“බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට ලක්වැසි ජනතාවගේ මුදලින් තඹ සතයක්වත් ආධාර නොදිය යුතුය” යනුවෙන් රුවන්වැල්ල රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට බි්‍රතාන්‍ය පාලකයෝ මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි මෙරට අධිරාජ්‍ය ගැති නියෝජිතයෝ ද විරුද්ධ වූහ.


මෙම යෝජනාව හා යුද්ධයට එරෙහිව ලංකා සම සමාජ පක්ෂය ගෙනගිය මතවාදය නිසාම එවකට සිටි බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් ලංකා සම සමාජ පක්ෂය නීති විරෝධී කොට 1940 ජූනි 17 දින ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා. එඞ්මන්ඞ් සමරක්කොඩි මහත්වරුන් අත් අඩංගුවට ගත්හ. ලෙස්ලි ගුණවර්ධන වෙස්වළාගෙන පක්ෂ සංවිධාන කටයුතුවල යෙදුණේය. “සම සමාජය” පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලයටද සීල් තැබීය.


පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඇන්. ඇම්. ඇතුළු සමසමාජ නායකයින්  මහනුවර සිරගෙදර විශේෂ සිර මැදිරියක රඳවා තිබිණි. 1942 අප්‍රේල් 07 දින මධ්‍යම රාත්‍රියේ ඇන්. ඇම්, පිල්ප්, කොල්වින්, එඞ්මන්ඞ් ඇතුළු සම සමාජ සිරකරුවෝ රොබට් ගුණවර්ධන ඇතුළු පිරිසගේ උපක්‍රමශීලී ක්‍රියා මත තම ආරක්ෂාවට රඳවා සිටි ‘සොලමන්’ නමැති ජේලර්වරයාද සමඟ සිරගෙයින් පලා ගියහ.


පසුව දිවයිනේ තැන් කීපයක සැඟවී සිටි ඔව්හු ධනූස්කොඩියේ සිට ඔරුවකින් ඉන්දියාවට පලා ගියේ “රාසා” නමැති පාක්ෂිකයකුගේ ආධාරයෙනි. ඉන්දියාවට පලා ගිය ඔවුහූ විවිධ නම් වලින් වෙස්වළාගෙන ඉන්දීය නිදහස් සටනටද එක්වූහ. “ආචාර්ය විශ්වනාත්” නමින් ඉන්දීය ඩිස්කවුන්ට් බැංකුවේ ලේකම්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී 1943 ජූලි 15 වැනිදා ඇන්. ඇම්., පිලිප්, රොබට් ඇතුළු දේශපාලන සිරකරුවන් කීප දෙනෙකු ඉන්දියානු රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි.


ඉන්දියාවේ ‘ආතර් රෝඞ්’ බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක දැඩි රැකවල් මැද රඳවා තැබූ ඇන්. ඇම්. ඇතුළු දේශපාලන සිරකරුවන් 1943 දෙසැම්බර් මාසයේ ලංකාවට රැගෙන එනු ලැබීය.


බන්ධනාගාර රැකවලුන්ගෙන් මිදී පැන යාමේ චෝදනාව මත ඇන්. ඇම්. ට විරුද්ධව නඩු පැවරිණි. එම නඩුව 1943 දෙසැම්බර් 28 දින මහනුවර පොලිස් මහේස්ත්‍රාත් ටී. විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. රාජනීතිඥ එස්. නඬේසන් මහතා නොමිලයේම ඇන්. ඇම්. වෙනුවෙන් පෙනී සිටියේය.


තමන්ට විරුද්ධව තිබූ චෝදනාවට තමා නිවැරදිකරු බව කියා සිටි ඇන්. ඇම්. නඩුව තවදුරටත් විභාග කරගෙන යාම ප්‍රතික්ෂේප කරමින් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට පමණක් සිය කැමැත්ත ප්‍රකාශ කළේය. ඇන්. ඇම්. විත්ති කූඩුවේ සිට තමා සිර කොට තැබීමටත්, තමන්ට විරුද්ධව නඩු පැවරීමටත් බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාට අයිතියක් නොමැති බවත් නඩුවේ විත්තිකරු විය යුත්තේ තමා නොව බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා බවත් ප්‍රකාශ කරමින් කළේ ඓතිහාසික ප්‍රකාශයකි.


මෙය එම සම්පූර්ණ ප්‍රකාශයයි.


අද මා මෙහි විත්තිකරුවකු වශයෙන් පෙනී සිටීම ගැන ආඩම්බර වෙමි. එහෙත් මම විත්තිකරුවකු නොවෙමි. මම ආණ්ඩුකාරයා විත්තිකරු කරමි. අද නඩු විසඳිය යුත්තේ මට විරුද්ධව නොව මේ දුෂ්ට ක්‍රමයේ ආයුධයක් වූ ආණ්ඩුකාරයාට විරුද්ධවය. බ්‍රේස් ගාර්ඩල්ගේ නඩුවේ සිට ඇති වන දේශපාලන නඩු බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කෛරාටික වෙස් මුහුණ ගැලවීමට ආධාර වන්නා සේම මගේ නඩුවද මේ බිහිසුණු සතුරාගේ නග්න ස්වරූපයේ අජුව හෙළිකිරීමට ආධාර වෙයි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ තුච්ඡ ගසා කෑමට භාජන වූ ලක්ෂ සංඛ්‍යාත ලක්වැසි කම්කරු ගොවිකරුවන් මේ ගසා කෑමෙන් මිදෙනු සඳහා කරන සටන සම්පූර්ණයෙන් මේ නඩුවෙන් ප්‍රකාශ වෙයි.


1940 ජූනි මස 18 වැනිදා සිට අපි කිසිම චෝදනාවක්වත්, විනිශ්චයක්වත් නොමැතිව සිර ගෙවල ලගිනු ලැබ සිටියෙමු. රුවන්වැලි දාගැබේ කොත් පැලඳ වූ මහා බෞද්ධ නායකයාගේ අත්සනින්ම අප සිර කිරීමටද කැමැත්ත දීමෙන් එදිනම සිරකර දැමීම සැබවින්ම යස ක්‍රියාවකි.


කළ වැරදි


මේ සිද්ධි දෙකම ලංකා ඉතිහාසයේ එක් සමයක් අනෙක් සමයකින් වෙන් කිරීමේ සිමා කණුය. එකක් බෞද්ධ සංස්කෘතියේ පූනර්ජීවනය දක්වන්නාසේම අනෙක් විජිත ජනතාවගේ විමුක්ති සටන දක්වයි. පැරැණි සංස්කෘතියට නව ජීවනයක් දෙන්නට අදහස් කළ මිනිහාම අනාගතයේ ගෙල මිරිකීමද යස සිද්ධියකි. පළමු ක්‍රියාවට මේ මිනිහා ශාන්තිය ලබනවාට වඩා දෙවැනි ක්‍රියාවට අනාගතය ශාප කරනවා ඇත. මා හා මාගේ පක්ෂයේ සහෝදරයන් මේ ලෙස සිරභාරයට ගැනුමට කුමන වරදක් කර තිබේද? හැබැයි අප බොහෝ වරදවල් කර ඇත. එනම්, දුප්පත් පාසල් සිසුන්ට ආණ්ඩුවෙන් පොත් ලබාදීමටද, දහවල් ආහාර ලබාදීමටද, ආණ්ඩුවේ බෙහෙත් ශාලා හා ආරෝග්‍ය ශාලා වැඩි කිරීමටද, වින්නඹුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හා ඔවුන් තවත් විද්‍යානුකූලව පුහුණු කිරීමටද, ගර්භනී මව්වරුන්ට ආණ්ඩුවෙන් නිවාඩු හා පාරිතෝෂිත මුදල් ලබාදීමටද, ඉඩම් නැති ගොවින්ට ඉඩම් ලබාදීමටද, වැටුප් වැඩි කිරීමට හා වැඩ කරන පැය ගණන අඩු කිරීමටද, රක්ෂා රහිතවූවන්ට රක්ෂා හෝ නඩත්තුව ලබාදීමටද, අනතුරු ලබන කම්කරුවන්ට වන්දි ලබාදීමටද අපි සටන් කළෙමු. මේ අප කර තිබෙන වැරදි රාශියකින් ස්වල්පයකි. අපි කම්කරු සමිති සාර්ථක ලෙස සංවිධානය කළෙමු. විශේෂයෙන් උඩරට වතු ප්‍රදේශයන්හි කම්කරුවන්ගේ ‘සමස්ත ලංකා වතු කම්කරු සමිතිය” සංවිධානය කළෙමු. මෙයින් කම්කරුවන්ගේ තත්ත්වය හා පන්ති හැඟීම දියුණු කර තිබෙන්නා සේම ධනපතියන්ගේ කෲර සූරාකෑමට තරමක් දුරට බාධා කර තිබේ. මේ සියල්ලටම වඩා මහා වරදක් අප විසින් කර තිබේ. අධිරාජ්‍යවාදීහූ හා ඔවුන්ගේ කළු ඇට්ටැඹියෝ නම් අපට ඒ ගැන ක්ෂමාවක් කිසිම දිනෙක නොදෙන්නෝය. බි්‍රතානි අධිරාජ්‍ය වාදයෙන් මිදී රටේ නිදහස ලබාගන්නා මග අප පෙන්වාදී තිබේ. පූර්ණ විමුක්තිය ලබනු සඳහා මෙරට ජනතාව අපි සංවිධානය කෙරුමට තැත් කෙළෙමු. මේ සංවිධාන කිරීමේ ප්‍රයත්නයන්හි මිම්මක් ලෙස අද දින නඩුව සැලකිය හැකිය. මේ සියලු චෝදනාවලට මා වරදකරු බව කියා සිටිමි.


මට විරුද්ධව නගා තිබෙන චෝදනාව මේ නීත්‍යනුකූල සිර අඩස්සියෙන් පැනයාමය. සිර අඩස්සියෙන් පැන ගියේ යයි කීම මම පිළිගනිමි. එහෙත් ඒ සිර කරනු ලැබීම නිත්‍යනුකූලයයි මම පිළි නොගනිමි. කෙතරම් බලවතකුගේ වුවද හුදු නියෝගයක් නීත්‍යනුකූල යයි මම නොපිළිගනිමි. එංගලන්තයේ සුප්‍රකට පැසිස්ට්වාදියනුන් සිරකරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ සම්මතයෙනි. ආණ්ඩුකාරයා අප සිර කළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මතයෙන් ද? රාජ්‍ය මන්ත්‍රණ සභාව අප නිදහස් කරන මෙන් ස්ථිරවූද, පැහැදිලිවූද භාෂාවෙන් කීප වරක්ම ඉල්ලා තිබේ.

 

 


මතු සම්බන්ධයි.

 

ඊ. එල්. ජයන්ත ද සොයිසා