2014 විතර ඉඳලා ඊළඟට එළඹෙන ජනාධිපතිවරණයට සූදානම් වෙන එක අපි ආරම්භ කළා. මොකද ඒ ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයට වැදගත් මැතිවරණයක් වුණා. විශේෂයෙන් අපි 1994 ට පස්සෙ ජනාධිපතිවරණ කීපයකටම මුහුණ දුන්නත් ඒවයින් ජයග්‍රහණය කරන්න අපි අපොහොසත් වුණා. 


විශේෂයෙන්ම 1994 අපි තරග කළේ නරක පසුබිමක ඉඳලා. එක අතකින් පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත්වෙලා තිබුණු තත්ත්වය. අනෙක් අතින් අපේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඝාතනය වෙලා තිබුණු පසුබිම. ඒ නිසා ඒ ජනාධිපතිවරණය හරිම අවිනිශ්චිත තත්ත්වයක පැවතුණෙ. අපේ ජනාධිපති අපේක්ෂිකාව විදියට ශ්‍රීමා දිසානායක මැතිනිය තෝරා ගත්තත් ජයග්‍රාහී අපේක්ෂාවක් අපිට තිබුණෙ නෑ. ඒ නිසාම 1994 ජනාධිපති ජයග්‍රහණය අපෙන් ගිලිහුණා.


ඒ තත්ත්වය තුළ 1999 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තමයි ඉදිරිපත් වුණේ. ඔහුගේ ඉදිරිපත්වීමත් එක්ක අපි විශ්වාස කළා ජයග්‍රහණයකට යන්න පුළුවන්වෙයි කියලා. ඒත් අවාසනාවකට මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන කාලයේ රනිල් වික්‍රමසිංහ විසින් කරපු ප්‍රකාශයක් අපේ අවාසියට හිටියා. උතුරට ස්වයං පාලනයක් ලබාදෙනවා කියලා කරපු ප්‍රකාශය අපේ අවාසියට වැඩ කළා. ඒ ප්‍රකාශය රටේ ලොකු ආන්දෝලනයකට තුඩු දුන්නා. ජයග්‍රහණය පෙනි පෙනී තමයි අපිට ඒක නැති වුණේ. මේ වෙද්දි උතුරේ සටන් දරුණු විදියට ඇවිළෙමින් තිබුණා.


යුදමය ජයග්‍රහණයක් අවශ්‍යයි කියලා ලොකු ජනමතයක් දකුණේ ගොඩනැගෙමින් තියෙන මොහොතක තමයි රනිල් වික්‍රමසිංහ විසින් අපි කලින් සඳහන් කරපු මතභේදයට තුඩුදුන් ප්‍රකාශය කළේ. යුද්ධයෙන් උතුරේ ප්‍රශ්නයට විසඳුම් හොයනවට වඩා සාකච්ඡා මාර්ගයෙන් ඒකට විසඳුමක් හොයන අදහසක ඉඳපු චන්ද්‍රිකා කුමාරතුංග පවා රනිල් වික්‍රමසිංහගෙ මේ ප්‍රකාශය තමන්ගෙ දේශපාලන වාසියට හරව ගත්තා. ඔවුන් එහෙම කළේ යූ.එන්.පී.යට පහර දෙන්න ඒ හරහා පුළුවන්කම ලැබෙන නිසා. ඒක ඔවුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවල කොයිතරම් නරක විදියට පාවිච්චි කළා ද කියනව නම් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශය විකෘති කරල හදපු වීඩියෝ පට පවා ඔවුන් පාවිච්චි කළා.


ඒ වෙලාවෙ රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස ඉඳපු ප්‍රධාන චරිතය වුණේ මංගල සමරවීර ඔහු යූ.එන්.පීයට සහ රනිල්ට දැඩි ලෙස පහර දෙන්නෙක් හැටියට තමයි ඒ මොහොතේ ක්‍රියා කළේ.


මේ තත්ත්වය තුළ වුණත් අපි අපේ ප්‍රචාරක කටයුතු ඉතා හොඳින් කරගෙන ගියා. ඒත් තත්ත්වය නරක අතට හැරුණු සිදුවීමක් වුණා මේ අතරෙ. ඒ තමයි කොළඹ නගර සභා භූමියේ සංවිධානය කරලා තිබුණු චන්ද්‍රිකා කුමාරතුංගගේ අවසන් ජන රැලියට එල්ලවුණු බෝම්බ ප්‍රහාරය. ඒකෙන් චන්ද්‍රිකා කුමාරතුංගගෙ ඇහැකට තුවාල සිදුවුණා. තවත් බොහෝ දෙනෙක් මෙයින් තුවාල ලැබුවා. පිරිසක් මරණයට පත්වුණා. ඇත්තටම මේ බෝම්බ ප්‍රහාරය චන්ද්‍රිකා කුමාරතුංගගෙ වේදිකාවට එල්ලවුණත් ඒක හරියටම නම් එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයට කියලයි මම නම් හිතන්නේ. මොකද ඒ බෝම්බය එදා පිපුරුවෙ නැත්තං පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයට දිනන්න තිබුණා කියන එකයි මගේ නම් අදහස. ඒ තරම් ජනරැල්ලක් රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවෙ රටේ තිබුණා.


චන්ද්‍රිකා ආණ්ඩුවෙ පිරිහීම අපේ ජයග්‍රහණයට මාවත විවෘත කරලා දීපු මොහොතක තමයි මේ බෝම්බ ප්‍රහාරය සිදුවෙලා ප්‍රතිඵලය කණපිට පෙරළුනේ. මේ බෝම්බ පිපිරීම හරහා එතෙක් නොතිබුණු අනුකම්පාවක් චන්ද්‍රිකා කුමාරතුංගට රට පුරා ඇතිවෙන්න පටන් ගත්තා. මැතිවරණ නීතිරීති පවා කඩකරමින් චන්ද්‍රිකා කුමාරතුංග මේ සිදුවීමේ අනුකම්පාව ඇය වෙත ලබාගත්තා. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන අවසන් රැලියෙදී තමයි මේ ප්‍රහාරයට ඇය ගොදුරු වුණේ. ඒත් ඒ සිදුවීම දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ඇය වාසියක් අත්කරගත්තා. ඇය තුවාල වුණු ඇහැත් පැලැස්තරවලින් වහගෙන තමයි පහුවදා ජාතිය ඇමතුවෙ. ඒ ජාතිය ඇමතීම තනිකරම දේශපාලනික කතාවක්. ඒ හරහා ඇය අවසාන මොහොතේ ජනතාවගෙ මතය වෙනස් කළා. 1999 රනිල් වික්‍රමසිංහට ලබාගන්න තිබුණු ජයග්‍රහණය ඇත්තටම අහිමි කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කියල තමයි මගේ නම් විශ්වාසය. මේක එක්සත් ජාතික පක්ෂයට වගේම රනිල් වික්‍රමසිංහටත් තීරණාත්මක මැතිවරණයක් වුණේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයට පත්වෙලා මුහුණ දීපු පළවෙනි ජනාධිපතිවරණය නිසා.

 

 

 


 

තව කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි