ඔසි අබේගුණසේකර සහ විජය කුමාරතුංග, දේව බණ්ඩාර සේනාරත්නගේ අවසන් කටයුතු සඳහා සහභාගි වී සිටි අයුරු. විජය අසලම සිටින්නේ දේව බණ්ඩාරගේ වැඩිමල් සොයුරු වික්ටර් බණ්ඩාරය.

 

 

1988 - 89 භීෂණ යුගයේ මැර ප්‍රහාරවලට තියුණු අවි සහ ගිනිඅවි මෙන්ම අධි බලැති බෝම්බවලට ගොදුරු වී අකාලයේ ජීවිතවලින් සමුගත් පිරිස අතර දේශප්‍රේමි හැගුමෙන් මර්දනයට හා කුරිරු පාලනයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරිහු රැසක් වූහ. 


ශ්‍රී.ල.නි.ප.යෙන් බිදීගොස් ශ්‍රී ලංකා මහජන පක්ෂය නිර්මාණය කළ 17 දෙනා අතර විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, ටී. බී. ඉලංගරත්න, ඔසී අබේගුණසේකර, වයි. පී. ද සිල්වා සහ ප්‍රේමසිරි පෙරේරා වූ අතර රාජිත සේනාරත්න, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා චන්දන කත්‍රිආරච්චි ජ.වි.පෙ. භීෂණයට මුහුණ දුන් පිරිස අතරින් තිදෙනෙකි. 


මහජන පක්ෂයේ ක්‍රියාකාරිගෙන් එහි ප්‍රධාන ලේකම්වූ විජය කුමාරතුංග නොහොත් සිරිමාවෝ මැතිනියගේ බෑනණුවන්, කනිටු දියණිය වන ශ්‍රී.ල.ම. පක්ෂයේ උප සභාපතිනි චන්ද්‍රිකා කුමාරතුංග උප ලේකම්වූ ඔසි අබේගුණසේකර ද විය. ජ.වි.පෙ ක්‍රියාකාරින්වූ ලයනල් රණසිංහ, වසන්ත වීරසිංහ, ශ්‍රී කාන්ත පාල ධර්මසේන, ඇන්ටෝ යන හත්දෙනා විසින් විජය ඝාතනය කළ අතර ඔසි ඝාතනය වූයේ තොටළඟදී පුපුරුවණු ලැබූ අධිබලැති බෝම්බයකට ගොදුරුවීමෙන්. 


කොටි ත්‍රස්තවාදය රට පුරා ශීඝ්‍රයෙන් පැතිරෙද්දී ජ.වි.පෙ ත්‍රස්තවාදින් ආණ්ඩුවට හා එ.ජා.ප.යට එරෙහිව සටන්කරද්දී පැරණි වාමාංශික පක්ෂ සමඟ සහ එහි නව ප්‍රවණතාව වූ මහජන පක්ෂය සමඟත් ජ.වි.පෙ. වෛර බැඳගත්තේ හේතු කාරණා රාශියක් මැදය.


1986 දෙසැම්බර් 15 බණ්ඩාරගම හිරණ තොටුපොළේදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණද, 1987 නොවැම්බර් 27 වැනිදා අනුරාධපුරයේදී ජනතා සංගමයේ කැඳවුම්කාර නන්දන මාරසිංහද, මහජන පක්ෂයේ ගොවි සම්මේලනයේ ජෙමිස් ඇතුගලද ඝාතනය කළේ ද්‍රවිඩ ඊළමට පක්ෂපාත සතුරු බළකායක් ලෙස චෝදනා නගමිනි. 


ජ.වි.පෙ. නව ප්‍රවණතාව වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය 1988 ජනවාරි 18 වැනිදා මහජන පක්ෂ සමසමාජය කොමියුනිස්ට්, නව සමසමාජය, ජනතා සංගමය මෙන්ම ජ.වි.පෙ. විරෝධීන් හා අන්‍යාගමික රාජ්‍ය නොවන සංවිධානවලටද එරෙහිව සටන් ප්‍රකාශ කළේය.


ජ.වි.පෙ. භීෂණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නොබියව මුහුණ දුන් මහජන පක්ෂයේ සටන්කාමීන් අතර දිවංගත භාරත ලක්ෂ්මන්, රාජිත සේනාරත්න හා චන්දන කත්‍රිආරච්චි යන දේශපාලනඥයෝ වූහ.


රත්තොට මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී.ල.නි.පය මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණේ පළාත්සභා අපේක්ෂක එස්. බී. යාලෙගම මරා දැමුවේ 1988 මැයි 28 වැනිදාය. 1925 ඔක්තෝබර් 16 වැනිදා උපත ලබා රත්තොට ජනහද දිනාගත් යාලේගම ශ්‍රී.ල.නි.ප.යෙන් 1965 දී එම ආසනය දිනා ගත්තේ වැඩි ඡන්ද 10,481කිනි. 


පසුව ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කළ යාලේගම ඉන් ඉවත් වූයේ “ශ්‍රී.ල.නි.ප.යට ඇස් නොපෙනෙනා බවත් කන් නොඇසෙනා බවත්” කියමිනි. 


යාලේගම මෙන්ම පළාත් සභා අපේක්ෂකයන් වශයෙන් මහජන පක්ෂය නියෝජනය කළ අකුරැස්සේ කොල්වින් වෙත්තසේන, දඹගල්ලේ ඒ. පී. ගුණපාල, කුරුණෑගල එච්. සුමතිරත්න, වැලිගම ආරියරත්න ජයසේකර, ලග්ගල ජී. වී. පියදාස, දෙණියායේ අමරදාස හීන්වැල්ල ආදි කොටගත් 140කට ආසන්න ක්‍රියාකාරි පිරිසක් නිර්දය ලෙස මරාදමන ලදී.


ධර්මන් වික්‍රමරත්නයන්ගේ කෘතිවල සඳහන් පරිදි රට පුරා නාගරික හා ප්‍රාදේශික නායකයන් රැසකට මෙම ඉරණම අත්වූ අතර සූරියමල් ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ එච්. වයි. රුද්‍රිගෝ වැනි වයෝවෘද්ධ නියමුවෝ පවා ජ.වි.පෙ. භීෂණයට ගොදුරු වූහ. ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙසේ ආකාලයේ දිවියෙන් සමුගද්දී විශ්වවිද්‍යාල මට්ටමේ අංකුර අනාගත නායකයන් රැසක් පැහැරගැනීමට, පහරදීම් හා දස වදවේදනාවන්ට ලක්ව ඝාතනය වූහ. 


1988 පෙබරවාරි 10 වැනිදා වේවැල්දූවේ නේවාසිකාගාරායේදී වෙඩිතබා ඝාතනයට ලක්කළ කැලණිය සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය බදුල්ලේ පස්සර පියරතන යාපා බණ්ඩාරත්, මහජන ශිෂ්‍ය සංගමයේ ලේකම් විපුල ගුණරත්නත් මතකයට නැගෙයි. මෙසේ ශිෂ්‍ය ක්‍රියාකාරිහු 07ක් ඝාතනයට ලක්වූහ. 1988 නොවැම්බර් 17 වැනිදා මහජන පක්ෂයේ ප්‍රචාරක රැලියට ඇටවූ බෝම්බ ප්‍රහාරයෙන් රජයේ ලිපිකරු සේවා සංගමයේ එච්. ඩී. ඒ. චන්ද්‍රසිරි ඇතුළු තිදෙනෙක් මියගියහ. 


ජ.වි.පෙ. භීෂණයට ගොදුරුවුණු පිරිස අතරින් 1989 දෙසැම්බර් 12 වැනිදා පස්සර බඩල්කුඹුරේදී මහජන පක්ෂයේ ක්‍රියාකාරීන් 12 දෙනෙකු කපා ඝාතනය කර එකම නිවසක් තුළට දමා ගිනි තබා තිබිණ. ඌව වෙල්ලස්ස ඉඩම් නොමැති ගැමියන්ට ඉඩම් ලබාදීමට බහුජාතික සමාගම්වලට බලකිරීම ඔවුන්ට එරෙහි චෝදනාව වියහැකිය. 


රජය පැනවූ ජල බද්දට එරෙහිවීම සහ නියං සහනාධාර පතා සටන් කිරීම අනිත් චෝදනා විය යුතුය. 


නොබෝදා කොළොන්නාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ජීවිතයට මරණීය තර්ජන එල්ලවූ යුගයක් ලෙසද 1988 - 89 කාලය හැඳින්විය හැකිය. ජ.වි.පෙ. ත්‍රස්තවාදීන් එම වසරේ ඔක්තෝබර් 29 වැනිදා කොළොන්නාවේ නිවසට පැමිණ පතරොම් තුවක්කුවකින් වෙඩි තැබීමට සැරසුණු අවස්ථාවේ භාරතගේ පියා සහ සොහොයුරා තුවක්කුකරු වෙත පැන පොරබැදීම නිසා ගිනිඅවිය උදුරාගෙන ත්‍රස්තවාදියා මරා දැමීම නිසා භාරතගේ දිවි එදා අනූනවයෙන් බේරිණ.


විජය කුමාරතුංගගේ සමීපතම දේශපාලන සගයෙකු හා විචිත්‍ර කථිකයෙකු වූ දේව බණ්ඩාර සේනාරත්නයන්ගේ ඉරණම වූයේද අධිබලැති බෝම්බයකට ගොදුරුවී කඩවතදී දිවියෙන් සමුගැනීමය. වෙල්ලස්සේ වෙඩි හඬ නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ක්‍රියාකාරී යුග මෙහෙවරක නියැළුණ වික්ටර් බණ්ඩාර සේනාරත්නගේ සොහොයුරා වූ දේව බණ්ඩාරයන් සිය බුද්ධිය, ශ්‍රමය, කාලය හා තරුණ ශක්තිය ප්‍රතිජීවනය සඳහා කැපකළේය. 


ලංකා සමසමාජ පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ලෙස එම පක්ෂයේ නියමුවකු වූ රොබට් ගුණවර්ධන යටතේ දේශපාලනයට පිවිස 1970 දී ඉන් ඉවත්ව ජ.වි.පෙ. පූර්ණ කාලීනයකු වූ දේවබණ්ඩාර 1971 කැරැල්ලේ චූදිතයකු වී වසර 05ක් සිරබත් කෑවේය.  


සිරෙන් නිදහස් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ දේවබණ්ඩාර ආනමඩුව ආසනය භාරවිය. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමිකිරීමට එරෙහි උද්ඝෝෂණ රැල්ල මෙහෙයවූ ඔහුට යළිත් සිරගෙය උරුමවිය. 
1982 දී හෙක්ටර් කොබ්බෑකඩුවගේ ජයග්‍රහණය උදෙසා ජනපතිවරණ සටන මෙහෙයවූ ඔහුට විජය ඔසිට මෙන්ම නැක්සලයිට් චෝදනා ලැබූ මහජන පක්ෂයේ ක්‍රියාකාරීන්ට හිමිවූ ඉරණම ලෙස සිරගෙයි ලැගීමට සිදුවිය. 1988 දී ජුලි කලබලවලට සහයදුන් බවට එල්ලවූ චෝදනා මත හිරගෙය හිමිවිය. 


මෙනයින් දේශපාලනය වෙනුවෙන් වැඩිම වාරගණනක් හිරබත් කෑ දේශපාලනඥයා ලෙස දේව බණ්ඩාරගේ නම මෑත ඉතිහාසයට එක්වෙයි. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී විජය, චන්ද්‍රිකා, ටී. බී. ඉලංගරත්න, ඔසි, ෆීලික්ස්ලා සමග එක්ව මහජන පක්ෂය නිර්මාණය කර එහි උපසභාපති ධුරයට ඔහු පත් වූ අතර සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති වූයේය. භීෂණය හා වරදාන මත කාගේ කට වැසුණත් දේව බණ්ඩාරගේ අභීත නිර්ව්‍යාජ හඬ නම් නවතා දමන්නට ප්‍රතිගාමීන්ට බැරිවිය. කොස් ගස් හන්දියේදී හා වරක් මාතලේදී ඔහු ඝාතනය කිරීමට ගත් ප්‍රයන්තය නිශ්ක්‍රීය වූ අතර කඩවත දී රුදුරු ගිනි අවියෙන් එම අභීත නායකයා බිලිගනු ලැබිණි. 


“දේව බණ්ඩාරගේ අවංක, එඩිතර හා සටන්කාමී ස්වරූපය හා හඬ පෞරුෂය වත්මන් තරුණ නායකත්වයට පූර්වාදර්ශයක්.”බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියයි. 


එසේ වුවද විජයගෙන් පසු දම් පැහැති පක්ෂ ධජයක්, ඇස නමැති ලාංඡනයක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සුක්කානමත් අතට ගත් ඔසි අබේගුණසේකරයන්ගේ දේශපාලන ගමන්මග වෙනස් වූවත් ජනපති රණසිංහ ප්‍රේමදාසයන් වෙත සහයෝගය දක්වා ඔහුගේ එ.ජ.ාප. වේදිකාවට පිවිසීම නිසා ඔසි හා වයිපී පිල ලෙස මහජන පක්ෂය දෙකඩ වූ අතර එ.ජා.පය යටතේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුවීමේ වරම ඔසීට හිමි වූ අතර වයි.පී. සිල්වා ජාතික ලැයිස්තුවෙන් ජනපති චන්ද්‍රිකාගේ රජයේ නියෝජ්‍ය ඇමති ධුරයක් ලැබීය. 


මහජන පක්ෂය දෙකඩවෙද්දී ඔසී වෙත දෛවයේ ඉරණම එල්ල වෙමින් තිබිණ. එලෙස ජනාධිපතිවරණය උදෙසා එ.ජා.පයෙන් තරග වැදුණු විපක්ෂ නායක ගාමිණි දිසානායකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් 1994 ඔක්තෝබර් 23 වැනිදා කොළඹ පැවැති මහජන රැලියේදී පිපුරුණු බෝම්බයට හසුවී මියගිය පනහකට ආසන්න පිරිස අතරට ඔසීද අයත් විය. 1988 වසර අවසන් වනවිට ද්‍රවිඩ ඊළාම් පක්ෂ යැයි දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය චෝදනා ලැබූ වාමාංශික නායකයන් ක්‍රියාකාරීන් හා සභිකයන් 158 දෙනෙකු මරා දැමුණු අතර ඒ අතර ජ.වි.ප. ඇතුළු මහජන පක්ෂයට අයත් 117ක් වූහ. පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, බුත්තල මයිකල් රුද්‍රිගෝ පියතුමා, ගාමිණී මැදගෙදර, මහින්දබාහු, ටී. අමරදාස, අමර වෙල්ලප්පිලි, එල්. ඩබ්. පණ්ඩිත, ගාමිණි තුඩාවේ, එම්. එම්. සී. චන්ද්‍රවිමල, ජෝර්ජ් රත්නායක, හෙන්රි පමුණුව, ටී. බී. විජේසූරිය වැනි මුල් පෙළේ නායකයන් රැසකගේ දිවි එසේ අහිමිවිණි.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි