිකිරීමේ කටයුතු සඳහා කලින් පැවැති රජයෙන් නීතිමය ප්‍රශ්න මතුකර වැඩ නතරවී තිබුණි.


අනවශ්‍ය ප්‍රශ්න මතුකර එම කටයුත්තට බාධා නොකරන්නැයි අගමැති ප්‍රේමදාස සංස්කෘතික ඇමැතිට කරුණු පැහැදිලි කිරීමෙන් පසු තහනම ඉවත් කෙරිණි. අනතුරුව අනුරාධපුර සාරානන්ද පිරිවෙණ ඉදිකිරීම සඳහා 1979 වසරේ මුල්ගල තැබිණි. එම අවස්ථාවට අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් 45 දෙනෙක් එක්වූහ. අගමැතිවරයාගේ 51 වැනි උපන්දිනය වෙනුනේ  කුලදරුවන් 51 දෙනෙක් සසුන්ගත කිරීම එදින විශේෂ සිද්ධියකි.
අගමැති ඇතුළු මැති ඇමැතිවරු 16 දෙනෙක් ඒ විශ්‍රාම ශාලාවේ කාමර හැදූහ.


කාමර 115කින් හා 25 දෙනෙකුට නැවතිය හැකි ශාලා 15කින් එය නිමා විය.


අසූ අට රියන් බුද්ධ ප්‍රතිමාවක් සහිත ලෙන් විහාරයක් ඉදිවිය. එහි සිට ජාතික ආගමික කටයුතු කළ නාහිමියන් රජයේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත.


එහෙත් සාරානන්ද පිරිවෙණේ බොහෝ දේට ප්‍රේමදාස මහතා ද එක්වුණේ ය. වරක් පුනුරුත්ථාපනය කළ ජවිපෙ තරුණයින් දාහක් සමග ප්‍රේමදාස මහතා සිල් සමාදන් විය. තරුණයින් නිදහස් කළේ එම ස්ථානයේදී සිල් පවාරණය කළ පසුය.


එහි බෝධි ප්‍රාකාරය විවෘත කළේ ද ප්‍රේමදාස මහතායි. ඔහු වෙනුවෙන් විශ්‍රාම ශාලාවේ කාමරයක් ද වෙන්විය. එසේ කාලය ගලා යද්දී 1989 ජනාධිපතිවරණය උදාවිය. 89 දී ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුව අතර ගැටුම උග්‍ර වී භීෂණ සමයේ උච්ඡම අවස්ථාව හටගෙන තිබිණි. ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පක්ෂයෙන් තේරී පත්විය. ගුවන්විදුලියෙන් ඒ බව කන වැකුණු ආනන්ද හිමියෝ ප්‍රේමදාස මහතාට දුරකථනයෙන් ආමන්ත්‍රණය කර තමන් වහන්සේ ඊට උපරිම සහාය දෙන බව කීහ.


ඊට පිළිතුරු දුන් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රවේශම් වී වැඩකරන ලෙස කියා සිටියේය. එනමුත් එම මැතිවරණයේ කටයුතු ඉතා ක්‍රමානුකූලව කරන අන්දම ගැන නාහිමි හා අගමැතිවරයා කතිකාකර ගත්හ.
මීට පෙර පැවැති අවසන් මැතිවරණය වන සංවර්ධන සභා ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ආසනයක්ම වැඩි ඡන්ද 5000කින් පමණ පරාජය වූ බව පෙන්වාදුන් ආනන්ද නාහිමියෝ එම පරාජය ඡන්ද හාරසීයත් පන්සීයත් අතර මට්ටමකින් අවම කළ හැකි අන්දමට සැලසුම් කළෝය.


තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් හදාගත් නාහිමියෝ ගමින් ගමට ගොස් තෝරාගත් නිවාසවලදී කුඩා රැස්වීම් පවත්වා මෙය පොඩි මිනිහෙකු රජ කරවන අවස්ථාවක් බවත් එම මැතිවරණයේ දී පක්ෂ භේද නොබලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනුත් ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියහ. ගමින් ගමට ගිය වැඩසටහන් ප්‍රවේශම් සහගත වූ අතර ඉතා උපක්‍රමශීලීව ජවිපෙ සාමාජිකයින්  මගහැරෙගෙන  යාමට හිමියෝ සමත් වූහ.
ඒ වන විට අවසන් මැතිවරණයෙන් මිහින්තලේ ශ්‍රීලනිප සංවිධායක පතිරාජ තෙන්නකෝන් මහතා ජය ලබා තිබුණේ  වැඩි ඡන්ද 9780 කිනි. මිහින්තලේ ඉන් පසු සංවිධායකවරයා වූයේ පියසේන දිසානායක මහතාය. ප්‍රේමදාස මහතාට සහාය දීමට පියසේන දිසානායක මහතාට එන්නැයි ආනන්ද නාහිමියෝ ආරාධනාවක් කළහ. තමා ප්‍රේමදාස මහතා හා වැඩ කිරීමට කැමැති වුවත් ශ්‍රීලනිපයේ සිටිය දී එවැන්නක් කරන්නේ කෙසේ දැයි පියසේන දිසානායක මහතා ඇසුවේය.


 ඔහු පක්ෂය හැර එන්නේ නම් සංවිධායක තනතුරක් ලබාදීමට තමා මැදිහත් වන බව කී නාහිමියෝ මිහින්තලේ මැතිවරණ පසුබිම ගැන ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කර පියසේන දිසානායක මහතාට එජාප ආසන සංවිධායකකමක් දෙන්නේ නම් මිහින්තලේ ආසනය පමණක් සුළුවෙන් හෝ දිනාගත හැකි බව ද කීහ.


පියසේන දිසානායක මහතාද එක් කරගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත්විණි. මිහින්තලේ ආසනය හැර සෑම ආසනයක්ම එම මැතිවරණයේ දී එජාප ය පරාජයට පත්විය. එහෙත් පරාජය අවම වී තිබුණේ නාහිමියන්ගේ අනාවැකිය පරිදිය. ඒ පරිදිම එජාපය මිහින්තලේ ආසනය වැඩි ඡන්ද 117කින් දිනා ගත්තේය.


නාහිමියන්ගේ අනාවැකිය හා දක්ෂකම ගැන ප්‍රේමදාස මහතා බෙහෙවින්ම පැහැදුණේය. ඔහු ජනාධිපති වූ පසු නාහිමියන්ගේ අවවාද අනුශාසනා බෙහෙවින්ම පිළිගනිමින් ‘දැන් අනුරාධපුර දේශපාලනයට කුමක් කරන්න දැ’යි විමසුවේය.


“අලුත් මූණු ටිකක් දාන්න ජනාධිපතිතුමා” යැයි නාහිමියෝ කිහ. “ඒක හොඳ අදහස. ඔබ වහන්සේම ලැයිස්තුවක් හදලා දෙන්න. අර පා ගමනක් ගිය ළමයෙක් ඉන්නවා ඔහේ ඈත ගමක. ඒ ළමයාගේ නම හැරිසන්. ඒ කොල්ලා හොයලා ඔය ලැයිස්තුවට දාන්න. එයා හැංගිලා ඉන්න තැන අනුරාධපුරේ මහ දිසාපති ටී. කේ. දසනායක මහත්තයා  දන්නවා” ජනාධිපති කීවේය.


නාහිමියෝ ටී. කේ. දසනායක මහතාව හමුවී, ජවිපේ කැරැල්ලට බියෙන් සැඟවී සිටින හැරිසන් තරුණයා සිටින තැන විමසූහ. එම තරුණයා කිරිඇල්ල පොලිසිය අසල නිවසක සැඟවී සිටින බව ද දිසාපති කීවේය. හිමියෝ ඒ වග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාරසිරි ගමගේ මහතාට කියා පොලිස් පණිවිඩයක් මගින් හැරිසන් තරුණයා සොයාගෙන පොලිස් වාහනයකින්ම ගෙන්වා ගත්තේය.


හැරිසන්ගේ නම ද ලැයිස්තුවට දාගත් හිමියෝ එම ලැයිස්තුව පසු දිනම නාමයෝජනා මණ්ඩලය වෙත රැගෙන ගියහ. එම ලැයිස්තුව චන්ද්‍රාබණ්ඩාර මහතා අතට දුන් ජනාධිපතිවරයා ඩී. එම්. ආරියදාස, ඒ. එම්. එස්. අධිකාරි හා චන්ද්‍රා බණ්ඩාර නම් තුන ඉතිරි කර චන්ද්‍රබණ්ඩාර අත ඇති ලැයිස්තුවේ ඉතිරි නම් සියල්ල ඉවත් කර නාහිමියන් ගෙනා ලැයිස්තුව එකතුකරන්නැයි කියා සිටියේය.


ඒ නම් අතර තේමිය හුරුල්ලේ, ෂම් ෂම් මුදලාලි, හේරත්බණ්ඩා, (ශ්‍රීලනිප හිටපු පළාත් සභා මන්ත්‍රි) ලාල් ගමගේ හා පියසේන දිසානායක යන චරිත වූහ.


චන්ද්‍රාට එය නොරිස්සුම් සහගත විය. ඔහු එයට විරෝධය පා ජනාධිපති හා රංඩු ඇල්ලුවේය. චන්ද්‍රාට අවවාද කළ ගාමිණි දිසානායක මහතා වැඩිදුර කෑගැසුවොත් තමන්ගේ නමත් ඉවත් වන්නට ඉඩ ඇතැයි ගාමිණි පෙන්වාදුන්නේය.


එවේලේ නිශ්ශබ්ද වූ චන්ද්‍රා බණ්ඩාර මහතා පසුව ආනන්ද හිමියන් හා පසුවුණේ අමනාපයෙනි.


ප්‍රේමදාස මහතාගේ අණින් උඩුගම්පොල මහතා අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්ව ආවේය. ඔහුට පිරිත් නූලක් බඳින්නටවත් හාමුදුරුනමක් ළං නොවූහ. ඒ ජවිපෙට බියෙනි.

 

එහෙත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාරසිරි මහතාගේ ඉල්ලීමෙන් ආනන්ද හිමියෝ නියෝජ්‍ය පොලිස්පති වැඩ භාරගන්න අවස්ථාවට ගොස් ආශිර්වාද කළහ. ඒ ගැන උඩුගම්පොල මහතා ආනන්ද හිමියන්ට භක්තියෙන් පසු විය.


මේ අතරතුර ප්‍රේමදාස මහතා නාහිමියන්ට කතා කර ‘ඔය හැරිසන් කොල්ලා පංසලේ නතර කරගන්න හාමුදුරුවනේ. නැත්තං ජේවිපී කාරයෝ ඒකව මරලා දාවි’යි කීවේ ය. නාහිමියෝ හැරිසන් තරුණයාට පංසලේ නවාතැන් හා පහසුකම්  සියල්ල ලබා දුන්නෝය. මේ අතර තුර ජවිපෙට ඉතා වැදගත් ඔවුන්ගේ ප්‍රබල සාමාජිකයින් හතර දෙනෙක් පොලිසියට කොටු වුණෝය. ඔවුන්ට තීරණාත්මක ඒ හතර දෙනා ගලවා ගන්නට ජවිපෙ ඕනෑම කැපවීමක් හෝ පාවාදීමක් කරන්නට යුහුසුලු වූහ.


රාත්‍රී 12ට පමණ ආනන්ද නාහිමියන් හමුවට ගිය කැරලිකරුවෝ පිරිසක් තමන්ගේ සාමාජිකයන් හතර දෙනා බේරා දෙන්නැයි ද එම උපකාරය කළහොත් පංසලේ සිටින හැරිසන්ට ඡන්දයෙන් දිනීමට සියලු උදව් කරන බව ද කීහ.


මට ඒක පොරොන්දු වෙන්න බෑ. ඒත් උඩුගම්පොල උන්නැහේට කියලා බලන්නම්’යි උන්වහන්සේ කී සේක. පසුදා උඩුගම්පොල මහතා හමුවූ නාහිමියෝ මේ ඉල්ලීම කළහ. ඔය ජේවීපි කාරයෝ සත පහකට විශ්වාස කරන්න එපා හාමුදුරුවනේ’යි උඩුගම්පොල මහතා කීවේය. එහෙත් නාහිමියන්ගේ ඉල්ලීම බැහැර කළ නොහැකි තැනේ දී, අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් දෙදෙනෙකු පමණක් නිදහස් කර යැවීමටත් අනෙක් දෙදෙනා හැරිසන් මහතාව දිනවා දුන් පසු නිදහස් කර දෙන බවටත් කියන්නැයි කියා උඩුගම්පොල මහතා හාමුදුරුවන්ට පොරොන්දු විය.


දෙදෙනෙක් නිදහස් වූහ. ජවිපෙ කැරලිකරුවෝ සෑහීමකට පත්වූයේ නැත. මම පොරොන්දු වූ දේ කළා. තමුන්නාන්සේලා කැමති නම් උදව් කරන්න. නැතිනම් නිකං ඉන්න. කැමැත්තක් තරන්න කියා නාහිමියෝ ඔවුන්ට කීහ.


ටික දිනකින් ජවිපෙ පිරිස පන්සලට පැමිණ පොස්ටර් 10,000ක් ඇඳ දෙන්නැයි තේමා පාඨ කීහ.


‘දුප්පතාගේ හිතවතා පී. හැරිසන්’
‘අපේ බලය හැරිසන්’
‘ඔබේ බලය  හැරිසන්’


ආදී පාඨ ඒ අතර විය. හිමියන් පුද්ගලයින් 20 දෙනෙක් යොදවා ඒ ටික ඇන්දහ. ඔවුන් ඉල්ලූ වාහනයක් ද දුන්හ. එක රැයින් පෝස්ටර 10,000 දිස්ත්‍රික්කය පුරා වැදිණි. පසු දින ජවිපෙ අකුරු ශෛලියට වැදුණු හැරිසන්ගේ පෝස්ටර දැක ජනතාවත් අපේක්ෂකයොත් මවිත වූහ.


මේ අතරතුර ජවිපෙ තවත් කැරලිකරුවන් පිරිසක් පොලිසියට කොටු වූහ. නැවතත් කැරලිකරුවෝ පිරිස පන්සලට ආහ. ඒ පිරිසත් බේරා දෙන්නැයි  ඔවුහු නාහිමියන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීමට එකවර පොරොන්දුවිය නොහැකි බව නාහිමියෝ පැවැසූහ. කලින් වූ පොරොන්දුවේ දෙදෙනා ද මේ පිරිස ද ඇතුළුව විශාල පිරිසක් අත්අඩංගුවේ බවත් ඊට උපකාර කළ නොහැකි නම් හැරිසන්ට උදව් කිරීම නවතා දමන බවත් කැරලිකරුවෝ කීහ. ඒක ඔය අයගේ කැමැත්තක්. මං කීවේ මට කරන්න පුළුවන් දේ. මම පොරොන්දු වෙච්ච විදියට අනෙක් දෙන්නා ඡන්දයෙන් පස්සේ එළියට දානවා. මේක අමතර ගනුදෙනුවක්’ යි හිමියෝ පැහැදිලි කළහ. 


ඒ බව පිළිනොගත් කැරලිකරුවෝ හැරිසන් මහතාට විරුද්ධව කටයුතු කළහ. ඔවුන් ඇළවූ පෝස්ටර ඔවුන් අතින්ම ගලවා දැමීය. මැතිවරණයේ දී හැරිසන් මහතා පරාද විය.


ජය ලැබූ චන්ද්‍රා බණ්ඩාරගේ බටහිර අනුරාධපුර ආසනයේ කුකුල්කටුව ඡන්ද පොළේ හොර ඡන්දය දැමූ බවට ජනතාව නාහිමියන්ට පැමිණිලි කළේය. එමෙන්ම හොර ඡන්ද දැමූ බවට සාක්කියක් ද ඉතිරිවී තිබුණි. එම ස්ථානයේ සවස 3 වන තුරුත් කිසිවෙක් ඡන්දය දමන්නට නොගිය අතර එක වරම පෙට්ටි පිරීම කාගෙත් මවිතයට කරුණක් වූ අතර අනෙක් අපේක්ෂකයන්ට ඒ තත්ත්වය නිසා පහර වැදී තිබුණි.


ඡන්ද දැමූ නඩයක කලබලේ ට ඡන්ද පත්‍රිකා පොත්වල මුල කොටස් එම මධ්‍යස්ථානයේ වැටී ගොස් තිබී හමුවිය. ගම්වැසියෝ ඒ කොටස් ආනන්ද නාහිමියන්ට භාර දුන්හ. හැරිසන්ට වැඩ කිරීම නිසා චන්ද්‍රා බණ්ඩාර උන්වහන්සේට විරුද්ධව සීතල යුද්ධයක් අරඹා තිබිණි.


දින පහකට පසු ප්‍රේමදාස ජනපති හමු වූ ආනන්ද නාහිමියෝ තමා අත සාක්කි ඇති බවත් හොර ඡන්දය දමා මැතිවරණයේ කළ අසාධාරණය නිසා නඩු මගට යන බවත් කීහ. ඒ ගැන තමාගේ අකැමැත්තක් නැති බව ප්‍රේමදාස මහතා කීවේය. එහෙත් ඒ බව අසා සිටි පක්ෂ මහලේකම් රංජන් විජේරත්න එය කිසි ලෙසකින්වත් නොකළ යුත්තක් බවත් නඩු දැමීමෙන් එජාපය ප්‍රශ්නයකට මූණදෙන බවත් පෙන්වා දුන්නේය.


එය එසේ හෙයින් ආනන්ද හිමියෝ චන්ද්‍රා බණ්ඩාරට එරෙහිව කොන්දේසියක් පැනවූවේය. උන්වහන්සේ ජනපතිගෙන් ඉල්ලා සිටියේ වසරක් යනතුරු චන්ද්‍රාට ඇමතිකමක් නොදෙන ලෙසය. ජනපති ඊට එකඟ විය. ඇමතිකමක් නොමැතිව චන්ද්‍රා වසරක් ගෙවූ තැනේ දී ‘දැන් කුමක් කියන්නේ දැ’යි ජනපති නාහිමියන්ගෙන් ඇසීය. ඇමතිකමක් දීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැතැයි හිමියෝ කීහ.


මේ අතර නාහිමියන් මුණගැසීමට පෙර ආ කැරලිකරුවන් සිව්දෙනා පොළොන්නරු ප්‍රදේශය බලා යමින් සිටිය දී පොලිස් ජීප් රියක් දැක දුවන්නට වී, සැක සිතූ පොලිසිය මේ අය වට කර අල්ලාගත්හ. ඊට දින දෙකකට පසු නාහිමියන් කොළඹ යද්දී තලාව නගරයට එපිටින් උද්‍යානය අසබඩ කපා දැමූ කෙසෙල් කඳන් හතරක පෙනුමක් වාහනයට දිස් විය. ඒ පෙරකී තරුණයන්ගේ මළ සිරුරුය.

 

 


අනුරාධපුර - සරත් මනුල වික්‍රම