උඩු ගුවනේදී අතුරුදන් වූ දේශපාලන චරිත කිහිපයක් ගැන මතකය තවමත් රැව්පිළිරැව් දෙයි. දකුණේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ උපාලි විජයවර්ධන, නැගෙනහිර ජනප්‍රිය මුස්ලිම් නායකයකු වූ අමාත්‍ය ඒ. එච්. එම් අශ්රොෆ්, කැලණිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකයකු වූ ඒ. ඩබ්. ඒ. අබේගුණසේකර ඉන් තිදෙනෙකි.


බි්‍රතාන්‍ය කිරීටයෙන් අපේ රට මිදීමට ආසන්න යුගයේ ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා යන විරුදාවලිය ලැබ සිටි උගත් ධර්මධර දේශපාලන චරිතයක් වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන් අවසන් හුස්ම හෙළුයේ ද උඩුගුවනේදීය.


ඒ ඉන්දියාවේ මහකොමසාරිස් ධූරයේ රාජකාරී කරද්දී රෝගාතුරව මෙරටට ගුවනින් රැගෙන එද්දී ගුවන් යානය තුළදීය.


ලෝකයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්, ප්‍රබල හමුදා හා සිවිල් නිලධාරින්, ක්‍රීඩකයන් උඩුගුවනේ දී සිදුවූ අනතුරුවලින් විපතට පත් වූ අතර යුද වාතාවරණ හා ත්‍රස්ත ක්‍රියාකාරකම් පැවැති වකවානුවල දී ගුවන් ප්‍රහාර, දුර විදින තාක්‍ෂණික ගිනි අවි ප්‍රහාරවලින් ගුවන් යානා බිමට හෝ මුහුදට පතිත වීමෙන් හෝ අතුරුදන් වීමෙන් විපතට පත් වූ අවස්ථා ද බහුලය.


1980 - 90 භීෂණ සමයේදී මෙවැනි ගුවන්යානා අතුරුදන්වීමේ හා ප්‍රහාරවලට ලක්වීමේ අවස්ථා මෙරටින් ද වාර්තා විය. යුද පුවත් වාර්තාකරණයට උතුරට විශේෂ ගුවන් සංචාරයකට ගිය මාධ්‍යවේදීන් වන කරුණාරත්න සපුතන්ත්‍රි සහ කිරම පියසෝම ඇතුළු පිරිස රැගත් අහස් යානය ඉරණමඩුව ප්‍රදේශයේ දී අතුරුදන් වීම තවමත් අබිරහසකි.


තොටළඟ මාරක බෝම්බයෙන් මියගිය ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායකයකු හා කැලණිය සංවිධායකවරයා වූ ඔසී අබේගුණසේකරයන්ගේ පියා වූ 1950 දශකයේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක ඒ. ඩබ්. ඒ. අබේගුණසේකරයන්ගේ අතුරුදන් වීම සිදුවූයේ උඩු ගුවනේදී සිදුවූ යම් අනතුරක් නිසා බව නොරහසකි.


එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල බලකණුවක් මෙන්ම දකුණු පළාතේම ජනප්‍රිය ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වූ ප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධනයන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් ගමන් කළ අහස් යානයක් ඉන්දීය සයුර ඉස්මත්තේදී ගුවනේදී අතුරුදන් විය. ඒ 1981 වකවානුවේදී වීම විශේෂත්වයකි.


උපාලි විජේවර්ධනයන් රුහුණු ගම්මාන දියුණු කිරීමේලා යෝධ කාර්යභාරයක් ඉටුකරමින් සිටියේ පෞද්ගලික ව්‍යවසායක ශක්තියෙනි. ඇතැම් ප්‍රබල දේශපාලන බලවේගයන්ට උපාලි විජේවර්ධනයන්ගේ මෙම ස්වාධීන මෙන් ස්වයං සංකල්පය විශාල අභියෝගයක් විය. පාර්ලිමේන්තුව තුළ දී ද පක්‍ෂය තුළම ප්‍රබල චරිත හා ඔහු අතර උණුසුම් වාග් හුවමාරු හා අභියෝගාත්මක කතාබහ එන්න එන්නම වැඩි විය. රුහුණේ ඔටුන්න හිමි කුමාරයා ජනප්‍රියවීම වළක්වන ලද්දේ කුමන බලවේගයක් විසින් ද යනු අදට ද අබිරහසකි.


උපාලි විජේවර්ධනයන් සතු සුවිශේෂී ගුවන් යානයෙන් ඈත පෙරදිග ව්‍යාපාරික සංචාරයකට එක් වූ කාර්ය මණ්ඩලයේ පිරිස ද සමඟ එම යානය මුහුදු කරයේ අතුරුදන් විය. ජාත්‍යන්තර මැදිහත්වීමෙන් මහත් පරිශ්‍රමයක් යොදා දියෙන් ගොඩෙන් හා අහසින් කළ සොයා බැලීම් ව්‍යාර්ථ කරමින් එම යානය හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු කිසිවක් නොලැබිණි.


ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ජනප්‍රිය දේශපාලන නායකයකු මෙන්ම වාග් කෞශල්‍යයෙන් යුත් ප්‍රබල චරිතයක් වූ අමාත්‍ය ඒ. එච්. එම්. අශ්රොෆ් ඇතුළු පිරිසක් ද 2000 වසරේ එක් දිනක ඔවුන් ගමන්ගත් ගුවන් යානය සමඟ ලොවින් අතුරුදන් වූහ.


ඒ ත්‍රස්තවාදීන්ගේ හා ශ්‍රී ලංකා හමුදාවන් අතර වූ යුද උණුසුම මැද්දේ 2000 සැප්තැම්බර් මස 07 වැනිදාය. නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ආර්ථික අධ්‍යාපනික හා නිවාස ගැටලු දිනෙන් දිනම උග්‍රවිය. තමන්ට ලැබෙන සැලකිලි අඩු යැයි මුස්ලිම් ජනතාව ප්‍රාදේශීය පාලකයන්ට මෙන්ම මහ ආණ්ඩුවට ද මැසිවිලි නගන්නට විය. සිංහල ජනතාව බෙහෙවින් දුර්ලභ වූ නැගෙනහිර ප්‍රදේශයේ ජනහඬ අවදි කිරීමට මෙන්ම ජන ගැටලු මහ ආණ්ඩුව වෙත ගෙන යාම සඳහා ප්‍රබල නායකයකු අවශ්‍යව තිබිණ.


එම නායකයා මුස්ලිම් ආගම දර්ශනය සංස්කෘතිය හා දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණයකු මෙන්ම රටේ බහුතරයකගේ ආගම වන බුද්ධ ධර්මය, බුද්ධ දර්ශනය බෞද්ධ සංස්කෘතිය හා සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණයකු හා වෘත්තිකයකු වීම ඉතා වැදගත් යැයි සැලකිණි.


ෆේරියල් අශ්රොෆ් මහත්මිය සමඟ විවාහ වී අශ්රොෆ් යුවළ ජීවත් වූයේ කල්මුණේය. ඔවුන්ට ද අන්තවාදී කොටිත්‍රස්තයන්ගේ කෙනහිලිකම්වලට ලක්වීමට සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස එම පෙදෙස අත්හැර කොළඹ එන්නට සිදුවිය.


නැගෙනහිරට වී ඇති විපතත් ඔවුන්ට අවශ්‍ය දේශපාලන මගපෙන්වීමත් පිළිබඳව හැදෑරූ අශ්රොෆ් යුවළ යළි ගම්පළාතට යන්නේ අශ්රොෆ් නීතිවේදියකු සහ දේශපාලනඥයකු වීමෙන් පසුවය. 1977 - 85 යුගයේ කල්මුණේ පදිංචිව සිටි අශ්රොෆ්ගේ ලඝුලේඛිකාව හා පෞද්ගලික ලේකම්වරිය වූයේ ෆේරියල්ය. මුස්ලිම් කොංග්‍රස් නායකත්වය තුළින් ඔවුහු නැගෙනහිර පුබුදු කළහ.


එකල ගංගොඩවිල සෝම හිමියන් වැනි බෞද්ධ මතධාරී හිමිවරුන් සමඟ අශ්රොප් බුදුදහම තුළින්ම නිදර්ශන ගෙන හැර පාමින් කළ සාකච්ඡා ආන්දෝලානාත්මක විය. ජනමාධ්‍ය තුළින් අමාත්‍ය අශ්රොෆ්ගේ මතවාදයට මහත් ප්‍රසිද්ධියක් ලබාදුන් අතර එම අදහස් අන්තවාදී නොවූ ආගමික හා සමාජීය සංහිඳියාව වර්ධනය කරලීමට සමත්විය.


අශ්රොෆ් මාක්ස්වාදය කරපින්නාගත් අයකු ලෙස සමහරු සැලකූ අතර ඔහු ධනවාදයේ ජනප්‍රිය ස්වරූපිකයෙකු යැයි ඇතැම්හු කීහ. එහෙත් අශ්රොෆ් එම කඳවුරු දෙකටම අයිතිනැති සැමට එක ලෙස සැලකිය යුතුය, යන ආගමික මතය මත පිහිටි වාමාංශිකයකු යැයි ෆේරියල් අශ්රොෆ් වරක් පවසා තිබිණ.


ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ වරාය සංවර්ධන, පුනරුත්ථාපන හා ප්‍රතිසංවර්ධන අමාත්‍යධූරය දැරූ ඒ. එච්. එම්. අශ්රොෆ් තම ත්‍රිත්ව භාෂා ඥානය භාවිත කරමින් ආගමික හා ජාතික සංහිඳියාව සඳහා ඇප කැප වූයේය. නැගෙනහිරට සිංහල ගුරුවරුන් හිඟවීම ගැන ඔහු ආණ්ඩුව දැනුම්වත් කළේය.


13 වැනි ව්‍යවස්ථා සංශෝධන අනුව උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කෙරිණ. මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවල දී මුස්ලිම් නියෝජනය සිදු නොවීම පිළිබඳව අශ්රොෆ් බලවත් ලෙස කනස්සල්ලට පත්විය. මුස්ලිම් ජනතා නියෝජිතයන්ගේ අදහස් නොවිමසා දෙපළාත එක්කිරීම නිසා දෙමළ ජනතාව නැගෙනහිර මහජාතිය වී මුස්ලිම් ජනතාව සුළු ජාතිය බවට පත්වන බව ඔහු පැවසීය.


එහෙත් මහ ආණ්ඩුව ඉන්දියානු මිත්‍රත්වය කෙරේ විශ්වාසය තැබූ නිසාදෝ අශ්රොෆ්ගේ අදහස්වලට සවන් යොමු නොකළේය. ඔහු ජාතිවාදියකු ලෙස සමහරු හංවඩු ගැසූහ. අශ්රොෆ් කළේ හිස් පලඳනාවක් දමාගෙන පාර්ලිමේන්තුවට ගොස් ‘අපිත් ඉන්නවා’ යැයි හඬක් නැගීමය.


අශ්රප්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිර ජනතාව නියෝජනය කරද්දී මුස්ලිම් සමගි පෙරමුණේ පිහිටුවීම ගැන ඔහු කලකිරී සිටි බව ෆේරියල් මහත්මිය කියයි.


2000 වසරේ ඔක්තෝබර් මහමැතිවරණයට නාමයෝජනා දීම ඇරඹිණ. නැගෙනහිරින් නාමයෝජනා දුන් අශ්රොප් තම පිරිස සමඟ සංචාරය සඳහා හෙලිකොප්ටරයට නැගුණේ සැප්තැම්බර් 17 වැනිදාය. ඔවුන්ට යාමට ලැබුණේ අරණායක කුමාරපුරයට පමණි. ඌරාකන්ද ඉසව්වේදී අමාත්‍ය අශ්රෝප් ඇතුළු පිරිස ගමන්ගත් අහස් යානය ධාවන ඉසව්වෙන් අතුරුදන් විය.


එය එසේ මෙසේ හෙළිකොප්ටරයක් නොවිණ. රුසියාවේ නිෂ්පාදිත ඵෂ 17 වර්ගයේ ප්‍රභූ ගුවන්යානයකි. එහෙත් කාර්මික දෝෂයක් නිසා එය කඩා වැටුණා ද නොඑසේ නම් යම් ප්‍රහාරයකින් ඇද වැටී විනාශ වූවා ද යන්න අබිරහසකි. කෙසේ වෙතත් අශ්රප් අමාත්‍යවරයා සහ 15 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලය ගැන තොරතුරක් මේ දක්වා නොමැත්තේය.


ඇතැම් ආරංචි මාර්ග පවසන අන්දමට අශ්රොප් ගමන්ගත් යානයේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිකයකු ද ගමන් කළ බව සැලය. තම කැබිනට් සගයාත් අතුරුදන්වීම පිළිබඳව ජනපතිනි චන්ද්‍රිකා විශේෂ කොමිසන් සභාවක් ද පත් කළාය. 


සැබැවින්ම සිදුවූයේ කුමක්ද? අශ්රොප් අමාත්‍යවරයා ඇතුළු පිරිස 2000 සැප්තැම්බර් 17 වැනිදා පෙරවරු 9.00ට තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ සිට රුසියානු හෙළිකොප්ටරයෙන් අම්පාර බලා පිටත් වුයේ මැතිවරණ රැස්වීමක් අමතන්නටය. එහි නියමුවා වූයේ ශ්‍රීලන්කන් ගුවන් හමුදාවේ බලඝන නායක හිරාන් පෙරේරාය.


කටුනායක ගුවන් ගමන් පාලක මැදිරියට යානය අඩි 1500 ක් ඉහළින් ඇති බව දැනුම් දෙන ලදි. “විනාඩි 15 කින් අපි මහනුවරට ළඟා වෙනවා. දර්ශන පථය පැහැදිලියි” එහෙත් හිටිහැටියේ සියලු සංඥා ඇණ හිටියේය.
අනතුර ගැන ගුවන් හමුදාව අම්පාර ගුවන් හමුදා කඳවුරට හා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට දැනුම් දුන්න යානය අම්පාරට ඒමට ප්‍රමාද වන බව දන්වමිනි. අරණායක කඩා වැටී ඇති බව වටහාගත් නිරීක්‍ෂණ කණ්ඩායම් තුනක් වහවහා එම ස්ථානයට ගමන් ගත්හ. එය ඉතා දුෂ්කර ප්‍රයත්නයක් විය. ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි ඔවුන් දන්වා සිටියේ යානය අනතුරට ලක් වූයේ වෙඩි ප්‍රහාරයකින් නොවන බවකි. අධික මීදුම, අයහපත් කාලගුණය මැද අමුතු හඬක් ඇසුණු බව ගැමියෝ කීහ.


2007 ජනවාරි 01 වැනිදා විශේෂ කොමිසන් සභාවේ වාර්තාවක් අරනායක ලේකම් කාර්යාලයෙන් ජාතික ලේඛනාගාරයට ගිය බව පැවසෙන අතර එහි පිටපතක් බාසිර් සේගුදාවුද් නියෝජය ඇමැතිවරයා තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා තිබිණි. එම කොමිසමේ සභාපති වූයේ මහින්ද ගම්මන්පිලය කිෂාලි පින්තු ජයවර්ධන සෙල්වි තිරුචන්ද්‍රන් හා එස්. ජී. පුංචිහේවා අනිකුත් සාමාජිකයෝ වූහ.
අමාත්‍ය අශ්රොප් දරුස්සලාමිහි පැවති අවසන් රැලියේදී 2000 මැතිවරණ ජය ගැනීමට චන්ද්‍රිකාට හෝ රනිල් වික්‍රමසිංහට මුස්ලිම් සමගි පෙරමුණේ සහය නැතිව නොහැකි බවට අනාවැකියක් කීවේය. එහි ප්‍රතිඵල බලන්නට ඔහු ජීවතුන් අතර නොවීය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි