ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ ඉතිහාසය තුළ සටහන් වී ඇති සුවිශේෂී සිදුවීමක් වනුයේ ප්‍රථම වතාවට එක දිනයක දී අතුරු මැතිවරණ තුනක් පැවැත්වීමයි. 


1960 ජුලි මස 20 වැනි දින පැවැත්වූ පස්වැනි මහා මැතිවරණයෙන් පසු ඒ ආකාරයට අංක 35 මාතලේ, අංක 60 රත්ගම සහ අංක 109 කුරුණෑගල යන මන්ත්‍රී කොට්ඨාස සඳහා අතුරු මැතිවරණ පවත්වන්නට යෙදුණේ 1961 මාර්තු මස 29 වැනි දිනදීය. මාතලේ ආසනය පුරප්පාඩු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බී. එච්. අළුවිහාරේ මහතාගේ අභාවය හේතුවෙනි. මාතලේ ආසනය සහ අළුවිහාර පරපුර අතර පවතින්නේ දීර්ඝ දේශපාලන සම්බන්ධතාවකි. බී. එච්. (බර්නාඞ්) අළුවිහාරේ මහතා ජාතික දේශපාලනයට පිවිසෙන්නේ 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී මාතලේ ආසනයට තරග කරමිනි. ප්‍රථම ඡන්ද සටනේදීම ඔහු ඡන්ද 15,924ක් ලබාගෙන එඞ්වර්ඞ් ද සිල්වා (5024) ඩබ්ලිව්. ටී. බී. කරල්ලියැද්ද (4833) සහ විලියම් ගොපල්ලව (1668) යන අපේක්ෂකයන් පරදවා වැඩි ඡන්ද 10,900ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. 


මෙම ජයග්‍රහණය ගැන කතා කරන විට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම මිනිස් ඝාතනය පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වෙයි. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ මාතලේ ආසනයේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අළුවිහාරේ මහතා ජනතාව අමතමින් මෝටර් රථයක ගමන් ගන්නා විට ජයඝෝෂා හා රතිඤ්ඤා හඬ පරදවමින්  නොසිතූ අයුරින් වෙඩි වරුසාවක් නිකුත් විය. මෙම වෙඩි ප්‍රහාරයෙන් අළුවිහාරේ මහතාට ද බරපතළ තුවාල සිදුවිය.


වෙඩි තැබීම කෙතරම් දරුණු වූයේද යත් සත් දෙනකු මියගොස් තවත් හය දෙනක් තුවාල ලබා රෝහල් ගතකර සිටියහ. මරුමුවට පත්වු අය අතර 1970 මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපයෙන් තරඟ කර මුළු ඡන්ද 13,428 ද වැඩි ඡන්ද 650 ද හිමි කරගෙන තියුණු ජයග්‍රහණයක් ලබා වර්ෂ 14ට පසු මාතලේ ආසනය ශ්‍රීලනිපයට අයිතිකර දුන් හිටපු යුද හමුදාපති රිචඞ් උඩුගම මහතාගේ පියාණන් වූ ඩබ්ලිව්. ඒ. උඩුගම දිසාවේ මහතා ද විය. බර්නාඞ් අළුවිහාරේ මහතා රෝහල් ගතකර සිටියදීම පියාණන් මියයාම නිසා රෝහලෙන් කෙටි නිවාඩුවක් ලබාගෙන පියාණන්ට අවසන් ගෞරවය දක්වා නැවත රෝහල් ගතවිය. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ හිටපු මන්ත්‍රී කරල්ලියද්ද මහතාගේ රියැදුරු බව සාක්ෂි විභාගයේදී අනාවරණය වූයේය. (තොරතුරු ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය මලල්ගොඩ බන්ධුතිලක) 


වර්ෂ 11ක් අඛණ්ඩව පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ මාතලේ ආසනය නියෝජනය කළ නමුත් 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී බර්නාඞ් අළුවිහාරේ මහතාට ‘තරුව’ ලකුණ යටතේ ලබාගත හැකිවූයේ ඡන්ද 9525ක් පමණකි. ඔහු වී. ටී. නානායක්කාර මහතා (ඇස 11,530) වෙතින් පරාජයට පත්විය. අධිනීතිඥවරයකු වූ වී. ටී. නානායක්කාර මහතා දීර්ඝ කාලයක් මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පති වශයෙන්ද සේවය කර තිබුණේය. නමුත් 1952 දෙවැනි මහා මැතිවරණයේදී ජයග්‍රහණය අළුවිහාරේ මහතා සතුවය. මුළු ඡන්ද 12,314ක් ලබාගත් හෙතෙම වී. ටී. නානායක්කාර (ගෙය 8898) පරදවා වැඩි ඡන්ද 3416 ක පහසු ජයක් අත් කරගෙන ප්‍රථම වතාවට මැති සබයට පිවිසියේය. 1956 තුන් වැනි මහා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ නොසිතූ විරූ වෙනස්කම් රාශියක් සටහන් කළ එකක් විය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය හරහා දේශපාලනයට පිවිසි කෝඩුකාරයන් ඉදිරියේ දැවැන්තයින්ට පරාජය වැලඳ ගැනීමට සිදුවිය. එම මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූයේ මාතලේ ආසනය වෙනුවෙනි. බී. එච්. අළුවිහාරේ (එජාප - අලියා)  මහතා ලබාගෙන තිබුණේ ඡන්ද 10,372ක් පමණකි. ප්‍රථම වරට දේශපාලනයට පිවිස ‘ලංකාදීප’  පත්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් සේවය කළ නිමල් කරුණාතිලක මහතා (මඑපෙ අත 12,068) වැඩි ඡන්ද 1696න් ජයග්‍රහණය කර මැති සබයෙහි අසුන් ගත්තේ එතැනට ගිය පළමු ‘සිංහල පත්තරකාරයා’වීමේ  ගෞරවය ද තමන් සතුකර ගනිමිනි. 1960 මාර්තු මැතිවරණයේ දී ටී. ඩී. ගුණරත්න (ශ්‍රීලනිප 6113) ඇතුළු අපේක්ෂකයන් හය දෙනකු පරාජයට පත්කළ බර්නාඞ් අළුවිහාරේ මහතා වැඩි ඡන්ද 1909න් නැවත වරක් මාතලේ ආසනයට තේරී පත්විය. එම මැතිවරණයේ දී නිමල්  කරුණාතිලක, වී. ටී. නානායක්කාර සහ ටී. බී. වෑගොඩපොල යන අපේක්ෂකයෝ මාතලේ ආසනය අතහැර අලුතෙන් ස්ථාපනය  කළ රත්තොට ආසනයට මාරුවී සිටියහ. 1960 ජූලි මැතිවරණයේ දී ද වැඩි ඡන්ද 1472න් මාතලේ ආසනය රැක ගත් අළුවිහාරේ මහතා අසනීප තත්ත්වය මත ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී 1961.01.22 දින මිය යනතුරුම මන්ත්‍රීධුරය දැරීය. අතුරු මැතිවරණය සඳහා 1961.03.01 දින නාම යෝජනා පත්‍ර භාරගත් අතර ටී. ඩී. ගුණරත්න (ශ්‍රීලනිප) සහ ඇලික් අළුවිහාරේ (එජාප) සහ ඩග්ලස් සේනානායක (ල.ප්‍ර.ප.) යන තිදෙනා පමණක් නාම යෝජනා පත්‍ර භාරදුන් ආකාරය දැකගත හැකිවිය. 


රත්ගම : මැතිවරණ කොට්ඨාසය සීමා නිර්ණය කිරීම සඳහා 1959දී පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ ප්‍රකාරව (1959 සැසි වාර්තාව 1960 මාර්තු මැතිවරණයේ සිට ලංකාව ඡන්ද කොට්ඨාස 145ට බෙදා වෙන් කිරීම) ස්ථාපිත කෙරුණ අංක 60 රත්ගම ආසනය පුරප්පාඩු වූයේ මන්ත්‍රී ඇම්. පී. ද සොයිසා (ශ්‍රීලනිප) මහතා අල්ලස් චෝදනාවට වරදකරු වීම නිසා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ හේතුවෙනි. ඔහු පළමුවරට දේශපාලනයට පිවිසියේ 1952 මහා මැතිවරණයේ දී අම්බලන්ගොඩ - බලපිටිය බහු මන්ත්‍රී කොට්ඨාසයට තරුව සලකුණ යටතේ නිදහස් අපේක්ෂකයකු ලෙස තරග කරමිනි. එවර තුන්වැනි  ස්ථානයට පත්වූ ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 12,496ක් පමණකි. 1956 තෙවැනි මහා මැතිවරණයේ දී මඑපෙ අපේක්ෂකයා ලෙස තරග කළ ඔහු ඡන්ද 45,626ක් ලබාගෙන පළමු වැනි මන්ත්‍රීධුරයට පත්වූයේ එවකට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුව සිටි පී. එච්. විලියම් ද සිල්වා මහතා (43,769) දෙවන ස්ථානයට පත් කරමිනි. 1960 මාර්තු මැතිවරණයේ දී රත්ගම ආසනයට මාරු වූ  හෙතෙම එජාපයේ නෝමන් වෛද්‍යරත්න (6938) ඇතුළු අපේක්ෂකයන් 05 දෙනකු පරාජයට පත් කර වැඩි ඡන්ද 762 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. 


මෙම මැතිවරණයේ දී විශේෂයෙන් කැපී පෙනුණ සිදුවීමක් වූයේ  වාමාංශික පක්ෂ බෙදී වෙන්වී තරග කිරීමය. නමුත් ඇම්. පී. ද සොයිසා, ශ්‍රීලනිප 7700, ඇම්. ජී. මෙන්ඩිස් කො.ප. 5781 බාබට් ද සිල්වා ලසසප 3874 එජාපයේ නෝමන් වෛද්‍යරත්න මහතාට ජයග්‍රහණ තමන් සතුකර ගත නොහැකි විය. 1960 ජූලි මැතිවරණයේ දී ඡන්ද 11,583ක් හිමිකර ගත් හෙතෙම දෙවැනි වරටත් රත්ගම ආසනය රැක ගත්තේය. එවර ඔහු වෙතින් පරාජයට පත් වූයේ නෝමන් වෛද්‍යරත්න (එජාප 9390) ටී. ඩබ්ලිව්. පණ්ඩිත (මඑපෙ 2390) සහ කේ. ජී. ජී. ජයතිලක (ස්වාධීන 1121) යන තිදෙනාය. අල්ලස් චෝදනාවලට වරදකරුවීම නිසා ඔහු ඉල්ලා අස් වූයේ ඒ අතුරතුරදීය. මෙම අතුරු මැතිවරණයේ දී තරග වැලැක්වීමේ ගිවිසුමකට එළඹීමට ශ්‍රීලනිපය දැරූ උත්සාය ව්‍යාර්ථ වූයේ මෙම ආසනයට තරග කළ යුතු බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තරයේම ප්‍රකාශ කර සිටීම නිසාය.  

 

 

මතු සම්බන්ධයි.

 

 

 

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර