අතුරු මැතිවරණ පුරාණයෙන්

 

1960 ජූලි මහා මැතිවරණයෙන් අනතුරුව ප්‍රථම වරට එක දවසේ අතුරු මැතිවරණ තුනක් පැවැත්වූයේ 1961-03-29 දිනදීය. ඒ මාතලේ - රත්ගම සහ කුරුණෑගල යන මන්ත්‍රී කොට්ඨාස සඳහාය. ඉන් වර්ෂයකුත් මාස 03කට පසු තවත් මන්ත්‍රී කොට්ඨාස තුනක් සඳහා එකම දවසේ අතුරු මැතිවරණ තුනක් පවත්වා තිබේ. 


1962-06-28 දින එකී අතුරු මැතිවරණ පැවැත්වුයේ මුතූර්, අනුරාධපුරය සහ වැලිමඩ යන ඡන්ද කොට්ඨාස තුනේ පුරප්පාඩු සඳහාය. අනුරාධපුරය හිටපු මන්ත්‍රී සිරිමෙවන් ගොඩගේ (ශ්‍රී.ල.නි.ප) සහ මුතූර් (බහු මන්ත්‍රී ආසනය) හිටපු පළමුවැනි මන්ත්‍රී ටී. අහම්බරම් (ෆෙ.ප.) මහතාගේ අභාවය නිසාද වැලිමඩ හිටපු මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාට ඡන්ද පෙත්සමක තීන්දුවක් මත මන්ත්‍රී ධූරය අහිමි වීමෙන්ද මෙම අතුරු මැතිවරණවලට මඟ පෑදුනි. 


අතුරු මැතිවරණ තුන කලින් පැවැත්විය යුතුව තිබුණද 1961-04-17 දින සිට ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි යටතේ දින නියමයක් නොමැතිව කල් යමින් පැවතුණි. පසුව 1962-04-07 දින සිට ෆෙඩරල් පක්ෂයේ තහනම, පුවත්පත් සඟරා පාලනය. ප්‍රසිද්ධ ස්ථානවල කථා පැවැත්වීම, පත්‍රිකා බෙදීම, සහ අතුරු මැතිවරණ පැවැත්වීම යන කාරණා පිළිබඳව පනවා තිබූ වාරණය ඉවත් කිරීම හේතුවෙන් 1962-06-28 දින අතුරු මැතිවරණ පවත්වන බව රජය නිවේදනය කළේය. 


1947 සිට 1956 දක්වා පැවති මැතිවරණ තුනකදීම තනි මන්ත්‍රී කොට්ඨාසයක් ලෙස පැවති මුතූර් ආසනය 1960 මාර්තු මැතිවරණයේ සිට බහු මන්ත්‍රී කොට්ඨාසයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. ඒ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 1959 වර්ෂයේදී රජය මගින් පත්කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ අනුවය. (තල්ගොඩපිටිය වාර්තාව අනුව 1960 මාර්තු මැතිවරණයේ සිට ඉදිරියට ලංකාව මැතිවරණ කොට්ඨාස 145 ට බෙදා මන්ත්‍රීවරුන් 151 දෙනෙකු තෝරා ගැනීම ආරම්භ විය. (1959 ඞඪ වැනි සැසි වාර්තාව) (ටී. අහම්බරම් මහතා ප්‍රථම වතාවට දේශපාලනයට පිවිසෙන්නේ 1960 මාර්තු මැතිවරණයේදී ෆෙඩරල් පක්ෂයේ අපේක්ෂකයා හැටියට මුතූර් බහු මන්ත්‍රී කොට්ඨාසයට තරඟ කිරීමෙනි. මැතිවරණ ඉතිහාසය විශ්ලේෂණය කරන විට මෙම මැතිවරණයේදී පැහැදිලි වූ විශේෂ ලක්ෂණය වුයේ වාමාංශික පක්ෂ බෙදී වෙන්ව තරඟ කිරීමත්, ස්වාධීන අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටීමත්ය. (පිළිගත් දේශපාලන පක්ෂ 12 අපේක්ෂක සංඛ්‍යාව 732 ස්වාධීන අපේක්ෂකයින් ගණන 167) ඒ අනුව මුතූර් බහු මන්ත්‍රී කොට්ඨාසය වෙනුවෙන් තරඟ වැදුණ අපේක්ෂක සංඛ්‍යාව 09 ක් විය. 


මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ටී. අහම්බරම් (ෆෙ.ප. ගෙය) 10,685, එම්. ඊ. එච්. මොහමඞ් අලි (ස්වාධීන - ඉණිමඟ 10,680) ඒ. එල්. අබ්දුල් මජීඞ් (ස්වාධීන - මහන මැෂිම) 7540, එස්. බී. වීරකෝන් (ශ්‍රී.ල.නි.ප. අත) 6748, ඒ. එච්. අල්විස් (එ.ජා.ප - අලියා) 1488, පී. ඩී. ඊ. වික්ටර් පෙරේරා (ම.එ.පෙ. කරත්ත රෝදය) 1165, ජේ. ඒ. පී. තුරෙයිනායගම් (ස්වාධීන - ඉර) 1075, ඒ. ආර්. ඒ. ඇම්. අබුබකර් (ලං.ප්‍ර.ප. - කුඩය) 298, ඇන්. ටී. ෆ්‍රැන්සිස් ක්‍ෂේවියර් (ස්වාධීන කුකුළා) 295, වැඩි ඡන්ද සංඛ්‍යාව - පළමුවන මන්ත්‍රී 05, දෙවන මන්ත්‍රී 3140, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන - 1153, ඡන්ද දුන් මුළු ගණන - 41,127 ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ මුළු ගණන - 28,520 (ටී. අහම්බරම් මහතා අවසන් වරට තරඟ කළ 1960 ජූලි මහා මැතිවරණයේ මුතූර් ආසනයේ ප්‍රතිඵලය මෙසේය. එවර අපේක්ෂක සංඛ්‍යාව පහ දක්වා අඩු වී තිබුණ අතර එ.ජා.ප. යේ ඡන්ද පදනම 10,000 න් පමණ ඉහළ ගොස් තිබුණ ආකාරය දැකගත හැකිවිය. ටී. අහම්බරම් (ෆෙ.ප. ගෙය) 13304, ඒ. ඇල්. අබ්දුල් මජීඞ් (ශ්‍රී.ල.නි.ප. අත 13,247, ඇම්. ඊ. එච්. මොහමඞ් අලි (එ.ජා.ප. - අලියා) 11,417, එච්. ඩී. එල්. ලීලාරත්න (ස්වාධීන - ඉණිමඟ) 7916, පී. ඩී. ඊ. වික්ටර් පෙරේරා (ම.එ.පෙ - කරත්ත රෝදය) 181, වැඩි ඡන්ද සංඛ්‍යාව- පළමුවැනි මන්ත්‍රී 57, දෙවැනි මන්ත්‍රී 1830.
මුතූර් ආසනයේ පළමුවැනි මන්ත්‍රී ධූරයට සුදුස්සෙකු තෝරා පත්කර ගැනීම සඳහා පවත්වන අතුරු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම 1962-05-17 දින ත්‍රිකුණාමලය කච්චේරියේදී සිදු කරන බව අග්‍රාණ්ඩුකාර කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. එදින නාම යෝජනා භාර දුන් අපේක්ෂකයින් මෙසේය. එම්. ඊ. එච්. ඇම්. මොහමඞ් අලි (පෙ.ප) එස්. ඒ. හමීඞ් (ශ්‍රී.ල.නි.ප) ආර්. ඇම්. ගුණතිලක (කො.ප) සී. සුන්දරලිංගම් (ස්වාධීන) මොවුනතුරෙන් මොහමඞ් අලි මහතා සහ සී. සුන්දරලිංගම් මහතා පළපුරුදු දේශපාලනඥයෝ වූහ. තවද මොහමඞ් අලි මහතා දේශපාලන කරණම්කාරයෙකු වූ බවද සඳහන් කළ යුතුය. ඒ පිළිබඳ ඉතිහාසය සංක්ෂිප්තව දක්වතොත් මෙසේය. මොහමඞ් අලි මහතා ජාතික දේශපාලනයට අවතීර්ණ වනුයේ 1947 ප්‍රථම මැතිවරණයේදීමය. “තරාදිය” ලකුණ යටතේ තරඟ කළ ඔහු ඡන්ද 1760 ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්විය. ජයග්‍රාහකයා වූයේ ඒ. ආර්. ඒ. ඇම්. අබුබකර් (අලියා - 3480) මහතාය. 


1952 මැතිවරණයේදී ඡන්ද 6050 ක් හිමිකරගෙන වැඩි ඡන්ද 2721 න්, හිටපු මන්ත්‍රී අබුබකර් මහතා පරදවා පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව ඔහු එ.ජා.ප.යට එක්විය. 1956 තෙවැනි මහා මැතිවරණයේදී ඔහු ලැබු ජයග්‍රහණය ඓතිහාසික එකක් විය. ඔහුට සුපුරුදු “තරාදිය” ලකුණ යටතේ තරඟ කර ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය 10,549 ක් විය. ප්‍රතිවාදී අපේක්ෂක ඒ. එච්. අල්විස් (1902) වැඩි ඡන්ද 8647 න් පරාජය කර දෙවැනි වරටත් මුතූර් ආසනයට තේරී පත් වූ හෙතෙම පසුව ම.එ.පෙ. රජයට එකතු විය. 1960 මාර්තු මැතිවරණයේදී යළිත් නිදහස් අපේක්ෂකයෙකු වී (ඉණිමඟ - 10,680) මුතූර් දෙවැනි මන්ත්‍රීධූරය දිනාගත්තේය. 1960 ජූලි මැතිවරණයේදී එ.ජා.ප. අපේක්ෂකයා වූ ඔහු ඡන්ද 11,417 ක් ලබාගෙන, තෙවැනි ස්ථානයේ රැදී වැඩි ඡන්ද 1830 ක පරාජයක් ලැබීය. අතුරු මැතිවරණයට ඔහු ඉදිරි පත්වූයේ ෆෙ.ප. අපේක්ෂකයා හැටියටය. 
තවත් අපේක්ෂකයෙකු වු සී. සුන්දරලිංගම් මහතා උතුරුකරයේ සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු විය. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බී.ඇස්.සී. (ගෞරව) උපාධිධාරියෙකු වූ ඔහු පසුව ලංකා විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්ය ධූරයට පත්විය. ඉන් ඉවත් වූ ඔහු 1940 සිට අධි නීතිඥයෙකු වශයෙන් නීති වෘත්තියේ යෙදුණේය. 1947 මැතිවරණයේදී මන්නාරම අසුනට ස්වාධීනව තරඟ කර ජයගත් ඔහු ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ වෙළෙඳ ඇමති ධූරයට පත්විය. 1952 මැතිවරණයෙන් ද ජයගත් සී. සුන්දරලිංගම් මහතා දේශපාලනයේ විවාදාත්මක චරිතයක් විය. ජාතික කොඩිය නිර්මාණය කිරීමට පත් කළ කාරක සභා වාර්තාවට එරෙහිව අදහස් දක්වා ඇමති ධූරයට සමුදී මැති සබයට නොපැමිණ ආසනය පුරප්පාඩු වෙන්නට ඉඩ හැර, අතුරු මැතිවරණයට නාම යෝජනා භාරගත් 1951-10-31 දින නැවත නිතරඟයෙන් පත්විය. නැවත භාෂා ප්‍රශ්නය මුල් කරගෙන දෙවන වරටත් ආසනය පුරප්පාඩු වෙන්නට ඉඩ හැර 1956-02-13 දින මන්නාරම අතුරු මැතිවරණයට ඉදිරිපත්ව වැඩි ඡන්ද 6984 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. මුතූර් අතුරු ඡන්දයට ඉදිරිපත් වූයේ නිදහස් අපේක්ෂකයෙකු ලෙසටය. ආර්. ඇම්. ගුණතිලක වෘත්තියෙන් ගොවි මහතෙකු වූ අතර කො.ප. නියෝජනය කරමින් “තරුව” ලකුණ යටතේ තරඟයට ඉදිරිපත්ව සිටියේය. ඔහුගේ නාම යෝජනා පත්‍රය ස්ථිර කර තිබුණේ 1960 මාර්තු සහ ජූලි මැතිවරණවලදී ම.ඒ.පෙ. යටතේ තරඟ කළ ඩී. ඊ. වික්ටර් පෙරේරා මහතාය. 


මෙම අතුරු මැතිවරණය පැවැත්වුයේ පළමුවන මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සඳහා බැවින්, ඡන්ද දායකයෙකුට ප්‍රකාශ කළ හැකිවූයේ එක් ඡන්දයක් පමණකි. සුදුසුකම් ලත් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 1960 ජූලි මැතිවරණයට වඩා 6112 න් ඉහළ ගොස් තිබුණි. මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ අතුරු ඡන්දයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ඇම්. ඊ. එච්. ඇම්. මොහමඞ් අලි (ෆෙ.ප. - ගෙය) 14,215, එස්. ඒ. හමීඞ් (ශ්‍රී.ල.නි.ප. - අත) 6903, ආර්.ඇම්. ගුණතිලක (කො.ප. තරුව) 6040 සී. සුන්දරලිංගම් (ස්වාධීන - ඉර) 423, වැඩි ඡන්ද සංඛ්‍යාව 7312, නරක් වූ ඡන්ද පත්‍රිකා ගණන - 118, මෙම ප්‍රතිඵලයට අනුව, මුතූර් ආසනය ස්ථාපිත කළ පසු, පළමුවැනි මන්ත්‍රීධූරයට පත්වූවෙකු ලබාගත් ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තා වීමත්, සී. සුන්දරලිංගම් වැනි අපේක්ෂකයෙකුගේ ඡන්ද සංඛ්‍යාව 423 ට සීමා වී ඇප මුදල ද රාජ සන්තක වීමත් විශේෂ සිදුවීම් ලෙස සටහන් විය. රජය මගින් අනුගමනය කළ උතුරේ ප්‍රධානතම දේශපාලන සංවිධානය තහනම් කිරීමේ දරදඬු ප්‍රතිපත්තියට ජනතාව දැක්වූ ප්‍රතිචාරයෙන් උද්දාමයට පත්වූ ෆෙඩරල් පක්ෂයේ නායක පදිරිප්පු මන්ත්‍රී ඒ. රාසමානික්කම් මහතා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ෆෙඩරල් පක්ෂය මරා දමන්නට නොහැකි බව දැන් ආණ්ඩුවටත් රටටත් පැහැදිලි විය යුතු බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කර තිබුණි. “සත්‍යග්‍රහය නිසා ෆෙඩරල් නායකයන් සිර භාරයට ගෙන ෆෙඩරල් ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට ආණ්ඩුව සූදානම් වූ නමුත්, නායකයින් සිරභාරයට ගත් පමණින් ව්‍යාපාරය කඩාකප්පල් කර දැමීමට නොහැකි බව මුතූර් ආසනයේ ප්‍රතිඵල අනුව පෙනී යනු නිසැකය. මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව එක්සත් කිරීමේ උත්සාහය සාර්ථක වී ඇති බව මෙම ප්‍රතිඵලය පෙන්නුම් කරයි. උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ කථා කරන ජනතාව වෙනුවෙන් ඇති එකම දේශපාලන සංවිධානය ෆෙඩරල් පක්ෂය බව මෙම ප්‍රතිඵලය තහවුරු කර තිබේ. මුතූර් ජයග්‍රහණයෙන් උදම් වී සිටින ද්‍රවිඩ ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා නොපසුබටව ඉදිරියට එනු ඇත.” 1962-07-11 දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මොහමඞ් අලි මහතා කතානායක ආර්. ඇස්. පැල්පොල මහතා ඉදිරියේ ප්‍රථම වතාවට මුතූර් ආසනයේ පළමුවැනි මන්ත්‍රීවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

 

 

 

 

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර